
ක්‍රිකට් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන ක්‍රීඩාවක්. මේ වැඩි දෙනෙක් නොදන්නා ක්‍රිකට් ලෝකයේ වාර්තාගත අපූරු සිදුවීම් කිහිපයක් ගැන තොරතුරුයි.
පන්දු වාරයක වැඩිම ලකුණු

brandsynario.com
ක්‍රිකට් තරගයක එක් පන්දු වාරයකට ලබාගත හැකි උපරිම ලකුණු ගණන 36 ක් වුණත් ඊටත් වඩා වැඩි ලකුණු ගණනක් ලබා දුන් පන්දු යවන්නෙක් සහ පන්දු ඕවරයක් ගැන ක්‍රිකට් වාර්තා පොත් වල සටහන් වෙලා තියෙනවා. එම සිදුවීම වාර්තා වෙලා තියෙන්නේ නවසීලන්ත දේශීය ක්‍රිකට් තරඟාවලියකදි යි.
කැන්ටබරි සහ වෙලින්ටන් අතර පැවැත්වුණු ක්‍රිකට් තරගයකදී මෙම අපූරු වාර්තාව ලියැවිලා තියෙන්නේ R.H. Vance කියන ක්‍රීඩකයාගේ නමටයි. එහිදී වෙලින්ටන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ වන්ස් තමා යැවූ එකම පන්දු වාරයේ දී ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දී තිබෙන ලකුණු ගණන 77ක්. නිපන්දු පිරුණු ඔහුගේ පන්දු වාරය ලකුණු පොතේ දැක්වුණේ 0 4 4 4 6 6 4 6 1 4 1 0 6 6 6 6 6 0 0 4 0 1 ලෙසටයි.
සචින් පැරැදූ වසීම්

i2.wp.com
සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ලොව බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙක් බවට විවාදයක් නැහැ. ටෙස්ට් තරඟ 200 ක්‍රීඩා කළ ඔහු අන්තර්ජාතික ශතක සියයක් ද රැස් කෙරුවෙක්. ඊට සමාන ලෙසින්ම වසීම් අක්‍රම් කියන්නේ ලොව බිහි වූ සුපිරිතම පන්දු යවන්නෙක්. ඔහු ටෙස්ට් කඩුලු හාරසියය සහ එක්දින කඩුලු පන්සියය ඉක්ම වූවෙක්.
කෙසේ වෙතත් වසීම් අක්‍රම් කියන පන්දු යවන්නා (ඔහු ඇතැම් විටක තුන් ඉරියවුවෙන් දස්කම් දැක්වූවෙක්) සචින් කියන පිතිකරු එක්තරා අයුරකින් පරාජය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ සචින්ගේ හොඳම ටෙස්ට් තනි ඉනිම (248 *) ට වඩා වසීම් ගේ හොදම ටෙස්ට් තනි ඉනිම (257*) වැඩි වීම හේතුවෙන්. වසීම් එම දස්කම දැක්වුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව යි.
කලිස් ගේ විශිෂ්ටත්වය

warrierviews.wordpress.com
ජැක් කලිස් සැලකෙන්නේ ලොව බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙසටයි. ටෙස්ට්,එක්දින සහ t20 යන තරඟ ආකෘති තුනේදීම සුවිශේෂී දස්කම් දැක් වූ ඔහු කණ්ඩායමට විශේෂඥ ක්‍රීඩකයන් දෙදෙනෙකුගෙන් ඉටු විය යුතු සේවය ඉටු කළ අයෙකු බව ප්‍රකට කරුණක්.
ටෙස්ට් ලකුණු 13000 ඉක්මවා රැස්කර ඇති ඔහුගේ ලකුණු සාමාන්‍යය 55.37ක්. එය සචින් තෙන්ඩුල්කාර් ගේ 53.78 ක් වූ ටෙස්ට් ලකුණු සාමාන්‍ය ඉක්මවා යාම සුවිශේෂියි. එමෙන්ම ජැක් ටෙස්ට් කඩුලු 292 ක් බිඳ හෙළා ඇති අතර කලක් ඉන්දියාවේ හොඳම පන්දු යවන්නකු වූ සහීර් ඛාන් සිය ටෙස්ට් දිවියේ දී බිඳ හෙළා ඇත්තේද කඩුලු 273 ක් පමණයි.
අමතකවුණු තුන් ඉරියවුව විල්ෆ්‍රඩ් රෝඩ්ස්

