Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ නව අධිරාජයා ලෙස පත්වීමට නියමිත​ නරුහිතෝ කුමරු

මෙම වසරේ මැයි 1 වන දා ජපානයේ නව අධිරාජයෙක් පත් වනවා. ඔහු දැනට කිරුළ හිමි කුමරු වන 59 හැවිරිදි නරුහිතෝ යි. ඔහු අධිරාජ තනතුරට පත් වන්නේ ඔහුගේ පියා වන අකිහිතෝ අධිරාජයා සිහසුන අතහැරීම හේතුවෙන්. නරුහිතෝ කුමරු සාමාන්‍ය ජපන් කුමාරයකුට වඩා සාමාන්‍ය ජනතාවට සමීප අයෙකු ලෙස ප්‍රකට වුණා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමේ දී ඔක්ස්ෆර්ඩ් සරසවි දිවිය ගත කළේ එහි සාමාන්‍ය සිසුවකු අකාරයෙන්ම යි. ඔහුගේ පියා සිහසුන අත හැරීම ද ජපන් ඉතිහාසයේ විශේෂිත අවස්ථාවක් වනවා.

නරුහිතෝ කුමරු 59 හැවිරිදි වන අතර ඔහු ඉතිහාසඥයකු, ජල මාර්ගයන්හි ගමනාගමනය පිළිබඳ පර්යේෂකයකු, සහ ලේඛකයකු වනවා. එමෙන්ම ඔහු පරිසර ක්‍රියාකාරිකයකු ලෙස නමක් දිනාගෙන තිබෙනවා.

නරුහිතෝ කුමරු සහ ඔහුගේ බිරිඳ වන මසාකෝ කුමරිය රජ කුමර ජීවිතයෙහි වන පීඩනයන් සහ මානසික ආතතීන් පිළිබඳ ජනතාව ඉදිරියේ කළ ප්‍රකාශයන් හේතුවෙන් අධිරාජ පවුලේ එතෙක් සාමාන්‍ය ජනයා නොදුටු පැත්තක් විවර වූ බව සඳහන් කළ හැකියි.

පාරිසරික කරුණු පිළිබඳ විශාල අවධානයක් යොමු කරන නරුහිතෝ කුමරු සඳහන් කරන්නේ අධිරාජ පවුල ජනතාවට වඩා සමීප විය යුතු බව යි. ඔහු නිරන්තරයෙන් 2011 සුනාමියෙන් විනාශ වූ තොහොකු පළාතේ සංචාරය කරනවා.

මව සහ පියා

නරුහිතෝ කුමරු උපන්නේ එවකට කිරුළ හිමි අකිහිතෝ කුමරුගේ සහ මිචිකෝ කුමරියගේ පළමු දරුවා ලෙස 1960 පෙබරවාරි 23 වන දා යි. ඔහුගේ දෙමාපියන්ගේ විවාහය ජපන් රජ පවුලේ සම්ප්‍රදායන් බිඳ දමන්නක් වුණා. කතෝලික පවුලක හැදී වැඩුණ මිචිකෝ ෂෝදා උසස් පවුලක අයකු වූයේ නැහැ. සාමාන්‍ය කාන්තාවක විවාහ කරගැනීමෙන් අකිහිතෝ කුමරු වසර දහසකට වඩා පැරණි සම්ප්‍රදායක් බිඳ දැම්මා.

අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ අධිරාජිණිය (Reuters)

අකිහිතෝ කුමරු අධිරාජයා බවට පත් වූයේ 1989 ජනවාරි 7 වන දා සිදු වූ සිය පියා වූ හිරොහිතෝ අධිරාජයාගේ මරණින් පසුව යි. ඒ සමගම නරුහිතෝ කුමරු ජපානයේ කිරුළ හිමි කුමරුවා බවට පත් වුණා.

අධ්‍යාපනය

නරුහිතෝ කුමරුගේ ළමා කාලය ගෙවුණේ තෝකියෝවේ යි. ඔහු ගකුෂුයින් සරසවියෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබාගත්තා. ඉන්පසු ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුලත්ව තේම්ස් නදියේ ගමනාගමන ඉතිහාසය අධ්‍යයනය කළා. ජපන් කිරුළට ඍජු හිමිකමක් තිබුණු අයකු විදේශීය අධ්‍යාපනය ලැබූ මුල්ම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

නරුහිතෝ සාමාන්‍ය සිසුවකු ලෙස ඔක්ස්ෆර්ඩ්හි ජීවත් වුණා. එකළ ඔහු විවිධ අකරතැබ්බයන්ට ද මුහුණ දුන් බව සඳහන්. වරෙක රෙදි සේදීමට ගොස් ඔහුගේ කාමරයෙහි කුඩා ජලගැල්මක් නිර්මාණය කරගැනීම එවැන්නක්. ඔහු ඔක්ස්ෆර්ඩ් සිටි සමයේ බ්‍රිතාන්‍යයේ මෙන්ම යුරෝපයේ අන් ප්‍රදේශයන්හි ද සංචාරය කළා. ඔහුගේ අත්දැකීම් අළලා නරුහිතෝ කුමරු 1993 දී පොතක් ද පළ කළා. තම ජීවිතයේ සතුටුදායකම කාලය මෙය වූ බව යි නරුහිතෝ කුමරු සඳහන් කරන්නේ.

