Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උරුලෑවන් සාදා දෙන අරුම පුදුම ලුවාක් කෝපි

වැසි සහිත දිනයක උණුසුම් කෝපි කෝප්පයක් රස විඳින්නට අපි කවුරුත් කැමැතියි. කෝපි විශේෂ ගණනාවක් වර්තමානය වන විට වෙළෙඳපොළේ දක්නට ලැබෙනවා. සමහර රටවල ප්‍රධානත ම පානය වන්නේ කෝපි. විශේෂයෙන්ම එංගලන්තය, ජර්මනිය වැනි යුරෝපීය රටවල කෝපි කියන්නේ අතිශයින් ම ජනප්‍රිය පානයක්.

ශ්‍රී ලංකාවේ අපිටත් බඩේ අමාරුවක් වගේ දෙයක් හැදුණත් නිතැතින්ම මතක් වෙන්නේ කෝපි කෝප්පයක්. ඊට අමතර ව අයිස් කෝපි, කෝපි කේක්, කෝපි මිශ්‍ර බිස්කට් වැනි නිෂ්පාදන ගණනාවක් දකින්නට පුළුවන්. ඔබ කවදාවත් හිතුව ද එක්තරා සතකු ආහාරයට ගෙන, මළ පහ විදියට පිටකරන කෝපි ඇටවලින් ලෝකයේ වටිනා ම සහ වඩාත් ජනප්‍රිය කෝපි විශේෂයක් නිෂ්පාදනය කරන බව?

කෝපි ඇට සහිත මළපහ එකතු කරන අයුරු – nationalgeographic.com

මේ ලිපියෙන් ඔබ දැනුම්වත් කරන්නේ ඒ කෝපි විශේෂය ගැනයි. ඉන්දුනීසියාව, ජාවා සහ සුමාත්‍රා වැනි දූපත්, වියට්නාමය, පිලිපීනය වැනි රටවල ඉතාමත් ජනප්‍රිය කෝපි විශේෂයක් වන මෙම කෝපි විශේෂය ආසියානු උරුලෑ විශේෂයක් (Paradoxurus hermaphroditus)  ආහාරයට ගෙන මළපහ වශයෙන් පිටකරන අර්ධ වශයෙන් ජීර්ණය වූ කෝපි ඇටවලින් තමයි සාදා ගන්නේ. මේ කෝපි විශේෂය හඳුන්වන තවත් නමක් තමයි ‘සිවට් කෝපි’ කියන්නේ.

ලුවාක් කෝපි නිපදවන ප්‍රධාන රටවල්

ලුවාක් කෝපි නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියා දූපත් වන සුමාත්‍රා, ජාවා, බාලි, සුලවේස් සහ නැගෙනහිර ටිමෝරයේ යි. බොහෝ විට වනාන්තරවල ජීවත් වන මෙම උරුලෑ විශේෂය ආහාරයට ගෙන මළපහ වශයෙන් බැහැර කරන කෝපි ඇට එකතු කර මෙම කෝපි විශේෂය වන ලුවාක් කෝපි නිෂ්පාදනය කරනවා. ඊට අමතර ව පිලිපීන දූපත්වල ලුවාක් කෝපි නිෂ්පාදනය කිරීම සඳහාම වෙන් වූ ගොවිපොළවල් ද පවත්වාගෙන යනවා. ඒ ඒ ප්‍රදේශවල මෙම කෝපි විශේෂය විවිධ නම්වලින් හැඳින්වෙන බවත් දැනගන්නට ලැබෙනවා.

ගුණාත්මක බව ඉහළ මට්ටමක

මෙම කෝපි විශේෂය නිෂ්පාදනය කරන ක්‍රියාවලියේ දී ආකාර දෙකකින් කෝපිවල ඇති ගුණාත්මක බව වැඩි දියුණු වෙනවා කියලා නිෂ්පාදකයන් පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ පෙර සඳහන් කළ උරුලෑවන් විශේෂය ආහාරයට ගැනීම සඳහා තෝරාගන්නේ හොඳ තත්ත්වයේ ඇති කෝපි පමණක් බවයි. ඊට අමතරව එම කෝපි ආහාරයට ගැනීමෙන් පසුව මළපහ වශයෙන් පිටවන අවස්ථාව දක්වා එම සතුන්ගේ ශරීරය තුළ සිදුවන ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී එහි ගුණාත්මක බව තවත් වැඩිවන බව ඔවුන්ගේ අදහසයි.

