Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාහන මිල අහස උසට නැංවූ තහනමේ සැඟවුණු පැත්ත

රජය මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවා මේ වන විට අවුරුද්දක් ගතව ගිහින්. වෙනදා පත්තරවල දකින්න ලැබෙන වාහන දැන්වීම් දැන් නතරවෙලා. වාහන ආනයනය කළ ප්‍රකට සමාගම්වලට තම ආයතන පවත්වාගෙන යාමත් ප්‍රශ්නයක් වෙලා. කාර් එකක්, වෑන් එකක් වගේම බයික් එකක්වත් ගැනීමට බලා සිටි විශාල පිරිසකගේ බලාපෙරොත්තු කඩවෙලා. දැන් සිදුවන්නේ රටේ තිබෙන පරණ වාහනවල මිල විශාල ලෙස වැඩිකර විකිණීම යි.

වාහන තහනම

හම්බන්තොට වරායේ වාහන නැවක් -xinhuanet.com

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ දී වාහන ආනයනය අත්හිටුවීමට ආණ්ඩුව කටයුතු කළා. එහිදී මුදල් අමාත්‍යාංශ බලධාරීන් අවධාරණය කර සිටියේ මෙරට ජනතාව සඳහා ප්‍රමාණවත් වාහන තොග ඒ වන විටත් මෙරටට ගෙන්වා තිබෙන නිසා ඉදිරි වසර දෙක තුනක කාලය තුළ වාහන ආනයනය අත්හිටුවීමට පියවර ගන්නා බව යි. පසුගියදා ඇමැතිවරයෙක් සඳහන්කර සිටියේ ඉදිරි දිනෙක ආනයන තහනම ඉවත්කළ පසු දෙමුහුන් සහ විදුලි වාහන ගැන වැඩි අවධානයක් යොමුකරන බව යි.

වාහන නැවැත්තුවේ ඇයි?

අතිවිශේෂ ගැසට්ටුවකින් වාහන ආනයනය තහනම් කරමින්- newswire.lk 

2020 මාර්තු මස 19 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෝටර් රථ ආනයනය සපුරා තහනම් කෙරුණා. අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩිවීම නිසා ඒ වනවිට ලංකාව විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටියා. කොවිඩ් වසංගතය නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වුණා. ඒ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ද වේගයෙන් අවප්‍රමාණය වෙමින් තමයි තිබුණේ. වාහන ආනයනය සඳහා ඒ වන විට වැය වෙමින් තිබුණු විදේශ විනිමය ප්‍රමාණය ඉතිරිකර ගැනීමත් මෙහි එක් අරමුණක්. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පවසන පරිදි 2007 දී රුපියල් බිලියන 12ක් වූ ආනයන වියදම 2019 දී බිලියන 34 දක්වා වසර 12ක් තුළ තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එසේම 2007 වසරේ දී බිලියන 3.9ක් වූ ආනයන අපනයන පරතරය 2020 වන විට 13.4 දක්වා ඉහළ නැගලා. වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ ආනයනය කළ කිසිදු අලුත් වාහනයක් මේ වන විට ස්වකීය වාහන අංගන තුළ නැති බව යි. ආනයනය කළ පාවිච්චි කළ වාහන ද මේ වන විට බොහෝ ලෙස අලෙවි වී හමාර අතර, ඉතිරි වී ඇති වාහන අධික මිල ගණන්වලට අලෙවි වන බව තමයි වෙළෙඳපොළ දිහා බලන විට පේන්නේ.

කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය වගේ ප්‍රධාන විනිමය උත්පාදන අංශ අවහිර වෙලා. විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටලු, ඇඟළුම් අපනයනය හා කෘෂි නිෂ්පාදන අපනයනයත් සීමා වෙලා තිබෙන්නේ. මේ නිසා විනිමය සංචිතය පාලනය කරගනිමින් ස්ථාවර භාවයක් අරමුණු කරගෙන තමයි  වාහන ආනයනය තාවකාලිකව නතරකර තිබෙන බව පවසන්නේ.