විවාහය සහ ගැටළු

නැවත වැඩිදුර අධ්‍යාපනය සඳහා ගකුෂුයින් සරසවියට ඇතුල් වූ නරුහිතෝ කුමරුට එහිදී ඔක්ස්ෆර්ඩ් සහ හාවර්ඩ් සරසවිවල අධ්‍යාපනය ලැබූ, තානාපති නිලධාරිණියක වීමට සිහින දුටු මසාකෝ ඔවාදා මුණගැසුණා. නරුහිතෝ ඇයට විවාහ යෝජනා කළත් ඇය මුලින් ඒවා ප්‍රතික්ෂේප කළේ ඇගේ තානාපති සිහිනය බිඳ දමාගැනීමට අකමැති වූ නිසා යි. එහෙත් අවසානයේ දී ඇය ඊට එකඟ වුණා. ඒ 1992 දෙසැම්බරයේ දී. 1993 දී ඔවුන් විවාහ වුණා.

කලක් යනතුරු ඔවුනට දරුවන් සිටියේ නැහැ. මසාකෝ කුමරිය වෙත සිහසුනට හිමි කුමාරයකු බිහි කිරීම සඳහා දැඩි පීඩනයක් එල්ල වුණා. 1999 දී ඇය ගැබ් ගත් නමුත් එම කළලය ගබ්සා වුණා. නරුහිතෝ සහ මසාකෝ යුවළ මේ පිළිබඳ මාධ්‍යවලට චෝදනා කළේ මාධ්‍ය විසින් මසාකෝව අනවශ්‍ය ලෙස පීඩනයට පත් කළ බව පවසමින්. තත්ත්වය කෙතරම් දරුණු වුණා ද කිවහොත් ඇතැම් රූපවාහිනී සමාගම් මසාකෝ කුමරිය රෝහලට යන අවස්ථාවන්හි දී, ඇයගේ වාහනය නිරීක්ෂණය කිරීමට හෙලිකොප්ටර් පවා යෙදවූවා.

මෙම සිද්ධියෙන් පසු මසාකෝ කුමරිය වැඩිපුර මහජනයා අතර පෙනී සිටියේ නැහැ. ඇය මානසික ආතතියට සහ විෂාද තත්ත්වයට ද පත් වූ බව ඉන්පසු වාර්තා වුණා. ඊට හේතුව ලෙස පැවසුණේ ගබ්සා වීම සමග ඇති වූ තත්ත්වය යි.

නරුහිතෝ කුමරු සහ මසාකෝ කුමරිය අයිකෝ කුමරිය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව යන අවස්ථාව (The Japan Times)

2001 දී මෙම යුවළට අයිකෝ නම් දියණියක් ලැබුණා. එහෙත් කුමාරයකුගේ අවශ්‍යතාව තවමත් තිබුණේ ජපන් කිරුළ කාන්තාවකට හිමි වීම සඳහා නීති තවම නිර්මාණය වී නැති හෙයින් (අතීතයේ ජපන් අධිරාජිණියන් කිහිප දෙනකු පිළිබඳ ඉතිහාසයේ සඳහන් වනවා). මේ අවස්ථාවේ ජපන් රජය රාජකීය යුවළගේ සහායට පැමිණියා. ඒ අනුව කාන්තාවකට වුව ද සිහසුන සඳහා උරුම කිව හැකි ලෙස නීති වෙනස් කිරීමේ කතාබාහක් ඇතිවුණා.

ගකුෂුයින් උසස් බාලිකා පාසැලට අයිකෝ කුමරිය ඇතුලත් වූ දින (Reuters)

නමුත් 2006 දී නරුහිතෝගේ බාල සොයුරු ෆුමිහිතෝ කුමරු සහ ඔහුගේ බිරිඳ වන කිකෝ කුමරියට​ පුතකු ලැබීමත් සමග නරුහිතෝ සහ මසාකෝ වෙත වූ පීඩනය අඩු වුණ​. එමෙන්ම කාන්තාවන්ට සිහසුන උරුම කර දෙන නීති සැකසීමේ කතිකාවත ද යටපත් වුණා.

සිහසුනට පත් වීම

වසර කිහිපයක සිට අකිහිතෝ අධිරාජයා සිහසුන අතහැරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් සිටියා. ඒ අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන්. මේ පිළිබඳ ජනතාව අතර ඒකමතිකත්වයක් වූයේ නැහැ. ඇතැමුන් කියා සිටියේ අධිරාජයාට සිහසුන අතහැරීමේ අයිතියක් නොමැති බව යි. කෙසේ නමුත් අවසානයේ දී අධිරාජයාගේ කැමැත්ත අනුව ඔහු සිහසුන අතහරින බව තීරණය කෙරුණා.

අප්‍රේල් 30 වන දා ඔහු සිහසුනෙන් ඉවත් වන් අතර මැයි 1 වන දා නරුහිතෝ කුමරු අධිරාජයා බවට පත් වනවා. නමුත් සිංහාසනාරූඪ වීමේ උළෙල පැවැත්වෙනු ඇත්තේ ඔක්තෝබර් 22 වන දා යි.

ජපානය රටවල් 195කට මෙම උත්සව සඳහා ආරාධනා කරන බව සඳහන් වුණා. ජපන් ජනයාට අප්‍රේල් 29 වන දා සිට මැයි 6 දක්වා නිවාඩුවක් ද ලබා දී තිබෙනවා.

Cover Image: නරුහිතෝ කුමරු (AFP)

Related Articles