Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාවට අනතුරු අඟවන අල්කයිඩා ප්‍රධානියා – හම්සා බින් ලාඩන්

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් පිළිබඳව නිවැරදි ඔත්තුවක් ලබා දෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ප්‍රදානය කිරීමට එක්සත් ජනපදය සූදානම් බව එරට රජය 2019 වසරේ පෙබරවාරී 28 වන දා නිවේදනය කරනවා.

අල් කයිඩා සංවිධානයේ හිටපු ප්‍රධානියා වන ඔසාමා බින් ලාඩන්ගෙන් පසුව එම සංවිධානයේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට දායක වන ත්‍රස්තයෙකු ලෙස හම්සා බින් ලාඩන්ව ඇමෙරිකාව හඳුනාගෙන තිබෙනවා. 2017 වසරේ දී ගෝලීය ත්‍රස්තවාදීන්ගේ නාම ලේඛණයට හම්සාගේ නම ඇතුලත් කිරීමට ද ඇමෙරිකානු රජය ක්‍රියා කර තිබෙනවා.

ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයත් සමග සෞදි අරාබිය හම්සා බින් ලාඩන්ගේ එරට පුරවැසිභාවය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. සෞදියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඒ සඳහා ගැසට් නිවේදනයක් 2019 වසරේ මාර්තු 1 වන දා නිකුත් කර තිබෙනවා.

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍ර හම්සා බින් ලාඩන්

ඔසාමා බින් ලාඩන් (Time Magazine)

2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වන දා (9/11 ප්‍රහාරය) එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට හා පෙන්ටගනයට කඩා වදින පැහැරගත් ගුවන් යානා දෙකක් එම ගොඩනැගිලි පුපුරවා දමනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 3000ක් පමණ මරණයට පත් වූ බව සඳහන්.

ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය බවත්, ඊට නායකත්වය දෙනු ලැබුවේ ඔසාමා බින් ලාඩන් බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරනවා. ප්‍රහාරය එල්ල වන සමයේ හම්සා බින් ලාඩන් සිය පියා සමග ඇෆ්ගනිස්ථානයේ රැදී සිටි බවට තොරතුරු ඇමෙරිකානු ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

9/11 ප්‍රහාරයෙන් පසුව “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නමින් මැදපෙරදිග රටවල ක්‍රියාත්මක වෙන, ත්‍රස්ත සංවිධාන විනාශ කිරීමේ අරමුණෙන් යුධ ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. එය ආරම්භ කරන්නේ එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ජෝර්ජ් බුෂ් විසින්. එම යුධ ව්‍යාපාරය මැදපෙරදිග රටවල තාමත් ක්‍රියාත්මක වෙනවා.

එම යුධ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස 2011 වසරේ දී ඇමෙරිකානු සීල් බලකා සෙබළුන් කරන ලද රහසිගත මෙහෙයුමෙන් බින් ලාඩන් ඝාතනය වෙනවා. ඒ ඔහු  සැඟවී සිටි පකිස්ථානයේ ඇබොටබාද්හි නිවසේ දී යි.

අල්කයිඩා අනාගත නායකයා

හම්සා බින් ලාඩන් (Small Joys)

එම නිවසේ තිබීමෙන් ඇමෙරිකානු සෙබළුන් රහස්‍ය ලේඛණ කිහිපයක් සොයා ගන්නවා. තම මරණයෙන් පසුව අනාගත අල්කයිඩා සංවිධානයේ නායකත්වය ඔහුගේ විශ්වාසවන්ත පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන්ට පැවරීම පිළිබඳව එම ලේඛනවල සඳහන්ව තිබෙනවා.

ඔසාමාගේ මරණයෙන් පසු තම පියාගේ මරණයට වගකිවයුතු බටහිර රටවලින් පළිගන්නා බව පවසමින් හම්සා බින් ලාඩන් මේ වනවිට හඬපට කිහිපයක් නිකුත් කර තිබෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව පවසන පරිදි මේ වන විට 30 වැනි වියේ පමණ පසුවෙන ඔහු අල්කයිඩා සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයෙකු බවට පත්වෙමින් සිටිනවා. ඒ හේතුවෙන් 2017 වසරේ දී ඔහුව ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට ඇමෙරිකාව තීරණය කරනවා.

