සිදුවීමෙන් දශක ගණනාවක් ගත වී තිබුණ ද විසඳීමට නොහැකි වූ අභිරහස් අපරාධ සිද්ධි රාශියක් ලෝක ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවෙනවා. මීට වසර සියයකට පෙර ජර්මනියේ හින්ටර්කයිෆෙක් හි ගොවිපොළක සිදු වූ අභිරහස් ඝාතන සිද්ධිය ඒ අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ රාශියක් සිදුකළ ද, සියයක පමණ පිරිසකගෙන් ප්‍රශ්න කළ ද නියම අපරාධකරු සෙවීමට කිසිවකුත් සමත් වුණේ නැහැ. මේ සම්බන්ධ පරීක්ෂණ 1986 වසර තරම් මෑතක් වන තුරුම සිදු කෙරුණා.
සැහැසි ඝාතන කිහිපයක්
ජර්මනියේ මියුනිච් නගරයට නුදුරින් පිහිටි හින්ටර්කයිෆෙක් නම් ගොවිපළක අයිතිකරු වන ඇන්ඩ්‍රියාස් ග්රබර්ට 1922 වසරේ මාර්තු මස අවසන් සතියේ දිනක සිය ගොවිපොළ හා ඒ අවට යම් අසාමාන්‍යතාවක් නිරීක්ෂණය වුණා. ඔහුගේ නිවස, ගොවිපොළ තුළ ම පසෙකට වන්නට පිහිටා තිබූ අතර, ඔහුට නිරීක්ෂණය වූයේ ගොවිපොළ පසුපස ඇති වන ලැහැබෙහි සිට සිය නිවස වෙතට ගමන් කළ කිසිවකුගේ අඩි සටහනු යි. මේවා නිවස ආසන්නයට ම වැටී තිබුණු මුත් ඉන් පිටතට ගමන් කළ අඩි සටහන් කිසිවක් දක්නට ලැබුණේ නැහැ. ග්රබර් මෙය එතර්ම් ගණන් නොගත් අතර ඔහු ඒ පිළිබඳ ව ප්‍රදේශයේ පොලිසිය දැනුම්වත් කළේත් නැහැ. මියුනිච් නගරයට සැතපුම් 43 ක් පමණ දුරින් පිහිටි හින්ටර්කයිෆෙක් ගොවිපොළ අවට පෙදෙස බොහෝ සාමකාමී එකක් වූ නිසා ළඟ ළඟ විශාල අනතුරක් පැමිණේවි යැයි ඔහු සිහිනෙකිනුදු සිතුවේ නැහැ. කෙසේ නමුත් මේ සාමකාමී හා නිස්කලංක බව පැවතියේ සතියක පමණ කාලයක් පමණ යි.
1922 වසරේ මාර්තු මස 31 වනදා නන්නාඳුනකු හෝ නන්නාඳුනන්නන් ග්රබර් පවුලේ සයදෙනකු ඉතා කුරිරු අන්දමින් ඝාතනය කර තිබුණා. ඇන්ඩ්‍රියාස්, ඔහුගේ බිරිය කැස්ලියා, දියණිය වික්ටෝරියා, සිය මිත්තණිය අනුව නම් කර තිබූ මිණිපිරිය කැස්ලියා නිවසෙන් ගොවිපොළ වෙත ගෙන ගොස් කපා කොටා ඝාතනය කර තිබූ අතර, ඊට ගල් කටුවක් යොදා ගෙන තිබුණා. පවුලේ මෙහෙකාරිය වූ මාරියා සහ ළදරුවකු වූ ඇන්ඩ්‍රියාස්ගේ මුණුබුරු ජෝසප් ඝාතනය කර තිබුණේ නිවස තුළ යි.
