Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙගා පොලිස් : බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද? පළමුවන කොටස

මෙගා පොලිස් ව්‍යාපෘතිය ගැන විවිධ අය විවිධ මත දරනවා. අලුතෙන් පත් වුණු යහපාලන ආණ්ඩුවේ ප්‍රධානම සංවර්ධන වැඩපිළිවෙල තමයි බස්නාහිර පළාත ආශ්‍රිතව කෙරෙන මෙගා පොලිස් ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය ලංකාවේ බස්නාහිර පළාත විශාල සංවර්ධනයකට ලක් කරලා සමාජ ආර්ථික වශයෙන් ඉතා දියුණු තත්වයකට පරිවර්තනය කරන්න දරන වැඩපිළිවෙලක්. කවුරු අතරත් ජනප්‍රිය කතාවක් තමයි සිංගප්පුරුව දියුණු වුණේ ලංකාව දිහා බලාගෙන කියන එක. ඉතින් මේ මෙගා පොලිස් ව්‍යාපෘතිය හරහා ලංකාව සිංගප්පුරුවත් අභිබවා දියුණු කරන්නත් උත්සාහයක් තියෙනවා කියල තමයි කියන්නේ.

ඒත් මේ තරම් දැවැන්ත කාර්යයක් කරන්න බලයේ ඉන්න පිරිස සැලසුම් කරන්නේ මොන විදිහටද කියන එක ගැන වැඩි දෙනාට අවබෝධයක් නැහැ. ඉතින් Roar එකේ අපි තීරණය කළා මේ ගැන කරුණු හොයා බලන්න. ඒ අනුව මේ මෙගා පොලිස් ව්‍යාපෘතියේ සැලසුම මොන වගේද, ඒක ප්‍රයෝගිකයිද, ප්‍රයෝජනවත් දෙයක්ද කියන කාරණා වගේම මේ වැඩපිළිවෙල කියන විදිහටම ක්‍රියාත්මක වුණොත් ඒකෙන් අපේ රටේ පරිසරයට වෙන බලපෑම මොන වගේද කියන එක ගැනත් විශ්ලේෂණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව විවිධ මුලාශ්‍ර වලින් ලබා ගත්, කාටත් දැන ගන්න පුළුවන් තොරතුරු ඇසුරෙන් මේ ගැන ගැඹුරු විග්‍රහයක් කෙරෙන ලිපි පෙළක් ඉදිරි සති කිහිපයේදී පළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තමයි ඒ ලිපි පෙළේ පළමු වෙනි කොටස.

මුලින්ම අවධානය යොමු කරමු මෙගා පොලිස් කියන්නේ මොකක්ද කියන එකට.

මෙගා පොලිස් ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද?

මෙගා පොලිස් ව්‍යාපෘතිය : ලංකාව ඉහළ ආදායම් ඇති සංවර්ධිත රටක් වෙන්න තියන මූලික පියවර මේකද? රූපය : megapolis.gov.lk

මෙගා පොලිස් ව්‍යාපෘතිය : ලංකාව ඉහළ ආදායම් ඇති සංවර්ධිත රටක් වෙන්න තියන මූලික පියවර මේකද? රූපය : megapolis.gov.lk

බස්නාහිර මෙගා පොලිස් ව්‍යාපෘතිය කියන්නේ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන, සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණෙන් යුතුව රජය විසින් ඇති කරගත් අභියෝගාත්මක අරමුණක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ තත්වය ලඟා කර ගන්න තියෙන මූලික යාන්ත්‍රණය තමයි බස්නාහිර පළාතේ භූමිය භාවිත කිරීම නිසි සැලසුමක් සහිත ක්‍රමවේදයකට පරිවර්තනය කරන එක. මේ හරහා රටේ සම්පූර්ණ ආර්ථිකයම ව්‍යුහාත්මක පරිවර්තනයකට ලක් කරන්න රජය බලාපොරොත්තු වෙනවා.

