Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙසී සහ මැරඩෝනා ගේ හරි අපූරු සමානතා

පසුගියදා නිමාවට පත් වූ පාපන්දු ලෝක කුසලානය අවසන් වූයේ වසර 36 කට පසු ව ආජන්ටිනාව ලෝක පාපන්දු ශූරයන් බවට පත් කරමින්. එම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ ම එරට පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමස්ත ලෝකයේ ම කතා බහට ලක්වන චරිතයක් බවට පත් වුණා. ඔහුට ප්‍රථමයෙන් මෙම තත්ත්වය උදා කර ගත් ක්‍රීඩකයා වූයේ දියේගෝ මැරඩෝනා යි.

36 වසරකට පෙර ආජන්ටිනාව 1986 දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී කණ්ඩායමේ නායකත්වය දියේගෝ මැරඩෝනා ඉසිළුවා. මැරඩෝනා සහ මෙසී දෙපළ ගත් කල ඔවුන් දෙදෙනාට ම සුවිශේෂී සමානකම් කිහිපයක් ම තිබෙනවා. ඒ වගේම 1986 සහ 2022 පාපන්දු ලෝක කුසලාන ද්විතවයේ ද සමානකම් රැසක් ම ඇතුළත් වුණා.

මෙම ලිපියෙන් එකී අහඹු සිදුවීම් සහ අපූරු සමානතා පිළිබඳ ව අවධානය යොමු කරමු.

දියේගෝ මැරඩෝනා සහ ලියොනල් මෙසී 2010 ලෝක කුසලානය අතරතුර – 2010 දී මැරඩෝනා ආජන්ටිනා කණ්ඩායමේ පුහුණුකාරිත්වය දැරුවා – www.theindianexpress.com

මෙසී සහ මැරඩෝනාගේ ක්‍රීඩා රටාව

ලියොනල් මෙසී සහ දියේගෝ මැරඩෝනා යන දෙපළ ම වැඩි උසකින් සමන්විත ක්‍රීඩකයන් වූයේ නෑ. මැරඩෝනා අඩි 5 යි අගල් 5 ක් සහ මෙසී අඩි 5 යි අඟල් 7 ක් උසැති යි. එය සාමාන්‍ය පාපන්දු ක්‍රීඩකයන් ගේ උස සැලකූ විට ඉහළ අගයක් ගන්නේ නෑ. මේ නිසාම ඔවුන් දෙපළ ම කුඩා ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකි යි.

දෙදෙනාට ම සුවිශේෂී ක්‍රීඩා රටාවක් හිමි ව තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ ම ක්‍රීඩා රටාවල බොහෝ විට එකිනෙකාට සමාන අවස්ථා දැක ගැනීමට ද හැකි යි. ලියොනල් මෙසී තරුණ කාලයේ දී දියේගෝ මැරඩෝනා ගේ අවතාරය නමින් ද නම් වූයේ එම සමාන ක්‍රීඩා රටාව හේතුවෙන්. ඔවුන් දෙදෙනාට ම ප්‍රතිවාදී ක්‍රීඩයන් මඟහැර පන්දුව රැගෙන යාමට (Dribbling) සුවිශේෂී හැකියාවක් පවතිනවා.

සියවසේ ගෝලය ලබා ගත් මැරඩෝනා එංගලන්ත ක්‍රීඩකයන් මඟහැර දිව යමින් – www.irishmirror.com

1986 පාපන්දු ලෝක කුසලානයේ දී දියේගෝ මැරඩෝනා එංගලන්තයට එරෙහි ව සුවිශේෂී ගෝලයක් ලබා ගත්තා. එහිදී ක්‍රීඩා පිටියේ අර්ධ සීමාවට ඔබ්බෙන් පන්දුව ලබා ගෙන සමස්ත එංගලන්ත මැද පෙළ සහ පසු පෙළ පසු කරමින් ගමන් කළ ඔහු අවසානයේ දී දැල් රකින්නා ද මඟහැර ගෝලයක් ලබා ගත්තා. එම ගෝලය 20 වන සියවසේ ගෝලය වශයෙන් ද නම් කොට තිබෙනවා.

