Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හරි දේ හරි වෙලාවට: ආයතනයක සේවක තෘප්තිය පවත්වා ගත හැකි ක්‍රම 5ක්

ඔබේ ආයතනය අළුතෙන්ම පටන් ගත්තු ව්‍යාපාරයක් වුණත් (“ස්ටාට් අප්” එකක්), රජයේ ආයතනයක්, කර්මාන්තශාලාවක් නැතිනම් සේවා ස්ථානයක් වුණත් වැඩ කරන්න හිතෙන ආයතනික සංස්කෘතිය සහ සේවක තෘප්තිය කියන දෙක පැවතීම හරිම වැදගත්. සතුටින් වැඩ කරන කෙනෙකුගේ යටතේ ඉන්න සේවකයන් පවා ඉබේටම වැඩි වැඩ කොටසක් කරන්න පෙළඹෙනවා. ඔහු හෝ ඇයගේ සතුට ආයතනයේ අනෙක් සේවකයන්ට වගේම ආයතනයේ වැඩ කටයුතු වලටත් ධනාත්මක බලපෑමක් ඇති කරනවා. අසතුටෙන් ඉන්න කෙනෙක් කොයි තරම් හොඳින් වැඩ කරන්න උත්සාහ කරත් බොහෝ විට ඔවුන්ගේ නොසතුට අනෙක් අයගෙන් හංගන්න අපහසුයි.

හරි දේ හරි වෙලාවට කරන එක ව්‍යාපාරයක පැවැත්මට ඉතාම වැදගත් කියන්නේ ඒ නිසයි.

1. සේවකයන්ගේ සහභාගීත්වය සහ වටිනාකම වැඩිදියුණු කරන සංස්කෘතියක්

විවෘතව අදහස් ප්‍රකාශ කරන්න තියෙන ඉඩකඩ වගේම සේවකයන් සහ ප්‍රධානීන් අතර පවතින සහයෝගයත් හරිම වැදගත්. රූපය : blog.synergita.com

හැම සේවකයෙකුටම තමන්ගේ රැකියා මට්ටම කුමක් වුණත් තමන් ආයතනයට අවශ්‍ය සහ වැදගත් කෙනෙකු බව ඒත්තු යන තත්වයක් පවතින්න අවශ්‍යයි.

නිතරම වෙහෙස වෙලා වැඩ කරන සේවකයන්ට ඔවුන්ගේ වැඩකටයුතු වෙනුවෙන් නිසි ඇගයීමක් ලබා දෙන එකත්, ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණ වලට හොඳ පිළිගැනීමක් ලබා දීලා ඒවා වෙනුවෙන් ගැළපෙන පාරිතෝෂික (rewards) පිරිනමන එකත් බොහොම වැදගත්. සේවකයන් රැකියාවට අදාළව කරන නව සොයා ගැනීම් වලටත් ඇගයීමක් ලබා දෙන්න අවශ්‍යයි. එය ඔවුන් තමන්ගේ රැකියා කටයුතු බලාපොරොත්තු මට්ටමටත් වඩා හොඳින් කරන්න ලොකු බලපෑමක් කරනවා. ඒ වගේ රැකියා ස්ථානයක ඇති වෙන්නේ නිර්මාණශීලී, ධනාත්මක සහ ආයතනයට ලෙන්ගතු වටපිටාවක්.

අනිත් අතට සේවකයන්ගෙන් යම් කෙනෙක් තමන්ගේ වැඩකටයුතු නිසි ලෙස ඉටු කරන්නේ නැති නම් ඔවුන්ට සුහදව, නමුත් තරමක් තදින් ඔවුන්ගේ වැඩකටයුතු ගැන ආයතනය පරීක්ෂාවෙන් ඉන්න බව දැන ගන්නට සලස්වන එකත් ඉතාම වැදගත් වෙනවා.

