අනුරාධපුර සිට ඔයාමඩුවට යන අතරතුර ඇතුලු පාරක හමුවන මානින්ගමුව ගම්මානයේ පිහිටි කුඩා වැවෙහි තවමත් තරමක ප්‍රමාණයක් ජලය තිබෙනවා. එය දකින අයකුට මෙම ප්‍රදේශයේ නියඟයක් පවතින්නේ යයි සිතෙන්නේ නැති වීමටත් පුලුවනි. නමුත්, පෙනෙන දෙයට වඩා සත්‍යය බොහෝ සෙයින් වෙනස්.
මානින්ගමුවේ වැවේ ජලය මේ තරමට හෝ ඉතිරි වීමට ප්‍රධාන හේතුව නම් මෙවර මහ කන්නයේ කුඹුරු වැඩ නොකිරීමයි. වැසි නොවැටුණ හෙයින් වැව්වල ඇති පමණ ජලය නොමැතිව කුඹුරු වැඩ නොකෙරුණ නිසාවෙන් වැවේ ජලය ස්වල්පයක් හෝ ඉතිරි වී ඇති බව ගම් වැසියකු අප හා ප්‍රකාශ කළා.
නියඟය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක් වෙළාගෙන පවතින විශාල විනාශයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුව නිසා ඇතිවී තිබෙන ප්‍රශ්න විවිධාකාර වන අතර ඒවාට විසඳුම් සෙවීමත් එතරම් ම පහසු නැහැ.
සමහර විට මේ නියඟය තවත් ටික දිනෙකින් අවසන් වේවි. නමුත් එයින් මෙතෙක් ඇති කළ ප්‍රශ්න අවසන් වෙන එකක් නැහැ.
නියඟය දැඩි ප්‍රශ්නයක් බවට පත් වන්නේ මූලිකම මිනිස් අවශ්‍යතාවක් වන ජලය පිළිබඳ ජනතාව විශාල ගැටළුවකට මුහුණ දෙන නිසා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ජල හිඟය ජනතාවට ඇති කරන්නේ එක ප්‍රශ්නයක් නෙවෙයි. බීමට සහ වෙනත් එදිනෙදා අවශ්‍යතාවලට අවශ්‍ය ජලය හිඟකමෙහි සිට ගොවිතැන් පාලු වීම සහ වෙනත් ව්‍යසනයන් ගණනාවක් ජනතාවට ජල හිඟය හේතුවෙන් ඇති වෙනවා.
ලොකු වැව් සහ පොඩි වැව්
මෙවර නියඟයෙන් වැඩිම හානි සිදුව තිබෙන්නේ වියළි කලාපයේ අනුරාධපුර , පොළොන්නරුව , වව්නියාව , කිලිනොච්චි, මුලතිව්, මොණරාගල යනාදී ප්රදේශවලටයි. එම ප්‍රදේශවලට සාමාන්‍යයෙන් ලැබෙන ඊසාන දිග මෝසම් වර්ෂාව මෙවර නොලැබුණ අතර මීළඟ මාස කිහිපය තුළ ද එහි සාමාන්‍යයෙන් වැසි බලාපොරොත්තු විය නොහැකියි. මේ හේතුව නිසා මෙවර මෙන්ම ලබන කන්නයේද වී වගාවට විශාල ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා.
රාජාංගනයේ සාළියපුර ගොවි සංගමයේ සභාපති ටෙරන්ස් ගාමිණී මහතා සඳහන් කරන පරිදි මෙම කන්නයේදී, විශාල වැව්වලින් ජලය ලබන කුඹුරු යායවල තුනෙන් පංගුවක් පමණ ප්‍රදේශයක වී වගාව සිදු කර තිබෙනවා. රාජාංගනය විශාල වැවක් බැවින් සෑම දින දහයකටම වරක් දින තුනක් ජලය මුදා හැරීමට හැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නා .
ඔහු තව දුරටත් කියා සිටියේ කුඹුරු ආශ්‍රිතව වගා ළිං කපා ගැනීමට ඉඩ ලබා දෙන්නේ නම් නියං සමයක දී ජලය එක් රැස් කරගැනීම පහසු විය හැකි බව ය . මේ වන විට වගා ළිං කපන්නට ඉඩ දෙන්නේ ගොඩ ඉඩම්වල පමණක් බව ඔහු පෙන්වා දුන්නා.
කුඩා වැව්වලින් ජලය ලැබෙන කුඹුරු යායවල තත්ත්වය ඊටත් වඩා අයහපත් බව ද ඔහු පෙන්වා දුන්නා. ඒ බොහෝ වැව්වලින් වැඩ කරන කුඹුරුවල මෙවර වී වගාව කෙරුණේ නැහැ. මානින්ගමුව ඊට එක් උදාහරණයක් පමණයි.
ඔයාමඩුව ප්‍රදේශයේ ගම් වැසියකු අප හා කියා සිටියේ තමන් කන්න තුනකින් කුඹුරු වැඩ නොකළ බවයි. හැකි ආකාරයෙන් සිය ජීවිකාව සලසා ගැනීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළා.