මෙහෙම කිව්වට වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා සරල භාෂාවෙන් කිව්වොත් මේකෙන් උත්සාහ කරන්නේ බස්නාහිර පළාතේ ආර්ථික කටයුතු වලට දායක වෙන හැම දෙයක්ම යම් සැලසුමකට අනුව ප්‍රතිස්ථානගත කරලා, ප්‍රතිව්‍යුහගත කරලා, මුල සිටම ගොඩනගන එකයි. එහෙම කරලා හැම සම්පතකින්ම උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වුණාම රටේ හැම කෙනෙක්ටම ප්‍රතිලාභ ලබන්න පුළුවන් විදිහට ජාතික ආදායම ඉහළ නංවා ගන්නයි මේකෙන් උත්සාහ කරන්නේ.

#අරමුණු

මෙගා පොලිස් අමාත්‍යාංශයෙන්, එහෙමත් නැතිනම් “ශ්‍රී ලංකා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන්” එලි දක්වපු විස්තරාත්මක වාර්තාවට අනුව මේ ව්‍යාපෘතියෙන් ලඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු 3ක් තියෙනවා.

  1. නිසි සැලසුමකින් තොරව සිදු වුණු නාගරීකරණය නිසා පරිසරය මතත්, නාගරික සේවා සහ පහසුකම් මතත්, ප්‍රදේශයේ භෞතික යටිතල පහසුකම් මතත් ඇති වී තිබෙන තදබදය හා පීඩනය නිසා හට ගන්නා ගැටළු වලට පිළියම් සෙවීම.
  2. ලංකාවේ ආර්ථික ව්‍යුහයේත්, භෞතික හා ආයතනික ව්‍යුහයේත් පරිවර්තනයක් හා සංවර්ධනයක් සිදු කිරීම තුලින් සම්පිණ්ඩනාත්මක පිරිමැසුම් උත්තෝලනය කර ගැනීම හරහා මධ්‍යම ආදායම් තුළ සිර වීමෙන් මිදී ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් යන තත්වය කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම.
  3. “ස්මාට් නගර” වල ආගමනය, “නව කර්මාන්ත විප්ලවය” වැනි නවමු සංකල්පයන් ඇතුළත් වන දැනුම පාදක කරගත්, නව්‍යෝත්පාදනය ඔස්සේ වර්ධනය වන ගෝලීය ආර්ථික පරිසරයෙන් නිසි ප්‍රතිලාභ ලබා ගැනීම.

“සම්පිණ්ඩනාත්මක පිරිමැසුම් උත්තෝලනය කර ගැනීම” කියන්නේ මොකක්ද කියන එක වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැතිව ඇති. ඒකෙ සරල අදහස ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස් එක ළඟ පිහිටුවීමෙන් ප්‍රවාහනයට වැය වන මුදල් හා කාලය අවම වීම නිසා විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වීම කියන එකයි. මෙගා පොලිස් ව්‍යාපෘතිය මගින් මේ වගේ නිවාස සහ ව්‍යාපාර එකිනෙකට ඉතා ලඟින් තියෙන කර්මාන්ත පුරයන් ගණනාවක් ඇති වෙන්න නියමිතයි. අනිත් දේවල් නම් වැඩි දෙනෙක්ට තේරෙන්න ඇති.

SWOT විශ්ලේෂණය

කොළඹ වරාය පිහිටලා තියෙන ස්ථානය උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් නිසා ඒක ලොකු ශක්තියක්. රූපය : hikenow.net

කොළඹ වරාය පිහිටලා තියෙන ස්ථානය උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් නිසා ඒක ලොකු ශක්තියක්. රූපය : hikenow.net

මේ මෙගා පොලිස් ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තාවේ බස්නාහිර පළාතේ වර්තමාන තත්වය පිළිබඳව SWOT විශ්ලේෂණයක්, නැතිනම් ශක්තීන්, දුර්වලතා, අවස්ථා හා තර්ජන පිළිබඳ විශ්ලේෂණයක් දක්වලා තියෙනවා. මේ එක් එක් කාරණා හඳුනා ගෙන තියෙන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම භාරව ඉන්න නිලධාරීන් විසිනුයි. ප්‍රධාන කරුණු පහතින් දක්වලා තියෙනවා.