ඒ වගේම හැම වෙලාවකම සේවකයන් සහ ඉහළ නිලධාරීන් අතර සන්නිවේදනය ඉහළ සිට පහළට වගේම පහළ සිට ඉහළටත් පවත්වාගෙන යන්න අවශ්‍යයි. සේවකයන්ගේ අදහස් වලට ඇහුම්කන් දෙන එක රැකියා ස්ථානයේ සංස්කෘතියට ඉතාම වැදගත් වෙනවා. සේවක පිරිසේ අදහස් ගණන් නොගන්නා, නිසි උපදෙස් ලබා නොදෙන ආයතනයකට එයින් ඇති වන සෘණාත්මක බලපෑම් බොහොමයි.

2. ජීවිතය සහ රැකියාව අතර සමබරතාව පවත්වා ගැනීම

තමන්ගේ ආයතනයේ වැඩ කරන සේවකයන්ට රැකියාවෙන් පරිබාහිරවත් ජීවිතයක් තියෙනවා කියන එක වටහා ගැනීම ආයතනයක් වශයෙන් ඉතාම වැදගත්. අතිකාල සේවයන් වලට සාධාරණ ගෙවීම් ලබා දෙන එකත්, මානුෂීය කාරණා වලදී සංවේදී වීමත්, හොඳ මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයක් පවත්වා ගෙන යන එකත් සාර්ථක ආයතනික සංස්කෘතියක ප්‍රධානම අංගයන් කිහිපයක් කියලා හඳුන්වන්න පුළුවන්.

3. රැකියාව කළ හැකි වටපිටාව යටිතල පහසුකම්

එක්ස්පැක් ආයතනය සතු අළුතින් නවීකරණය කරන ලද භෝජනාගාරයක්. මේ වගේ පිරිසිදු, පහසුවෙන් සහ ආශාවෙන් රැකියා කළ හැකි වටපිටාවක් පවත්වා ගැනීම සේවකයන්ගේ තෘප්තියට හේතු වෙනවා. රූපය : Expack

ඔබේ ආයතනයේ තියෙන යටිතල පහසුකම් සහ සේවකයන් රැකියා කරන වටපිටාව ඔවුන්ගේ තෘප්තියට ලොකු බලපෑමක් සිදු කරනවා. රැකියාව සඳහා අවශ්‍ය පහසුකම්, උපකරණ, උපදෙස් ආදිය නැතිව රැකියා කිරීම අපහසුයි කියන එක පුදුමයක් නෙවෙයි. එවන් තත්වයක රැකියා කරන සේවකයන් තුළ රැකියාව පිළිබඳ නොසතුටක් වගේම මානසික ආතතිය පවා ඇති වෙන එක ස්වාභාවිකයි.

ඔබේ ආයතනයේ සේවකයන් රැකියා කරන වටපිටාව පිරිසිදුද, ආරක්ෂිතද, ප්‍රියමනාප ද? ඔබේ කාර්යාලයට දිනපතා පැමිණෙන අයට ප්‍රසන්න බවක් හැඟෙන තත්වයක් පවතිනවාද? රැකියා කාලයේදී ඇති විය හැකි හදිසි තත්වයකදී ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග ඔබේ ආයතනයේ ක්‍රියාත්මකද? හොඳ සනීපාරක්ෂක පහසුකම් තිබේද? මේ ප්‍රශ්න ඔබේ ආයතනය රැකියා කරන්න සුදුසු ස්ථානයක්ද, එහි සේවකයන්ට උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කළ හැකි තත්වයක් පවතිනවාද වගේ දේවල් තීරණය කරන්න ඉතාම වැදගත්. දැනට පවතින යටිතල පහසුකම් ගැන අධ්‍යයනයක් කරලා අවශ්‍ය පරිදී ඒවා වැඩිදියුණු කරන එක ආයතනයේ කටයුතු සුමටව පවත්වා ගෙන යන්න ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.

