Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතීතයේ ප්‍රචලිත ඇදහිය නොහැකි ඖෂධ සහ ප්‍රතිකාර

අනිකුත් සෑම ක්ෂේත්‍රයක ම මෙන් වෛද්‍ය විද්‍යාවේ ද කාලයත් සමඟ වෙනස්කම් රැසක් ඇති වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සමඟ ම යම් යම් රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගත්, ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම ද වෙනස්කම්වලට භාජනය වී තිබේ. ඒ අතර සුවිශේෂී කරුණක් වන්නේ අතීතයේ දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කළ සමහර ඖෂධ වර්ග වර්තමානය වන විට නීති විරෝධී, ළඟ තබාගැනීම පවා දැඩි දඬුවම්වලට යටත් විය හැකි දෑ බවට පත් ව තිබීම යි.

විශේෂයෙන්ම කොකේන් සහ හෙරොයින් වැනි දෑ අතීතයේ දී කුඩා දරුවන්ට පවා විවිධ රෝගාබාධවලට ප්‍රතිකාරයක් වශයෙන් ලබා දුන් බව ඔබට විශ්වාස කළ හැකි ද? වෛද්‍ය විද්‍යාව එතරම් ම පුදුම සහගත ය. එකල ඖෂධ වශයෙන් භාවිත කළඑවැනි දේ මේ වන විට අතිශයින් ම තහනම් ද්‍රව්‍ය බවට පත්ව තිබේ. අතීතයේ භාවිත වූ සමහර ප්‍රතිකාර ක්‍රම ද මේ වන විට තහනමට ලක්ව තිබේ.

මෙම ලිපිය අතීතයේ භාවිත වූ එවැනි ඇදහිය නොහැකි ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පිළිබඳව යි.

1. සර්ප තෙල්

සර්ප තෙල් තරමක අප්‍රසන්න හැඟීමක් ඇති කරන දෙයක් වුවත් අතීතයේ දී විවිධ ප්‍රතිකාර සඳහා ඒවා යොදාගෙන තිබේ. චීනයේ ජලාශ ආශ්‍රිතව ජිවත් වන සර්පයන්ගෙන් ලබාගත් තෙල්, 1800 දශකයේ දී සහ ඒ ආසන්න කාලයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රචලිත විය. එම තෙල් වර්ග වෙනත් රටවල ප්‍රචලිත වූයේ එකල ලෝකයේ විවිධ රටවල දුම්රිය මාර්ග ඉදිකිරිම වැනි කටයුතු සඳහා බඳවාගෙන තිබූ චීන ජාතිකයන් ඒවා භාවිත කිරීම නිසා ය. සර්ප තෙල්වල ඔමේගා-3 අම්ලය බහුල ව තිබෙන බව පැවැසේ. ඉදිමුම් සහ හන්දිපත් රුදාව (ආතරයිටිස්) ඇතුළු තවත් රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම තෙල් වර්ග භාවිත කර තිබේ.
1890 දශකයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ ජිවත් වූ ක්ලාක් ස්ටැන්ලි නමැත්තා අමෙරිකා එක්සත් ජනපදයේ විවිධ පළාත්වලට ගොස් මහා මාර්ගය අසල තබාගෙන සර්ප තෙල් අලෙවි කළ බව කියැවේ. ඔහු සර්ප තෙල් බව පවසමින් විවිධ අනුකරණ අලෙවි කර විශාල මුදලක් උපයා ඇත. අමෙරිකාවේ ඖෂධ පිළිබඳ ව ස්ථාපිත කර ඇති ප්‍රධානත ම ආයතනය වන ආහාර සහ ඖෂධ පරිපාලන ඒජන්සිය (Food and Drug Administration (FDA) Agency) පසුකාලීන ව අනාවරණය කර ඇත්තේ ස්ටැන්ලි අලෙවි කළ නිෂ්පාදනවල කිසිදු සර්ප තෙලක් අඩංගු වී නොතිබූ බව යි. එවැනි ව්‍යාජ සර්ප තෙල් වෙළෙන්දන් අමෙරිකාවේ විවිධ ප්‍රදේශවලට ගොස් ව්‍යාජ නිෂ්පාදන අලෙවි කිරීම නිසා සැබැවින්ම ඖෂධීය වටිනාකමක් ඇති සර්ප තෙල් පිළිබඳ ව ජනතාව තුළ තිබු විශ්වාසය බිඳ වැටී තිබේ.

