Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශපාලන පක්ෂ 55ක් සහභාගී වන සිම්බාබ්වේ මහ මැතිවරණය​

මීට මාස කිහිපයකට පෙර​, එනම් 2017 නොවැම්බරයේ දී, සිම්බාබ්වේහි හිටපු නායක රොබර්ට් මුගාබේ බලයෙන් පහ කළ පසු, එරට පවත්වනු ලබන පළමු ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අද (2018 ජූලි 30) පවත්වනු ලබනවා.

මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 55ක් සහභාගී වීම විශේෂත්වයක් වන අතර සිම්බාබ්වේහි ඉතිහාසයේ වැඩිම දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් සහභාගී වන මහ මැතිවරණය බවට මෙය ඉතා පහසුවෙන් පත්වනවා.

රොබර්ට් මුගාබේගේ පාලන සමය තුළ දේශපාලන පක්ෂ කිහිපයකට වඩා මැතිවරණයන්ට ඉදිරිපත් වූයේ නැහැ.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයන් 23 දෙනකු ඉදිරිපත් වන අතර එය ද වාර්තාවක් වනවා.

නමුත් මෙවර​, නිදහස් සිම්බාබ්වේ හි ඉතිහාසයේ පළමු වතාවට, රොබර්ට් මුගාබේගේ නම මහ මැතිවරණයේ හෝ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් අතර දකින්නට ලැබෙන්නේ නැහැ.

බල හුවමාරුව​

1980 වසරේ දි නිදහස ලැබූ දින සිට සිම්බාබ්වේහි නායකයා ලෙස ප්‍රකටව සිටි රොබර්ට් මුගාබේ බලයෙන් නෙරපන ලද්දේ 2017 නොවැම්බරයේ දී යි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් ලෙස ඇතමුන් අර්ථ දැක්වූ නමුත් මෙහිදී සිදු වූ දෙය නම් ඔහුගේ පක්ෂය වූ සිම්බාබ්වේ අප්‍රිකා ජාතික එකමුතුව – දේශප්‍රේමී පෙරමුණ (ZANU-PF) තුළ වූ බල පෙරළියක්.

රොබර්ට් මුගාබේ සහ ඔහුට බලය අහිමි වීමට ප්‍රධාන හේතුවක් වූ ඔහුගේ බිරිඳ ග්‍රේස් (AFP)

මේ පිළිබඳ විස්තරය කියවන්න : රොබර්ට් මුගාබේට බලය අහිමි කළ සිම්බාබ්වේ රටේ හමුදා කුමන්ත්‍රණය

මෙයින් පසු බලයට පැමිණියේ 2014 – 2017 සමයේ සිම්බාබ්වේ උප ජනාධිපති වූ එමර්සන් ම්නන්ගග්වා යි. ඔහු නිදහස් සටන සමයේ සිටම ප්‍රබල ZANU-PF ක්‍රියාකාරිකයකු වනවා. ඔහු පැරණි ZANU-PF නායකත්වයේ පුරුකක් ලෙසින් හැඳින්විය හැකියි.

ම්නන්ගග්වා (EPA)

ම්නන්ගග්වා බලයට පත් වීමෙන් පසු සඳහන් කළේ මුගාබේගේ ධූර කාලයේ ඉතිරිය තමන් විසින් සම්පූර්ණ කොට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ අතර සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේ ධූර කාලය අගෝස්තුවේ නිමවීමට නියමිත වූ අතර, ඉන් පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු වුණා. කෙසේ නමුත් අවසානයේදී මෙම මැතිවරණ එකම දිනයේ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

මැතිවරණ ක්‍රම​ය​

සිම්බාබ්වේ ජනාධිපතිවරණය වට දෙකක් දක්වා දිගු විය හැකියි. පළමු වටයේ දී කිසිදු අපේක්ෂකයකු සියයට 50 ඉක්මවා ඡන්ද ලබා නොගතහොත්, මුල් ස්ථාන දෙකට එන අපේක්ෂකයන් දෙදෙනා සහභාගී වන දෙවන වටයක් පසුව පැවැත්වෙනු ඇති. නමුත් මුල් අවස්ථාවේම යම් අපේක්ෂකයකු සියයට පනහ ඉක්මවා ඡන්ද ලබාගතහොත් ඔහු හෝ ඇය ජයග්‍රාහකයා බවට පත්වනු ඇති.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරුණ විට තවත් අපේක්ෂකයන් 21 දෙනකු මෙවර ඉදිරිපත්ව තිබෙනවා. මෙයින් සිව් දෙනෙකු කාන්තාවන් වන අතර එයින් වඩා ප්‍රකට කාන්තාව වන්නේ ජොයිස් මුජුරු යි. 2004 සිට 2014 දක්වා සිම් බාබ්වේ උප ජනාධිපති වූ ඇයව මුගාබේ විසින් ඉවත් කෙරුණ අතර ඇය වෙනත් පක්ෂයක් පිහිටුවා ගත්තා. ඇයව ද නෙරපා දමන ලද්දේ මුගාබේගේ බිරිඳ වූ ග්‍රේස් මුගාබේගේ අවශ්‍යතාව මත බවයි කියැවුණේ.