පර්මිට් වාසියත් නෑ

වාහන වැඩිපුරම ගොඩබාන හම්බන්තොට වරාය-  thecitizen.co.tz

රටට ගෙන්වන වාහන සීමා කිරීමේ මෑත මුල්ම පියවර ගත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. ඒ, අනයනකරුවන් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා ණයවර ලිපි නිදහස් කරගත යුතු වීමේ නීතිය යි. 2018 අවුරුද්දේ අග භාගයේ දී වාහන ගෙන්වීමට බදු රහිත බලපත්‍ර නිකුත් කිරීමත් සීමා කළා. 2020 ජූනි මාසයේ සිට අලුත් බලපත්‍ර නිකුත් කිරීමත් නතර කළා. මේ අතර පසුගිය කාලයේ තීරුබදු ගෙවා ගෙන්වන අති සුඛෝපභෝගී වාහන විකුණා සල්ලි ගැරීමට අමතරව, වාහන නොගෙන්වා එම බලපත්‍රය ද ප්‍රසිද්ධියේ විකුණන තරමට විකල්ප වාහන ජාවාරමක් රට තුළ නිර්මාණය වී තිබුණා. දේශපාලනඥයන් තමයි මින් වැඩි වාසි ගත්තේ. ඔවුන්ට ලැබෙන වාහන පර්මිට් එකේ වටිනාකමත් වැඩි නිසා. ආණ්ඩුව මුලින්ම පැවසුවේ වාහන ආනයනය නතර කරන්නේ වසරකට පමණක් බව යි.

කෙටි තහනම දිගු වෙලා

මහ පාරේ වාහනවල අඩුවක් නෑ- lankabusinessonline.com

කෙටි කාලයකට මෙම තහනම පැනවූ බව අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ වරෙක පවසා සිටි අතර ඉක්මනින් මෙම තහනම ඉවත් කරන බවත් පැවසුවා. ඒ නිසා වාහන පාරිභෝගිකයන් සහ වාහන ව්‍යාපාරිකයන් අපේක්ෂා තබාගෙන සිටියේ පසුගිය නොවැම්බර් රජයේ අයවැය ලේඛනය තුළින් මෙම තහනම ඉවත් කෙරෙනු ඇති බව යි. එහෙත් මේ අයවැය ලේඛනයේ ඒ පිළිබඳ කිසිදු සඳහනක් නොවූ අතර රජය පසුව ප්‍රකාශ කළේ තවත් වසරක් තහනම බලපවත්වන බව යි. මේ නිසා රජයට වාහනවලින් ලැබෙන විශාල තීරු බද්දත් අහිමි වෙලා.

වාහන තහනමෙන් අමාරුවේ වැටිලා

වාහන සේල්වලටත් ගැටලුවක් -punchi car niwasa fb page

වාහන ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණයත් සමග එම ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගිය ව්‍යාපාරිකයන් හා ඔවුන්ට අයත් එම ව්‍යාපාරයන්හි සෘජුව හා වක්‍රව සේවය කරමින් සිටි 60,000කට වැඩි පිරිසක් බරපතල දුෂ්කරතාවන් රැසකට මුහුණ දී සිටිනවා. වාහන සේල්වලින් සියයට හතළිහක් පමණ වැසී ඇතැ යි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එයට බලපා ඇත්තේ අලෙවි කිරීමට අලුත් වාහන නොමැතිවීම යි. දැනට වෙළෙඳපොළ තුළ ඇති සියලුම වාහන මිල ගණන් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, වාහන මිල දී ගැනීමට බලාපොරොත්තුව සිටින පාරිභෝගිකයන් ද ඒ නිසා දුෂ්කරතාවට පත්ව සිටිනවා.

අහසට නැගි වාහන මිල

පාවිච්චි කළ වාහන මිලත් අහස උසට නැගලා- youtube.com

රට තුළ තිබෙන වාහන ප්‍රමාණය තමයි දැන් එකිනෙකා අත විකිණෙන්නේ. මේ නිසා කෘත්‍රිම මිලක් ඇතිවෙලා. නවීන සුඛෝපභෝගී වාහනයක මිල රු. ලක්ෂ විස්සක සිට තිහ දක්වා පරාසයකින් වැඩිකර තිබෙනවා. සාමාන්‍ය වාහනයක් පවා ලක්ෂ දෙක තුනකින් වැඩිකරන්නට විකුණුම්කරුවෝ පෙළැඹී සිටිනවා. සාමාන්‍යයෙන් කුඩා ජපන් සහ ඉන්දියන් කාර් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ වැඩි වී ඇති අතර, ඉන්දියානු වාහනවල මිල ලක්ෂ 5කින් පමණ ඉහළ නැග තිබෙන බව පුවත්පත්වල පළවන දැන්වීම් අනුව පේනවා. ජනතාව වැඩි වශයෙන් මිල දී ගන්නා සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, විට්ස්, ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස් ආදී වාහනවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්.