සර්ප තෙල් බෝතල් – Efrain Padro- Alamy Stock Photo

2. කොකේන්

වර්තමානයේ දී තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් ද අතීතයේ ඖෂධයක් ලෙස භාවිත කර තිබීම පුදුම සහගත ය. 1884 වසරේ දී ඕස්ට්‍රේලියානු අක්ෂි වෛද්‍යවරයකු වූ කාල් කොලර් කොකේන් බින්දු කිහිපයක් පුද්ගලයකුගේ ඇස්වල සුදු ඉංගිරියාව මතට දැමීමෙන් එම පුද්ගලයාගේ ඇස් නිර්වින්දනයට ලක් කළහැකි බව සොයා ගත්තේය. එමඟින් අක්ෂි සැත්කම් කිරීමේ දී ඇති වන වේදනාව අඩු කර ශල්‍යකර්මයට භාජනය වන ස්ථානයෙන් රුධිරය වහනය වීම ද අඩු වන බව සොයාගෙන තිබේ. ඉතා කෙටි කාලයක් තුළ මෙම සොයාගැනීම ප්‍රසිද්ධ වූ බැවින් අක්ෂි සැත්කම් සිදු කළ වෛද්‍යවරු සිය රෝගීන්ගේ ඇස් නිර්වින්දනය කිරීමට කොකේන් යොදා ගත්හ.

දත් කැක්කුම, මානසික පීඩනය, උදාසීන බව සහ ලිංගික බෙලහීනතාව වැනි රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධයක් ලෙස ජනප්‍රිය වූ කොකේන් ටොනික් හෙවත් පානයක්, ලොසින්ජර් සහ කුඩු වශයෙන් වෙළෙඳපොළ තුළ අලෙවි වී තිබේ. කොකේන් එකල ඖෂධයක් ලෙස කොතරම් ජනප්‍රියව තිබුණා ද යත් අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලයක් වන Sears Roebuck හි අලෙවි කිරීමට තිබූ භාණ්ඩ ලැයිස්තුවේ පවා කොකේන් ඇතුළත් විය. උගුරේ ආබාධ, ස්නායු කම්පන තත්ත්ව සහ හිසේ කැක්කුම වැනි රෝග සඳහා කළ ප්‍රතිකාර සඳහා ද කොකේන් භාවිත කර තිබේ. කෙසේ වෙතත් කොකේන් භාවිතා කර සුව කළ හැකි බවට පැවසෙන බොහෝ රෝග ඇති වූයේ කොකේන් භාවිත කිරීම නිසා ම බව පසුකාලීන ව සොයාගෙන තිබේ.

කොකේන් යොදා නිෂ්පාදනය කළ ඖෂධ පිළිබඳ වෙළෙඳ දැන්වීමක් – Smith Collection- gettyimages.com

3. හෙරොයින්

එක් මත්ද්‍රව්‍යයක් තුරන් කිරීම සඳහා සොයා ගත් ඖෂධයක් ලොව දරුණු ම මත්ද්‍රව්‍යයක් වනු ඇතැයි එය සොයාගත් තැනැත්තා පවා නොසිතන්නට ඇත. හෙරොයින්වල ආරම්භය සිදු වුයේ ඒ අයුරිනි. 1880 දශකය වන විට යුරෝපා රටවල් ගණනාවක මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කළ මෝෆීන්වලට ඇබ්බැහි වූවන්ට මෝෆීන් වෙනුවට ආදේශකයක් ලෙස හෙරොයින් යොදාගත හැකි බව සොයා ගැනිණි.

හෙරොයින්වලට යමකු ඇබ්බැහි වීමට ඇති සම්භාවිතාව අඩු බව ප්‍රචාරය වූ බැවින් ජර්මානු ඖෂධ නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් වන බේයර් සමාගම 1898 වසරේ දී හෙරොයින් යොදාගෙන නිෂ්පාදනය කළ ඇස්ප්‍රීන් ඖෂධයක් වෙළෙඳපොළට නිකුත් කර ඇත. එම ඖෂධය බොහෝ විට ලබා දුන්නේ උගුරේ අමාරුව, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළුණු කුඩා දරුවන් ට ය.

එය එකල කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් එම ඖෂධ ඇසුරුම්වල කුඩා දරුවන් ඉතා උනන්දුවෙන් හෙරොයින් සහිත ඇස්ප්‍රීන් වර්ගය භාවිත කරන අයුරු සහ මව්වරුන් හැන්දකින් දරුවන්ට එම ඖෂධය ලබා දෙන අයුරු පවා නිරූපණය කර තිබිණි. 1913 වසර වන තෙක් බේයර් සමාගම එම ඖෂධය වෙළෙඳපොළට නිකුත් කර තිබිණී. කෙසේ නමුත් පසුව බොහෝ රටවල් හෙරොයින් තහනම් මත්ද්‍රව්‍යයක් ලෙස නම් කළේ ය.

හෙරොයින් සහිත ඖෂධ පිළිබඳ වෙළෙඳ දැන්වීමක් – Bettmann- gettyimages.com

4. ලොබොටොමි සැත්කම්

විසිවැනි සියවසේ මුල් භාගයේ දී යුරෝපයේ බොහෝ රටවල මානසික පීඩනයෙන් පෙළුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි විය. ඒ සඳහා 19 වැනි සියවසේ අගභාගයේ සිට පරීක්ෂණ මට්ටමේ පැවති අතිශය භයානක ප්‍රතිකාර ක්‍රමයක් 20 වැනි සියවසේ මුල් භාගයේ දී යුරෝපා රටවල ප්‍රචලිත විය.
මෙම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ වූ මුල් කාලයේ දී සිදු කළේ රෝගියාගේ හිස් කබල දෙපසින් සිදුරු කර යම්කිසි මානසික පීඩන තත්ත්වයක් ඇති වීම සඳහා හේතු වූ බවට සැක කළ මොළයේ ග්‍රාහකයන් ඉවත් කිරීම යි. පසුකාලීන ව හිස්කබල සිදුරු කිරීම වෙනුවට අක්ෂි කුහර හරහා කූරක් වැනි යමක් ඇතුළු කොට මෙම ශල්‍යකර්මය සිදු කර තිබේ.