 

කෝපි ආහාරයට ගන්නා උරුලෑවෙක් – Intrepid Travel

අතීතයේ දී මෙම සතුන්ගේ මළපහ ඔවුන් ජීවත් වන ගුහා ආශ්‍රිත ප්‍රදේශවලින් එකතු කරගත්තත් මේ වන විට නම් ඒ ක්‍රියාවලිය සිදු වන ආකාරයේ විශාල වෙනසක් සිදුවෙලා තියෙනවා. වර්තමානයේ දී මේ සතුන් වනාන්තරවලින් අල්ලාගෙන ඇවිත් කූඩුවල රඳවා තබා අසීමිත ලෙස කෝපි ආහාරයට ගැනීමට සලස්වනවා.

මේ තත්ත්වය මත මෙම සතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ගොඩනැගී තිබීමත් තවත් වැදගත් කරුණක්.  වනාන්තරවල නිදහසේ ජීවත් වූ සතුන් දැන් කූඩුවල සිරකර තැබීම නිසා විවිධ රෝගාබාධයන්ට ලක්වීම, නිසි පරිදි ආහාර නොලැබීම නිසා ඉක්මනින් මිය යෑම වැනි කරුණු මේ වන විට බොහෝ දෙනකුගේ අවධානයට යොමු ව තිබෙනවා.

කූඩු තුළ සිර කර සිටින උරුලෑවෙක් – coffeeaffection.com

අනිකුත් කෝපි වර්ග නිෂ්පාදනය කරන ආකාරයට වඩා වෙනස් ක්‍රමයක් උපයෝගී කරගෙන ලුවාක් කෝපි නිෂ්පාදනය කළත් මෙම කෝපි වර්ගය ලෝකයේ වඩාත්ම මිල අධික කෝපි වර්ගයක් ලෙස සැලකෙනවා. ගොවිපොළවල ඇති කරන උරුලෑවන්ගෙන් ලබා ගන්නා මළපහවලින් නිෂ්පාදනය කරන ලුවාක් කෝපි කිලෝවක් අමෙරිකා ඩොලර් 100ක් වැනි මුදලකටත්, වනාන්තර ආශ්‍රිතව ජීවත් වන උරුලෑවන්ගේ මළපහවලින් ලබාගන්නා කෝපි ඇටවලින් නිෂ්පාදනය කරගන්නා ලුවාක් කෝපි කිලෝවක් අමෙරිකා ඩොලර් 1,000ත් 1,500ත් අතර මුදලකටත් අලෙවි වෙනවා.

ලුවාක් කෝපි නිෂ්පාදනය ඉන්දුනීසියාවේ සාමාන්‍ය කෝපි නිෂ්පාදනය ප්‍රචලිත වූ කාලයේදීම ආරම්භ වන්නට ඇති බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. ලන්දේසීන් යේමනයෙන් ආනයනය කළ කෝපිවලින් ඉන්දුනීසියාවේ කෝපි වගාව ආරම්භ කළ අතර ඊට සමකාලීනව ජාවා දූපතේ ගොවීන් තමන්ගේ ඉඩම්වල තිබී සොයාගත් මෙම සතුන්ගේ මළපහවල තිබූ කෝපි ඇට යොදා ගෙන මෙම ලුවාක් කෝපි විශේෂය නිෂ්පාදනය කළා.

නිෂ්පාදන ක්‍රියාවලිය

ලුවාක් කෝපි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී පෙර සඳහන් කළ උරුලෑ විශේෂය  ආහාරයට ගෙන මළපහ ලෙස පිටකරන අවස්ථාව දක්වා එම කෝපි ඇට විවිධ අම්ල සහ එන්සයිම වර්ග සමඟ මිශ්‍ර වන බව සොයාගෙන ඇත. බහිස්ස්‍රාවීය ක්‍රියාවලියේදී නිපදවෙන විවිධ සංඝටක කෝපි ඇට තුළට ගමන් කර තැන්පත් වන අතර ඒ හරහා ඒවායේ ගුණාත්මක බව වැඩි වන බව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නක්.

 පෙර සඳහන් කළ පරිදි මෙම සතුන්, ආහාරයට ගැනීම සඳහා හොඳින් ඉදුණු හා නිරෝගී කෝපි ඇට තෝරා ගන්නා බැවින් ඒවා ඉහළ ගුණාත්මක තත්ත්වයේ පවතිනවා. මෙම තේරීම ඒවායේ ජීර්ණ ක්‍රියාවලියට මෙන්ම කෝපිවල රසය කෙරෙහි ද බලපාන්නක්. බහිස්ස්‍රාවීය ක්‍රියාවලියේදී සිදුවන විවිධ ජෛව රසායන ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීම හරහා මෙම කෝපිවල තිත්ත රසය අඩුවන බව ද සොයාගෙන ඇතැයි සඳහන්.