අනෙකුත් වගාවන්
ප්‍රදේශයේ අනෙකුත් වගාවන්ට ද නියඟය බලපා තිබෙනවා. මානින්ගමුවේ බොහෝ දෙනෙක් සිය ගොඩ ඉඩම්වල බඩ ඉරිඟු වගාවෙහි නිරත වෙනවා. නමුත් මෙවර එම වගාවන් ද එතරම් සාර්ථක වී නැහැ. එක් පවුලක් අප සමඟ සඳහන් කළේ ඔවුන් සතු අක්කර අටක ඉඩමෙන් බඩ ඉරිඟු කිලෝ 150 ක් පමණ අස්වැන්නක් ලැබුණ බවයි. සාමාන්‍යයෙන් ඔවුනගේ ඉඩම්වලින් අක්කරයකට කිලෝ 2,500 ක් වත් ලබාගත හැකි බව ඔවුන් සඳහන් කළා.
ගෙවතුවල ළිං ඇති ඇතැම් ගම් වැසියන් වගාවන්හි නිරත වන නමුත් ඒවා ද වෙනදා තරම් සාර්ථක වී නැහැ. ඊට හේතු වන්නේ දැඩි අව් රශ්මිය යි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ ගණනාවක ද බඩ ඉරිඟු වැනි අමතර බෝග වගාවන් ද විනාශ වී තිබෙනවා. හේන් වගාවෙහි යෙදෙන ගොවීන්ට ද නියඟය ගෙනවිත් ඇත්තේ විශාල විනාශයක් බව මානින්ගමුවේදී ගම් වැසියන් අප හා පැවසුවා.
ගොවියාට අද තැනක් නැත
ඉඩම් සහ කෘෂි ප්‍රතිසංස්කරණය සඳහා වන ජාතික ව්‍යාපාරය හෙවත් මොන්ලාර් (Movement for National Land and Agriculture Reform) සංවිධානයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ අප සමඟ ප්‍රකාශ කර සිටියේ නියඟය සම්බන්ධව විවිධ පැතිකඩ කිහිපයකින් ම නිරීක්ෂණය කළ යුතු බව යි. විශේෂයෙන්ම සෑම රජයක්ම අවධානය යොමු කරන්නේ නියඟය ඇති වීම වළක්වා ගැනීම හෝ පාලනය කිරීම නොව නියඟය ඇති වූ විට සහනාධාර බෙදීම කෙරෙහි පමණක් බව ඔහු පෙන්වා දුන්නා.
පාරිසරික පද්ධතීන්ට සිදුව ඇති හානිය , ජල පෝෂක ප්‍රදේශ විනාශ වීම වැනි කරුණු මෙන්ම වැව් ප්‍රතිසංස්කරණය කිරීම වැනි කරුණු පිළිබඳව රජය දක්වන උදාසීන බව පිළිබඳ ඔහු දැක්වූයේ දැඩි අප්‍රසාදයක්.
රාජපක්ෂ තව දුරටත් කියා සිටියේ සුලු පරිමාණ ගොවීන්ගේ ගැටළු පිළිබඳ රජය කිසිදු තැකීමක් කරන බවක් නොපෙනෙන බවයි. රජයට අවශ්‍යව ඇත්තේ යැපුම් කෘෂිකර්මාන්තය අධෛර්යයමත් කිරීම සහ අපනයන භෝග වගාව දිරිමත් කිරීම බවත්, මහා පරිමාණ ලෙස ඉඩම් ඒ සඳහා යොදවා ගැනීමේ අවශ්‍යතාව රජයට ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
රජය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තයට හිමි ස්ථානය නියම ආකාරයෙන් අර්ථ දැක්විය යුතු බව ඔහු සඳහන් කරනවා. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා අධිකාරිය එක ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්, වර්තමාන තත්ත්වය අවුල් ජාලයක් බවත් ඔහු කියනවා.
එමෙන්ම , කෘෂිකර්මාන්තය සිදු වන්නේ නිලධාරීන්ට අවශ්‍ය පරිදි මිස ගොවීන් ගේ අවශ්‍යතා මත නොවන බව ද ඔහු කරන දැඩි චෝදනාවක්. විශාල වැව්වලින් ජලය බෙදීමේ සිට විවිධ අංශ කෙරෙහි මේ ප්රශ්නය බලපාන බව ඔහු කියනවා.
මේ අතර අනුරාධපුරයේදී අපට මුණ ගැසුණ ජනයා රජය කෙරේ දැක්වූයේ දැඩි අප්‍රසාදයක්. ඇතැම්විට කන්න දෙකක් හෝ තුනක් ම වගා පාලු වී අසරණව සිටින ඔවුන්ගේ දුක දෙස රජය නොබලන බවයි ඔවුන් පවසන්නේ. එක් අතකින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමස්ථ ලංකා ගොවි සම්මේලනය විසින් වගා හානි වූ පවුලකට රුපියල් 50,000 ක වන්දියක් ලබා දෙන ලෙස රජයට බල කරනවා. රජය මේ වනවිට රුපියල් දස දහසක වන්දියක් ලබා දෙන්නට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැති බවයි ජනතාව සඳහන් කළේ.
නියඟය හේතුවෙන් අලි මිනිස් ගැටුම උග්‍ර වී තිබීම ජනතාව මුහුණ දෙන තවත් විශාල ප්‍රශ්නයක්. ඒ පිළිබඳව වෙනමම ලිපියක් තුළින් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.