Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දීය ක්‍රිකට් අඹරෙන් බැසයන සුපිරි තරුව

1926 වසරේ දී  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දියාව ලෝක ක්‍රිකට් පිටියේ බලවතෙකු බවට පත්වුණේ ඉතාමත් දුෂ්කර ගමනකින් අනතුරුව යි. 1983 වසර දක්වා නිසොල්මනේ ඉදිරියට ඇදුණු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ජවයක් ලැබුණේ 1983 ලෝක කුසලාන ජයග්‍රහණයත් සමගිනුයි. එදා ඉන්දීය කණ්ඩායම ලබාගත් එම ජයග්‍රහණය සඳහා තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් විශාල දායකත්වයක් ලබාදුන්නේ මොහින්දර් අමර්නාත් නම් විශිෂ්ඨ ක්‍රීඩකයා යි. එම ජයග්‍රහණය ලබාගැනීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලි 6ක දීම කිරුළ අහිමි කරගත් ඉන්දියානුවන්ට නැවතත් එම කුසලානයේ පහස විඳ ගැනීමට වසර 28ක් බලා සිටින්නට සිදුවුණා. එලෙස දිගු කලක් සිහින මවමින් සිටි ඉන්දියානුවන්ට වසර 28කට පසුව එම සිහිනය සැබෑ කර දීමට සිය උපරිම දස්කම් දක්වපු එක සුපිරි ක්‍රීඩකයෙක් සිටියා. 1983 දී මොහින්දර් අමර්නාත් දක්වපු දස්කම් නැවතත් ඉන්දියානුවන්ට මතක් කරදුන් යුව්රාජ් සිං නම් එම ක්‍රීඩකයා 2011 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වුණේ සිය රට වෙනුවෙන් උපරිම යුතුකම ඉටු කරමින්. වසර 16කට අධික කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිය දස්කම් දක්වපු ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය ඇති නිසාම ඔහුගේ ක්‍රිකට් දිවිය දෙස ආපසු හැරී බැලීමක් මේ.

යුව්රාජ් සිං කරළියට පැමිණි 2000 යොවුන් ලෝක කුසලාන තරගාවලිය

2000 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශූරතාවය දිනාගත්තේ ඉන්දීය යොවුන් කණ්ඩායම යි. ඔවුන් මුල්ම වරට යොවුන් ලෝක කුසලානය දිනාගත් එම තරගාවලිය පුරාවටම තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ යුව්රාජ් සිං නම් යොවුන් ක්‍රීඩකයා යි. තරගාවලිය තුළ ලකුණු 203ක් සහ කඩුලු 12ක් දවාගත් යුව්රාජ් අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පන්දු 25කින් ලබාගත් ලකුණු 58 අමතක නොවන ඉනිමක්. එදා යුව්රාජ් දැක්වූ එම සුපිරි දස්කම් නිසාම එම වසරේ අග භාගයේ දී ඔහු ඉන්දීය එක්දින කණ්ඩායමට ඇතුළත් වුණා.

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් පසුව යුව්රාජ් (cricketscorer.in)

ගංගුලී තැබූ  විශ්වාසයට සාධාරණයක් ඉටුකළ යුව්රාජ්

යුව්රාජ් සිං 19 හැවිරිදි වියේ පසුවන විට  2000 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට වරම් ලබාගන්නේ එවකට ඉන්දීය නායක ගංගුලී සහ තේරීම් කමිටුව අතර ඇතිවුණු කතාබහකින් පසුවයි. එදා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 90කට බිඳ වැටී තිබුණු අවස්ථාවක යුව්රාජ් පිටියට පිවිසියා. එදා මැග්‍රාත්, බ්‍රෙට් ලී, සහ ගිලෙස්පි වැනි වේග පන්දු යවන්නන්ව තඹ දොයිතුවකට මායිම් නොකළ යුව්රාජ් පන්දු 80කින් වේගවත් ලකුණු 84ක් ලබා දැවීයන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වුණේ 194/5ක් ලෙස යි. තම එක්දින දිවියේ පන්දුවට පහරදුන් පළමු තරගයේ දීම තරගයේ වීරයා වීමට වාසනාව උරුම කරගත් යුව්රාජ් එදා ඕස්ට්‍රේලියානුන්ට බැට දුන්නේ සිය නායක ගංගුලී තමා කෙරෙහි තැබූ විශ්වාසයට සාධාරණයක් ඉෂ්ඨ කරමින්.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව යුව්රාජ් පන්දුවට පහරදෙමින් (gettyimages)