සාමාන්‍ය කෝපි නිෂ්පාදන ක්‍රියාවලියේදී කෝපි විවිධ යන්ත්‍ර භාවිතයෙන් ඇඹරීමට ලක් කිරීමේ දී සිදුවන දේ ම මෙම සතුන් ඒවා මළපහ ලෙස පිටකිරීම දක්වා සිදුවන ක්‍රියාවලියේ දී සිදු වන බවයි සොයාගෙන ඇත්තේ.

උරුලෑවාගේ මළපහ සමග පිටවන කෝපි වියළීමට තබා ඇති අයුරු – nanationalgeographic.com

සාම්ප්‍රදායිකව, පෙර සඳහන් කළ සතුන් මළපහ ලෙස පිටකරන කෝපි වතු හා වනාන්තර ආශ්‍රිතව එකතු කළ නමුත් ලුවාක් කෝපි සඳහා වන ජාත්‍යන්තර ඉල්ලුම වැඩිවීමත් සමඟ සමහර නිෂ්පාදකයන් අස්වැන්න වැඩි කිරීම සඳහා මෙම උරුලෑ විශේෂය කූඩුවල රඳවා තැබීමට පෙලඹුණා. ඒ සමඟ ඔවුන් ලුවාක් කෝපි නිෂ්පාදනය කූඩු ක්‍රමය වෙත යොමුවූවා. 

විශේෂ කරුණක් නම් 2014 දී ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය සහ ඉතියෝපියාව යන සියලු රටවල වාර්ෂික කෝපි ලුවාක් නිෂ්පාදනය දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත්තේ කිලෝග්‍රෑම් 127 ටත් වඩා අඩු ප්‍රමාණයක්.

ලුවාක් කෝපිවල රසය

ලුවාක් කෝපිවල රසය තීරණය වන්නේ ඒවා ආහාරයට ගන්නා උරුලෑවන් මළපහ ලෙස පිටකරන කෝපි ඇටවල තත්ත්වය අනුව යි. එම සතුන්ට කෝපි ඇට තෝරා ගැනීමට ඇති හැකියාව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැනි විවිධ කරුණු නිසා ද මෙම කෝපි විශේෂයේ රසය වෙනස් විය හැකි යි.

කෝපි පිළිබඳ බොහෝ විශේෂඥයන් සඳහන් කර ඇත්තේ ලුවාක් කෝපි වැඩි මිල ගණන්වලට අලෙවි වන්නේ ඒ වටා ඇති වෙනස්ම ගණයේ කතාන්දරය නිසා මිස එහි ඇති රසයක් නිසා නොවන බවයි. එක්තරා කෝපි රස බැලීමේ පරීක්ෂණයකදී අනිකුත් කෝපි වර්ගවලට ලැබුණු අඩුම ලකුණු සංඛ්‍යාවටත් වඩා ලකුණු දෙකක් අඩුවෙන් ලුවාක් කෝපිවලට හිමි වීම ද ඒ බව තරමක් තහවුරු කරන්නක්.

ලුවාක් කෝපි අලෙවිය සඳහා තබා ඇති අයුරු – luckybelly.com

ලුවාක් කෝපි අනුකරණ

ලුවාක් කෝපි සඳහා ඇති ඉහල ඉල්ලුම නිසා සමහර සමාගම් සත්ත්ව මැදිහත්වීමකින් තොරව මෙම කෝපි විශේෂය ජීර්ණය කිරීමේ ක්‍රියාවලිය අනුකරණය කිරීමට උත්සාහ කරනවා.  ඒ අතරින් ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගත් එවැනි එක් ක්‍රියාවලියක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ද නිකුත් කර ඇති බව සඳහන්.
වියට්නාම සමාගම් ලුවාක් කෝපි අනුකරණයක් විකුණන අතර එය එන්සයිම පොඟවා ගැනීමෙන් සෑදූවක් වන අතර එය සිවට්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අනුකරණය කර ඇතැයි සඳහන්.

ඒ ආකාරයෙන් ලුවාක් කෝපි නිෂ්පාදන ක්‍රියාවලිය අනුකරණය කිරීම සඳහා බලපෑ හේතු කිහිපයක් අතර මෙම කෝපි විශේෂය සඳහා වන ඉහළ මිල ඒ අතරින් ප්‍රධානයි. ගොවිපොළ ආශ්‍රිතව හෝ වනාන්තර ආශ්‍රිතව ලුවාක් කෝපි නිෂ්පාදනය සඳහා ඉතා විශාල ශ්‍රමයක් අවශ්‍යයි.  ඒ අනුව ඉතා කුඩා නිෂ්පාදන ප්‍රමාණය සහ ඒ සඳහා වැය වන  විශාල ශ්‍රමය ලුවාක් කෝපිවල අධික මිලට හේතුවක්. ඊට අමතරව පෙර සඳහන් කළ උරුලෑ විශේෂය ක්‍රම ක්‍රමයෙන් හිඟ වීම ද වෙනත් නිෂ්පාදන ක්‍රමවේද සඳහා යොමු වීම කෙරෙහි බලපෑ කරුණක් විය හැකියි.

