2022 පෙබරවාරි 24 වැනිදා රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර යුද්ධයක් ආරම්භ වුණා. කෙටි කාලයක් තුළ එම යුද්ධය නිමාවනු ඇති බවට බොහෝ දෙනෙක් අනුමාන කළා. එම යුද්ධය තවමත් අවසන් වී නැහැ.
ගෙවුණු මාස 5ක කාලය පුරාවට පැවති එම යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල විටින් විට උච්චාවචනය වුණා. ඒ රුසියාව ලොව ප්‍රමුඛත ම බොරතෙල් නිෂ්පාදකයෙක් වීම නිසා යි.
බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල්වල ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. බොරතෙල් මිල ඉහළ යාමත්, විදෙස් සංචිත හිඟයත් නිසා එහි බලපෑම ශ්‍රී ලාංකිකයන් වන අපට ද පසුගිය කාලයේ තදින් ම දැනුණා.
2022 මාර්තු 11 වැනිදා සිට ජූනි 26 දක්වා ගෙවුණු කාලය තුළ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අවස්ථා 6ක දී වැඩි වුණා. එම කාලය තුළ පෙට්‍රල් ඔක්ටේන් 95, රුපියල් 343ක්, පෙට්‍රල් ඔක්ටේන් 92, රුපියල් 277ක්, ඔටෝ ඩීසල් රුපියල් 319ක්, සුපර් ඩීසල්, රුපියල් 351ක් ලෙසින් මිල ද වැඩි වුණා.
ඒ අයුරින් සිදු වුණු ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් මෙරට භාණ්ඩ මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගියා. එපමණක් නොව ප්‍රවාහන ගාස්තු ද ජනතාවට දැරිය නොහැකි ප්‍රතිශතවලින් ඉහළ ගියා.
මේ තත්ත්වය නිසා මේ වන විට අප රටේ ජීවන වියදම ජනතාවට ඔරොත්තු නොදෙන තරම් ඉහළ තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ වන විට ඩොලර් හිඟය හේතුවෙන් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ගෙන්වීමට නොහැකි වීම නිසා රට පුරා දිගු තෙල් පෝලිම් ද දක්නට ලැබෙනවා.
ගෙවුණු දශක 5ක කාලය ඇතුළත ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය මුල් ම අවස්ථාව මෙය නොවෙ යි. ලෝකයේ බොහෝ රටවල්වලට බලපෑ ඛණිජ තෙල් අර්බුදයක් මුල් ම වරට නිර්මාණය වුණේ 1973 වසරේ දී යි. එම අර්බුදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල්වල ආර්ථිකය අඩපණ වුණා. මේ ඔබට කියන්න යන්නේ 1973 දී ලෝකය ම ගිල ගත් දැවැන්ත ඛණිජ තෙල් අර්බුදය පිළිබඳ ව යි.
තෙල් අර්බුදය ඇතිවීමට මුල් වුණු සිදුවීම
1973 ඔක්තෝබර් මාසය ආරම්භ වෙද්දී ඊජිප්තුව සහ සිරියාව ප්රමුඛ අරාබි ලීගයේ රටවල් එකතු වී ඊශ්රායෙලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටියා. ඔවුන් එම ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා තෝරා ගත්තේ ඔක්තෝබර් 6 වැනි දින යි. ඒ යුදෙව් දින දර්ශනයේ ශුද්ධවන්ත දිනයක් වුණු “යොම් කිපූර්” දිනය එදිනට යෙදී තිබුණු නිසා යි.
එම දිනයේ යුදෙව්වන් බොහෝ රාජකාරිවලින් මිදී ආගමික කටයුතුවල නිරත වුණා. එනිසා එදින එල්ල කරන ප්‍රහාරයකට ඊශ්‍රායෙල් හමුදා ප්‍රතිප්‍රහාර එල්ල වීම ප්‍රමාද වනු ඇති බව ඊජිප්තුව ප්රමුඛ අරාබි ලීගයේ රටවල්වල අනුමානය වුණා. ඔවුන් අනුමාන කළ පරිදි ම එදින සේවයේ යොදවා තිබුණේ අත්‍යවශ්‍ය රාජකාරිවල නියුතු භට පිරිස් පමණ යි.