යුව්රාජ්ට නරක කාලයක්

ඕස්ට්‍රේලියානු තරගයෙන් පසුව වසරක පමණ කාලයක් යනතුරු සුපුරුදු දස්කම් දැක්වීමට යුව්රාජ් සිංට නොහැකි වුණා. එම කාල සමය තුළ තරග 15කට සහභාගි වී ලකුණු 241ක් පමණක් ලබාගත් යුව්රාජ් ඉන්දීය කණ්ඩායමෙන් ඉවතට විසිවන සීමාව දක්වාම පැමිණියා. නමුත් ඔහුගේ සිතේ දැඩි අධිෂ්ඨානයක් තිබුණු නිසාම එක ඉනිමකින් සිය ක්‍රිකට් දිවියම වෙනස් කරගැනීමට හැකිවුණා.

යුව්රාජ්ගේ ක්‍රිකට් දිවිය වෙනස් කළ ඉනිම

2001 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති කොකාකෝලා තුන්කොන් තරගාවලියේ 8වන තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 38කට දැවීගොස් තිබුණු අවස්ථාවේ යුව්රාජ් සිං පිටියට පිවිසියා. එදා ඉතාමත් නිර්භීත අයුරින් පන්දුවට පහරදුන් යුව්රාජ් පන්දු 110කින් නොදැවී ලබාගත් ලකුණු 98 නිසා ඉන්දීය කණ්ඩායමට ජය හිමිවුණා පමණක් නොව යුව්රාජ්ගේ ක්‍රිකට් දිවියත් සුරක්ෂිත වුණා.

යුව්රාජ් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් (gettyimages)

යුව්රාජ් ට ටෙස්ට් වරම් ලැබෙයි

යුව්රාජ් ලබාගත් එම ලකුණු 98ත් සමගින් එක්දින කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය ස්ථාවර වුණා. ඉන්පසුව එක්දින කණ්ඩායම තුළ ඔහු දැක්වූ දස්කම් නිසා 2003 වසරේ අග භාගය වන විට යුව්රාජ්ට ටෙස්ට් වරම් ලබාගැනීමට හැකිවුණා. නමුත් ටෙස්ට් පිටිය තුළ එතරම් දස්කම් දැක්වීමට අපොහොසත් වුණු යුව්රාජ් සිය ටෙස්ට් දිවිය තුළ ලබාගත්තේ ලකුණු 1900ක් පමණ යි. එහිදී ඔහුගේ තරග දිවියේ ලබාගත් ශතක 3ම පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ලබාගත් අතර, ඉන් මුල්ම ශතකය විශේෂ එකක් වන්නේ ඉන්දීය කණ්ඩායම අසීරුවට පත්වුණු අවස්ථාවක දී එය වාර්තා වීම යි.

යුව්රාජ් මංගල ටෙස්ට් ශතකය ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එල්ල කළ හයේ පහර 6 පිටුපස සැඟවුණු කථාව

2007 වසරේ සැප්තැම්බර් 5 වැනි දා ඉන්දියාව සහ එංගලන්තය අතර එක්දින තරගයක් පැවැත්වුණේ කෙනිංටන් ඕවල් පිටියේ දී යි. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාරය යැවීමට සිදුවුණේ යුව්රාජ් සිංට යි. එදා යුව්රාජ් යැවූ එම පන්දුවාරයේ අවසන් පන්දු 5ටම දිමිත්‍රි මැස්කරීනස් හයේ පහර 5ක් එල්ල කළ නිසා යුව්රාජ් විශාල ලැජ්ජාවකට පත්වුණා. ඔහුගේ නිවසට පවා විවිධ පුද්ගලයන් දුරකථනයෙන් කතා කරමින් සිදුකළ අවමන් නිසා යුව්රාජ් පසුවුණේ දැඩි කලකිරීමෙන්. එම සිදුවීම සිදුවී හරියටම සති 2කින් මෙම කණ්ඩායම් දෙක 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී උරෙනුර ගැටුණා. එම තරගයේ දී එංගලන්ත ක්‍රීඩක ෆ්ලින්ටොප් සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වීමෙන් පසුව ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවාරයකට හයේ පහර 6ක් එල්ල කිරීමට යුව්රාජ් සමත් වුණේ ලොව වේගවත්ම 20/20 අර්ධ ශතකයත් ලබාගනිමින්.