ශක්තීන්

  • ආරක්‍ෂිත බව හා පහසුවෙන් එහා මෙහා යාමට හැකි වීම. (තරණය කරන්න අපහසු කඳු, වගුරු හා වෙනත් බාධක අවමයි.)
  • නැව් හා ගුවන් මගින් භාණ්ඩ හා සේවා සැපයීමට උපායමාර්ගිකව වැදගත් ස්ථානයක් වීම.
  • 24/7 විදුලි සැපයුම. (ඉඳ හිට බිඳ වැටෙන්නෙත් නැත්තෙම නෑ)
  • සැලකිය යුතු ප්‍රමාණයකට සන්නිවේදන ක්‍රම පැතිරී තිබීම. (වේගවත් අන්තර්ජාල පහසුකම් ඇතුලත්ව)
  • සංවර්ධනය කළ හැකි භූමි ප්‍රදේශ පැවතීම.
  • කෘෂිකර්මාන්තය විවිධාංගීකරණය වී තිබීම.

දුර්වලතා

  • අක්‍රමවත් භූමි සංවර්ධනය.
  • පොදු ගමනාගමන සේවා වල අකාර්යක්ෂමතාව.
  • මාර්ග රථ වාහන වලින් පිරී පැවතීම.
  • පුහුණු ශ්‍රමිකයන් හිඟ වීම/ බුද්ධි ගලනය.
  • කාලයෙන් කාලයට ජල ගැලීම් ඇති වීම.
  • පරිසර දුෂණය.

අවස්ථා

  • තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (BPO).
  • කොළඹ නගර ප්‍රදේශය වැදගත් නාවික හා ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි වීම.
  • දැනමත් යෝජිත ගුවන් නගරයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අවට පැවතීම.
  • අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථාන බිහි කළ හැකි වීම.

තර්ජන

  • ඉන්දියාවේ අලුතෙන් සෑදෙන වරායන්.
  • අසල්වැසි රටවල් සමග ඇති තරඟය.
  • වයෝවෘද්ධ ජන ප්‍රතිශතය ඉහළ යාම.
  • ජාතික තලයේ ප්‍රතිපත්ති සැකසීම, ආයතනීකරණය හා බුද්ධිමණ්ඩලය පිළිබඳව නීතිමය වශයෙන් සකස් කෙරුණු ක්‍රමවේදයක් නොතිබීම.
  • දේශපාලනීකරණය වූ සංවර්ධන ක්‍රියාදාමයන්.

මේ වාර්තාවෙන් මෙගා පොලිස් අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික්කය හඳුනාගෙන තියෙන්නේ විවිධාකාර අංශයන්හි රැකියා කරන කඩිසර, බහු ආගමික, බහු වාර්ගික ජනයා මිලියන භාගයක් වාසය කරන මහා නගරයක් විදිහටයි. අමාත්‍යාංශයට අනුව පසුගිය වසර ගණනාවකදී බස්නාහිර පළාතේ සිදු වුණු වේගවත් වර්ධනය ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රගතිශීලී බවට ගැන හොඳ උදාහරණයක්. කොහොම වුණත් මේ වර්ධනය නිසා ඇති වුණු ප්‍රශ්නත් අමතක කරන්න බෑ. නාගරික හා පරිසර ගැටළු ගණනාවක් වගේම දිගු රථ වාහන පෝලිම්, කුණු කඳු සහ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස සැලකිය යුතු ප්‍රමාණයක් සිටීම වගේ ගැටළු බොහොමයක් තියෙන බව හඳුනාගෙන තියෙනවා. මෙගා පොලිස් ව්‍යාපෘතිය මගින් මේ ගැටළු වලට පිළියම් සොයන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන ඉස්සරහට තමයි බලා ගන්න වෙන්නේ.