ඔක්තෝබර් 6 වනදා මහා ප්‍රහාරයකට සූදානම් වුණු ඊජිප්තුව ප්රමුඛ අරාබි ලීගයේ රටවල් එක ම වේලාවක දී සූවස් ඇළ දෙසින් ද, ගෝලාන් උස් බිම් දෙසින් ද ඊශ්රායෙල භූමියට කඩා වැදුණා.
සිරියානු යුද ටැංකි 1400ක් හා ඊජිප්තු යුද ටැංකි 2000 ක් මෙන් ම ප්‍රහාරක යානා 550 ක් යොදා ගෙන සිදු කළ එම අනපේක්ෂිත ප්‍රහාරයට සාර්ථක ව මුහුණදීමට ඊශ්රායෙල ආරක්ෂක හමුදාවන්ට හැකිවුණේ නැහැ.
ලක්ෂ 6ක පමණ හමුදා භට කණ්ඩායම් සහ යුද ටැංකි සූවස් ඇළ ඔස්සේ තරණය කරවීමට ඊජිප්තුව නවීන තාක්ෂණය යොදා ගෙන තාවකාලික ව ඉදි කළ පාලම් ඉතාමත් සාර්ථක උපක්‍රමයක් වුණා.
එනිසා කිසිවෙක් බලාපොරොත්තු නොවුණු අන්දමේ දරුණු ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කිරීමට හැකි වුණා. එසේ අරාබි ලීගයේ රටවල් එකතු සිය සතුරා වුණු ඊශ්රායෙලයට එල්ල කළ ප්‍රහාරය ලෝකය පුරා දැවැන්ත තෙල් අර්බුදයක් ඇතිවීමට මුල් වුණා.
ඊශ්‍රායලයට බටහිර රටවල්වලින් ආධාර
අරාබි ලීගයට සම්බන්ධ රටවල් එකතු වී නොසිතූ මොහොතක එල්ල කළ ප්‍රහාරය හමුවේ ඊශ්‍රායෙලය අඩපණ වුණා. එම අවස්ථාවේ ඊශ්රායෙලයට හිතවත් රටවල් සිය මැද පෙරදිග මිතුරා බේරා ගැනීම සඳහා ඉදිරිපත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බටහිර රටවල්වලින් ඊශ්රායෙලයට ආධාර ගලා එන්නට පටන් ගත්තා. එහි දී අමෙරිකාව, එක්සත් රාජධානිය, ජපානය, කැනඩාව, නෙදර්ලන්තය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව වැනි රටවල් ඊශ්‍රායලයට සහාය ලබා දුන්නා.
එවකට අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළ රිචඩ් නික්සන්ගේ මැදිහත්වීමෙන් ඊශ්රායෙලයට ලබා දුන් බිලියන 2.2ක යුදමය ආධාර හේතුවෙන් යුද්ධය සාර්ථක ව කරගෙන යාමට ඊශ්‍රායෙල් හමුදා භට පිරිස්වලට හැකි වුණා. ඒ වාගේ ම අනිකුත් රටවල් ද ලබා දුන් ආධාර නිසා දිරිමත් වුණු ඊශ්‍රායෙල් ආරක්ෂක අංශ සතුරු හමුදාවලට ප්‍රතිප්‍රහාර එල්ල කළ ඔවුන් මර්දනය කළා.
