Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දඟ පන්දු යවන්නන් වාර්තා කළ හොඳම පන්දු යැවීම්

වසර 140 කටත් වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ වන විට කණ්ඩායම් 10ක් එකිනෙකා හා උරෙනුර ගැටී ඇති අතර පවත්වා ඇති ටෙස්ට් තරඟ ප්‍රමාණය 2000 කටත් අධිකයි. මේ කාලය තුළ ලෝක පූජිත පන්දු යවන්නන් රාශියක් බිහි වී ඇති අතර ඔවුන් විසින් සිදු කළ විශිෂ්ට පන්දු යැවීමේ අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පිරික්සීමේදී අපට හමු වෙනවා. කෙසේ නමුත් මේ අතරින් ඉනිමක කඩුලු 10 ම බිඳ හෙළීමට අද වන තුරුත් සමත් වී තිබෙන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි. ඔවුන් දෙදෙනාම දඟ පන්දු යවන්නන්. ඒවා හැරුණු කොට ලොව හොඳම ටෙස්ට් පන්දු යැවීම් කිහිපය අතරත් බහුතර දක්ෂතා දක්වා ඇත්තේ දඟ පන්දු යවන්නන්. පාඨක ඔබේ දැනුම පොතට තවත් කරුණු කිහිපයක් එකතු කරන අටියෙන් දඟ පන්දු යවන්නන් විසින් ටෙස්ට් ඉනීම් වලදී වාර්තා කරන ලද හොඳම දක්ෂතා කිහිපය ගැන තොරතුරු ගෙන එන්නට අපි තීරණය කළා.

ජිම් ලේකර් – 9/37 හා 10/53 ඕස්ට්‍රේලියාවට එරෙහිව 1956

zaheerliesandstatistics.wordpress.com

ක්‍රි.ව 1956 වසරේ පැවති අළු බඳුන තරඟාවලිය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණා. එංගලන්තයේ පැවති මෙය තරඟ 5 කින් සමන්විතව තිබූ අතර එහි තරඟ 3ක් අවසානයේ දෙපිලම තරඟ 1 බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසු වුණා. මේ තරඟාවලියේ සිව්වන තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ මැන්චෙස්ටර් නුවරයි. ක්‍රි.ව 1956 මැයි මස 26 වන දා සිට 31 වනදා දක්වා පැවැත්වෙන ලෙස සැලසුම් කර තිබූ මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 428 වන තරඟය වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක පීටර් මේ මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ලබාගත් අතර එය නිවැරදි තීරණයක් බව පසක් කරමින් පන්දු ඕවර 158 කුත් පන්දු 3ක් අවසානයේ ලකුණු 459 ක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු පීටර් රිචර්ඩ්සන් හා ඩේවිඩ් ෂෙපර්ඩ් අගනා ශතක දෙකක් ලබාගත අතර කොලින් කවුඩ්‍රී අර්ධ ශතකයක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉතා අවාසනාවන්ත ආකාරයෙන් පන්දු ඕවර 40.4 ක් තුළ ලකුණු 84 කට සියලු දෙනා දැවී යනවා. ඔවුන් අතරින් කිසිවෙකුට ලකුණු 35 සීමාවට ළඟා වීමට නොහැකි වූ අතර ඕස්ට්‍රේලියානු ඉනිම සුණු විසුණු කළ දකුණත් පිට දඟ පන්දු යවන ජිම් ලේකර් ලකුණු 37කට කඩුලු 9 ක් දවා ගනිමින්. එය එකල ජෝර්ජ් ලෝමන්ට පමණක් දෙවැනි වූ විශිෂ්ට පන්දු යැවීමක් වූ අතර දෙවන වර පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කෙරෙනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිටියට බසින්නේ කෙසේ හෝ තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමේ අටියෙනුයි. මෙවර ඔවුනට යම්තාක් දුරකට සාර්ථක වීමට හැකි වෙන අතර ආරම්භක පිතිකරු කොලින් මැක්ඩොනල්ඩ් ලකුණු 89 ක් ලබා ගන්නවා. කෙසේ නමුත් නැවත ක්‍රියාත්මක වන ලේකර් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වන අතර තරඟය 5 වන දින දක්වා ගෙන යාමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් වූවත් පන්දු ඕවට 150 කුත් පන්දු 2ක් පන්දුවට පහර දීමෙන් අනතුරුව ඔවුන් සියලුම දෙනා ලකුණු 205 කට දැවී යන්නේ එංගලන්තයට ඉනිමක හා ලකුණු 170 ක ජයක් ලබා දෙමින්. ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ සියලු පිතිකරුවන් ජිම් ලේකර්ට ගොදුරු වී තිබුණු අතර ඔහුගේ පන්දු යැවීම කි‍යැවුණේ 10/53 ලෙසයි.

