Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1995 සාජා තුන්කොන් තරගාවලි ජයග්‍රහණය පිළිබඳ මතකය

1995 වසරේ අග භාගයේ දී පාකිස්ථානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, ඔවුන් සමග පැවති ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය ජයග්‍රහණය කළා. එලෙස විශිෂ්ඨ ජයග්‍රහණ 2ක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් පසුව සාජා නුවර බලා සංචාරය කළේ සිංගර් ශූරයන්ගේ කුසලාන තුන්කොන් තරගාවලියට සහභාගි වීම සඳහා යි. එදා පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් තරග වැදුණු එම තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණේ සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කරමින්. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා පන්නරය ලබාදුන් එම සාජා තරගාවලි ජයග්‍රහණයට වසර 24ක් සම්පූර්ණ වන ඔක්තෝබර් 20 වැනිදා ඒ පිළිබඳව කතා කිරීමට අප තීරණය කළා. 

මහානාමගේ ශතකය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක් 

තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක රිචඩ්සන් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා. නමුත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වුණු නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 84/3 ලෙසින් දිස්වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු මහානාම සහ අර්ජුණ ලකුණු 126ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට පත්ව සිටි මොහොතක පන්දු 54කින් වේගවත් ලකුණු 58ක් ලබා සිටි අර්ජුණ දැවීයාම විශාල පාඩුවක් වුණා. නමුත් මහානාම සිය එක්දින දිවියේ සිව්වන ශතකය වාර්තා කරමින් ලබාගත් ලකුණු 101 නිසා නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා ඉනිම 234/7 ලෙස සටහන් වුණා.

රොෂාන් මහානාම (gettyimages)

ලකුණු 235ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 69ක් තුළ බිඳ වැටුණා. එම අවස්ථාවේ දී කොදෙව් ඉනිම යළි ගොඩනැගූ ෂර්වින් කැම්බල් සහ නායක රිචඩ්සන් ලකුණු 96ක සබඳතාවයක් ගොඩනගමින් කොදෙව් ලකුණු පුවරුව 165/2 බවට පත්කළා. නමුත් ඒ වන විට කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා වැඩි වේගයකින් ලකුණු ලබාගැනීමට අවශ්‍ය වුණා. එම නිසාම කොදෙව් පිතිකරුවන් වටා ගොඩනැගී තිබුණු පීඩනයෙන් ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් කැම්බල් සහ රිචඩ්සන් යන පිතිකරුවන් දෙදෙනාව දවාගත්තේ කොදෙව් ලකුණු පුවරුව 192/4 බවට පත්කරමින්. නොසිතූ මොහොතක සිදුවුණු එම දැවීයාම් නිසා අඩපණ වුණු කොදෙව් ඉනිමට යළි ජීවයක් ලබාදීමට කිසිදු පිතිකරුවෙකුට හැකිවුණේ නැහැ. එම නිසාම නියමිත පන්දුවාර 50 තුළ කොදෙව් ලකුණු පුවරුව 228/9 ලෙස සීමාවුණු නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයක් හිමිවුණා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව – 234/7 (50), (මහානාම- 101, අර්ජුණ- 58, බිෂොප්- 42/3, )

බටහිර ඉන්දීය කොදෙව් – 228/9 (50), (කැම්බල්- 86, රිචඩ්සන්- 67, ධර්මසේන- 49/3, )

ශ්‍රී ලංකාවට ලකුණු 6ක ජයක් 

තරගයේ වීරයා- රොෂාන් මහානාම 

ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටෙයි 

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගත්තා. එම නිසාම මූලික වටය යටතේ පැවැත්වුණු ඉතිරි තරගවල දී ත් ඔවුන් දස්කම් දක්වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවා. නමුත් සියලුදෙනාම මවිතයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම පැවති තරග 2ක් පරාජයට පත්වුණේ තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමකට පත්වෙමින්.

පාකිස්ථානය හමුවේ ලකුණු 82ක පරාජයක් ලබයි

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ අමීර් සොහේල් සහ සලීම් එලාහි යන පිතිකරුවන් දෙදෙනා යි. එදා පාකිස්ථානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් එම පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක් එකතු කළා. එලෙස ඔවුන් දෙදෙනා ගොඩනැගූ සාර්ථක අඩිතාලම ඔස්සේ ඉදිරියට ගිය පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 264ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ඉලක්කයක් ලබාදෙමින්. එහි දී පාකිස්ථානු ඉනිමේ නැංගුරම වුණු අමීර් සොහේල් අගනා ලකුණු 85ක් ලබාගන්නා විට ඉන්සාමාම් පන්දු 59කින් වේගවත් ලකුණු 69ක් ලබාගෙන සිය කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන ගියා.