යුව්රාජ් හයේ පහර 6 එල්ල කළ අවස්ථාව (gettyimages)

20/20 ලෝක කුසලානය හිමිකර දීමට යුව්රාජ් ක්‍රීඩාකළ තීරණාත්මක ඉනිම

2007 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව මුණ ගැසුනා. එම අවදියේ ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එදා යුව්රාජ් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගින් ලබාගත් ලකුණු 70 තීරණාත්මක ඉනිමක් වුණා. ඔහු එම තරගයේ දී එවැනි ඉනිමක් ක්‍රීඩා නොකරා නම් ඉන්දියාවට 20/20 ලෝක කුසලාන අහිමි වීමට පවා ඉඩ තිබුණා.

යුව්රාජ්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

යුව්රාජ්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන  තරගාවලිය

යුව්රාජ්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන තරගාවලිය බවට පත්වුණේ 2011 ලෝක කුසලාන තරගාවලිය යි. තරගාවලිය පුරාවටම පිත්තෙන් දස්කම් දැක්වූ යුව්රාජ් ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 362ක් ලබාගත්තේ 90.50ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින්. පිත්තෙන් පමණක් නොව එදා පන්දුවෙන් ද දස්කම් දැක්වූ යුව්රාජ් කඩුලු 15ක් ලබාගත්තේ ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීමත් වාර්තා කරමින්. එහිදී අයර්ලන්තය සමග පැවති තරගයේ දී ලකුණු 50ක් ලබාගෙන 31/5 ලෙස කඩුලු  දවාගනිමින් ඔහු කළ දස්කම් ලෝක කුසලාන වාර්තාවක් ද වුණා. තරගාවලිය පුරාවටම යුව්රාජ් දැක්වූ එම සුපිරි දස්කම් නිසා තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තේ ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින්

යුව්රාජ් 2011 ලෝක කුසලාන  තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් අවස්ථාව (gettyimages)

පිළිකාව නිසා ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවුණා

සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන කාල සමය පසුවීමත් සමගම පිළිකා රෝගයට ගොදුරු වුණු යුව්රාජ්ට ඉන්දීය ක්‍රිකට් පිලෙන් ඉවත් වී සෑහෙන කාලයක් සිටීමට සිදුවුණා. එම කාල සමය තුළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් රැසක් එක්ව සිටි නිසා ඔහු නැවත පැමිණෙන විට කණ්ඩායමේ ස්ථානය අනාරක්ෂිතව තිබුණා.

2017 වසරේ එංගලන්තය අසරණ කළ ඉනිම

පිළිකාව සුව අතට පත්වී නැවතත් ඉන්දීය කණ්ඩායමට එක්වීමෙන් අනතුරුව යුව්රාජ් එංගලන්තයට එරෙහිව සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩාකළේ පන්දු 127ක දී ලකුණු 150 ලබාගනිමින්. නමුත් එම ඉනිමෙන් පසුව යුව්රාජ්ට සුපුරුදු දස්කම් දැක්වීමට හමුවුණේ නැහැ.

යුව්රාජ්ගේ එම සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

යුව්රාජ් සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

2017 වසරේ දී කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙන් පසුව යුව්රාජ්ට නැවතත් කැඳවීමක් ලැබුණේ නැහැ. එම නිසා දැඩි කනස්සල්ලෙන් සිටි යුව්රාජ් ඔහුගේ සමුගැනීම මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක් කාල සමයක ප්‍රතිවාදී පන්දු යවන්නන් අන්ත අසරණ කළ මෙම ක්‍රීඩකයා ක්‍රිකට් පිටියේ දී ආඩම්බරකාරයෙකු වුණත්, ඔහු ක්‍රිකට් පිටියේ ඉතිරි කර ගිය මතකයන් ක්‍රිකට් ලෝලීන්ගේ මනසේ සදාකල් රැඳෙනු ඇති.

කවරයේ ඡායාරූපය -යුව්රාජ් ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දක්වමින්  (gettyimages)

Related Articles