Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීෂෙල්ස් අධිකරණයේ ඉහළම තනතුර ලාංකිකයෙක්ට

ශ්‍රී ලංකාවේ මෙන්ම සීෂෙල්ස් හි ද පුරවැසිභාවය හිමි ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු, සීෂෙල්ස්හි අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. ඔහු 2020 වසරේ ජූනි මස 1 වන දා සිට එම ධුරයේ කටයුතු ආරම්භ කරනවා. සීෂෙල්ස් ජනරජයේ අධිකරණ පද්ධතිය ගත් කළ එහි ප්‍රධානියා වන්නේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා යි. ඒ අනුව සීෂෙල්ස්හි අධිකරණ පද්ධතියේ ඉහළම විනිසුරුවරයා වන්නේ ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු යි.

සීෂෙල්ස්හි අධිකරණ පද්ධතියේ ඉහලින්ම ඇති අභියාචනාධිකරණය 

මනරම් දූපත් සමූහයකින් සීෂෙල්ස් රාජ්‍ය සමන්විත වෙනවා (සීෂෙල්ස්)

සීෂෙල්ස් ජනරජයේ අධිකරණ පද්ධතිය ගත් කල එහි ඉහළම ආයතනය වන්නේ අභියාචනාධිකරණය යි. සීෂෙල්ස් අභියාචනාධිකරණයේ මූලික නඩු විභාගයන් සිදු වන්නේ නෑ. එහි අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ  විභාගවන නඩුවල අභියාචනයන් විභාග කරන අධිකරණය ලෙස ක්‍රියා කරනවා. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේම කොටසක් ලෙස ක්‍රියාකරනු ලබනවා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් වුවත් අභියාචනාධිකරණයේ දී අභියෝගයට ලක් කළ හැකි යි. සරලව කිවහොත්, සීෂෙල්ස්හි අභියාචනාධිකරණය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හා සම මට්ටමේ පවතිනවා.

ලංකාවේ අධිකරණ සේවයේ සිට සීෂෙල්ස්වලට ගිය ඇන්තනි ප්‍රනාන්දු

ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු (dailynews)

ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ බම්බලපිටියේ උපත ලබනවා. ඒ, සොයුරියන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ අවසානයා ලෙස යි. ඔහුට කුඩා කාලයේ පාසල් ගණනාවකට ඇතුළත් වීමට සිදු වන්නේ, ඔහුගේ පියා දිස්ත්‍රික් අධිකරණ විනිශ්චයකරුවෙකු ලෙස රටේ නොයෙකුත් ප්‍රදේශයන්වල සේවය කිරීම හේතුවෙන්. 

අධ්‍යාපනය සඳහා ඔහු බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට පළමුව ඇතුළත් වෙන අතර පසුව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉන්පසුව ඔහුගේ පියාට මාතලේ දිස්ත්‍රික්කයට රාජකාරි සඳහා පිටත්ව යාමට සිදු වූ බැවින් ඔහු මාතලේ විජය විද්‍යාලයටත්, පසුව නැවත ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයටත් ඇතුළත් වෙනවා.

අ.පො.ස උසස් පෙළ සමත් වීමෙන් අනතුරුව ඇන්තනී ඔහුට වයස අවුරුදු 18ක් වන 1975 වසරේ දී නීති විද්‍යාලයට ඇතුළත් වෙනවා. 1979 වසරේ දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තු සේවයට එකතු වෙනවා. රජයේ අධිනීතිඥයෙකු ලෙසත් පසු කාලීනව වැඩ බලන රජයේ ජේෂ්ඨ අධිනීතිඥයෙක් ලෙසත් ඔහු සේවය කරනවා. 1991 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත්වන ඇන්තනී අධිකරණ සේවා සඳහා  සීෂෙල්ස් බලා ගමන් කරනවා.

සීෂෙල්ස් බලා

ලක්ෂයකට අඩු ජන සංඛ්‍යාවක් මෙහි ජීවත් වේ (traveltriangle)

1984 වසරේ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට වසර 100ක් පිරීම නිමිත්තෙන් බොහෝ රටවල නිතිපතිවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එහිදී පැමිණි නීතිපතිවරුන් අතරින් සීෂෙල්ස්හි නීතිපතිවරයා හා ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දු 1986 වසරේ දී පමණ එරට නීතිපති දෙපාර්තමේන්තුවට අයදුම් කරනවා. පසුව 1990 වසරේ දී ඔහුට සීෂෙල්ස් රාජ්‍යයෙන් “රජයේ ජේෂ්ඨ අධිනීතිඥවරයෙක්” ලෙස වැඩ භාරගන්නා ලෙස ආරාධනා කරනවා. ශ්‍රී ලංකා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වසර දෙකක් සඳහා නිවාඩු ලබාගෙන ඔහු සීෂෙල්ස්  වෙත පැමිණෙනවා.

සීෂෙල්ස්හි නීතිපති ධුරයට 

රජයේ ජේෂ්ඨ අධිනීතිඥවරයෙකු ලෙස වැඩ භාරගන්නා ඔහුගේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමෙන් පසුව එරට රජය විසින් රජයේ ප්‍රධාන අධිනීතිඥවරයා ලෙස ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දුව පත්කරනු ලබනවා. එම ධුරයේ දිගටම කටයුතු කළ ඔහුව 1999 වසරේ එවකට සීෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා ලෙස පත්කරනු ලබනවා. නිදහස ලැබීමෙන් අනතුරුව සීෂෙල්ස්හි පළමු වතාවට එරට පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් නීතිපති තනතුරට පත් වූ අවස්ථාව ලෙස ද එය හැඳින්විය හැකි යි. 

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇන්තනි ප්‍රැන්සිස්‌ තිස්ස ප්‍රනාන්දුව වසර පහක් සඳහා නීතිපති තනතුරට පත්කරන අතර එම අවුරුදු පහ අවසාන වීමෙන් පසු එළඹෙන අවුරුදු පහ සඳහා ද ඔහුව නැවතත් නීතිපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කරනවා.

අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස 

නීතිපති තනතුරේ දෙවන ධුර කාලයත් අවසන් වීමෙන් පසුව එවකට සිටි ජනාධිපතිවරයා විසින් මොහුව අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත් කෙරෙනවා. ඒ 2009 වසරේ ජනවාරි මාසයේ දී යි. අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත්වෙන තුරු ඔහු මෙම ධුරයේ කටයුතු කරනවා. 2015 සිට ඔහු ෆීජිහි අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස ද කටයුතු කරනවා. 

ලංකාවේ නීතිවේදින් හා සීෂෙල්ස්

දප්පුල ද ලිවේරා (amazonaws)

ලංකාවේ නීතිවේදින්ට සීෂෙල්ස් රාජ්‍යයේ ඉහළ පිළිගැනීමක් ඇති බව ඇන්තනි ප්‍රැන්සිස්‌ සඳහන් කරනවා. ඊට හේතුව ලෙස ඔහු දක්වා සිටින්නේ ලංකාවේ නීතිවේදීන් දක්ෂව හා අනලස්ව තම කාර්යයන්ගේ නිරත වීම යි. මීට ප්‍රථම ලාංකික විනිසුරුවරයෙක් එරට අග්‍රවිනිශ්චයකරු ලෙස ද කටයුතු කර තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතිපති දප්පුල ද ලිවේරා ද කාලයක් සීෂෙල්ස්හි අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කළා.

කවරයේ පින්තූරය - 

මූලාශ්‍රයයන් -

NU1's VLOG

Mfa.gov.lk

Related Articles