Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීඩියෝ ක්‍රීඩා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට හේතු වෙනවාද?

ශ්‍රී ලංකාවේ කලින්කලට සංවාදයන් ඇති වීම ඉස්සර ඉඳන්ම සිදු වුණු දෙයක්. හැබැයි දැන් අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල දියුණුව නිසා විවිධ සංවාද ඉතාම වේගයෙන් පැතිරී යන්නත්, දින කිහිපයක් ඇතුළත ඒක වෙනුවට අලුත් මාතෘකාවක් ඇවිත් කලින් එක යටපත් වෙලා යන්නත් පටන් අරන්. මේ වගේ සතියෙන් සතියට මාරු වෙන විවිධ මාතෘකා ගැන හැමෝම අදහස්, යෝජනා, ප්‍රති උත්තර ලබා දීම වගේ දේවල්වලට අපේ රටේ සමාජ මාධ්‍ය භාවිතයේ සැලකිය යුතු ඉඩකඩක් වෙන් වන බව දකින්න පුළුවන්.

කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. (srilankamirror.com)

මෑතකාලීනව කරළියට ආපු එවැනි කතාවක් තමයි වීඩියෝ ක්‍රීඩා (පරිගණක වගේම කොන්සෝල හා වෙනත් ඩිජිටල් උපාංගත් භාවිත වෙන නිසා පරිගණක ක්‍රීඩා කියා කීම ඒ තරම් උචිත නැහැ) සහ සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධයක් තියෙනවාද කියන එක.

ආරම්භක හේතුව සහ සමාන සිදු වීම්

මේ කතාව ආරම්භ වෙන්න ප්‍රධාන හේතුව වුණේ වීඩියෝ ක්‍රීඩාවක යෙදීමෙන් පරාජයට පත් තරුණයෙකු තමන්ගේ මිතුරාට උල් ආයුධයකින් ඇන තුවාල සිදු කිරීම යි. ඔවුන් දෙදෙනා මෙහි දී Call of Duty එකතුවට අයත් ක්‍රීඩාවක යෙදී ඇති බව යි පැවසෙන්නේ. වීඩියෝ ක්‍රීඩාව තුළ දී ඇති වන ආවේගශීලී බවත්, එයින් පැරදීම නිසා ඇති වූ මානසික පීඩාවත්, ඉන් පසුව ඇති වූ බහින් බස් වීම් ආදියත් මේ සිදු වීමට මුල් වෙන්නට ඇති බව කියවෙනවා.

බොහෝ රටවල විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අය වීඩියෝ ක්‍රීඩා කරන අය වීම ගැන තොරතුරු අහන්න දකින්න ලැබෙනවා. ඒ සිදුවීම් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා පළ වෙනකොටත් ඔවුන් වීඩියෝ ක්‍රීඩා කළ අය වීම ගැන විශේෂයෙන් සඳහන් වෙනවා දකින්න පුළුවන්.

විශේෂයෙන්ම ඇමරිකාවේ තුවක්කුවලින් වෙඩි තබා පුද්ගලයන් මරා දැමීමේ සම්භාවිතාව ඉතා ඉහළ යි. නව යොවුන් සහ තරුණ පුද්ගලයන් පාසල් හෝ වෙනත් පිරිස ගැවසෙන ස්ථානවලට තුවක්කු රැගෙන ගොස් වෙඩි තැබීම ගැන වාර්තා නිතර දකින්න ලැබෙනවා. ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රචණ්ඩ වීඩියෝ ක්‍රීඩාවල යෙදුණු අය බවටත් මාධ්‍ය තුළින් වාර්තා කෙරෙනවා.

ඇතැම් සාහසිකයන් වීඩියෝ ක්‍රීඩාවලින් ආභාෂය ලබා ගත් බව කියවෙනවා. (bustle.com)

ප්‍රචණ්ඩ වීඩියෝ ක්‍රීඩා කියන්නේ මොනවාද?

ප්‍රචණ්ඩත්වය කියන්නේ වීඩියෝ ක්‍රීඩාවලට අලුත් දෙයක් නෙවෙයි. මිනිසුන් සහ සතුන් මරා දැමීම, ඔවුන්ට තුවාල සිදු කිරීම, සාහසික, ප්‍රචණ්ඩ හා ආක්‍රමණශීලී ක්‍රියා සිදු කිරීම වගේ දේවල් බොහෝ වීඩියෝ ක්‍රීඩාවල දකින්න පුළුවන්. ඍජුවම ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන අවස්ථා, යම් අරමුණක් කරා යාමට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වන අවස්ථා, වගේම ආක්‍රමණශීලී බව වැදගත් වන අවස්ථා, බොහෝ වීඩියෝ ක්‍රීඩාවල බහුලව දකින්න ලැබෙනවා. වීඩියෝ ක්‍රීඩාවක යෙදීමේ වින්දනය උපරිමයෙන් ලබා ගැනීමටත්, අදාළ ක්‍රීඩාවේ වාණිජ වටිනාකමටත් මේවා ප්‍රධාන හේතුවක්.

