වර්තමාන ලෝකයේ ප්ලාස්ටික් පරිභෝජනය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන්නේ එය මිලෙන් අඩු වීම, බරින් අඩු වීම, හසුරවාගැනීම පහසු වීම වැනි කාරණා රැසක් නිසා යි. මේ හේතුවෙන් ජල බෝතලයේ සිට විවිධ භාණ්ඩ රාශියක් නිපදවීම සඳහා ප්ලාස්ටික් යොදා ගැනෙනවා. වාසි රැසක් තිබුණ ද ගැටළුව වන්නේ, ප්ලාස්ටික් වසර ගණනාවක් ගත වූ පසුත් වියෝජනය නොවීම යි. මේ හේතුවෙන් මේවා පසට හෝ ජලයට එක් වූ පසු විවිධාකාරයේ පාරිසරික ගැටළු නිර්මාණය කරනවා.
ඉන්දුනීසියාව, චීනයට පසුව ලොව වැඩියෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලෝකයට මුදාහරින රට යි. මෙහි ගොඩගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කොතෙක් ද යත් පසුගිය දිනයක එරට තෙවන විශාලතම නගරය වන බැන්ඩුන් අසල ගංගාවක ජලය බැසයාම අවහිර වීම නිසා, එහි වූ ප්ලාස්ටික් බෝතල් වැනි දෑ ඉවත් කර ජලය බැසයාමට සලස්වන්නට එරට හමුදාවට සිදුවුණා. බෝතල්වලට අමතරව ස්ටයිරෆෝම්වලින් තැනූ ආහාර බහාලුම් ද ලක්ෂ ගණනින් මෙහි වුණා.
ඉන්දුනීසියාවේ ධීවර හා සංචාරක කර්මාන්තවලට ප්ලාස්ටික්වලින් වන බලපෑම
ප්ලාස්ටික් සම්බන්ධ ගැටළුව ඉන්දුනීසියාවේ ක්ෂේත්‍ර කිහිපයකටම තදින් බලපා තිබෙනවා. ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඉන් ප්රමුඛ තැනක් ගන්නවා. ඉන්දුනීසියාවේ ගංගා 4ක්ම ලොව වඩාත්ම දූෂණයට ලක් වූ ගංගා 20 අතරට ඇතුළත් වී ඇති අතර, මේවායේ මතුපිට වසා පැතිරී ඇති පොලිතීන් උර, ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් වැනි දේ නිසා මසුන් ඇල්ලීම ඉතා අසීරු කාර්යයක් බවට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ ඉතා ජනප්‍රිය සංචාරක සංධිස්ථානයක් වන බාලි දූපතේ වෙරළ තීරයත් ප්ලාස්ටික් නිසා අද වන විට සෑහෙන පමණින් දූෂණයට ලක් වෙනවා. මෙහි සමහර පෙදෙස්වල වෙරළ තීරයන්ට ළඟාවන්නට තැන තැන ගොඩගසා ඇති ප්ලාස්ටික් ගොඩවල් පසුකර යන්නට සංචාරකයින්ට සිදුවෙලා.
ප්ලාස්ටික් ගැටළුවට එරෙහි පියවර
දිනෙන් දින ඉහළ යන ඉන්දුනීසියාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුවට කඩිනම් පියවර ගැනීමට වර්තමානය වන විට එරට රජය උත්සුක වී තිබෙනවා. එරට වන ගහනය හා පරිසර අමාත්‍යංශය වර්තමානය වන විට නම් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වන Global Plastic Action Partnership (GPAP) නම් ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටිනවා. මොවුන් නවීන තාක්ෂණය උපයෝගී කොටගෙන මේ ගැටළුවට ඉතා තිරසාර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
ඉන්දුනීසියාව පුරවටම පැතිරී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳව ජකර්තා නුවර පිහිටි මධ්‍යස්ථානයක දී කරුණු ගොනු කිරීම මේ වන විටත් අරඹා ඇති අතර, මොවුන්ගේ අභිප්‍රාය 2025 වන විට සාගරයට හා අනෙකුත් ජල මූලාශ්‍රවලට එකතු වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය 70%කින් අඩු කරලීම යි. වර්තමානය වන විට ලොව පුරා නිපදවෙන ප්ලාස්ටික් භාණ්ඩවලින් වැඩි ප්‍රමාණය එක් වරක් හෝ කිහිපවරක් භාවිතා කළ පසුව ඉවත දැමීම සිදුවෙනවා. මේ හේතුව නිසා වැඩි වශයෙන් ප්ලාස්ටික් නිපදවීම සිදුකළ යුතු වන අතර පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වෙනවා.