brandsynario.com
එංගලන්ත තුන් ඉරියවු ක්‍රීඩක විල්ෆ්‍රඩ් රෝඩ්ස් විසි වැනි ශතවර්ෂය මුල් කාලයේ එංගලන්තය බිහි කළ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු පළමු පෙළ තරඟවලදී ලකුණු 39,969 ක් සහ කඩුලු 4,204 ක් දවාගෙන තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. ඒ අතරට ශතක 58 ක් සහ ඉනිමක කඩුලු 5 බැගින් දවාගත් වාර 287 ක් අයත්. එමෙන්ම ඔහු පළමු පෙළ තරඟ උඩ පන්දු 795 ක් ද රැකගෙන තිබෙනවා.
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟවල 16 කදී ම ඔහු ලකුණු 1000 සහ කඩුලු 100 ඉක්මවා ගොස් ඇත්තේ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා නොබිඳෙන වාර්තා රැසක් පිහිටවමිනු යි.
ඉෂාන්ත් ගේ අවාසනාව

brandsynario.com
ඉන්දියාවට එරෙහිව පිතිකරුවන් තිදෙනෙකු රැස්කළ දැවැන්ත ඉනිම් තුනකදීම ඔවුන් ලකුණු 50 අඩුවෙන් දවා ගැනීමට තිබූ හැකියාව අහිමි කිරීමේ වගකීම හිමිව ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ශර්මා හටයි. ඒ එම අවස්ථා තුනේදී ම ඔහු විසින් පහසු උඩ පන්දු තුනක් අතහැරීම හේතුවෙනුයි.
අලිස්ටෙයාර් කුක් රැස් කළ ලකුණු 294, මයිකල් ක්ලාර්ක් රැස්කළ ලකුණු 329 මෙන්ම බ්‍රෙන්ඩන් මැකලම් රැස්කළ ලකුණු 302 යන ඉනිම් තුනේදී ම මෙලෙස ලකුණු 50 පෙර ඔවුන් ඉෂාන්ත් වෙත උඩ පන්දු දීම විශේෂත්වය යි.
රාවලපින්ඩි එක්ස්ප්‍රස් හෙවත් විදුලි ෂොයිබ්

brandsynario.com
ඉලෙක්ට්‍රොනික ගණනය කිරීම් වලට අනුව ලොව වේගවත්ම ටෙස්ට් පන්දුව යැවීමේ වාර්තාව හිමිව ඇත්තේ ෂොයිබ් අක්තාර් හට යි. පැයට කිලෝමීටර් 161.3 ක වේගයකින් ඔහු එම පන්දුව යොමු කළේ 2003 වසරේදී පකිස්ථානය සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරඟයකදි යි. එම පන්දුවට මුහුණ දුන්නේ එංගලන්ත ආරම්භක පිතිකරු නික් නයිට් විසිනුයි.
එමෙන්ම සචින් තෙන්ඩුල්කාර් වඩාත්ම අසාර්ථක කළ පන්දු යවන්නා වන්නේද ෂොයිබ් වීම විශේෂත්වයක්. ෂොයිබ් සිය මංගල ටෙස්ට් තරගයේ දී සචින් ගේ කඩුල්ල දවා ගත්තේ සචින් මුහුණ දුන් පළමු පන්දුවේදී ම ඔහුගේ මැද ඉන්න වෙත යෝකර් පන්දුවක් යොමු කරමින්. සචින් ෂොයිබ් ඉදිරියේ අට වරක්ම දැවී ගොස් තිබීමත් විශේෂත්වයක්.
බ්‍රැඩ්මන්ගේ හයේ පහරවල් හය

i2.wp.com
ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සැලකෙන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙසටයි. ඔහු ටෙස්ට් තරග 52 කදි ලකුණු 6996 ක් රැස් කළේ 99.94 ක ලකුණු සාමාන්‍යයක් ද සමගිනු යි. ඔහු අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු නොලබා දැවී ගිය අතර යම් හෙයකින් ලකුණු හතරක් රැස් කළේ නම් ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය සටහන් වන්නේ සියයක් ලෙසටයි.
ඔහු පළමු පෙළ තරග 234 කදී ලකුණු 28067 ක් රැස් කරගෙන ඇත්තේ 95.14 ක කිසිදා නොබිඳිය හැකි ලකුණු සාමාන්‍යයක්ද සමගිනුයි. කෙසේ වෙතත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සිය ක්‍රිකට් දිවියේදී එල්ල කර ඇත්තේ හයේ පහරවල් හයක් පමණයි.
COVER- bp.blogspot.com
මූලාශ්‍ර