ප්‍රක්ෂේපිත වර්ධනය

කොළඹ අහස් රේඛාවේ (skyline) ලොකු පරිවර්තනයක් සිදු වෙන්න නියමිතයි. ඒ වගේම බස්නාහිර පළාතේ දළ ප්‍රාදේශීය නිෂ්පාදනය 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 230කට වඩා වැඩි වෙන බවට පෙරැයීම් කෙරෙනවා. රූපය : shanthi-lanka.com

කොළඹ අහස් රේඛාවේ (skyline) ලොකු පරිවර්තනයක් සිදු වෙන්න නියමිතයි. ඒ වගේම බස්නාහිර පළාතේ දළ ප්‍රාදේශීය නිෂ්පාදනය 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 230කට වඩා වැඩි වෙන බවට පෙරැයීම් කෙරෙනවා. රූපය : shanthi-lanka.com

ශ්‍රී ලංකාව ලබා ගත් ඉහළ වර්ධන වේගයත් එක්ක බැලුවාම වගේම බස්නාහිර පළාතේ දළ ප්‍රාදේශීය නිෂ්පාදනය 2030 වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 230කට වඩා වැඩි වේවි කියලා රජය විසින් ගණන් බලලා තියෙනවා. ඒ වගේම 2020 වන විට රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 12,000ක් දක්වා වර්තමානය මෙන් තෙගුණයක් වේවි කියලා රජය අපේක්ෂා කරනවා.

වාර්තාවේ මෙහෙමත් කියල තියෙනවා. “මේ සියලු ප්‍රක්ෂේපනයන් සිදු කර ඇත්තේ වාර්ෂික වර්ධන වේගය 7-8% ක මට්ටමේ පවතිනු ඇතැයි සැලකීමෙනි. ශ්‍රම මූලික කර්මාන්ත වල සිට නිපුණතා මූලික කර්මාන්ත වලටත්, දැනුම පාදක කරගත් ආර්ථිකයක් දක්වාත් පරිවර්තනය වීම අත්‍යවශ්‍ය බැවින් ශ්‍රී ලංකා ආර්ථිකයේ මීළඟ වසර 15 තුළ සිදු වන වර්ධනය ඉතා වැදගත් වනු ඇත.”

අතීතයෙන් බිඳක්

1978දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඇසුරෙන් පිළියෙළ කරපු “කොළඹ ප්‍රධාන සැලැස්ම” (Colombo Master Plan) යටතේ නාගරික සංවර්ධන අධිකාරිය (UDA එක) බිහි වුණා.

ලංකාවේ අග නුවර කොළඹ නොවී ශ්‍රී ජයවර්ධනපුර වුණේ ඇයි කියලා දන්නවද? 1985දී පළකෙරුණු මහා නගර ව්‍යාපෘති වාර්තාවට අනුව කොළඹ සංවර්ධන සැලැස්මේ ප්‍රධාන නිර්දේශයක් වුණේ නගර සංවර්ධනයේදී ඒක-කේන්ද්‍රික සංවර්ධනයක සිට බහු කේන්ද්‍රික සංවර්ධනයකට මාරු වෙන්න අවශ්‍යයි කියන එක. මේ අනුව රටේ පරිපාලන අග නගරය ශ්‍රී ජයවර්ධනපුරට ගෙන ගියා.

අද ක්‍රියාත්මක කෙරෙන මෙගා පොලිස් ව්‍යාපෘතිය ගැන පළමුවෙන්ම අදහස් පළ වුණේ 2002 දී මුළු බස්නාහිර පළාතම තනි මහා නගරයක් විදිහට සංවර්ධනය කරන්න පහළ වුණු සංකල්පයත් එක්කයි. දැනට ක්‍රියාත්මක වෙන සම්පූර්ණ සැලැස්මම 2030 වර්ෂය සඳහා වන ජාතික භෞතික ව්‍යුහ සැලසුම යටතේ කෙරුණු නිර්දේශ මත තමයි පදනම් වෙලා තියෙන්නේ. මේ වාර්තාව ජනාධිපතිතුමා සහ ඇමතිවරු 14ක් ඇතුලත් වන ජාතික භෞතික සැලසුම් කමිටුව මගින් අනුමත කරලා තියෙනවා.