ඊශ්රායෙලයට සහාය දුන් රටවල් අඩපණ කළ උපක්‍රමය
අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ඊශ්රායෙලයට දිගින් දිගට ම ලබා දුන් යුද ආධාර නිසා යොම් කිපූර් යුද්ධයෙන් ජය ගැනීම ලෙහෙසි පහසු නොවන බව අරාබි ලීගයේ රටවල්වලට ඒත්තු ගියා. එනිසා ඔවුන් ඊශ්රායෙලයට සහාය දුන් රටවල් අඩපණ කිරීමට උපක්‍රමයක් භාවිත කළා. ඒ අමෙරිකාව, නෙදර්ලන්තය, පෘතුගාලය, කැනඩාව වැනි රටවල් සඳහා තෙල් සැපයීම අත්හිටුවීම යි.
එකල එම රටවල් සිය ඛණිජ තෙල් අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් අරාබි ලීගයට අයත් රටවල්වලින් සපයා ගත්තා. එවැනි තත්ත්වයක් යටතේ අරාබි ලීගයේ රටවල් ඛණිජ තෙල් සැපයීම අත්හිටුවීම හේතුවෙන් ඊශ්‍රායලයට හිතවත් එම රටවල් ආශ්රිත ව සැතපුම් ගණන් දිග ඉන්ධන පෝලිම් ඇති වුණා.
අරාබි ලීගයේ රටවල් අනුගමනය කළ එම උපක්‍රමය නිසා අමෙරිකාව දැඩි අපහසුතාවකට ලක් වුණා. විශේෂයෙන් ම අමෙරිකානු තෙල් සැපයුම් සමාගම් සිය ව්‍යාපාර නොවැටී තබා ගැනීම උදෙසා ඊශ්රායෙලයට කරන ආධාර නවත්වන ලෙසත් අරාබි රටවලට ආධාර කරන ලෙසත් අමෙරිකානු පාලන තන්ත්රයට බලපෑම් පවා සිදු කළා.
ඉන් නොනැවතුණු ඔවුන් සාමාන්‍ය ජනතාව මේ අපහසුකම් විඳින්නේ ඊශ්‍රායෙලය නිසා යැයි මතයක් ද අමෙරිකාව තුළ ව්‍යාප්ත කළා. එනිසා අමෙරිකානු ජනපතිවරයා තවදුරටත් ඊශ්රායෙලයට උදව් ලබා නොදීමට තීරණය කළා.
ඊශ්‍රායෙල් යුද ජයග්රහණයෙන් අරාබි ලීගයේ රටවල් කෝපයට පත්වීම
යොම් කිපූර් යුද්ධයේ දී අරාබි ලීගයේ රටවල්වලට සෝවියට් රුසියාවෙන් විශාල ලෙස ආධාර ලැබුණා. එය දැන ගැනීමෙන් පසුව අමෙරිකාව උරණ වුණා. ඒ එම යුගය වන විට අමෙරිකාව සහ සෝවියට් රුසියාව අතර සීතල යුද්ධයක් පැවතුණු නිසා යි.
එවැනි වටපිටාවක අරාබි ලීගයේ රටවල් ඊශ්‍රායෙලය හමුවේ යුද ජයග්‍රහණයක් ලබා ගතහොත් එහි වැඩි ගෞරවය සෝවියට් රුසියාවට හිමි වන බව අමෙරිකාවට ඒත්තු ගියා. එමඟින් සිය රටේ අභිමානයට කැළලක් සිදුවන නිසා යළි ඊශ්රායෙලයට සහාය දීමට අමෙරිකාව තීරණය කළා.
අමෙරිකාවෙන් යළිත් වරක් ලැබුණු සහාය හමුවේ දිරිමත් වුණු ඊශ්‍රායෙල් හමුදා ඊජිප්තුවට සහ සිරියාවට දරුණු ප්‍රහාර එල්ල කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෝවියට් රුසියාව ද යුද්ධයට ඍජුව ම සම්බන්ධ වන බව ප්‍රකාශ කර සිටියා. එය අසා උරණ වුණු අමෙරිකාව පවසා සිටියේ සෝවියට් රුසියාව යුද්ධයට එකතු වුණොත් න්‍යෂ්ටික අවි පවා භාවිත කිරීමට තමන් පසුබට නොවන බව යි.