ජිම් ලේකර් මුළු තරඟය තුළ ලකුණු 90 කට කඩුලු 19ක් බිඳ හෙළූ අතර අදටත් එය නොබිඳුණු වාර්තාවක් වෙනවා. එමෙන්ම ඔහුගේ දෙවන ඉනිමේ කඩුළු 10 වාර්තාවද වසර 62 ක් ගත වී ඇතත් තවම බිඳී නැහැ. එකල ලොව හොඳම පන්දු යැවීම් අතර තෙවන තැන තිබූ ඔහුගේ පළමු ඉනිමේ පන්දු යැවීම අද පවතින්නේ සිව්වැනි තැනයි. තරඟාවලියේ අවසන් තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වූ අතර එංගලන්තය අළු බඳුන තමන් සතු කරගත්තේ 2-1 වශයෙනුයි. ජිම් ලේකර් තරඟවලිය පුරාවට කඩුලු 46ක් බිඳ හෙළා තිබුණා.

අනිල් කුම්බ්ලේ 10/74 පාකිස්තානයට එරෙහිව 1999

AFP

තරඟ 2 කින් සමන්විත ඉන්දු-පාකිස්තාන තරඟාවලියක් 1999 වසරේදී ඉන්දියාවේදී පැවැත්වුණා. එහි පළමු තරඟයෙහි ජය හිමි වී තිබුණේ පාකිස්තානයටයි. මේ නිසා මෙම තරඟය ඉන්දියාවට ජයගත යුතුම එකක් බවට පත්ව තිබුණා.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1443 වන තරඟය ලෙස නවදිල්ලියේ ෆෙරෝ-ෂා කොට්ලා ක්‍රීඩාංගනයේ 1999 වසරේ පෙබරවාරි මස 4-7 යන දිනයන්හි පැවති මේ තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දියානු නායක මොහොමඩ් අසාරුඩීන් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ලබාගත් අතර පන්දු ඕවර 91.5 ක් අවසන සියලු  දෙනා දැවී ගියේ පිට දඟ පන්දු යවන සක්ලේන් මුෂ්ටාක් ගේ පන්දු යැවීම හමුවේයි. ආරම්භක පිතිකරු සඳගෝපන් රමේෂ් හා නායක අසාරුඩීන් අර්ධ ශතක ලබාගෙන තිබුණු අතර තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ අටියෙන් පාකිස්තානු කණ්ඩායම සිය ඉනිම ආරම්භ කරනවා.

කෙසේ නමුත් පාකිස්තනය සිතූ තරම් ඔවුන්ගේ පළමු ඉනිම සාර්ථක නොවූ අතර ලකුණු 172 කට සියලු  දෙනා දැවී යන්නේ පන්දු ඕවර 64.3 ක් අවසානයේ යි. ඉන්දියාව වෙනුවෙන් පා දඟ පන්දු යවන අනිල් කුම්බ්ලේ ලකුණු 75 කට කඩුලු 4 ක් දවාගෙන තිබුණා.

ඉන්දීය දෙවන ඉණිම පාකිස්තානුවන් සිතුවාට වඩා දික් ගැසෙන අතර  පන්දු ඕවර 113 කුත් පන්දු 4 ක් අවසානයේ එය නිමා වන විට ඔවුන් ලකුණු 339 ක් ලබාගෙන තිබුණේ ජයග්‍රහණය සඳහා ලකුණු 420 ක දැවැන්ත ඉලක්කයක් පාකිස්තානය වෙත ලබා දෙමිනුයි. එය හඹා ගොස් ජය ගැනීම ඒ වන විට හොඳින් දඟ කැවෙමින් තිබූ දිල්ලි තණ තීරුවේ ඉතා අසීරු කටයුත්තක් වූ නිසා තරඟය ජය පැරදුමෙන් තොරව නිමා කිරීමේ අටියෙන් පාකිස්ථානය ඉතා ආරක්ෂාකාරී ලෙස සිය දෙවන ඉණිම අරඹන අතර ආරම්භක කඩුල්ලට ලකුණු 101 ක සබඳතාවක් ඇති කර ගැනීමට සයිඩ් අන්වර් හා ෂහිඩ් අෆ්‍රිඩි සමත් වෙනවා. කෙසේ නමුත් එක් වර ක්‍රියාත්මක වන අනිල් කුම්බ්ලේ පාකිස්තාන පිතිකරුවන් අන්ද මන්ද කරමින් කඩුළු එකිනෙක දවා ගැනීමට සමත් වන අතර පන්දු ඕවර 60 කුත් පන්දු 3ක් අවසන පාකිස්තාන ඉණිම නිමා වන්නේ ලකුණු 207 කටයි. අනිල් කුම්බ්ලේ පාකිස්තානු දෙවන ඉණිම තනිවම සිය අණසකට යටත් කරගෙන තිබුණු අතර එහි කඩුළු 10ම බිඳ හෙළා තිබුණේ ලකුණු 74 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි.

