කුරුඳුමලේ, නැත්නම් කුරුන්දන්මලේ කියන්නේ අනුරාධපුර යුගයේ පැවති විශාල පබ්බත විහාර සංකීර්ණයක්. මුලතිව්වලට ආසන්නව උතුරු පළාතේ පිහිටි මේ නටබුන් බිමේ කැණීම් පසුගිය දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළා. නමුත් උතුරේ ඇතැම් දේශපාලනඥයන් එම කැණීම්වලට එරෙහිව විරෝධතා පළ කරමින් සිටිනවා.
පිහිටා තිබෙන්නේ කොහේ ද?
මුලතිව් නගරයේ සිට බී297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කි. මී. 12ක් ගමන්කර, එතැනින් තුමුලමුනේ දෙසට තවත් කි. මී. 13ක් ගමන්කරන විට කුරුඳුමලේ නටබුන් ස්ථානය පිහිටි වනගත පෙදෙසට ළඟාවිය හැකියි. මෙය මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු වසමේ නාගචෝලේ රක්ෂිත වනයට අයත්. පසුගිය යුද්ධය පැවති කාලයේ කොටි අණසක පැවති මේ අවට වනගතව පුරාණ බෞද්ධ නටබුන් රාශියක් පැතිර තිබෙනවා.
මෙම පුරාවිද්‍යා බිම මුලින්ම පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කළේ සුද්දන්ගේ කාලයේ දී යි. වර්ෂ 1933 මැයි 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අක්කර 78ක භූමි කොටසක් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණා. නමුත් කවදාවත් මෙහි පුරාවිද්‍යා කැණීම් කර නැහැ. මේ කඳුගැටය පාමුල කුරුන්දි වැව පිහිටි අතර, එයට නුදුරින් තවත් නටබුන් විහාරයක් වනගතව පවතිනවා. මෙහි සිට මුහුදු වෙරළට එතරම් දුරක් නැහැ. එල්ලාවල මේධානන්ද හිමි දශක කිහිපයකට පෙර මෙම ස්ථානය ගවේශනය කර වාර්තා කර වාර්තා කර තිබෙනවා.
නැතිවූ සෙල්ලිපිය
පසුගිය 2020 අවුරුද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වනගත විහාරය ආශ්රිත සෙල්ලිපියක් ගැන භික්ෂූන්වහන්සේ දැනුම්දුන්නා. අපි ඒ අනුව කුරුඳුමලේ ගවේශනයක් කළා. මේ සෙල්ලිපිය මෙයට පෙර කියවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක 2057 යටතේ ලියාපදිංචි කළ එකක්. ඒ 1949 දී. ඒ කාලේ පේළි 19ක ලිපියක් වශයෙන් කොටස් තුනකට කැඩුණු ගල් පුවරුවක් ලැබී තිබුණු බව පැරණි වාර්තාවල සඳහන්. අපි ගිහින් බලන විට දැන් කෑලි 6කට කැඩී ගිහින්. එයට යටින් පොළොවේ තවත් සෙල්ලිපි කැබලි හමුවෙනවා. ඒවා වෙනත් ලිපියක ද කියන සැකයක් මතුවෙනවා. ඒවා පිටපත් කරගෙන තිබෙන්නේ. ඉදිරි සති කීපය ඇතුළත කියවා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නාණක විද්‍යා අධ්යක්ෂ නාමල් කොඩිතුවක්කු එසේ සඳහන් කරනවා.
පසුගිය දෙසැම්බර් 2 දා වව්නියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කුරුන්දි වැවට පහළින් ඇති ප්‍රදේශය ගවේෂණය කිරීමේ දී මෙම සෙල්ලිපි හමුව තිබෙනවා. 1933 දී සවිකළ පැරණි මායිම් කණු වර්ෂ 87කට පසු සොයාගැනීමේ කාර්යය ද පසුගියදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. එහිදී අනාවරණය වූයේ සුද්දන්ගේ කාලේ සිටවූ මායිම්ගල්වලින් 90ක්ම වනය තුළ ආරක්ෂා වී පවතින බව යි.
මේ ස්ථානය ගැන මෑත අතීතයේ මුලින්ම සඳහන් වන්නේ 1905 පුරාවිද්‍යා පාලන වාර්තාවේ යි. දාගැබක්, විහාරයක්, වටදාගෙයක්, සහ ගල්කණු පිහිටි බව එහි සඳහන් වෙනවා. කුරුන්දාවශෝක විහාරයේ පිහිටි සෙල්ලිපියක් ගැනත් ඒ වාර්තාවේ දැක්වෙනවා. එම සෙල්ලිපිය තුන්වැනි මහින්ද රජුගේ කාලයට අයත්යැ යි පැවසෙන අතර ජලය පිළිබඳ ආරාවුලක් විසඳීමට රජු එහි ගිය බවත් ඒ ප්‍රදේශය කුරන්ගම ලෙසින් හැඳින්වූ බවත් සඳහන් වෙනවා. මහින්ද රජු සිය බිසව හා දියණිය සමග පැමිණි සෙල්ලිපිය කරවා තිබෙනවා.
