
විවිධාකාරයේ හේතු නිසා ලොව සමහරක් දේවලට සිතා ගැනීමටවත් නොහැකි මට්ටමේ මිලක් නියම වී තිබෙනවා. එය හුදෙක් ඒවායේ අන්තර්ගත අමුද්‍රව්‍ය, සොයා ගැනීමේ අපහසුව මෙන් ම සෑදීමේ අතිශය අභියෝගාත්මක බව වැනි කරුණු නිසා විය හැකි යි. ලොව සමහරක් දේවලට එලෙස අසාමාන්‍ය ලෙස මිල නියම වී ඇත්තේ, වෙනත්, අතිශය අසාමාන්‍ය කාරණා නිසා යි.
මේ ලිපිය වෙන් වන්නේ එලෙස අසමාන්‍ය වටිනාකමක් ඇති ලොව මිල අධිකත ම දේවල් කිහිපයක් වෙනුවෙනු යි. මේ සියල්ල ම අමෙරිකානු ඩොලර් මිලියන 50 හෙවත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 18 ට වඩා මිල වෙනවා.

හිස්ට්‍රි සුප්‍රීම් යාත්‍රාව
හිස්ට්‍රි සුප්‍රීම් නම් යාත්‍රාව සැලකෙන්නේ ලොව වටිනාකමින් අධික ම යාත්‍රාව ලෙස යි. එහි වටිනාකම දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් ලෙස යි. ටොන් 100 ක පමණ බරකින් යුක්ත මෙය සාදන්නට රන්, ප්ලැටිනම්, දියමන්ති වැනි දේ යොදා ගෙන ඇති අතර, මෙම යාත්‍රාව සැලසුම් කර නිර්මාණය කළේ සෘවර්ට් හියුස් නම්, බ්‍රිතාන්‍ය ජාතික නිර්මාපකයෙක්.
ඔහුට මෙය සම්පූර්ණයෙන් සාදා අවසන් කරන්නට වසර 3 ක කාලයක් ගතව තිබෙන අතර, අඩි 100 ක පමණ දිගකින් යුක්ත මෙම යාත්‍රාව මැලේසියානු ජතික ව්‍යාපාරිකයෙක් ඔහුගෙන් මිලදී ගෙන තිබෙනවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක මුදලකට යි.

හබ්ල් දුරේක්ෂය
හබ්ල් දුරේක්ෂය සැලකෙන්නේ ලොව දෙවනුවට මිලෙන් අධික ම භාණ්ඩය ලෙස යි. මෙය ලොව මිලෙන් අධික ම දුරේක්ෂය ලෙස ගිනස් වාර්තා පොතට ගොස් තිබෙනවා.
හබ්ල් දුරේක්ෂය අභ්‍යාවකාශයට යැවුවේ 1990 වසරේදී යි. එදා පටන් එය අභ්‍යාවකාශ ගවේෂණ රාශියකට දායක වී තිබෙනවා. විශ්වය දිනෙන් දින ප්‍රසාරණය වන බව සහ විශ්වයේ වයස නිර්ණය කිරීම වැනි ගවේෂණාත්මක පර්යේෂණයන්හී දී හබ්ල් දුරේක්ෂය මහෝපකාරී වී තිබෙනවා.
මෙහි වටිනාකම ඇස්තමේන්තුගත කර තිබෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක් ලෙස යි.

ඇන්ටිලියා
ඉන්දියාවේ මුම්බායි නුවර සැලකෙන්නේ අතිශය දුප්පත් මෙන්ම පෝසතුන්ගෙන් ගහන නගරයක් ලෙස යි. ඉන්දීය ව්‍යාපාරික, ධන කුවේරයකු වන මුකේෂ් අම්බානි සිය නිවෙස තනා ඇත්තේ ද මෙහි යි. ‘ඇන්ටිලියා’ නමින් හඳුන්වන මෙය, මහල් 27 කින් සමන්විත යි. හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා වූ අංගන 3 ක්, ගුවන්යානා පාලක මධ්‍යස්ථානයක්, මෝටර් රථ 168 ක් නැවැත්විය හැකි අංගනයක්, බෝල්රූම් නර්තන පීඨිකාවක්, අධිවේගී විදුලි සෝපාන 9 ක්, ආසන 50 ක් ඇති සිනමා ශාලාවක් වැනි පහසුකම් රාශියකින් එය සමන්විත වෙනවා.
අමෙරිකානු ඩොලර් බිලියන 2 ක ඇස්තමේන්තුගත වටිනාකමක් ඇති මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, මෙය ඉදිකර ඇත්තේ රිච්ටර් පරිමාණයෙන් 8 ක පමණ මහා භූකම්පනයකට වුව ද ඔරොත්තු දිය හැකි තත්ත්වයකින් වීම යි.