මෑතක දී අපේ රටේ සිදු වූ මේ සිද්ධිය කතා බහට ලක් වුණු Call of Duty ක්‍රීඩා එකතුව තුළත් ඒ ලක්ෂණ දැක ගන්න පුළුවන්. Call of Duty ක්‍රීඩා එකතුව සැබෑ හෝ අනාගත යුද්ධ පාදක කරගත් එකක්. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය, යුද්ධයක දී මුහුණදීමට සිදු වන තත්ත්ව ඉතා හොඳින් ප්‍රතිනිර්මාණය කරන වීඩියෝ ක්‍රීඩා එකතුවක් විදිහට Call of Duty නම් දරා තිබෙනවා. මෙය තුළ සතුරු සොල්දාදුවන් ඝාතනයත්, එම අවස්ථාවන් නිවැරදිව ප්‍රතිනිර්මාණය කිරීමත් පැහැදිලිව දැක ගන්න පුළුවන්.

Call of Duty ක්‍රීඩා එකතුවේ කිසිදු ක්‍රීඩාවක් සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රචණ්ඩත්වය මත රඳා පවතිනවා කියා හඳුන්වන්න නම් අපහසු යි. සාමාන්‍ය යුද්ධයක දී වගේම යම් සටනකින් ජයග්‍රහණයක් ලබා ගැනීම තමයි එහි දී ප්‍රධාන අරමුණ වන්නේ. එයට හරස් වී සිටින සතුරන් (ඇතැම් විට තම ක්‍රීඩා සගයන් අතින් මෙහෙයවෙන අය) මරා දැමීම උපාය මාර්ගයක් මිස දරුණු විදිහට තව කෙනෙක් ඝාතනය කිරීම මෙම ක්‍රීඩා එකතුවේ ප්‍රධාන අරමුණක් වන්නේ නැහැ.

Call of Duty වැනි ක්‍රීඩාවල සතුරන් මරා දැමීම ක්‍රමෝපායයක් මිසක් ප්‍රධාන අරමුණ නෙවෙයි. (nocookie.net)

කෙසේ නමුත් එවැනි ක්‍රීඩා නම් ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම ද්වන්ද සටන් මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට ඉඩ සලසා තිබෙන ක්‍රීඩා දරුණු ක්‍රියා ඇති තරම් සිදු කරන්න ඉඩකඩක් සපයනවා. එතැනින් එහාට ගොස් ඍජුවම තව කෙනෙකුට වද දෙන, පීඩා, හිංසා හා සාහසික ක්‍රියා කරන ක්‍රීඩාත් දැක ගන්න පුළුවන්. මේවායින් ඇතැම් ඒවා නිල වශයෙන් අලෙවි කිරීම තහනම් වුවත් dark web එක තුළ බහුලව හුවමාරු වෙනවා.

වීඩියෝ ක්‍රීඩා හා ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධයක් ඇති බවට පවතින මතවාදයන්

වීඩියෝ ක්‍රීඩා අති බහුතරයක අඩු වැඩියෙන් තිබෙන ඉහත ලක්ෂණ කෙනෙකුගේ මනස විකෘති කර ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න හේතු වෙන බව මේ මතය දරන පිරිසේ අදහස යි. විශේෂයෙන්ම අද කාලේ වීඩියෝ රූප රාමු ඉතාම පැහැදිලි, සැබෑ ලෝකයේ තත්වයන්ට ඉතාම සමාන ඒවා නිසා එයට නිතර නිරාවරණය වීම එවන් දේ දැකීමට ඇති බිය අඩු කරන්නත්, සංවේදී බව මොට කරන්නත් (desensitise) හේතු වන බව කියවෙනවා.

නිතර වීඩියෝ ක්‍රීඩාවල යෙදීම සමාජ ආශ්‍රයට අහිතකර බව කියවෙනවා. (americaeconomia.com)

මීට අමතරව නිතර ආවේගශීලී වීම, නිතර ක්‍රීඩාවල යෙදීමෙන් සමාජශීලී බව අඩු වීම ආදිය සැබෑ ජීවිතයේ දී ආක්‍රමණශීලීත්වයට හේතු වන බවත් ඔවුන්ගේ අදහස යි. ඒ වගේම වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය පිටුපස පවතින අධික මුදල් බලය නිසා මේ ගැන කෙරෙන පර්යේෂණ සහ අධ්‍යයන ඔවුන්ට වාසි සහගත වන සේ වෙනස් කෙරෙන බවටත් අදහසක් තිබෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියාවලට පුහුණුවක් ලබා ගැනීමට මෙම ක්‍රීඩා භාවිතයට ගැනීමේ හැකියාවත් මොවුන් නගන තර්කයක්. 2001 දී ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය සැලසුම් කිරීමට වීඩියෝ ක්‍රීඩාවක් හරහා පුහුණුව ලබා ගැනීම මෙයට ඔවුන් දක්වන ප්‍රධාන සාක්ෂියක්.