ඉන්සාමාම් උල් හක් (gettyimages)

ලකුණු 265ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 7ම ලකුණු 114ක් තුළ දවාගැනීමට පාකිස්ථානු පන්දු යවන්නන් සමත්වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ වුණු මොහොතක සිය කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා සටන් කළ ධර්මසේන සහ කල්පගේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් එකතු කළා. එම නිසාම නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම 182/8 ලෙසින් සටහන් වුණේ පාකිස්ථානු කණ්ඩායමට ලකුණු 82ක ජයක් උරුමකර දෙමින්. 

කෙටි ලකුණු පුවරුව 

පාකිස්ථානය – 264/7 (50), (සොහේල්- 85, ඉන්සාමාම්- 69, එලාහි- 50, ධර්මසේන- 43/2)

ශ්‍රී ලංකාව – 182/8 (50), (ධර්මසේන- 30*, සොහේල්- 22/4, සක්ලේන්- 30/2)

පාකිස්ථානයට ලකුණු 82ක ජයක් 

තරගයේ වීරයා – අමීර් සොහේල් 

කොදෙව්වන් හමුවේ ලකුණු 4ක තියුණු පරාජයක් ලබයි 

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 37ක් තුළ දැවීගියේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. කොදෙව් ආරම්භය අසාර්ථක වුණත් ඉන් පසුව ක්‍රියාත්මක වුණු බ්‍රයන් ලාරා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු ගරුසරුවකින් තොරව පහරදුන්නා. එදා ලාරා ක්‍රීඩාකළ මනරම් ඉනිම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කොදෙව් ඉනිම සටහන් වුණේ 333/7 ලෙසයි. එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ලාරා පන්දු 129කින් ලකුණු 169ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් චන්ද්‍රපෝල් පන්දු 45කින් නොදැවී ලකුණු 62ක් ලබාගත්තා.

බ්‍රයන් ලාරා (gettyimages)

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 103ක් තුළ දැවීගියේ කොදෙව් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්කරමින්. එලෙස කඩුලු 5ක් ඉක්මනින් දැවීගියත් ඉන් නොසැලුණු මහානාම සහ හෂාන් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක් එකතු කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 171/5 බවට පත්කරමින්. එලෙස ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර වෙමින් පැවතුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු කොදෙව් පන්දු යවන්නන් පන්දු 78කින් ලකුණු 76ක් ලබා සිටි මහානාමව දවාගත්තා. මහානාමගේ නික්මයාමෙන් පසුව හුදෙකලා සටනක නිරතවුණු හෂාන් පන්දු 105කින් ලකුණු 100ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු පුවරුව 329/9 බවට පත්කළේ පන්දුවාර 49.2ක් තුළ යි. එහි දී එක්දින තරගයක අංක 7 පිතිකරුවෙකු ලබාගත් මුල්ම ශතකය වාර්තා කිරීමේ ගෞරවය හෂාන්ට හිමිවුණා. ජයග්‍රහණය සඳහා පන්දු 4කින් ලකුණු 5ක් අවශ්‍ය වුණු එම අවස්ථාවේ හෂාන් එල්ල කළ පහර හතරේ සීමාව අසලදී ම උඩපන්දුවක් ලෙස රැකගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 4ක පරාජයක් උරුම වුණා. නමුත් එම උඩපන්දුව රැකගන්නා විට හතරේ සීමාව ස්පර්ශ වුණු බව බොහෝදෙනෙකු විශ්වාස කළත් එය නැවත පරීක්ෂා කර බැලුවේ නැහැ. නමුත් එදා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ සටන්කාමී ක්‍රීඩා විලාශය සියලුදෙනාගේම ප්‍රසාදයට ලක්වුණා.