GPAP එකමුතුවේ අභිප්‍රාය වන්නේ ලෝකයේ නිපදවෙන ප්ලාස්ටික්වලින් වැඩි ප්‍රමාණය අවසානයේ අවට පරිසරයට එකතු වන්නට නොදී, ඒවා ප්රතිචක්රීයකරණය කොට නැවත භාවිතයට ගැනීමේ වැඩපිළිවෙලක් ඇති කිරීම යි. මේ නිසා පරිසරය රැකෙන අතර, ආර්ථික අතින් ද වාසි සැලසෙනවා. අනෙක් අතින් ප්ලාස්ටික් නිපදවන්නට වැයවෙන සම්පත්වල ද ඉතිරියක් සිදුවෙනවා.
ඉන්දුනීසියාවේ ප්ලාස්ටික් ගැටළුවට එරෙහිව ක්‍රියාත්මක වීමට යෝජිත ක්‍රියාමාර්ග
ඉන්දුනීසියානු බලධාරීන් තමන් මුහුණ දී සිටින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුවට සාර්ථක පිළියම් සෙවීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නැංවීමට සූදානම් වී සිටිනවා. මින් එක් ක්‍රියාමාර්ගයක් වන්නේ ප්ලාස්ටික් ඇසුරුම් උවමනාවට වඩා භාවිතය අවම කිරීම යි. මේ අනුව යම් නිෂ්පාදනයක් ඇසුරුම් කිරීමට යොදාගන්නා ඇසුරුම්වල ප්ලාස්ටික් අඩංගු කොටස් අවම කිරීමට දිරිගැන්වෙනවා. මීට අමතරව ප්ලාස්ටික්වල ගුණවලට ආසන්න ගුණ ඇති, ප්රතිචක්රීයකරණය කළ හැකි හා දිරාපත් වන ආදේශක අමුද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ දී යොදා ගැනීමට ඒ ඒ නිෂ්පාදනයන්ගේ නිෂ්පාදකවරු දිරිගැන්වෙනු ඇති.
ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සැලකීමේ දී වඩාත් බහුල ලෙස පරිසරයට එක්කාසු වන ප්ලාස්ටික් ව්‍යුත්පන්න නිෂ්පාදන වන්නේ එක් වරක් භාවිතා කොට ඉවත දමන ප්ලාස්ටික් බෝතල් සහ පොලිතීන් උර යි. මේවා වෙනුවට වීදුරු බෝතල්, කඩදාසි මළු වැනි දේ භාවිතා කරන්නට මිනිසුන් දිරිගැන්වෙනු ඇති අතර තව ද, වරක් භාවිතා කොට ඉවත දමන මළු වෙනුවට පන් මළු වැනි දීර්ඝ කාලීනව භාවිතා කළ හැකි දේ භාවිතා කරන්නට ජනතාවට උපදෙස් හා උපදෙස් ලැබෙනු ඇති.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයේ ගොඩගැසීමේ වේගය අඩු කිරීම එක් වරම සිදුකළ නොහැකියි. ජනතාව ආදේශක දෑ කෙරෙහි හුරු කරවීමට යම් කාලයක් ගතවනවා. ඒ කාලය එළඹෙන තුරු ගත වන කාල සමය තුළ පෙර සේම වේගයකින් පරිසරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීම අපේක්ෂිත යි. මේ නිසා එම ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් වඩා කාර්යයක්ෂ්මව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්කාසු කිරීම හා ඒවා නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය සිදුකළ යුතු යි. මේ සඳහා ද ඉන්දුනීසියානු රජය නිසි පියවර ගන්නට සූදානම් වී සිටිනවා. විශේෂයෙන් කසළ එක්කාසු කිරීමේ දී නිසි ලෙස ඒවා වෙන් කොට ගත හැකි ලෙස, වරණයකින් යුතුව කසළ එක්කාසු කිරීම මේ වන විට ඇරඹී තිබෙනවා. එමෙන්ම ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන ද වෙන් කොට තිබෙනවා.
ඉහත පියවර සියල්ල ගැනීම සඳහා ඉන්දුනීසියානු රජය GPAP එකමුතුව සමග එක්ව ආකෘතීන් සකස් කර ඇති අතර, මේත් සමග ප්‍රතිඵල වන හරිතාගාර වායු විමෝචනයට මෙන්ම මිනිසුන්ගේ එදිනෙදා ජීවන රටාවන්ට සිදුවන බලපෑමත් ප්‍රවේශමෙන් තක්සේරු කොට තිබෙනවා.
වඩා හිතකර ඉන්දුනීසියාවක් කරා
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුව ඉන්දුනීසියාව විසින් කළමනාකරණය කරන ආකාරය පිළිබඳව කලාපයේ බොහෝ දෙනා අවධානයෙන් යුතුව බලා සිටිනවා. ඒ සඳහා ඔවුන් යෝජනා කර ඇති ක්‍රියාවලියේ සාර්ථක-අසාර්ථකභාවය අනුව අග්නිදිග ආසියාවේ ස්වභාවික හා සාමාජීය පරිසරයේ චිර පැවැත්ම තීරණය වනු ඇති.