අමෙරිකාවේ එම ප්‍රකාශය හමුවේ සෝවියට් රුසියාව පසුබැස්සා. අවසානයේ ඊශ්‍රායෙලය ප්රමුඛ පාර්ශවයට වැඩි ගෞරව හිමිවෙමින් යොම් කිපූර් යුද්ධය නිමාවට පත්වුණා. එය අරාබි ලීගයේ රටවල් ලැබූ දැවැන්ත පරාජයක් බවට පත්වුණා. එසේ ලැබූ පරාජය නිසා දැඩි ලෙස කෝපයට පත්වුණු අරාබි ලීගයේ රටවල් තමන්ගේ තරම ලෝකය හමුවේ පෙන්වීමට තීරණය කළා.
බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි
එම කාල වකවානුව වන විට ඔපෙක් සංවිධානයේ බලය පැවතුණේ අරාබි ලීගයේ රටවල් සතුව යි. එනිසා ඔවුන් සිය බලය පෙන්වීම සඳහා යොම් කිපූර් යුද්ධයේ දී ඊශ්‍රායලයට සහාය දුන් රටවල්වලට අඛණ්ඩව ඛණිජ තෙල් සම්බාධක පැනවීමට තීරණය කළා. ඉන් නොනැවතුණු අරාබි ලීගයේ රටවල් ඛණිජ තෙල් මිල ඉහළ දමමින් ලෝකය හමුවේ සිය බලය පෙන්වීමට තීරණය කළා.
එහි දී අමෙරිකානු ඩොලර් 3කට ආසන්න මිලකට පැවති බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 12 සීමාව දක්වා ඉහළ ගියා. එය ලෝක වෙළෙඳපොළේ මුල් ම වරට සිදුවුණු විශාලත ම ඛණිජ තෙල් මිල වැඩිවීම බවට පත් වුණා. ක්ෂණික ව සිදුවුණු එම ඛණිජ තෙල් මිල වැඩිවීම හමුවේ ලෝකයේ බොහෝ රටවල් දැඩි ලෙස අසරණ වුණා. එහි බලපෑම වැඩිපුර ම දැනුණේ තුන්වන ලෝකයේ රටවල්වලට යි.
අර්බුදය හමුවේ ලෝකයේ රටවල් අඩපණ වුණු හැටි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සිවු ගුණයකින් ඉහළ යාමත් සමඟින් ලෝකයේ බොහෝ රටවල්වල ඉන්ධන හිඟයක් ඇති වුණා. ඒ එතරම් වැඩි මුදලක් ලබා දී ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් නොතිබුණු නිසා යි. ඉන්ධන මිල ගණන් ඉහළ යද්දී උද්ධමනය වැඩි වීම හේතුවෙන් ලෝකය පුරා ආර්ථික අවපාතයක් ඇති වුණා.
ඒ අයුරින් ඇතිවුණු ආර්ථික අවපාතය හමුවේ බොහෝ රටවල විරැකියා ප්‍රතිශතය ඉහළ ගියා. අමෙරිකාවේ පමණක් විරැකියාවෙන් පෙළුණු පුද්ගලයන්ගේ ප්‍රමාණය මිලියන 15කට ළඟා වුණා. එම යුගය වන විට ලෝකයේ ආහාර අර්බුදයක් ද පැවතුණා. ඉන්ධන අර්බුදය, උද්ධමනය, ආහාර අර්බුදය, විරැකියාව වැනි ගැටලු නිසා තුන්වන ලෝකයේ රටවල්වල ජනතාව වඩාත් පීඩාවට පත් වුණා.
අමෙරිකාවේ සහ යුරෝපා රටවල්වල සලාක ක්‍රමයට අනුව ඉන්ධන ලබාදීම නිසා දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. ඉන්ධන අර්බුදය වඩාත් උග්‍ර වන විට ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය වැනි යුරෝපා රටවල් ඉරිදා දිනයේ රිය පැදවීම තහනම් කිරීමට පවා කටයුතු කළා. ඛණිජ තෙල් මිල වැඩිවීම නිසා කාර්මික රටවල්වල ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් පහළ ගියා.
ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු අඩාල වුණා. බොහෝ රටවල්වල විරැකියා ප්‍රතිශතය ඉහළ යාමට එය ප්‍රධානත ම හේතුව වුණා. ඒ අයුරින් 1973-1974 කාලයේ සිදුවුණු ඛණිජ තෙල් අර්බුදය හමුවේ ලෝකයේ බලවත් රටවල් පවා අඩපණ වුණේ එලෙස යි.
අර්බුදය ශ්‍රී ලංකාවට බලපෑ ආකාරය
1973 ඛණිජ තෙල් අර්බුදය ඇතිවෙද්දී ලෝකය පුරා දරුණු ආහාර අර්බුදයක් නිර්මාණය වී තිබුණු බව මෙම ලිපියේ ඉහත දී සඳහන් කළා. එම ආහාර අර්බුදයේ බලපෑම අප රටට තදින් ම දැනුණා. රටේ ආහාර හිඟයක් ඇති වෙද්දී සලාක ක්‍රමයට වියළි ආහාර ලබා දුන්නා. එනිසා රට පුරා වියළි ආහාර ලබාගැනීම සඳහා පෝලිම් ඇති වුණා.
එම යුගයේ දී භාණ්ඩ ආනයනය සීමා කර දේශීය නිෂ්පාදනවලට මුල් තැන දීමේ ප්‍රතිපත්තියක් සිරිමා බණ්ඩාරනායක රජය අනුගමනය කළ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ද රට තුළ පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ විවිධ සේවා සමූපකාර හරහා සලාක ක්‍රමයට එම භාණ්ඩ නිකුත් කළා. රට පුරා එවැනි තත්ත්වයක් පවතිද්දී ඇති වුණු ඛණිජ තෙල් අර්බුදය ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වුණු මරු පහරක් බඳු වුණා.
එකල ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සිව් ගුණයකින් වැඩිවෙද්දී මෙරට උද්ධමනය වඩාත් වේගයෙන් ඉහළ ගියා. එදා කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ උද්ධමන අනුපාතය 11% දක්වා ඉහළ ගියා. එය එම මිල දර්ශකය හඳුන්වා දීමෙන් පසුව වාර්තා වුණු වැඩිම උද්ධමන අනුපාතික අගය ලෙසින් සටහන් වුණා. එලෙස රටේ ඇති වුණු ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීම සඳහා ජනතාව මත බදු බර පැටවීමට රජය කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප රටේ ජනතාවට ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදුවුණා. එය වර්තමානයේ දී අප රට තුළ ඇතිව තිබෙන තත්ත්වයට තරමක් සමාන තත්ත්වයක් යැයි කිවහොත් වරදක් නැහැ.
ඛණිජ තෙල් අර්බුදය අවසන් වීම
1974 පෙබරවාරි මාසය වන විට ලෝක ඛණිජ තෙල් අර්බුදය වඩාත් නරක අතට හැරී තිබුණා. එම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමේ අරමුණ ඇති ව 1974 මාර්තු මාසයේ දී වොෂින්ටන් තෙල් සමුළුව රැස් වුණා. එහි දී සිදුවුණු සාකච්ඡාවලින් පසුව තෙල් සම්බාධක ඉවත් කිරීමට අරාබි ලීගයේ රටවල් තීරණය කළා. එම සමුළුවෙන් පසුව තෙල් අර්බුදය අවසන් වුණත් ලෝකයේ බොහෝ රටවල්වල ආර්ථිකය ස්ථාවර වීම සඳහා තවත් වසර කිහිපයක් ගත වුණා. එනිසා 1973 ඛණිජ තෙල් අර්බුදය ලෝක ආර්ථිකයට විශාල හානියක් සිදු කළ අර්බුදයක් ලෙසින් ආර්ථික විශේෂඥයන් හඳුන්වා දෙනවා.