1949 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අනෙක් සෙල්ලිපිය අනුරාධපුර යුගයේ අවසන් කාලයට අයත් හයවැනි උදය (946-954) රජුගේ යි. අභයගිරි ආරාමයට අයත් සිරිසඟබෝ නම් රජමහා විහාරයක් සම්බන්ධයෙන් ඊට කළයුතු පුද සිරිත් ගැන එහි සඳහන්ව තිබෙනවා. භික්ෂූන්වහන්සේගේ එකඟත්වයෙන් තුන් නිකාය සමගි කිරීම සම්බන්ධව කතිකාවතක්, අභයගිරි විහාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් මෙම ස්ථානයේ තිබූ පධානඝරය, පිළිමගෙයට දෙන ලද දීමනා, වතාවත්, පුද සිරිත් පිළිබඳ එහි ඇතුළත්ව තිබූ බව සඳහන් කර තිබෙනවා. සෙල්ලිපියේ ඉතිරි කොටස සොයාගැනීමට හැකියාව ලැබුණේ නම් දිවයිනේ ඊසාන දිග රාජ්‍ය පාලනය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවන බවත් 1949 පාලන වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
පසුගිය දා වව්නියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ගවේශන කණ්ඩායම විසින් සොයා ගත්තේ එම සෙල්ලිපියේ ඉතිරි කොටස බවට තමයි සැක කරන්නේ.
නටබුන් බිම
මෙහි නටබුන් පැතිර තිබෙන්නේ කඳුගැටයක් ආශ්‍රිතව යි. එය මළු තුනක් වශයෙන් සකසා තිබෙනවා. ඉහළම මළුවේ නටබුන් රාශියක් දැකගත හැකියි. දාගැබක නටබුන්, ප්‍රාකාර බැමි, ගල් කුලුණු, සඳකඩ පහණ, කැටයම් කළ ගල් උළුවහු ඒ අතර වෙනවා. මෙම කන්ද පුරාණයේ පියන්කල්ලු නමින් ද හඳුන්වා තිබෙනවා. කන්ද විශාලත්වයෙන් අක්කර 100කට වඩා වැඩියි. කඳු මුදුනේ ඕවලාකාර තැනිතලාවක් පිහිටි අතර කැණීම් කරන දාගැබ එහි දැකගත හැකියි.
2 වැනි පරාක්‍රමබාහු (1236 -1270) විසින් විනාශ කරන ලද කාලිංගමාඝගේ කඳවුරක් කුරුන්දියෙහි පිහිටි බව මූලාශ්රවල දැක්වෙනවා. ඛල්ලාටනාග රජු (100-103) කුරුන්දාවශෝක නම් විහාරය කරවා තිබෙනවා. 1 වැනි අග්බෝ රජු (571-604) කුරුන්ද නම් විහාරයක් කරවා කුරුන්දවාපි නම් වැවක් ද කරවූ බව මූලාශ්‍ර සඳහන් කරනවා. 1 වැනි විජයබාහු (1055-1110) රජු කුරුඳු විහාරය ප්‍රතිසංස්කරණය කරවා තිබෙනවා.
මේ සියලු මූලාශ්‍ර පවසන්නේ අද මිනිස් පුළුටකින් තොරව වනගතව පැවතිය ද, මේ විහාරය එකල ප්‍රකට පුදබිමක් වශයෙන් පැවති බවයි. පාලි අට්ඨකතා රචනා කළේ මිහිඳු හිමියන් පැමිණි දේවානම්පියතිස්ස රජ කාලයේ යි. ඒ යුගයේ සිටම කුරුන්ද නාමය සඳහන් වීමෙන් එහි පෞරාණිකත්වය හෙළිවෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට මේ අවට දියුණු කෘෂිකාර්මික පෙදෙසක් බවත් බෞද්ධයන් බහුලව පදිංචිව සිටි බවත් පැහැදිලියි.
දේශපාලනඥ විරෝධය
වර්ෂ 2018 දී ගවේශන කටයුත්තක් සඳහා පුරාවිද්‍යා නිලධාරීන් කුරුන්ද විහාරයට ගිය ද, ඔවුන්ට අතරමඟදී හැරී ඒමට සිදුවූයේ ටී. එන්. ඒ. පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්වේ ගවේශනය ගැන ප්‍රදේශයේ පොලීසි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර තිබුණත්, එය කිරීමට හැකිවුණේ නැහැ.