මෙගා පොලිස් ගැන සාරාංශයක්

බස්නාහිර මෙගා පොලිස් සංවර්ධන ව්‍යාපෘතියට යොදා ගැනෙන සම්පූර්ණ සංකල්පයම රැඳිලා තියෙන්නේ ප්‍රධාන මූලධර්ම 4ක් මතයි. අමාත්‍යාංශය පළ කරපු වාර්තාවට අනුව ඒවා හතර පහළින් දැක්වෙනවා.

  • ආර්ථික වර්ධනය හා සෞභාග්‍යය.
  • සමාජ සාධාරණත්වය හා සහජීවනය.
  • පාරිසරික සමතුලිතතාවය.
  • සෑම කෙනෙකුගේම පුද්ගලමය සතුට.

ශ්‍රී ලංකාව වටා තියෙන ඉන්දියන් සාගරයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේදී බස්නාහිර පළාතේම කොටසක් විදිහට සලකන්න නියමිතයි. ලංකාවට අයත් සාගර කලාපයේ ඇති විශාල සම්පත් ප්‍රමාණය මේ යටතේ උපරිම විදිහට ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා. මීට අදාලව කරපු යෝජනා කිහිපයක් තමයි මේ.

  • මීරිගම නගරයෙන් වර්ග කිලෝමීටර් 200ක ප්‍රදේශයක් කර්මාන්ත පුරයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.
  • කටුනායක නගරය ගුවන් නගරයක් බවට පරිවර්තනය කෙරෙනවා.
  • විද්‍යාව, ජෛව තාක්ෂණය හා නැනෝ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා ප්‍රදේශ වෙන් කිරීමට නියමිතයි.
  • කොළඹ වරායේ සිට ජා ඇළ දක්වා සපයුම්කරණය සඳහා විශේෂයෙන් වෙන් කෙරුණු අක්කර 1000ක තීරයක් නිර්මාණය කෙරෙනවා. කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව තමයි මේ ඉදිකිරීම කෙරෙන්නේ. බස්නාහිර මෙගා පොලිස් සැලසුම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් ජයසේකර මහතාට අනුව මෙමගින් කොළඹ වරාය ආසියාවේ විශාලතම මෙන්ම වඩාත්ම කාර්යක්ෂම වරායක් බවට පත් වෙන්න නියමිතයි.
  • අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනපද කලාපයක් බිහි කිරීම. ප්‍රදේශයේ පවතින ස්වභාවික වන වැස්මට හානියක් නොවන විදිහට මේ ක්‍රියාවලිය කරන්න පර්යේෂණ සිදු කෙරෙනවා.
  • කළුතර දිස්ත්‍රික්කයට අයත් වන සිංහරාජ වනාන්තර කොටස ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් වනාන්තර නගරයක් බිහි කිරීම. මෙහිදී ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට ප්‍රධාන තැනක් ලැබෙනවා.

දැක්ම සහ මෙහෙයුම

“හරිත සංවර්ධනය සහ සියළු දෙනා අයත් වූ සංවර්ධනය” මෙගා පොලිස් සැලැස්මේ එක් අංගයක්. රූපය : clearpointresidencies.com

“හරිත සංවර්ධනය සහ සියළු දෙනා අයත් වූ සංවර්ධනය” මෙගා පොලිස් සැලැස්මේ එක් අංගයක්. රූපය : clearpointresidencies.com

බස්නාහිර මෙගා පොලිස් ව්‍යාපෘතියේ දැක්ම පිළිබඳ සටහනට අනුව “සියල්ලන් අයත් වන හරිත සංවර්ධනයක් සහ විවිධත්වය එක්කාසු කර ගැනීම” තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ බලාපොරොත්තුව යතාර්ථයක් කර ගන්න “පරිසර සංරක්ෂණය කේන්ද්‍ර කර ගත් සංවර්ධනයක් මගින් බස්නාහිර ප්‍රදේශය තුළ විවිධ ජනවර්ග වලට අයත් සියලු දෙනාට හැකි උපරිම ජීවන තත්වය සලසා දී දකුණු ආසියාවේ ජීවත් වීමට වඩාත් හිතකර ප්‍රදේශය බවට පත් කරලීම” උපයෝගී කර ගැනෙනවා.