මැරඩෝනා ලබා ගත් එම ගෝලයේ ම කාබන් කොපියක් බඳු ගෝලයක් ලියොනල් මෙසී 2007 වර්ෂයේ දී ලබා ගත්තා. බාසිලෝනා සමග ක්‍රීඩා කරන මෙසී හෙටාෆේ සමඟ පැවති ක්‍රීඩා සමාජ තරගයක දී මෙලෙස පන්දුව මධ්‍ය සීමාවට ඔබ්බෙන් රැගෙන සියලු ම හෙටාෆේ ක්‍රීඩකයන් අභිබවා යෑමට සමත් වුණා.

එලෙස මැද පෙළ සහ පසුපෙළ පසු කරමින් අවසානයේ දී මෙසී දැල් රකින්නාද මඟහැර මෙම ගෝලය වාර්තා කළා. මෙම ගෝල ද්විත්වය ම දෙදෙනාගේ සුවිශේෂී ම ගෝල ගොන්නට ඇතුළත්.

2007 දී මෙසී හෙටාෆේ ක්‍රීඩකයන් අභිබවා ලබා ගත් ගෝලය කරා ගමන් කරමින් – www.givemesport.com

දෙවියන්ගේ ගෝලය

ඉහත 1986 ලෝක කුසලානයේ පැවති එංගලන්තය තරගයේ දී ම දියේගෝ මැරඩෝනා තමන්ගේ අත භාවිත කරමින් ගෝලයක් රැස් කළා. එය විනිසුරු හරිහැටි දර්ශනය කර නො ගත් නිසා ගෝලයක් බවට සටහන් කළා. එයින් වසර ගණනාවකට පසුව බාසිලෝනා සහ එස්පැනියෝල් අතර පැවති තරගයක දී ලියොනල් මෙසී ද තම හස්තය භාවිත කරමින් ගෝලයක් ලබා ගත්තේ මැරඩෝනා ගේ ගෝලය නැවතත් ප්‍රේක්ෂකයන් සිහි ගන්වමින් වීම විශේෂත්වයක්.

මැරඩෝනා සහ මෙසී දෙදෙනා ම අත භාවිත කරමින් ගෝල ලබා ගෙන තිබෙනවා. පසු කලෙක දෙවියන්ගේ හස්තයෙන් ලැබුණ දෙවියන්ගේ ගෝලය යනුවෙන් ප්‍රසිද්ධ වූයේ ද මැරඩෝනා 1986 දී ලබා ගත් ගෝලය යි. මෙලෙස මෙසී සහ මැරඩෝනා දෙදෙනා ම හස්තයෙන් ගෝල ලබා ගැනීම දෛවයේ සරදමක් යැයි බොහෝ පාපන්දු ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කර සිටිනවා.

මැරඩෝනාගේ දෙවියන්ගේ ගෝලය – www.thesefootballtimes.com

දියේගෝ මැරඩෝනා තමන්ගේ ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ දී ස්පාඤ්ඤයේ බාසිලෝනා සමඟ එකට ක්‍රීඩා කළා. ලියොනල් මෙසී ද බොහෝ කලක් බාසිලෝනා ක්‍රීඩකයෙක් ව කටයුතු කළා. මැරඩෝනා සහ මෙසී ගේ ලෝක කුසලාන දිවියේ දක්ෂතා අතරට එක් ලෝක කුසලාන ජයග්‍රහණයක් සහ එක් ලෝක කුසලාන අනුශූරතාවක් අයත් වනවා.

1990 දී ආජන්ටිනාව ලෝක කුසලාන අනුශූරතාව දිනා ගත්තා. එම තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ඉතාලිය සමඟ ආජන්ටිනාව දඬුවම් පහර මාලාවකින් තරගය ජයග්‍රහණය කළා. එලෙස ම මෙසී සහ ආජන්ටිනාව 2014 පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව දිනා ගන්නා විට අවසන් පූර්ව වටයේ දී යුරෝපීය ප්‍රතිවාදියෙක් වූ නෙදර්ලන්තය පරාජයට පත් කළේ දඬුවම් පහර වටයකින් වීම විශේෂත්වයක්.

