මීට පෙර අවස්ථා කිහිපයක දී ගිනි ගැනීමට ලක් වූ මෝදර, කජීමාවත්ත පැල්පත් නිවාසවලින් තවත් 70කට වැඩි ප්‍රමාණයක් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ගිනිගෙන විනාශ විය. එම නිවාසවල ජීවත් වූ 300කට වැඩි පිරිසක් ගින්න හේතුවෙන් අවතැන් වීමත් සමඟ කොළඹ නගරයේ ජීවත් වන නිවාස අහිමි ජනතාව පිළිබඳ ව නැවැත කතාබහක් ඇති වී තිබේ.
මෙම සිදුවීමෙන් පසුව දේශපාලනඥයන් සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීන් එම පැල්පත්වල ජීවත් වූ ජනතාව “අනවසර පදිංචිකරුවන්” යැයි හංවඩු ගසනු දක්නට ලැබිණි. කෙසේ වෙතත්, නිවාස අහිමි ජනතාව වෙනුවෙන් රජය සහ අනිකුත් අදාළ ආයතන ඉටු කළ යුතු වගකීම එහිදි ඉටු කර තිබේ ද යන්න ගැටලු සහගත ය.
කජීමාවත්ත ගිනිගැනීම
නාගරික සංවර්ධන අධිකාරිය 2007 වසරේ පටන් නිවාස අහිමි ජනතාව රඳවා තැබීම සඳහා අතරමැදි වාසස්ථානයක් ලෙස පවත්වාගෙන යන මෝදර කජීමාවත්ත පැල්පත් නිවාස සිය ගණනකින් සමන්විත වේ. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයක දී ඇති වූ – මේ වන තෙක් හේතුවක් අනාවරණය නොවූ – ගිනිගැනීම් කිහිපයක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස ගණනාවක් සම්පූර්ණයෙන් ම විනාශ විය.
පසුගිය සැප්තැම්බර් 27 දින රාත්‍රියේ ද කජීමාවත්තේ ගින්නක් ඇති වූ අතර ඉන් නිවාස 60ක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් නිවාස 11කට අර්ධ හානි සිදු විය. එම නිවාසවල ජීවත් වූ පවුල් 75කට අයත් පුද්ගලයන් 306ක් ගින්න හේතුවෙන් අවතැන් වූහ. ඒ අතර වයස අවුරුදු 18ට අඩු ළමයින් 106ක් ද විය. ගින්නෙන් අවතැන් වූ ජනතාව සඳහා මෝදර උයන ප්‍රජා ශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහනගර සභාව සහ පොලිසිය හා අදාළ ආයතන පියවර ගෙන තිබිණි.
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රතිචාරය
ගින්නෙන් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන නියෝජිතයන් සහ නාගරික සංවර්ධන අධිකාරිය වැනි අදාළ ආයතනවල උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවේ දී අනාවරණය වූයේ 2007 වසරේ පටන් නාගරික සංවර්ධන අධිකාරිය අතරමැදි කඳවුරක් ලෙස කජීමාවත්ත පවත්වාගෙන යන බව යි. 2014 වසර අවසන් වන විට එහි ජීවත් වූ සියලු නිවාස අහිමි පුද්ගලයන්ට මහල් නිවාස සංකීර්ණවලින් නිවාස ලබා දී ඇති බව ද එහිදී හෙළි විය.
2015 වසරේ සිට විවිධ ප්‍රදේශවලින් පැමිණි නිවාස අහිමි ජනතාව මෙම ඉඩමේ තාවකාලික නිවාස තනා ගෙන ඒවායේ පදිංචි වී ඇති බව මෙම සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීහු පැවසූහ. ගින්න ඇති වූ අවස්ථාව වන විට එහි ජීවත් වූ පවුල්වලින් 20ක් පමණක් නාගරික සංවර්ධන අධිකාරිය හරහා කජීමාවත්තේ පදිංචි වී ඇති අතර ඉතිරි පවුල් 200කට වැඩි ප්‍රමාණය නිසි අවසරයක් නොමැති ව එහි පදිංචි වූ අය වෙති. තාවකාලිකව ඉදි කළ නිවාසවලට වරිපනම් අංක සහ ජල සහ විදුලි පහසුකම් පවා ලබා දී ඇති බව මෙම සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීහු පැවසූහ.
විශේෂ කමිටුවක්
මෙම ගින්නට හේතු වූ කරුණු සහ ඉදිරියේ දී කජීමාවත්තේ පදිංචිකරුවන්ගේ සුබසාධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ අතර, කොළඹ දිස්ත්‍රික් ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්, නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී, රජයේ රස පරීක්ෂක සහ ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් සහ ග්‍රාම නිලධාරිවරයා එහි සාමාජිකයන් විය. මෙම කමිටුව එහි මූලික වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාර දී ඇති බව පසුගිය දා වාර්තා විය.
නිවාස අහිමි ජනතාව ගැන නවත ම අනාවරණය
කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිදුවීමත් සමඟ කොළඹ නගරය ආශ්රිත ව වසන නිවාස අහිමි ජනතාව සහ ඔවුන් සම්බන්ධයෙන් බලධාරීන් ගෙන ඇති පියවර පිළිබඳව විවිධ පාර්ශව අදහස් පළ කර ඇත. අදාළ ආයතනවල නිලධාරීන් නිවාස අහිමි ජනතාවට නිවාස ලබා දීම වෙනුවට ඔවුන් “අනවසර පදිංචිකරුවන්’ යනුවෙන් හඳුන්වන බව බොහෝ පාර්ශව චෝදනා කරති.