සතුන් මුහුණපාන ගැටලු

ගිනිකොනදිග ආසියාවේ පිහිටුවා ඇති විශාල ගොවිපළවල දස දහස් ගණනක් මෙම උරුලෑවන් කූඩුවල සිරකර තබනවා. එම සතුන්ට බලහත්කාරයෙන් කෝපි ආහාරයට ගැනීමට සලස්වා මළපහ ලබා ගැනීම ගොවිපොළවල සිදු වන්නක්.

 වනාන්තර ආශ්‍රිතව පිහිටි ගුහා තුළ ජීවත් වීමට හුරු වී සිටි මෙම සතුන් එකිනෙකා ගෙන් වෙන්කොට කූඩුවල තබා ඇති අතර පෝෂ්‍යදායි ආහාර ඔවුන්ට නොලැබෙයි. එම නිසා ගොවිපොළවල සිටින මෙම සතුන්ගේ ඉහළ මරණ අනුපාතයක් පවතින අතර ඔවුන් මේ වන විට වඳ වී යාමේ තර්ජනයටත් ලක් වෙලා.

 මේ ආකාරයෙන් කූඩුවල තබා ඇති සතුන්ගේ මේ වන විට අස්භාවික හැසිරීම් රටාවක් දක්නට ඇති අතර ඊට හේතුව ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව විශාල ලෙස වෙනස් වීම නිසා එම සතුන් පීඩනයකින් පසුවන බවයි. ඔවුන්ට ව්‍යායාම සහ නිසි ආහාර අහිමි වී ඇති අතර බොහෝමයක් කූඩුවල සිටින සතුන්ගේ ලොම් සම්පූර්ණයෙන්ම හැලී ගොසින්. මෙම සතුන් කොතරම් දරුණු ලෙස පීඩාවට පත්වනවා ද යත් ලුවාක් කෝපි බටහිර ලෝකයේ ප්‍රචලිත කිරීමේ ලා ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කළ ටෝනි වයිල්ඩ් නම් තැනැත්තා ප්‍රකාශ කර ඇත්තේ සත්ත්ව හිංසනය හේතුවෙන් ලුවාක් කෝපි භාවිත කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට තමා තවදුරටත් සහාය නොදක්වන බවයි. එපමණක් නොව ලුවාක් කෝපි භාවිතය නැවැත්වීම සඳහා ඔහු  “Cut the Crap” නමින් ව්‍යාපාරයක් ද අරඹලා. 

ලුවාක් කෝපි නිෂ්පාදන අදියර – kayakopi.com

ලුවාක් කෝපි මිල ගණන්

ලුවාක් කෝපි යනු ලොව මිල අධිකම කෝපි වර්ගවලින් එකක් වන අතර කිලෝවක් ඩොලර් 220 ත් 1,100 ත් අතර මිලකට 2010 දී  අලෙවි විය. පිලිපීනයේ මෙම කෝපි සහිත මළපහ එකතු කරන්නන්ට ගෙවන මිල කිලෝග්‍රෑමයකට අමෙරිකානු ඩොලර් 20 කට ආසන්නයි.  මෙම කෝපිවලට ප්‍රිය කරන බොහෝ ගනුදෙනුකරුවන් ආසියා ජාතිකයන් වන අතර විශේෂයෙන් ජපානය, චීනය සහ දකුණු කොරියාවෙන් පැමිණි අය ඒ අතර සිටිනවා.

 ලුවාක් කෝපි නිෂ්පාදනයට සමාන ක්‍රියාවලියක් ස්වාභාවිකව ම වවුලන් ද සිදු කරන බව තොරතුරු වාර්තා වෙනවා. ඉදුණු කෝපි ආහාරයට ගන්නා වවුලන් ඒවායේ බීජ කෙළ ගසයි. මෙම බීජ වියළා සකස් කර කෝපි සෑදීම ද විවිධ රටවල සිදු වන්නක්.

කවරයේ ඡායාරූපය:  - ලුවාක් කෝපි නිෂ්පාදනය කරන්නේ ඉන්දුනීසියා දූපත් වන සුමාත්‍රා, ජාවා, බාලි, සුලවේස් සහ නැගෙනහිර ටිමෝරයේ යි - diving.indo.com

මූලාශ්‍ර-

nnationalgeographic.com
 britannica.com
 ccoffeeaffection.com
 kayakopi.com

Related Articles