මෙම ප්‍රතිකාර ක්‍රමය ප්‍රචලිත කළ පුද්ගලයා වන වෝල්ටර් ෆ්‍රීමන්, ජේම්ස් වොට්ස් නම් තවත් අයකු සමඟ එක්ව 1936 වසරේ දී පළමු වරට සජීවී පුද්ගලයකුට මෙම ශල්‍යකර්මය සිදු කර ඇත. එලෙස ශල්‍යකර්මයට ලක් වූ කාන්තාව විෂාදය සහ නින්ද නොයාම යන මානසික සංකූලතාවලින් පෙළුණු අයෙකි. ඇයට සිදු කළ ශල්‍යකර්මය යම්තාක් දුරකට සාර්ථක බව පෙනී ගියත් පසුකාලීන ව සිදු කළ ශල්‍යකර්ම අසාර්ථක විය.

ලොබොටොමි ශල්‍යකර්මයක් සිදු කරන අයුරු – Bettmann- gettyimages.com

මෙම ශල්‍යකර්මයට ලක් වූ රෝගීන් සියලු දෙනා ම පාහේ සදාකාලිකව ආබාධිත වූයේ වෙනත් අයකුගේ උපකාර නොමැතිව කිසිදු කටයුත්තක් සිදු කරගත නොහැකි තත්ත්වයට පත් වෙමිනි. මෙම ප්‍රතිකාර ක්‍රමය නිසා එලෙස ආබාධිත තත්ත්වයට පත් වූ කැපීපෙනෙන අයකු ලෙස හිටපු අමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි ගේ සහෝදරිය වූ රෝස්මරී කෙනඩි හැඳින්විය හැකි ය. මේ වන විට මෙම ප්‍රතිකාර ක්‍රමය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

5. ලිංගික බෙලහීනතාවට විදුලිසැර යොදා ගෙන කළ ප්‍රතිකාර

ලිංගික බෙලහීනතාව ඇති වීම සඳහා බලපාන හේතු සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර සම්බන්ධයෙන් විවිධ මත තිබේ. අතීතයේ ප්‍රචලිත වූ එක් කරුණක් වන්නේ යම්කිසි පුද්ගලයකුගේ ‘මානසික’ දුර්වලතා ලිංගික බෙලහීනතාවට හේතු වන බව යි. 19 වැනි සියවසේ දී ප්‍රචලිත වූ තවත් මතයක් වන්නේ අධික ලෙස ලිංගික ක්‍රියාවන්හි නිරත වීම සහ ස්වයං වින්දනය හෝ ඉතා අඩු වශයෙන් ස්වයං වින්දනය ලිංගික බෙලහිනතාවට හේතු වන බව යි.

විදුලි බඳපටි පිළිබඳ දැන්වීමක්- www.wikipedia.org

 

1800 මුල් භාගයේ දී ලිංගික බෙලහීනතාවෙන් පෙළෙන පිරිමි පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා විදුලි සැර යොදා ගෙන තිබේ. ඒ අනුව ‘ගැල්වනික් බාත්’, එනම් විදුලි සැර සහිත නානතටාකවල ස්නානය කිරීමෙන් පිරිමින්ගේ ලිංගික බෙලහීනතාව සුව කළ හැකි බව වෛද්‍යවරුන්ගේ මතය විය. එම ප්‍රතිකාර ක්‍රමය ප්‍රචලිත කළ වෛද්‍යවරුන්ගේ මතය වූයේ සය වතාවක් ඒ ආකාරයට ස්නානය කිරීමෙන් පසු ලිංගික කැමැත්ත ඇති වන බව යි.

ඊට අමතර ව එකල ලිංගික බෙලහීනතාව සුව කිරීම සඳහා භාවිත කළ තවත් ප්‍රතිකාරයක් වනුයේ විදුලි සැර සහිත උපකරණයක් පිරිමින්ගේ ශිෂ්ණයට ඇතුළු කර විනාඩි 5-8 වැනි කාලයක් තැබීම ය. සතියකට හෝ දෙකකට වරක් එම විදුලිසැර සහිත උපකරණය භාවිතයෙන් ප්‍රතිකාර කිරීම සිදු කර ඇත. 1800 අවසාන භාගය වන විට විදුලි බඳ පටි හඳුන්වා දුන් අතර පිරිමින් ඒවා පැළඳීමෙන් ලිංගික බෙලහීනතාව සුව වන බව ප්‍රචලිත විය.

 

කවරයේ ඡායාරූපය- www.medicalnews.com

මූලාශ්‍ර:

www.history.com

www.medicalnews.com

www.mentalfloss.com

Related Articles