2012 වසරේ දී සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කොළඹ නගරය ආශ්රිත ව නිවාස අහිමි පුද්ගලයන් 60,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බව යි. විශේෂයෙන් ම දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ නගරය ආශ්රිත රැකියා සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මෑතකාලීන ව විශාල වශයෙන් ඉහළ යාම නිසා නිවාස අහිමි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ.
සමීක්ෂණය හරහා හඳුනා ගත් පුද්ගලයන්ට වසර කිහිපයක් ඇතුළත කොළඹ නගර සීමාව තුළ ක්‍රියාත්මක කරන මහල් නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතන සැලසුම් සකස් කර තිබුණත් ඒවා මේ වන තෙක් ක්‍රියාත්මක වී නැත. අදාළ සමීක්ෂණය සිදු කර මේ වන විට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබුණත් නිවාස ලබා දී ඇත්තේ පුද්ගලයන් 20,000කට ආසන්න සංඛ්‍යාවකට පමණි.
නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම
නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරමින් පැවැති මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ගණනාවක් විවිධ හේතු නිසා මේ වන විට අත්හිටුවා තිබීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවකි. ඉඩම් පවරා ගැනීමේ දී ඇති වන නීතිමය ගැටලු, වරින් වර බලයට පැමිණෙන රජයන් විවිධ හේතු මත ව්‍යාපෘති අත්හිටුවීම සහ වර්තමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම වැනි කරුණු නිවාස ව්‍යාපෘති අත්හිටුවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.
දේශපාලන සබඳතා මත නිවාස ලබා දීම
රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල නිවාස ලබා දෙන්නේ සැබැවින් ම නිවාස අවශ්‍ය පුද්ගලයන්ට ද යන්න ප්රශ්නයකි. වරින් වර බලයට පැමිණෙන රජයන් යටතේ නිවාස ඉදිකිරීම වැනි විෂය පථයන් අදාළ වන අමාත්‍යංශ විවිධ අමාත්‍යවරුන්ට පැවරෙන අතර ඔවුහු බොහෝ අවස්ථාවල නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනවලට ඔවුන්ට හිතවත් නිලධාරීන් පත් කරන බව නොරහසකි.
මේ තත්ත්වය තුළ, දේශපාලනඥයන්ගේ සහ ඉහළ පෙළේ නිලධාරීන්ගේ හිතවත්කම් සහ අනුදැනුම මත රජයේ ව්‍යාපෘතිවල නිවාස, නිවාස අහිමි පුද්ගලයන් වෙනුවට වෙනත් පුද්ගලයන්ට ලබා දීමේ සිදුවීම් බොහෝ වාර්තා වේ. ඒ ආකාරයෙන් සිය ඥාතීන් පිරිසකට රජයේ නිවාස ව්‍යාපෘතිවලින් ඉතා අඩු මිලට නිවාස ලබා දීම නිසා මීට පෙර අදාළ විෂය භාරව සිටි අමාත්‍යවරයකුට එරෙහි ව නඩු කටයුත්තක් පවා ක්‍රියාත්මක විය.
රජයෙන් ලැබෙන නිවාස වෙනුවට සුපුරුදු නවාතැන්වල ජීවත් වන ජනතාව
රජයේ ව්‍යාපෘතිවලින් නිවාස ලබාගන්නා පුද්ගලයන් ඒවා කුලී හෝ බදු පදනම මත වෙනත් පුද්ගලයන්ට ලබා දී දිගින් දිගට ම කජීමාවත්ත වැනි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල පිහිටි නිවාසවල ම ජීවත් වීම ද නිවාස අහිමි පුද්ගලයන් පිළිබඳ ගැටලුව විසඳීම ප්‍රමාද වීමට තවත් හේතුවකි. කජිමාවත්තේ ඇති වූ ගින්නෙන් විනාශ වූ නිවාසවල ජීවත් වූ සමහර පුද්ගලයන් ද ඔවුන්ට ලැබුණු නිවාස වෙනත් පාර්ශවයන්ට කුලී පදනම මත ලබා දී ඇති බව වාර්තා විය.
නිවාස අහිමි ජනතාව පිළිබඳ රජයේ අදහස
කොළඹ නගරයේ පමණක් සම්පූර්ණ පහසුකම් නොමැති වතු 1,200 ක් පමණ තිබෙන බවත්, ඒවායේ ජීවත් වන ජනතාවට අවශ්‍ය නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් වැනි දෑ සැපයීම සඳහා නිවාස අමාත්‍යංශය, නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස අධිකාරිය වැනි ආයතන කටයුතු කරන බව රජය පසුගිය දා සඳහන් කළේ ය. ඔක්තෝබර් 03 වැනි දිනට යෙදුණු ලෝක ජනාවාස දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ ජනාවාස ගැටලු ජය ගැනීම සහ නිවාස අහිමි ජනතාවට නිවාස ලබා දීම සඳහා රජය ඇප කැප වී ක්‍රියා කරන බව යි. ඒ සඳහා වන සුවිශේෂී වැඩසටහනක් 2023 වසර සඳහා වන අයවැය යෝජනාවට ඇතුළත් කරන බව ඔවුහු සඳහන් කළහ.