හෂාන් තිලකරත්න (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

බටහිර ඉන්දීය කොදෙව්- 333/7 (50), (ලාරා- 169, චන්ද්‍රපෝල්- 62*, ප්‍රමෝද්‍ය- 58/2)

ශ්‍රී ලංකාව- 329/10 (49.3), (හෂාන්- 100, මහානාම- 76, කමින්ස්- 61/2)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 4ක ජයක් 

තරගයේ වීරයා- බ්‍රයන් ලාරා 

පාකිස්ථානය පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි 

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මෙම තරගය විශාල පරතරයක් සහිතව ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 82ක් තුළ දැවීගියා. නමුත් ඉන් පසුව පිටියේ එක්වුණු සක්ලේන් මුෂ්ටාක් සහ මුෂ්ටාක් අහමඩ් ලකුණු 52ක සබඳතාවයක් ගොඩනගනු ලැබුවේ පාකිස්ථානු ලකුණු පුවරුව 134/6 බවට පත්කරමින්. එලෙස පාකිස්ථානු ඉනිම ගොඩනැගෙමින් පැවති අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ජයසූරිය සහ ධර්මසේන අවසන් කඩුලු 4ම ලකුණු 9ක් තුළ දවාගත්තේ පාකිස්ථානු ඉනිම ලකුණු 143කට සීමා කරමින්.

කුමාර් ධර්මසේන (gettyimages)

ලකුණු 144ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවන් දැක්වූ දස්කම් නිසාම ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ පන්දුවාර 26.5ක් තුළ යි. එහි දී අරවින්ද මනරම් හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමත් සුවිශේෂී සිදුවීමක් වුණා.

කෙටි ලකුණු පුවරුව 

පාකිස්ථානය – 143/10 (48.3), (සක්ලේන්- 30, ධර්මසේන- 16/3, ජයසූරිය- 10/2, අර්ජුණ- 21/2)

ශ්‍රී ලංකාව – 149/2 (26.5), (මහානාම- 45*, අරවින්ද- 35*, මොහොමඩ් අක්‍රම්- 24/1)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා – අර්ජුණ රණතුංග 

කොදෙව්වන්ව ලකුණු 50කින් පරාජය කළ ශ්‍රී ලංකාව ශූරතාවය හිමිකරගනියි 

අවසන් තරගයේ දී පිට පිටම 5 වැනි වරටත් කාසියේ වාසිය අහිමි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමට සිදුවුණා. නමුත් ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු යුගලය වුණු ජයසූරිය සහ මහානාම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක් එකතු කළා. එලෙස ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයක පැවති අවස්ථාවේ ජයසූරිය ලකුණු 57කට දැවීයාමෙන් පසුව පිටියට පිවිසි අරවින්ද පන්දු 35ක් තුළ ලබාගත් ලකුණු 50 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 196/2 ලෙසින් දිස්වුණා. සිය යුතුකම මැනවින් ඉටුකළ අරවින්ද එම අවස්ථාවේ දැවීයාමෙන් පසුව වේගයෙන් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 49.5ක් තුළ සියලුදෙනාම දැවී ලකුණු 173ක් ලබාගත්තේ කොදෙව්වන්ට ලකුණු 274ක ඉලක්කයක් ලබාදෙමින්.

අරවින්ද ද සිල්වා (gettyimages)

ඉන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව්වන්ගේ මුල් කඩුලු 5ම ලකුණු 88ක් තුළ දැවීගියේ උපශාන්ත සහ මුරලිදරන් විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. එලෙස කොදෙව් කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ චන්ද්‍රපෝල් සහ හාපර් ලකුණු 53ක් එකතු කළත් චන්ද්‍රපෝල් දැවීයාමෙන් පසුව කොදෙව් ඉනිම ලකුණු 223කට සීමාවුණේ ශ්‍රී ලංකාවට ලකුණු 50ක ජයක් උරුමකර දෙමින්.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව – 273/10 (49.5), (මහානාම- 66, ජයසූරිය- 57, අරවින්ද- 50, ගිබ්සන්- 35/4 )

බටහිර ඉන්දීය කොදෙව් – 223/10 (47.3), (කැම්බල්- 38, මුරලිදරන්- 31/3, උපශාන්ත- 24/2)

ශ්‍රී ලංකාවට ලකුණු 50ක ජයක් 

තරගයේ වීරයා- අරවින්ද ද සිල්වා 

තරගාවලියේ වීරයා- රොෂාන් මහානාම 

කවරයේ ඡායාරූපය- රොෂාන් මහානාම (Roar සිංහල)

Related Articles