මෙම තරඟයෙන් ඉන්දියාවට ලකුණු 212 ක ජයක් ලැබුණු අතර තරඟාවලිය 1-1 ලෙස ජය පැරදුමෙන් තොරව නිමා වුණා.

මුත්තයියා මුරලිදරන් – 9/51 සිම්බාබ්වේට එරෙහිව 2002

Express archive

ක්‍රි.ව 2001/02 සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරඟ 3ක් ඇතුළත් වුණා. මින් පළමු තරඟය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගත්තා. කණ්ඩායම් දෙක කන්ද උඩරට මහනුවර පුරවරය බලා පැමිණියේ සංචාරයේ දෙවන ටෙස්ට් තරඟයට මුහුණ දීම සඳහායි. ජාත්‍යන්තර ටෙස්ට් ඉතිහාසයේ 1583 වන තරඟය වූ මෙය 2002 වසරේ ජනවාරි මස 4 වැනිදා ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ස්ටුවර්ට් කාලයිල් පන්දුවට පහර දීමේ වාරය තමන් වෙත ලබාගත්  අතර එය එතරම් සුබදායී තීරණයක් වූයේ නැහැ. ආරම්භයේ සිටම අස්ගිරිය පිටියේ සිය අණසක පැතිරූ පිටදඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් සිම්බාබ්වේ පිතිකරුවන් කඩුලු අනුකම්පා විරහිතව දඩයම් කරන්නට පටන් ගත්තා. සිම්බාබ්වේ ඉනිමේ නව වන කඩුල්ල ලෙස හුදෙකලා සටනක නිරත වෙමින් සිටි ග්‍රාන්ට් ෆ්ලවර් ලකුණු 72 කට දැවී ගිය අතර ඒ වන විට දැවී ගොස් තිබූ සියලුම කඩුලු මුරලිදරන්ගේ නමට ලියැවී තිබුණා. ඔහු කිහිප විටක්ම අවසන් කඩුල්ලද දවාගෙන ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමේ ආසන්නයටම පැමිණියත් සිම්බාබ්වේ අවසාන පිතිකරු යුගලය වන ට්‍රැවිස් ෆ්‍රෙන්ඩ් හා හෙන්රි ඔලොන්ගා කෙසේ හෝ තම කඩුලු ආරක්ෂා කරගන්නවා. අවසානයේ ඔලොන්ගා චමින්ද වාස්ගේ පන්දුවක් හමුවේ දැවී යනවා. සියලු දෙනා දැවී යන විට සිම්බාබ්වේ ඉනිම කි‍යැවුණේ පන්දු ඕවර 97 කදී ලකුණු 236 ක් ලෙසයි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ඉනිමක් දියත් කරනවා. ආරම්භක පිතිකරු නායක සනත් ජයසූරිය ලකුණු 139 ක් ලබා ගන්නා අතර මහේල ජයවර්ධන, රසල් ආනෝල්ඩ් හා චමින්ද වාස් අර්ධ ශතක ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරනවා. ශ්‍රී ලංකාව පන්දු ඕවර 148.5 කදී ලකුණු 505 ක් ලබා ගන්නේ මුල් ඉනිමේ ලකුණු 269 ක දැවැන්ද වාසියක්ද තමන් වෙත නතු කර ගනිමිනුයි.

හොඳින් දඟ කැවෙන අස්ගිරිය තණතිල්ලේ සිය දෙවන ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම පළමු ඉනිමටත් වඩා ඉක්මනින් කඩා වැටුණු අතර ඔවුන් සියළු දෙනා ලකුණු 175 කට දැවී යන්නේ ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 94 ක ජයක් ලබා දෙමිනුයි. මුරලිදරන් එම ඉනිමේද කඩුළු 4 ක් දවාගෙන තිබුණා. තුන් වන ටෙස්ට් තරඟයද ජයගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ජය ගන්නේ 3-0 වශයෙනුයි.