සිම්බාබ්වේ හි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාවයි. පහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික මන්ත්‍රීන් 270 වන අතර ඉන් 210 දෙනෙකු කේවල ක්‍රමය යටතේ තෝරාගනු ලබනවා. ඉතිරි 60 කාන්තා නියෝජනය සඳහා වෙන්කළ ආසන වන අතර ඔවුන් සමානුපාත ක්‍රමයක් යටතේ තෝරාගනු ලබනවා.

ZANU-PF ආධාරකරුවන් පිරිසක් (ZimFocus)

සෙනට් සභාවේ ආසන 60ක් සඳහා ද සමානුපාත ක්‍රමයක් යටතේ සභිකයන් පත් වන අතර​, ඉතිරි ආසන 20න් දෙකක් ආබාධිත පුද්ගලයන් සඳහා ද 18ක් සාම්ප්‍රදායික ගෝත්‍ර නායකයන් සඳහා ද වෙන්කර තිබෙනවා. මේ අනුව සමස්ථ සෙනට් සභිකයන් සංඛ්‍යාව 80ක් වනවා.

සිම්බාබ්වේ හි ඡන්ද දායකයන් මිලියන 5.6ක් මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වී සිටිනවා. මෙයින් සියයට 60ක් පමණ වයස අවුරුදු 40ට අඩු අය යි. මේ අනුව පැරණි ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වන අය බොහෝ සිටිතැයි විශේෂයෙන්ම පක්ෂය බලාපොරොත්තු වනවා. ඔවුන් තරුණ අපේක්ෂකයකු මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ද එම අදහසින් බවයි පෙනී යන්නේ.

 නෙල්සන් චමීසා (AP)

නෙල්සන් චමීසා සඳහන් කරන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වී නම් තමන් සියයට 65ක් වත් ඡන්ද ලබා ගන්නා බවයි. නමුත් ම්නන්ගග්වා සඳහන් කරන්නේ තමන් මෙම මැතිවරණය ජයගන්නා බවත් තම ජයෙන් පසු සිම්බාබ්වේ රාජ්‍යයට නව ඇරඹුමක් උදාවන බවත්.

මේ අතර හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ ඡන්දයට පෙර දින සඳහන් කළේ තමා තම පක්ෂයේ අපේක්ෂකයාට කිසි ලෙසකින්වත් සහය නොදක්වන බවත් චමීසාගේ ජයග්‍රහණය බලාපොරොත්තු වන බවත්. චමීසා යනු මුගාබේ පාලන සමය තුළ ඔහුගේ මැරයින්ගේ ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ අයකු වන හෙයින් මුගාබේගේ මෙම ප්‍රකාශය සිම්බාබ්වේ දේශපාලනය තුළ සිදුව ඇති පෙරළියේ ස්වභාව පෙන්නුම් කරනවා.

සිම්බාබ්වේහි ඇතැම් විචාරකයන් සහ මාධ්‍යවේදීන් කියා සිටින්නේ එරට ලියාපදිංචි ඡන්ද දායකයන් අතර මියගිය අය ද සිටින බවත්, එකම ලිපිනයෙහි පදිංචි සියයකට ආසන්න පිරිසකගේ නම් ද ඇතුලත්ව ඇති අවස්ථා තිබෙන බවත්. ඇතැම් වාර්තා අනුව මෙම ලැයිස්තුවේ නම් 250,000ක් පමණ පිළිබඳ ගැටළු තිබෙනවා. නමුත් සිම්බාබ්වේ මැතිවරණ කොමිසම පවසා සිටින්නේ මැතිවරණ වංචා සිදු කිරීමට කිසිවකුට ඉඩක් නොමැති බවයි.

උදෑසන 7 ට ඡන්ද මධ්‍යස්ථාන විවෘත වීමට ද පෙර මෙවන් පෝලිම් දකින්නට ලැබුණා (CGTN)

මේ අතර මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹීමට ද පෙර විශාල පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන අසළ පෝලිම්වල සිටිනු දක්නට ලැබුණ අතර එය විපක්ෂයට වැඩි වාසි අත්වන බවට සාධකයක් ලෙස අනුමාන කළ හැකියි.

Cover Image: නිදහස් සිම්බාබ්වේ හි මුල් ම වතාවට රොබර්ට් මුගාබේ නොමැති මැතිවරණයක් (Reuters)

Related Articles