ඝාතන සිද්ධියෙන් දින කිහිපයකට පසු, එනම් අප්‍රේල් මස 4 වනදා වන විට ප්‍රදේශයේ ලියුම් බෙදන්නාට හින්ටර්කයිෆෙක් හි යම් අමුත්තක් සිදුවී ඇති බැව් වැටහී තිබුණා. මාර්තු මස 31 වනදා සිට ඔවුනට එන ලියුම් දිගින් දිගට ම තැපැල් පෙට්ටියේ ගොඩගැසෙන බැව් නිරීක්ෂණය කළ ඔහු, ඒ පිළිබඳ ව අසල්වාසීන් දැනුම්වත් කළා. මේ වන විට කුඩා කැස්ලියා පිට පිට දින දෙකක්ම පාසල් ගොස් නොතිබූ තර, කිසියම් භයානක දෙයක් සිදුවී ඇතැයි සැක සිතූ අසල්වාසීන් ග්රබර් නිවස හා ගොවිපොළ වෙතට ගොස් සොයා බැලුවා. ඒ වන විටත් මළසිරුරු සියල්ල නරක් වෙමින් පැවතුණා.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජර්මානු පොලිසිය පර්යේෂණ ආරම්භ කළා. කෙසේ නමුත් එය සිතූ තරම් සාර්ථක වූයේ නැහැ. වසර ගණනාවක් තිස්සේ සැකකරුවන් සියයකට වැඩි පිරිසකගෙන් කට උත්තර ලබාගත්තත්, අත් අඩංගුවට ගෙන පරීක්ෂා කළත්, උක්ත මිනිමැරුම් ගැන සත්‍ය තොරතුරු ලොවට හෙළි වූයේ නැහැ. මෙම සිදුවීමෙන් වසර 64ක් ගත වූ 1986 වසර වන විටත් මෙම නූල් බෝලය නිසි ලෙස ලිහාගැනීමට කිසිවෙකුත් සමත් වූයේ නැහැ.
මිනිමරුවා නිදැල්ලේ
ඝාතනය වූ මළසිරුරු වල ස්වභාවය දුටුවන ම, ඔවුන්ට මාරාන්තික ප්‍රහාර එල්ල වූ වනම මිය යන්නට ඇති බැව් බොහෝ දෙනා උපකල්පනය කළා. ඒ ඔවුන්ගේ සිරුරුවල වූ තුවාල ඉතා ගැඹුරු හා තදබල ඒවා වූ නිසා යි. කෙසේ නමුත් වැඩිදුර පරීක්ෂණවලින් සනාථ වූයේ කුඩා කැස්ලියා තුවාල ලැබීමෙන් අනතුරු ව පැය කීපයක් ජීවත්ව සිටින්නට ඇති බව යි. ඇය කම්පනයෙන් මියගොස් ඇති බැව් ඔප්පු වුණා. ඇයගේ හිසෙහි හිසකෙස් තැනින් තැන ඉදිරී තිබූ අතර, ඇති වූ කම්පන තත්ත්වය නිසා ඒවා ඇය ම උදුරා ගන්නට ඇතැයි උපකල්පනය කෙරුණා.
හින්ටර්කයිෆෙක් ඝාතන හා සම්බන්ධ මිනිමරුවන් සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වූ මුත් පර්යේෂණ මගින් යම් යම් හෝඩුවාවන් සොයාගන්නට ඔවුන් සමත් වුණා. ඝාතන සිදුවන්නට දින කිහිපයකට පෙර තමන් සිය ගෙවත්තෙහි අඩි සලකුණු දුටු බව ඇන්ඩ්‍රියාස් අසල්වැසියන් හා ප්‍රකාශ කර තිබූ අතර, ඔහුට ගොවිපොළ හා සිය නිවසෙහි පසෙකින් පා ගැටෙන හඬ ද ඇසී තිබුණා. එමෙන්ම මෙම මිනිමැරුම් සිදු කිරීමට පිටතින් ගෙනා ආයුධ භාවිත කර නොතිබූ අතර, ඝාතනයට යොදා ගත් ගල්කටුවද ඇන්ඩ්රියාස්ට ම අයත් එකක් බැව් සොයාගැණුනා. එය ඔහු තබා තිබූ ගබඩාවේ යතුරු නැතිවීමක් පිළිබඳව ද ඔහු සිය අසල්වාසීන් සමඟ පවසා තිබූ අතර, සිය නිවසේ තිබී තමන් හෝ පවුලේ අය මිලදී නොගත් පත්තරයක් ද හමු වූ බැව් ඔහු පවසා තිබුණා.