ඔහු පාකිස්තාන ඇෆ්ගනිස්තාන දේශ සීමාව අසල හෝ, සිරියාවේ, එහෙම නැත්නම් ඉරානය තුළ හෝ ආරක්ෂිතව සැඟවී ඇති බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙන් කළ නිවේදනයක් සඳහන්.

හම්සා බින් ලාඩන්

9/11 ප්‍රහාරය  (Business Insider)

1989 වසරේ දී පමණ උපත ලබන්නට ඇතැ යි සැලකෙන මොහුගේ සම්පුර්ණ නම ලෙස සඳහන් වන්නේ හම්සා බින් ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාඩන් ය. ඔහු ඔසාමා බින් ලාඩන්ගේ භාර්යාවන් අතරින් කයිරියා සාබර් නම් භාර්යාවගේ පුත්‍රයෙක්. ඔහු විවාහ වී සිටින්නේ 9/11 ප්‍රහාරය මෙහෙයවූ අල්කයිඩා ක්‍රියාකාරිකයෙක් වන මොහොමඩ් අට්ටාගේ දියණියක් සමග යි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටුණු එක් ගුවන් යානයක් පදවන්නේ මොහොමඩ් අට්ටා යි.

ඇමෙරිකා එක්සත් ජනපදය පවසන ආකාරයට හම්සා 2007 වසරේ සිට අල්කයිඩා සංවිධානයේ ඉහළ තනතුරක් හොබවනවා. 2007 වසරේ දී පකිස්ථානයේ අගමැතිනිය බෙනාසීර් බූතෝ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව ඉරානයේ දී සැක පිට අත්අඩංගුවට ගනු ලබනවා. 2010 වන තුරු හම්සාව නිවාස අඩස්සියේ රඳවා තැබීමට ඉරාන බලධාරීන් විසින් ක්‍රියා කරනවා.

ඇමෙරිකාවට අනතුරු ඇඟවීම

ඉස්ලාම් සංවිධාන හා ඊශ්‍රායලය අතර නිරන්තර ගැටුම් ඇතිවෙන ගාසා තීරය (Al Jazeera)

2015 වසරේ අගෝස්තු මාසයේ දී ඔහු පළමුවරට හඬ පටයක් අන්තර්ජාලයට මුදා හරිනවා. එම හඬපටය ඔස්සේ කාබුල්, බැඩ්ගෑඩ්, හා ගාසා තීරයේ සිටින අල්කයිඩා අනුගාමිකයන් අමතමින් සැවොම සමගියෙන් සිටිය යුතු බවත් වොෂින්ටන්, ලන්ඩන්, පැරිස් හා ටෙල් අවිව් වැනි නගරවලට පහරදිය යුතු බවත් නිවේදනය කරනවා.

2016 වසරේ මැයි මාසයේ දී නැවතත් හඬ පටයක් නිකුත් කරමින් හම්සා පවසා සිටින්නේ සිරියානු සිවිල් යුද්ධය ජයගත යුතු බව හා ජෙරුසලම නැවතත් ලබා ගැනීම සඳහා ශුද්ධ වූ සටනක් කළ යුතු බව යි. මුස්ලිම්වරුන්ට හා ඉස්ලාම් දහමට එරෙහි වන්නන් විනාශ කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

අල් කයිඩා සාමාජිකයන් (Public Radio International)

2016 වසරේ ජූලි මාසයේ නිකුත් කළ හඬ පටයක තමාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට තර්ජනය කරන ඔහු එහි පළිය ගන්නා බවත් සඳහන් කරනවා. පලස්තීනය, සිරියාව, යේමනය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා සෝමාලියාව වැනි රටවලට අමෙරිකාවෙන් කෙරෙන අතපෙවීම් නවතා දැමීමට අපොහොසත් වුවහොත් ඇමෙරිකාවට ප්‍රහාර එල්ල කරන බවට ද කියා සිටිනවා.

2017 වසරේ වීඩියෝ පටයක් නිකුත් කරන හම්සා ඒ තුළින් ඇමෙරිකානුවන්ට, යුදෙව්වන්ට, රුසියානුවන්ට හා, සියලුම යුරෝපා ජාතිකයන්ට අනතුරු අඟවා තිබෙනවා.

කවරයේ පින්තූරය: NewsNation

මූලාශ්‍රයයන්:

investigativeproject.org

theguardian.com

bbc.co.uk

smh.com.au

Related Articles