මේ ව්‍යාපෘතියේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි සියලු සැලසුම් හා ක්‍රියාත්මක කිරීම් අතර මනා සම්බන්ධීකරණය, පොදු ප්‍රවාහන සේවයට මාරු වීම (පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම. ඊට අදාළව සවිස්තර වාර්තාවක් අපි මේ පිළිබඳව කලින් පල කළ ලිපියේ දැක්වෙනවා) සහ නවමු නිවාස සැලැස්මක් ක්‍රියාවට නැංවීම කියන තුන. පාලනයේ ස්ථාවරත්වය සඳහා පෞද්ගලික ආයෝජන සහ නායකත්වය ලබා ගන්නත් දිරිමත් කිරීම් සිදු කෙරෙනවා.

මේ වන විට අවසන් කරලා තියෙන වැඩකටයුතු විදිහට බස්නාහිර පළාත සඳහා වන මෙගා පොලිස් ව්‍යුහාත්මක සැලැස්ම, පාරිසරික සම්පත් වාර්තාව සහ සියළු ප්‍රවාහන ක්‍රම සම්බන්ධීකරණය කෙරුණු ප්‍රවාහන සැලැස්ම දක්වන්න පුළුවන්. සැලසුම්කරණය, ගොඩනැංවීම, පාරිසරික ආරක්ෂණය සහ කලාප වලට වෙන් කිරීමට අදාලව රීති පද්ධතීන් සකස් කිරීමත් දැන් අවසන් වෙලා තියෙන්නේ. මේ යටතේ “මධ්‍යම පාන්තිකයන් සහ අයෝග්‍ය පන්තිය වෙනුවෙන්” නිවාස වැඩපිළිවෙලකුත් සකස් කරලා තියෙනවා. වාර්තාවට අනුව අනු-ව්‍යාපෘති 160ක් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක වීමට නියමිතව තියෙනවා.

“මෙගා” වැඩ දහය

මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන අනු-ව්‍යාපෘති 10ක් සිදු කෙරෙන්න නියමිතව තියෙනවා. මේවා මූලිකව ගත්තොත් ක්‍රියාකාරීත්වය සහ භූගෝලීය පිහිටීම ඇසුරෙන් කෙටි වර්ගකිරීම් පදනම් කරගත් ව්‍යාපෘති. වාර්තාවට අනුව මෙයින් 1-3 වලින් විශාල ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිත්, 3-10 දක්වා විවිධ තේමා පදනම් කරගෙන දියුණු කෙරෙන ප්‍රදේශ සහ ඒවායේ එකතුවක් ලෙස කෙරෙන ව්‍යාපෘතිත් දැක්වෙනවා.

  1. ප්‍රවාහනය, බලශක්තිය සහ ජලය.
  2. නිවාස සැපයීම හා පරිපාලන ගොඩනැගිලි ප්‍රතිස්ථානගත කිරීම.
  3. පාරිසරික කළමනාකරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය.
  4. ගුවන් හා නාවික වෙළඳ කේන්ද්‍රයක් බිහි කිරීම.
  5. මධ්‍යම ව්‍යාපාරික නගරය. (උස් ගොඩනැගිලි වලට සීමා වුණු)
  6. කර්මාන්ත හා සංචාරක පුරවරයන් – මීරිගම, හොරණ, මීගමුව සහ අලුත්ගම.
  7. විද්‍යා හා තාක්ෂණික නගරය.
  8. “පරිසර හිතකාමී ජීවනය” (Eco Habitat) සහ වැවිලි නගරය.
  9. “ස්මාට් ජාතියක්” – ස්මාට් නගර සංවර්ධන ව්‍යාපෘතිය.
  10. “ශාන්තභාවය” ආධ්‍යාත්මික සංවර්ධනයට මග සැලසීම.