තවත් සුවිශේෂී කාරණයක් වන්නේ මාරියාට පෙර නිවසේ සේවය කළ මෙහෙකාරිය, ඝාතන සිදුවන්නට මාස හයකට පමණ කලින් සේවයෙන් ඉවත් වී ගොස් තිබුණේ තිබුණේ තමන්ට නිවස අවට විවිධාකාරයේ අඩි ශබ්ද හා කටහඬ ඇසෙන බැව් පවසමිනු යි. ඇය මෙම නිවසෙහි භූතාත්ම සැරිසරන්නේ යැයි බිය වී තිබුණා. මේ සියලු කාරණාවලින් පොලිසිය තීරණයකර එළැඹියේ ඝාතකයන් යම් කාලයක සිට ඇන්ඩ්‍රියාස්ගේ නිවසෙහි හා ඒ අවට සැරිසරන්නට ඇති බව යි.
බොහෝ විට මාස ගණනක් තිස්සේ ඔහු, ඇය හෝ ඔවුන් මෙම නිවසේ නැවතී සිටින්නටත් ඇති බවට ද මත පල වුණා. ඒ එහි නිවැසියන් කවුරුන් හෝ දැනුම්වත්ව ද එසේත් නැත්නම් නොදැනුම්වත්ව ද යන්න ප්‍රශ්නාර්ථයක් වූ අතර මෙය ඉතා හොඳින් සැලසුම් කළ ඝාතනයක ලකුණු පෙන්නුම් කළා. නිවසේ නව මෙහෙකාරිය මාරියා සේවයට බඳවා ගෙන තිබුණේ ඝාතන සිදුවූ දින ම උදෑසන වීම තවත් වැදගත් කාරණයක් වුණා.
ලෙහී ගිය නූල් පොටවල්
හින්ටර්කයිෆෙක් ඝාතනවලට සම්බන්ධ යැයි සුළු හෝ සැකයක් ඇතිවුණු සියලු ම දෙනා පොලිසිය ප්‍රශ්න කිරීම්වලට බඳුන් කළා. මේ අතර වික්ටෝරියාගේ පුත්‍රයාගේ පියා යැයි සැලකූ ජොසෙප් නම් අයෙක්වත් තදින් ම ප්‍රශ්න කෙරුණා. කෙසේ නමුත් ඒ කිසිවකුත් එම ඝාතනවලට සම්බන්ධ යැයි සාධනීය ව ඔප්පු වූයේ නැහැ. ඒ අනුව ප්‍රශ්න කළ සියල්ලන්ම නිදොස් කොට නිදහස් කෙරුණා.
පුද්ගල ප්‍රශ්නකිරීම්වලින් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු තැන මළසිරුරුවලින් ඝාතකයන් පිළිබඳ ව හෝඩුවා සොයා ගැනීමට ඉටාගත් ජර්මානු පොලිස් නිලධාරීන් ඒවායේ හිස් වෙන්කොට මියුනිච් නුවර වෙත යවන ලද්දේ වැඩිදුර වෝහාරක පරීක්ෂණ සිදුකිරීම සඳහා යි. කෙසේ නමුත් වසර ගණනාවක් තිස්සේ වරින් වර සිදු කෙරුණු වෝහාරික පරීක්ෂණවලිනුත් වැඩි සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. දෙවන ලෝක යුද්ධ සමයේ දී මෙම හිස් සියල්ල අස්ථානගත වීමත් සමඟ යම් හෝඩුවාවක් සොයා ගැනීමට තිබූ එම මාර්ගය ද ඇහිරී ගියා.
හින්ටර්කයිෆෙක් හී දී ඝාතනය වූ සියලු දෙනාගේ කවන්ධ මිහිදන් කෙරුණු අතර, පසුකාලීන ව ගොවිපොළ ද විනාශ කෙරුණේ එහිදී සිදුවූ ඝාතන සිද්ධිය ලොවට ම සදාකාලික අභිරහසක් කරමිනු යි. පසුකාලීනවත් මෙම ඝාතන සිදු වූ ආකාරය පිළිබඳ ව විවිධ මතවාද ගොඩනැඟුණත් ඒවා සියල්ල හුදු කල්පිතයන් වුණා. මෙම මතවාද සමහරක් ලොවට හෙළිකිරීමට ග්රබර් පවුලේ සමීප ඥාතීන් අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ඒවා ලොවට හෙළිවූයේ නැහැ.