විලා ලියෝපොල්ඩා
විලා ලියොපොල්ඩා සැලකෙන්නේ ඇන්ටිලියාට පසු ලොව වටිනා ම නිවස ලෙස යි. දෙවන ලෝක යුද සමයේ දී ප්‍රංශ රිවෙයිරාවේ මෙය ඉදිකළේ ආරෝග්‍යශාලාවක් ලෙස භාවිත කරන අටියෙනු යි. වර්තමානයේ එය එඩ්මන්ඩ් හා ලිලී සෆ්‍රාට අයිති අතර එහි වර්තමාන වටිනාකම ඇස්තමේන්තුගත කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 506 ක් ලෙස යි.

‘කාඩ් ක්‍රීඩකයන්’ සිතුවම
සුප්‍රසිද්ධ ප්‍රංශ සිත්තරකු වන පෝල් සෙසාන් සිතුවම් කළ ‘කාඩ් ක්‍රීඩකයන්’ සිතුවම සැලකෙන්නේ ලොව වටිනාකමෙන් අධික ම සිතුවම ලෙස යි. එය ලොව පස්වනුවට වටිනාකමෙන් අධික ම භාණ්ඩය ලෙස ද සැලකෙනවා වර්තමානය වන විට මෙය කටාරයේ අල් තානි රාජකීය පවුල සතු ව පවතිනවා.
1890 දශකයේ මුල් භාගයේ ඇඳ ඇති මෙහි වර්තමාන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 275 ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙනවා.

‘ගාර්සොන් ආ ල පයිප්’ සිතුවම
‘ගාර්සොන් ආ ල පයිප්’ සිතුවම සිත්තම් කර ඇත්තේ අසහාය සිත්තරකු ලෙස ලොව පරසිදු පැබ්ලෝ පිකාසෝ යි. 1905 වසරේ ඇඳ ඇති මෙම සිතුවම නිර්මාණය කරන විට පිකාසෝ 24 වන වියෙහි පසු වූ යෞවනයෙක් වුණා.
පැබ්ලෝ පිකාසෝගේ මුල් යුගයේ චිත්‍ර අතුරින් විශිෂ්ටත ම චිත්‍රයක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන මෙම චිත්‍රයෙහි වර්තමාන වටිනාකම අමෙරිකානු ඩොලර් 104 ක් පමණ වන බවට ඇස්තමේන්තුගත කර තිබෙනවා.

‘ල ඉන්කොම්පැරබල්’ දියමන්ති මාලය
ලොව වටිනාකමෙන් අධික ම දියමන්ති මාලය ලෙස සැලකෙන මෙයට ‘ල ඉන්කොම්පැරබල්’ යන නාමය ලබා දී ඇත්තේ, ඒ හා සම කිසිවක් නැතැ යි යන්න ගම්‍ය වීම සඳහා යි. මෙහි පෙන්ඩනය කැරට් 407.48 ක, ඉස්තරම් ම සුදු දියමන්තියක් යොදා ගෙන නිරමාණය කර ඇති අතර, කැරට් 230 ක පමණ බරක් ඇති තවත් දියමන්ති 90 ක් ද මෙය නිර්මාණය සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම දියමන්තියේ වර්තමාන වටිනාකම අමෙරිකානු ඩොලර් 55 ක් ලෙස සටහන් වී තිබෙනවා.

1963 ෆෙරාරි ජී.ටී.ඕ රථය
ෆෙරාරි සමාගම 1963 වසරේ දී නිපදවූ මෙම විශේෂ ජී.ටී.ඕ රථය සුවිශේෂී වන්නේ, 1963 වසරේ ප්‍රංශ සවාරිය ජයගැනීම සඳහා ජීන් ඩුෂෙට් භාවිත කළේ මෙම රථය වීම නිසා යි. ඉතා මිල අධික ජී.ටී.ඕ රථ එදා මෙදා තුර නිෂ්පාදනය කර ඇත්තේ 39 ක් පමණ යි. ඒ අතරිනුත් මේ රථයෙහි ඇති සිහිවටනාත්මක වටිනාකම නිසා එලෙස ඉතා අධික වටිනාමක් ඒ වෙත ආරෝපණය වී තිබෙනවා.
මෙම කාරය පසුකාලීන ව පෝල් පපලර්ඩෝ සතු ව තිබූ අතර, අනන්‍යතාව හෙළි නොවූ අයෙක් ඔහු වෙතින් එය මිලදී ගෙන තිබෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 52 ක වටිනාකමකට යි. ඒ අනුව මෙය ලොව වටිනාකමින් අධිකත ම මෝටර් රථය ලෙස වාර්තා පොත් අතරට ගොස් තිබෙනවා.