වර්තමාන තත්වය

සම්පූර්ණ මෙගා පොලිස් ව්‍යාපෘතියම ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නේ තොරතුරු තාක්ෂණය, විද්‍යාව සහ ජෛව විද්‍යාත්මක අංශ වගේම මුල්‍ය සේවා අංශය හා සංචාරක කර්මාන්තය මතයි. රූපය : facebook.com/MegapolisSriLanka

සම්පූර්ණ මෙගා පොලිස් ව්‍යාපෘතියම ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නේ තොරතුරු තාක්ෂණය, විද්‍යාව සහ ජෛව විද්‍යාත්මක අංශ වගේම මුල්‍ය සේවා අංශය හා සංචාරක කර්මාන්තය මතයි. රූපය : facebook.com/MegapolisSriLanka

දැනට මේ ව්‍යාපෘතියට අදාලව ශක්‍යතා වාර්තා සහ පෙර-ශක්‍යතා වාර්තා සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යාංශය කියනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය සම්පත් පවරා ගැනීමේ ක්‍රමවේදය ලේඛනගත කිරීමත්, ටෙන්ඩර් ක්‍රමවේදය සකස් කිරීමත් මේ වන විට සිදු වෙනවා. විවිධ තේමා යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙන භූමි ප්‍රදේශ මුදල් ගෙවා පවරා ගන්නත් මේ යටතේ ක්‍රම සම්පාදනය කෙරෙනවා. ඒ වගේම මීට අදාළව බස්නාහිර ප්‍රදේශයේ මහා නගර අධිකාර පනතත් (Western Region Mega polis Authority Act) අලුතෙන්ම සකස් වෙනවා.

මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ජයසේකර මහතාට අනුව මෙගා පොලිස් ව්‍යාපෘතියට සමගාමීව පෞද්ගලික හා රාජ්‍ය අංශය අතර හවුල්කාරකම් – Public Private Partnerships (PPP) ඇති වීමත් දිරිමත් කෙරෙනවා. තොරතුරු තාක්ෂණය විද්‍යාව සහ ජෛව විද්‍යාත්මක අංශ, මුල්‍ය සේවා, සංචාරක ව්‍යාපාරය සහ කර්මාන්ත නිෂ්පාදන අංශය මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන ආර්ථික බලවේග විදිහට සැළකිල්ලට ගැනෙනවා.

“රැකියා අවස්ථා වල විෂමතාවය සහ වෙනස් වන ගෝලීය ආර්ථික පරිසරය නිසා රැකියා උත්පාදනය කරවන පරිදි භූමිය යොදා ගත හැකි ප්‍රබල උපායමාර්ගයන් සකස් කිරීම ඉතා වැදගත්” කියලා ජයසේකර මහතා මේ ව්‍යාපෘතිය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී පැවසුවා.

මේ ලිපි පෙළේ පළමු කොටස මෙතැනින් නිමාවට පත් වෙනවා. මීළඟ කොටසින් මෙගා පොලිස් ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා සිදු වන විවිධාකාර උපායමාර්ගික මැදිහත්වීම් ගැන පුළුල් විවරණයක් ලබා දෙන්න නියමිතයි. ඒ නිසා දිගටම roar සමග රැඳිලා ඉන්න. මේ ලිපිය ගැන ඔබට තියෙන ඕනෑම අදහසක් අපේ ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරලා මේ පිළිබඳ සංවාදයක් ගොඩ නගන්න ඔබටත් ආරාධනා.

කවරයේ පින්තුරය: බුද්ධික ජයවර්ධන 

Related Articles