4. පුහුණු කිරීම් සහ මානව සංවර්ධනය

එක තැන පල්වෙන තත්වය සහ වැඩකටයුතු වල ඒකාකාරී බව කියන දෙක තරම් කෙනෙකුට තමන්ගේ රැකියාව එපා වෙන තවත් දෙයක් නැති තරම්. රැකියාවේ යෙදෙන සේවකයන් වෙත ලබා දෙන්න පුළුවන් අළුත් නිපුණතා මොනවාද කියන එක නිතරම සොයා බැලීමත්, විවිධ කාර්යයන් සඳහා සුදුසු පුද්ගලයන් යෙදවීමත් කියන දෙක ආයතනයක දිගු කාලීන පැවැත්මට ඉතා වැදගත් වෙනවා. නිරන්තරව පුහුණු වෙන්න, මානව ආකල්ප සංවර්ධනය කරගන්න හැකියාවක් නොලැබෙන එක සේවකයන්ට ඉක්මණින්ම රැකියාව එපා වෙන්න ප්‍රධානම හේතුවක්.

එයින් ඇති වන තවත් ගැටළුවක් තමයි සේවකයන් රැකියාව ගැන වැඩි තැකීමක් නොකරන එක. (යන්න ඕන නිසා රැකියාවට යන එක) මේක ආයතනයක් වශයෙන් ගත්තාම එහි ඵලදායීතාවයට සෘණාත්මකව බලපෑමක් ඇති කරනවා. නිතර පුහුණුවක් නොලැබෙන එක රැකියාවේ ව්‍යාකූල අවස්ථා ඇති වෙන්නත් හේතුවක්.

මේ නිසා මානව ආකල්ප සංවර්ධනය සහ රැකියාවට අවශ්‍ය පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන එක ආයතනයේ සාර්ථකත්වයට බොහෝ සෙයින් බලපානවා. පුහුණුවට අමතරව සේවකයන් රැකියා අතර හුවමාරු කිරීමත් (job rotation) ඒකාකාරීත්වය මග හරවා ඔවුන්ගේ රැකියාවට අදාළ නිපුණතාවන් වැඩි දියුණු කරන්න ඉතා සාර්ථක ක්‍රමයක්.

5. වරප්‍රසාද

වැටුපට අමතරව සේවකයන්ට ලබා දෙන වරප්‍රසාදවලට හැම විටම විශේෂ සැලකිල්ලක් හිමි වෙනවා. රූපය : barterbing.org

වැඩියෙන් වැඩ කරන, අඩුවෙන් වැටුප් ලබන සේවකයන් ඕනෑම ආයතනය සමබරතාවය ක්‍රියාකාරීත්වයට ලොකු ගැටළුවක්. සියලුම සේවකයන් සඳහා ඔවුන්ගේ හැකියාවන්ට, සුදුසුකම්වලට, තනතුරට සහ උසුලන වගකීම්වලට ගැළපෙන වැටුපකුත්, සුදුසු වරප්‍රසාදත් ලබා දෙන එක ඉතාම වැදගත් වෙනවා.

සමහර ආයතන තමන්ගේ සේවකයන්ට අතිරේක වරප්‍රසාද පවා ලබා දෙන්න පෙළඹෙනවා. වෛද්‍ය ප්‍රතිකාර, ආහාර පාන වගේ දේවල් නොමිලේ හෝ පහසු මිලට සැපයීම, අවශ්‍ය අවස්ථාවක මූල්‍ය පහසුකම් සැලසීම, අධ්‍යාපනික කටයුතු සහ පුහුණු කටයුතු සඳහා නිවාඩු ලබා දීම මේවාට අයත්. අද කාලයේ තියෙන සමාජ ආර්ථික වටපිටාවත් එක්ක කාටත් ටිකක් අමාරු නිසා පොඩි උදව්වක් වුණත් ලබා දෙන එක ලොකු දෙයක්, එහෙම නේද?

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ එක්ස්පැක් (පුද්ගලික) සමාගමේ අනුග්‍රහයෙන්.

කවරයේ රූපය : laughology.co.uk

Related Articles