වීඩියෝ ක්‍රීඩා හා ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධයක් නැති බවට පවතින මතවාදයන්

වීඩියෝ ක්‍රීඩා පැහැදිලිවම ප්‍රචණ්ඩත්වයට හේතු වන බවට කිසිදු පර්යේෂණාත්මක සාක්ෂියක් නොමැති වීම, මෙය ප්‍රතික්ෂේප කරන අය ගෙනහැර දක්වනවා. ලොව පුරා ප්‍රචණ්ඩත්වය අඩංගු වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන ගණන එක්ක සැලකීමේ දී එවන් තත්ත්වයක් තිබෙනවා නම් මීට වඩා අතිවිශාල ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් සිදු විය යුතු බවට ඔවුන් තර්ක කරනවා. වීඩියෝ ක්‍රීඩා පැමිණීමට කලින් වසර සිය ගණනක් පුරාවට ලෝකය පුරාම සාහසික ක්‍රියා නිතරම සිදු වුවත් අද වන විට සැබැවින්ම ඒවා ගණනින් අඩු වීමක් පැවතීමත් ඔවුන් දක්වන සාක්ෂියක්.

ටෙඩ් බන්ඩි වැනි සැබෑ සාහසිකයන් වීඩියෝ ක්‍රීඩාවලට පෙර සිටි අයයි. (kafanrahat.com)

වීඩියෝ ක්‍රීඩා නිසා ප්‍රචණ්ඩත්වය ඇති වීම වෙනුවට සාහසික ක්‍රීඩා තෝරා ගන්නෙත්, අනෙක් ක්‍රීඩාවල අනවශ්‍ය ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන්නේත් එවන් මානසික අසමතුලිතතාවක් පෙර සිටම පවතින අය බවත් මේ පිරිසේ අදහස යි. එසේම මාධ්‍ය තමන්ගේ පුවත්වල පැතිරීම වැඩි කරගන්න සැකකරුවන් වීඩියෝ ක්‍රීඩාවල යෙදී තිබීම උලුප්පා දක්වන බවත් ඔවුන් කියා සිටිනවා. විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වය විශාල ගැටළුවක් වී ඇති ඇමරිකාව වැනි රටවල ගිනි අවි පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව එයට සැබෑ හේතුව බවත්, වීඩියෝ ක්‍රීඩා එයට සම්බන්ධ කරන්නේ සැබෑ හේතුව වසන්නට ආයුධ සමාගම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට බවත් ඔවුන්ගේ තර්කය යි. සැබෑ ලෝකයේ දී තමන්ට එවැනි ප්‍රචණ්ඩ හැඟීම් ඇති වන බව පවසන්නේ වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන අයගෙන් අතිශයින්ම සුළු පිරිසක් වීමත්, නිතරම වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන පිරිස් අති බහුතරයක් කිසිදු ප්‍රචණ්ඩත්වයක් නැතිව දිවි ගෙවීමත් ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

ඇත්තම තත්ත්වය?

player.it

වීඩියෝ ක්‍රීඩා සහ ප්‍රචණ්ඩත්වය ගැන සංවාදයේ දී දෙපසටම පවතින තර්ක විතර්ක අනුව තමන්ගේම මතයක් ගොඩනගා ගන්න එක ඔබටම භාර කාරණාවක්. ඔබ දැනටමත් මේ ගැන යම් මතවාදයක් ගොඩ නගාගෙන තිබෙනවා නම් අනෙක් පසින් දක්වන තර්ක ගැන සලකා බලන්නත්, ඒ තුළින් කැමති නම් තමන්ගේ මතවාදයේ අඩු පාඩු සකස් කරගන්න හෝ වෙනස් කර ගන්නත් ඔබට මේ ලිපිය උදව්වක් වේවි.

යම් මතයක් ඔබ මත බලෙන් පැටවීමට වඩා දෙපැත්තම ගැන ඔබ වෙත විවරණය කිරීම මාධ්‍ය ආයතනයක් විදිහට අපේ වගකීමක් ලෙස Roar සලකනවා. සම්පූර්ණයෙන්ම යම් පැත්තක් ගැනීම, යම් පැත්තකට වඩා නැඹුරු වීම හෝ මධ්‍යස්ථ වීම ඔබටම භාර දෙයක්. බුද්ධිමත්ව සංවාදයේ යෙදීම, ශක්තිමත් මතවාදයක් ගොඩ නගා ගන්න විශාල උපකාරයක් වුවත් සමාජ මාධ්‍යවල එයට බාධා බොහොම යි. එයට මේ ක්‍රමයෙන් හෝ ඉඩ සලසන්න අපි උත්සාහ කරන්නේ ඒ නිසා යි.

කවරයේ රූපය : youtube.com

Related Articles