2014 පාපන්දු ලෝක කුසලානය ජර්මනියට පරාජය වූ මෙසී – www.skysports.com

1990 දී දියේගෝ මැරඩෝනා ගේ ආජන්ටිනාව ජර්මනිය හමුවේ ලෝක කුසලාන අවසන් මහා තරගය ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් වුණා. අහඹුවකට එහා යමින් 2014 වර්ෂයේ දී ආජන්ටිනාව අවසන් මහා තරගය ජර්මනියට එරෙහි ව ම පරාජයට පත් වුණා. එම තරගයේ ද අවසන් ගෝල සටහන දිස් වූයේ ගෝල 1-0 කින් ජර්මනියට ජයග්‍රහණය හිමි කර දෙමින්.

1986 සහ 2022 ලෝක කුසලාන අහඹුව

පෙර සඳහන් කළ ආකාරයට ම 1986 පාපන්දු කිරුළ දියේගෝ මැරඩෝනා සහ 2022 පාපන්දු කිරුළ ලියොනල් මෙසී ජයග්‍රහණය කළා. මෙම තරගාවලි ද්විත්වයේ ඉතාම අහඹු සමානකම් රාශියක් ම සිදුවී තිබෙනවා. ආජන්ටිනාව ජයග්‍රහණය කළ මේ ලෝක කුසලානවල සිදුවූ අහඹු සිදුවීම් ඇතැම් විට විශ්වාස කිරීමට පවා අපහසුයි.

ලෝක කුසලානයේ කාණ්ඩ අදියරේ තමන් මුහුණ දුන් F කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට 1986 දී මොරොක්කෝව සමත් වුණා. වසර 36 ක ඇවෑමෙන් මොරොක්කෝව තමන් ක්‍රීඩා කළ ලෝක කුසලාන කාණ්ඩයක ප්‍රථම ස්ථානය නැවතත් දිනා ගත්තේ 2022 වර්ෂයේදී යි. මෙයට ප්‍රථම ව කාණ්ඩ වටයේ තෙවන ස්ථානය දිනා ගැනීමට 1986 දී බෙල්ජියම සමත් වුණා. මෙවර ද බෙල්ජියම තම කාණ්ඩයේ තෙවන ස්ථානයට පත් වීම විශේෂත්වයක්.

මැරඩෝනා 1990 දී ජර්මනිය හමුවේ අවසන් තරගය පරාජයට පත් වුණා – www.thesefootballtimes.com

1986 වර්ෂයෙන් පසු ව කැනඩාව 2022 දී ප්‍රථම වතාවට ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් 1986 දී තම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් වුණා. වසර 36 කට පසුව ලෝක කුසලාන වරම් දිනා ගත් කැනඩාව 2022 දී ද දිනා ගත්තේ කාණ්ඩ වටයේ අවසන් ස්ථානය යි. ඔවුන් අවස්ථා දෙකේ දී ම කිසිදු ප්‍රසාද ලකුණක් හිමිකර ගත්තේ ද නෑ. 1986 දී මෙන් ම මෙවර ද කාණ්ඩ අදියරේ තෙවන ස්ථානයට පත් වීමට උරුගුවේ රාජ්‍යය ට සිදු වුණා.

1986 ලෝක කුසලානයේ D කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ස්පාඤ්ඤය එහි දෙවන ස්ථානයට පත් වූයේ ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගනිමින්. එහි පළමු තැනට පත් වූ බ්‍රසීලයට ප්‍රසාද ලකුණු 6 ක් හිමි ව තිබුණා. එලෙස ම 2022 ලෝක කුසලානයේ E කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ස්පාඤ්ඤය ප්‍රසාද ලකුණු 4 ක් ලබා දෙවන ස්ථානය දිනා ගත්තා. E කාණ්ඩයේ ප්‍රථමයා වූ ජපානයට ප්‍රසාද ලකුණු 6 ක් හිමි ව තිබුණා.