මෙම තත්ත්වය නිසා යම්තම් හෝ එකතු කරගත් මුදලක් වාහනයකට ගෙවා, ඉතිරි මුදලට ලීසිං පහසුකම් ලබාගෙන හෝ වාහනයක් හිමිකර ගැනීමට තිබූ සිහිනය බොඳ වී ගොස් තිබෙනවා. රට තුළ වාහන මිල අත්තනෝමතික ලෙස ඉහළ ගොස් ඇති අතර ඒ මිල පාලනය කිරීමට හෝ වගකිවයුත්තන් කිසිදු ප්‍රතිකර්මයක් යොදා නැහැ.

ත්දෙනෙකුට වාහනයක්

වාහන සොයන ගනුදෙනුකරුවෝ- punchcar.com 

ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් හත් දෙනෙකුගෙන්ම එක අයකුට වාහනයක් තිබෙන බව යි. ඒ, මෝටර් බයිසිලකයක සිට සුඛෝපභෝගී වාහන දක්වා විය හැකියි. ඒ අනුව බොහෝ පවුල්වලට වාහනයක් ඇති බව අපට අනුමාන කළ හැකියි. කවුරුත් වාහනයක් අරන් නඩත්තු කරගෙන තබාගන්නේ ජීවිතය පහසුකර ගැනීමට යි.

වාහන ආනයනය නතරකර මාස හයක් ගතවී ඇති නමුත් පසුගිය වර්ෂයේ අගභාගය දක්වාම ලියාපදිංචිය සිදුවූ බව සංඛ්‍යාලේඛන දක්වනවා. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය අගෝස්තු මාසයේ අලුත් වාහන 17,493ක් අලුතින් ලියාපදිංචිකර තිබෙනවා. දවසකට දළ වශයෙන් වාහන 583ක් ලියා පදිංචියට ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගත යුතු කාරණයක්.

වාහන ආනයනයේ දී සියයට සියයක සිට සියයට අටසියය දක්වා වාහනයේ වටිනාකම මත බදු අය කරන අතර තවත් විවිධ ගාස්තු පැනවෙනවා. වාර්ෂික බලපත්‍රය, රක්ෂණය, දුම් සහතිකය යනාදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවකින් රජයට ආදායම් ලැබෙනවා. වාහනවලට ණය හා ලීසිං පහසුකම් වෙනම ව්‍යාපාරයක්. ආනයනය නතර කරන විට රජයට ලැබෙන ආදායම පමණක් නොව ක්ෂේත්‍රය වටා බැඳී ඇති මෙම අංශවල ද බිඳවැටීමක් සිදුවෙලා. මේ නිසා රජයට විශාල ආදායමක් අහිමිවී ඇති බව ද ඇත්තක්.

ඩොලර් බිලියනයක වාහන

මහ පාරට ඔරොත්තු නොදෙන තරම් වාහන- sundaytimes.com

2019 වසරේ ගෙන්වන ලද වාහන වෙනුවෙන් මෙරටින් වැයකරන ලද විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් වෙනවා. සාමාන්‍යයෙන් අප රටේ සමස්ත ආනයන පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 20ක් වෙනවා. මේ අනුව පේන්නේ වාහන ව්‍යාපාරය රටේ සමත්ත වියදමෙන් 20න් එකකට වග කියන බව යි. දැන් ව්‍යාපාරිකයන් වගේම සාමාන්‍ය ජනතාවත් බලා සිටින්නේ වාහන තහනම ඉවත් කරන්නේ කවදා ද යන්න යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Silumina.lk

Deshaya.lk

Dailymirror.lk

Treasury.gov.lk

කවරය- වාහන තහනම තවත් දික්වෙලා- srilankamirror.com 

Related Articles