පසුගිය 2021 ජනවාරි 18දා කුරුන්දිමලෙයි විහාරබිමේ කැණීම් කටයුතු ආරම්භ කළා. එම අවස්ථාවට පුරාවිද්‍යා අධයක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සමග ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්රමනායකත් පැමිණියා. වනගත විහාරස්ථානයේ කැණීම් කටයුතු ආරම්බ වන බව දැනගත් දෙමළ ජාතික සන්ධානයේ සහ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් අදාළ ස්ථානයට තම විරුද්ධත්වය පළ කර, පසුව මුලතිව් ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් ද පවත්වා තිබෙනවා. මේ වනවිට යුද හමුදාවේ 59 වැනි සේනාංකයේ ආරක්ෂාව මධ්‍යයේ මුලතිව් කුරුන්දිමලෙයි විහාරාසන්න ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුවෙනවා.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ගේ අදහස:
මුලතිව්හි කුරින්දිමලේ කැණීම්වලට එරෙහිව නැගෙන විරෝධය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය පෙබරවාරි 6 දා මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහි දී අදහස් දක්වමින් පුරාවිදයා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසුවේ පුරාවිද්‍යාඥයන් ලෙස කුරුන්දිමලේ දිහා බලන්නෙත් මුන්නේස්වරම දිහා බලන්නෙත් එක විදිහට බව යි. ඔහු වැඩිදුරටක් මෙසේ පැවසුවා:
අප විද්‍යාත්මකව සොයා බලා තීරණ දෙනවා. අතීතයේ සිට මේ ස්ථානය බෞද්ධ විහාරස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. දකුණේ තිබෙන කෝවිල්වලට යුද්ධය පැවැති කාලයේවත් කවුරුවත් හානි කළේ නැහැ. නමුත් අවාසනාවකට උතුරු- නැගෙනහිර පුරා විද්‍යා ස්ථානවලට හානි සිදුවෙලා. අප ඒවා පිළිසකර කරන්න ඕනෙ. අප නටබුන් ආරක්ෂා කරන්නෙ අපේ රටේ අභිමානය ආරක්ෂා කරන්න. මෙය පබ්බත විහාර වර්ගයට අයත් ආරාමයක් බවත් දැනට පෙනී යනවා.
නටබුන් දාගැබ
මෙම දාගැබ අනුරාධපුර යුගයේ පළමු සහ දෙවැනි සියවස්වලට අයත් බවට සැක පහළ කරනවා. මෙහි ඉදිකිරීම් සඳහා කළුගල් මෙන්ම කබොක් ගල් ද යොදාගෙන තිබෙනවා. මුල් කාලීන දාගැබ්වල ගර්භයේ ඉහළින් සවිකර තිබූ යූපගලත් කැණීම්වලින් මතු කරගෙන තිබෙනවා. මෙම ස්ථූපයේ උස දළ වශයෙන් මළුවේ සිට මීටර් 6.70ක් පමණ වන අතර මේ වනවිට මීටර් 3ක උසකට දළ වශයෙන් මතුකරගෙන තිබෙනවා.
පැරණි ස්තූපවල පිහිටි “යූපස්ථම්භය” කියන්නේ ස්තූප ගර්භයෙන් ආරම්භව සිරස්ව, සතරැස් කොටුව හරහා උඩට නෙරා පැවති වු ශෛලමය කුලුනක්. අනුරාධපුර යුගයේ මැද භාගයෙන් පසුව ඒ වෙනුවට හතරැස් කොටුව සහ කොත් කැරැල්ල පිවිසියා.
කුරුඳුගමු රට
අට්ඨ කථාවල කුරුන්දක නමින් ගමක් ගැන කිහිප වතාවක්ම සඳහන් වෙනවා. කුරුඳුගමු රට ලෙස කඩයිම් පොත්වල සඳහන් වන්නේ මේ පෙදෙස විය හැකියි. පූජාවලිය සහ නිකාය සංග්‍රහය සඳහන් කරන්නේ කුරුඳු රටට සමීපව පදී රට පිහිටි බව යි. පදී රට යනු වර්තමාන පදවිය යි. පාලි අට්ඨකතාවක් වන කුරුන්දඅට්ඨකතාව රචනා කරන ලද්දේ කුරුන්දාවශෝක විහාරයේ සිට බව සැලකෙනවා. එසේ වී නම් ක්‍රි. පූ. යුගයේ දී මෙම ප්‍රදේශය ජනපදයක්ව දියුණුව පැවති බවත් සිංහල බෞද්ධයන් මෙහි විසූ බවත් පැහැදිලියි. මෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියගණනක් වැඩ සිටි බවටද සාධකවලින් පෙනෙනවා.
රාජකීය අනුග්‍රහය
2 වැනි පරාක්‍රමබාහු (1236 -1270) විසින් විනාශ කරන ලද කාලිංගමාඝගේ කඳවුරක් කුරුන්දියෙහි පිහිටි බව මූලාශ්රවල දැක්වෙනවා. ඛල්ලාටනාග රජු (100-103) කුරුන්දාවශෝක නම් විහාරය කරවූවා. 1 වැනි අග්බෝ රජු (571-604) කුරුන්ද නම් විහාරයක් කරවා කුරුන්දවාපි නම් වැවක් ද කරවා තිබෙනවා. 1 වැනි විජයබාහු (1055-1110) රජු කුරුඳු විහාරය ප්‍රතිසංස්කරණය කරවා තිබෙනවා. පොළොන්නරු යුගයෙන් පසු මෙම ස්ථානය ගැන කිසිම මූලාශ්‍රයක සඳහන් වන්නේ නැහැ.