තවත් අසාමාන්‍ය සමානතා රැසක්

1986 ලෝක කුසලානයට සහභාගී වූ පෝලන්තය මූලික වටයේ දී එකක් ජයග්‍රහණය කොට එකක් ජය පරාජයෙන් තොර ව අවසන් කර එකක් පරාජයට පත් වී අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා. එලෙස ම 2022 දී ද ජයග්‍රහණයක්, ජය පරාජයෙන් තොර එකක් සහ පරාජයක් සමඟ ඔවුන් අවසන් 16 වටයට සුදුසුකම් ලබා ගත්තා. පෝලන්තය 1986 න් පසුව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ 2022 වසරේ වීම ද විමතියට හේතුවක් වනවා.

1986 දී බ්‍රසීලය යුරෝපීය ප්‍රතිවාදියෙක් හමුවේ දඬුවම් පහර වලින් පරාජයට පත් වුණා – www.footballwhispers.com

බ්‍රසීලය 1986 ලෝක කුසලානයේ දී යුරෝපීය ප්‍රතිවාදියෙක් වූ ප්‍රංශය හමුවේ දඬුවම් පහර වටයකින් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය පරාජයට පත් වූවා. එලෙස ම 2022 ලෝක කුසලානයේ දී ද බ්‍රසීලය යුරෝපීය ප්‍රතිවාදියෙක් වූ ක්‍රොඒෂියාව හමුවේ දඬුවම් පහර වටයකින් අර්ධ අවසන් පූර්ව වටයේ පරාජය වුණා. 1986 බ්‍රසීලය දඬුවම් පහරවලින් පරාජයට පත් කළ ප්‍රංශය තෙවන ස්ථානයට පත් වෙද්දී 2022 දී බ්‍රසීලය පරාජයට පත් කළ ක්‍රොඒෂියාව ද තෙවන ස්ථානය දිනා ගත්තා.

ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල එකම දිනයක දී දඬුවම් පහර මඟින් තරග දෙකක තීරණ ලැබුණ මුල් ම අවස්ථාව 1986 දී වාර්තා වුණා. ඒ බ්‍රසීලය සහ ප්‍රංශය අතර පැවති තරගය හා ජර්මනිය සහ මෙක්සිකෝව අතර පැවති තරගය දඬුවම් පහර තෙක් ගමන් කරමින්. 1986 න් පසුව නැවතත් 2022 දී එය එලෙසින් ම දකින්නට ලැබුණා. එවර එක ම දිනයේ දී බ්‍රසීලය සහ ක්‍රොඒෂියාවත් ආජන්ටිනාව සහ නෙදර්ලන්තයත් දඬුවම් පහර වට දක්වා ගමන් කළා.

2022 දී නෙදර්ලන්තය දඬුවම් පහර වලින් ආජන්ටිනාව පරාජයට පත් කළ අවස්ථාව – www.theguardian.com

අවසන් වතාවට බාසිලෝනා ලියොනල් මෙසී රහිත ව රියාල් මැඩ්රීඩ් ගෝල 4-0 කින් පරාජයට පත් කළේ 1986 වර්ෂයේ දී යි. ඉන් අනතුරු ව ලියොනල් මෙසී රහිත ව 2022 දී බාසිලෝනා රියාල් මැඩ්රීඩ් ගෝල 4-0 පරාජයට පත් කළා. මෙම අවස්ථා ද්විත්වය ම රියාල් මැඩ්රීඩ් ක්‍රීඩාංගණය වන සැන්තියාගෝ බර්නබේයු හී දි සිදුවීම ද විශේෂත්වයක්.

ලෝක කුසලාන අවසන් මහා තරගය

1986 දී මැරඩෝනා සහ ආජන්ටිනාව බටහිර ජර්මනිය සමඟ තරග වැදුණා. එහි දී ආජන්ටිනාව ගෝල 2 ක් ප්‍රථමයෙන් රැස් කළ අතර ඉන් පසුව බටහිර ජර්මනිය ගෝල 2 ක් රැස් කරමින් තරගය සම කළා. එලෙස ම 2022 අවසන් තරගයේ දී ද ආජන්ටිනාව ප්‍රථමයෙන් රැස් කළ ගෝල 2 පසුපස හඹා ගිය ප්‍රංශය ගෝල 2 ක් වාර්තා කරමින් තරගය සම කිරීමට සමත් වුණා.

