Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු පළාතට නෑකම් කියන එක්සත් රාජධානියේ වෙළඳ ඇමතිවරයා – රනිල් ජයවර්ධන

ශ්‍රී ලංකා සම්භවයක් ඇති එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන, එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් එක්සත් රාජධානියේ නව වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍යයන් විසින් පසුගිය දා වාර්තා කරනවා. එලෙස එක්සත් රාජධානියේ ඇමති ධුරයකට පත්වන, ලාංකීය සම්භවයක් සහිත පළමු පුද්ගලයා වන්නේ ද රනිල් ජයවර්ධන යි. ඊසාන දිග හැම්ප්ෂයර් ප්‍රාන්තයෙන් ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින අතර 2015 වසරේ සිට ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එමෙන්ම ඔහු බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂයේ උප සභාපතිවරයා ලෙස ද 2020 වසරේ පෙබරවාරි මාසයේ සිට කටයුතු කරනවා. 

ලංකාවේ දකුණු පළාතට නෑකම් කියන රනිල් ජයවර්ධන

රනිල් ජයවර්ධන එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ (romseyadvertiser)

බද්දේගම, නයාපාමුල, ගොඩෙිවත්තේ ග්‍රාමයේ ගොඩෙි වත්ත තේ කර්මාන්තශාලාවේ හිමිකරු වන දොන් තෙපානිස් අල්විස් අබේවික්‍රම පුතුන් පස් දෙනෙක් හා දියණියන් හත් දෙනෙක්ගෙන් යුත් පවුලකට පියා වෙනවා. එම දියණියන් අතරින් ඩෙිසි අබෙිවික්‍රම නම් දියණිය විවාහ වන්නේ ඉඩමි හිමි වැවිලිකරුවෙකු වන හෙන්රි ජයවර්ධන සමග යි. 

හෙන්රි හා ඩේසි යුවළට දාව පුතුන් හතර දෙනෙක් හා දියණියන් දෙදෙනෙක් උපත ලබනවා. පුතුන් හතරදෙනා අතරින් කෙනෙකු වූ නලින් ජයවර්ධන 1978 වසරේ දී සිය ස්ථිර පදිංචිය සඳහා එක්සත් රාජධානිය තෝරා ගන්නවා. එක්සත් රාජධානියේ දී නීතිය පිළිබඳව වැඩිදුරට ඉගෙන ගන්නා රනිල් ජයවර්ධන එක්සත් රාජධානියේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කරනවා. පසුව ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක් වන ඉන්දිරා සමග ඔහු විවාහ වෙනවා. 

විවාහයෙන් පසුව ජයවර්ධන යුවලට දාව දරුවන් තිදෙනෙකු උපත ලබන අතර එක්සත් රාජධානියේ ඇමති ධුරයකට පත්වන පළමු ලාංකීය සම්භවයක් සහිත පුද්ගලයා වන රනිල් ජයවර්ධන උපත ලබන්නේ 1986 සැප්තැමිබර් මස 03 වන දා යි. 

උසස් අධ්‍යාපනය හා දේශපාලනයට යොමු වීම 

අගමැති බොරිස් ජොන්සන් සමග (lankabusinessnews)

1986 වසරේ ලන්ඩනයේ දී උපත ලබන රනිල් ජයවර්ධන සිය ප්‍රාථමික අධ්‍යාපනය Hook Junior School වෙතින් නිම කර ද්විතියික අධ්‍යාපනය සඳහා Alton College වෙත ඇතුළු වෙනවා. පසුව London School of Economics වෙත ඇතුළත් වී ඔහු සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කරනවා. උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව රනිල් ජයවර්ධන Lloyds Banking Group වෙත සිය සේවය ලබා දෙනවා. එවකට එක්සත් රාජධානි පාර්ලිමේන්තුව සඳහා  ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරයා වන James Arbuthnotගේ කාර්යාලයේ ස්වේච්ජා පදනමින් සේවය කිරීමට රනිල් ජයවර්ධන එකතු වෙනවා.

2008 වසරේ දී රනිල් ජයවර්ධන බ්‍රිසින්ස්ටෝන් සහ ඩේන් (Basingstoke and Deane) හි නගර සභා කවුන්සලයේ සාමාජිකයෙක් ලෙස පත්වෙනවා. 2008 වසරේ සිට 2015 වසර දක්වා එම කවුන්සලයේ කටයුතු කළ ඔහු වරෙක එහි නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ද සේවය කරනවා.

ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට 

සිය බිරිඳ හා අධාරකරුවන් සමග (newsradio)

2015 වසරේ මැයි මාසයේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තයෙන් කොන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් රනිල් ජයවර්ධන පළමුවරට ඉදිරිපත් වෙනවා. එම පක්ෂයෙන් තරග වැදුණු ඔහු ඡන්ද 35,573ක් ලබා ගන්නවා. ඔහු, ප්‍රතිවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ග්‍රැහැම් කොකරිල්ට වඩා ඡන්ද 29,916ක් ලබා ගත් අතර ග්‍රැහැම් කොකරිල් ලබා ගන්නේ ඡන්ද 5657ක් පමණ යි. කම්කරු පක්ෂයෙන් තරග කළ අම්රාන් හුසේන් ඡන්ද 5290ක් ද බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයේ රොබර්ට් බ්ලේ ඡන්ද 4732ක් ද ලබා ගන්නවා. වැඩිම ජන්ද ප්‍රමාණයක් ලබා ගන්නා රනිල් ජයවර්ධන පළමු වතාවට එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලබා ගන්නවා.

රනිල් ජයවර්ධන (basingstokegazette)

ඉන්පසුව 2017 පැවති මහ මැතිවරණයෙන් ද ඔහු ජයග්‍රහණය කරනවා. ඒ ජන්ද 37,754ක් ලබා ගනිමින්. 2019 වසරේ දී එවකට අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇයගේ වෙළඳ කටයුතු නියෝජිතයා ලෙස  රනිල් ජයවර්ධන පත් කරනු ලබනවා. අනතුරුව බොරිස් ජොන්සන්ගේ ආධාරකරුවෙක් ලෙස කටයුතු කරන රනිල් ජයවර්ධන බ්රෙක්සිට් වෙනුවෙන් ද කාර්යභාරයක් ඉටු කරනවා. බ්රෙක්සිට් හා සම්බන්ධයෙන් 2020 ජනවාරි පැවති මහ මැතිවරණයෙන් ද ජන්ද 35,280ක් ලබා ගනිමින් ඔහු සිය ජයග්‍රහණය නැවතත් තහවුරු කරනවා.

2020 වසරේ පෙබරවාරි 15 සිට මැයි 5 වන දා දක්වා පාලක කොන්සවේටිව් පක්ෂයේ උප සභාපති ලෙස කටයුතු කරන රනිල් ජයවර්ධන මැයි 5 වන දා බ්‍රිතාන්‍යයේ වෙළඳ ඇමතිවරයා ලෙස සිය පත්වීම භාරගනු ලබනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දින හතක මන්ත්‍රී ධුරය අත්හිටුවීමක් හේතුවෙන් හිටපු වෙළඳ ඇමතිවරයා වන කොනෝර් බර්න්ස් සිය ධුරයෙන් ඉවත්ව යාමත් සමග යි. 

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන ඇලිසන් ජයවර්ධන සමග විවාහ වී සිටින ඔහු මේ වන විට දෙදරු පියෙකු ද වෙනවා.

කවරයේ පින්තූරය -

මූලාශ්‍රයයන් - 

NewsWire

Dailynews.lk

Related Articles