අබ්දුල් කදීර් – 9/56 එංගලන්තයට එරෙහිව 1987

Getty Images

ක්‍රි.ව 1987 දී පැවතුණු එංගලන්තයේ පාකිස්තාන සංචාරයට ටෙස්ට් තරඟ 3 ක් ඇතුළත් වුණා. මින් පළමු වැන්න ලාහෝර් නුවර පැවැත්වූයේ 1987 වසරේ නොවැම්බර් 25 – 28 අතරයි. එය ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ඉතිහාසයේ 1081 වන තරඟය වුණා.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක මයික් ගැටින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාගත් අතර දඟ කැවෙන ආසියානු ලාහෝර් තණ තීරුවේ අවසානයට පන්දුවෙන් පහර දීමෙන් වැළකී සිටීම ඔවුන්ගේ අභිප්‍රාය වුණා. කෙසේ නමුත් එංගලන්තය අපහසුතාවයට පත් කරමින් පාකිස්තානු පා දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුල් කදීර් ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ඔවුන්ගේ සියලු දෙනා පන්දු ඕවර 83 ක් තුළ ලකුණු 175 කට දැවී යනවා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අබ්දුල් කදීර් එංගලන්තයේ කඩුලු 9 ක් ම බිඳ හෙළා තිබුණේ ලකුණු 56 කටයි.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ පාකිස්තානය ලකුණු 392 ක් ලබා ගන්නේ ආරම්භක පිතිකරු මුදාසර් නසාර් ගේ ශතකයේ පිහිටත් සමඟයි. ලකුණු 217 ක් පසුපසින් සිට එංගලන්තය සිය දෙවන ඉනිම ඇරඹූ අතර නැවතත් අසාර්ථක වන ඔවුන් සියලු දෙනා පන්දු ඕවර 79.2ක් තුළ ලකුණු 130 කට දැවී යනවා. නැවත ක්‍රියත්මක වූ අබ්දුල් කදීර් කඩුලු 4ක් දවා ගන්නවා. පාකිස්තානයට ඉනිමක හා ලකුණු 87 ක ජයක් ලැබෙනවා.

තරඟාවලියේ ඉතිරි තරඟ දෙක ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට එංගලන්තය සමත් වන අතර පාකිස්තානය තරඟාවලිය ජය ගන්නේ 1-0 ලෙසයි.

මුත්තයියා මුරලිදරන් – 9/65 එංගලන්තයට එරෙහිව 1998

rediff.com

එවකට වසර 16 ක පමණක් ටෙස්ට් අත්දැකීම් ලබා තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායම 1998 වසරේදී එංගලන්තයේ සංචාරය කරන ඔවුනට එම සංචාරයේ ලැබී තිබුණේ එක් ටෙස්ට් තරඟයක් පමණයි. 1998 අගෝස්තු 27 වනදා ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1423 වන තරඟය වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මුලින්ම පන්දු රැකීමේ අවස්ථාව ලබා ගන්නා අතර එංගලන්තය සිය පලමු ඉනිමට සියළු දෙන දැවී ලකුණු 445 ක් ලබා ගැනීමට සමත්කම් දක්වන්නේ  පන්දු ඕවර 158.3 ක් තුළදී යි. එහිදී එංගලන්තය වෙනුවෙන් හ්‍රැහැම් හික් හා ජෝන් ක්‍රෝලි ශතක ලබාගෙන තිබුණු අතර සාර්ථක පන්දු යැවීමක නිරත වූ පිට දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ලකුණු 155 කට කඩුලු 7 ක් බිඳ හෙළා තිබුණා. ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට පන්දු ඕවර 156.5 ක් තුළදී දැවැන්ත ලකුණු 591 ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. මෙහිදී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ද්විත්ව ශතකයක් ලද අතර අරවින්ද ද සිල්වා ලකුණු 152 ක් ලබා ගන්නවා.

ලකුණු 146 ක පළමු ඉනිමේ අවාසියක් සමඟ දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත පිතිකරුවන්ට කිසිසේත්ම නැඟී සිටීමට මුත්තයියා මුරලිදරන් ඉඩ තබන්නේ නැහැ. පන්දු ඕවර 54.2ක් යවමින් ලකුණු 65 කට කඩුළු 9 ක් ලබාගෙන ඔහු එංගලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම කඩා ඉහිරුවන අතර මුරලිට අයිති නොවූ එකම කඩුල්ල ලෙස ඇලෙක් ස්ටුවර්ට් දුවද්දී දැවී යාමකට ලක් වෙනවා. එංගලන්ත දෙවන ඉනිම ලකුණු 181 කට සීමා වන අතර ලකුණු  36 ක් වූ ජයග්‍රාහී ඉලක්කය පන්දු ඕවර 5ක් තුළ ලබාගෙන කඩුලු 10 ක ජයක් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන සනත් ජයසූරිය හා මාවන් අතපත්තු සමත් වෙනවා. මෙය ශ්‍රී ලංකාව එංගලන්තයේදී ලද පළමු ටෙස්ට් ජයග්‍රහණයයි.

කවරයේ පින්තූරය- crickethistory.info

Related Articles