1986 ලෝක කුසලාන අවසන් මහා තරගය විනිශ්චය කළ රොමුආල්ඩෝ ෆිල්හො ජනවාරි මස 07 වනිදාවක උපත ලබා තිබුණා. අතිශය විමතියට පත් කරන කරුණ නම් 2022 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය විනිශ්චය කළ ශ්මොන් මර්ශිනියැච් ද ජනවාරි මස 07 වනදාවක උපත ලබා තිබීම යි.

මැරඩෝනා ඇතුළු ආජන්ටිනාව 1986 ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කිරීමට පැමිණෙමින් – www.thesefootballtimes.com

මෙසී 2014 දී ආජන්ටිනා දෙවන නිල ඇඳුම වන නිල් පැහැති වර්ණ ජර්සියෙන් සැරසී (Away Jersey) ලෝක කුසලාන අවසන් තරගය ජර්මනියට පරාජයට පත් වූවා. එලෙස ම මැරඩෝනා ද නිල් පැහැති ජර්සියෙන් සැරසී ජර්මනියට පරාජය වුණා. 2022 දී ආජන්ටිනා පළමු නිල ඇඳුම වන (Home Jersey) සුදු සහ ළා නිල් වර්ණ ජර්සියෙන් සැරසී මෙසී ලෝක කුසලානය ජයග්‍රහණය කළා. මැරඩෝනා ද 1986 ලෝක කුසලානය ජයග්‍රහණය කළේ මෙම සාම්ප්‍රදායික ආජන්ටිනා වර්ණ සහිත ජර්සියෙන් වීම ද පුදුම සහගත කරුණක්.

1990 ලෝක කුසලාන අවසන් තරගය පරාජයට පත් වීමෙන් අනතුරු ව මැරඩෝනා පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියා. ඉන් පසුව ආජන්ටිනාව 1994 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවල දැක්වූ පසුබෑම නිසා මැරඩෝනා නැවත ආජන්ටිනාව සමඟ එකතු වී ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩා කළා. 1994 එලෙස සුදුසුකම් ලබා ගත් ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය පරාජයට පත් වූ ආජන්ටිනාව ලෝක කුසලානයෙන් ඉවතට විසි වුණා.

එලෙස ම 2016 කොපා අමරිකා අවසන් තරගය පරාජයට පත් වී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් විශ්‍රාම ගිය මෙසී, නැවතත් 2018 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටවල අර්බුදයකට මුහුණ දී සිටි ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පැමිණියා. එලෙස පැමිණි මෙසී ඇතුළු ආජන්ටිනාව 2018 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගෙන එම තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දී පරාජයට පත් වී ලෝක කුසලානයෙන් ඉවත් වුණා. මේ අවස්ථා ද්විත්වයේදී ම යුරෝපා කණ්ඩායම් දෙකක් ආජන්ටිනාව පරාජය කළා.

ලෝක කුසලානය අතැතිව සිටින මෙසී සහ මැරඩෝනා – www.thegoal.com

අවසන් වශයෙන් 1986 ආජන්ටිනාව ලෝක ශූරයන් බවට පත් වෙද්දී තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා සම්මානය දියේගෝ මැරඩෝනාට හිමි වුණා. එලෙස ම 2022 ආජන්ටිනාව ලෝක ශූරතාව දිනා ගනිද්දී තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා සම්මානයෙන් ලියොනල් මෙසී පිදුම් ලැබුවා.

1986 ආජන්ටිනාව ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී ලියොනල් මෙසී උපත ලබා නොතිබූ අතර ම 2022 ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී දියේගෝ මැරඩෝනා ජීවතුන් අතර සිටියේ නෑ. මේ නිසා දෙදෙනාගේ ම ජයග්‍රහණය සියැසින් දැක බලා ගැනීමේ වාසනාව දෙදෙනාට ම අහිමි වුණා.

කවරයේ ඡායාරූපය - 2022 ලෝක ශූරතාවය දිනාගත් මෙසී සහ 1986 ලෝක ශූරතාවය දිනාගත් මැරඩෝනා - www.semena.com
මූලාශ්‍ර -
www.fifa.com
www.bleacherreportfootball.com
www.marca.com
www.sportsbrief.com

Related Articles