Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරාජයෙන් බේරෙන්නට මැරතන් දිවූ ඩිවිලියර්ස් සහ අම්ලා

සංචාරක ඉන්දිය කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියක් පසුගිය දා ඇරඹිණි. කණ්ඩායම් දෙක අතර එක්දින තරග තුනක් ද පැවැත්වීමට නියමිත ය. තරග හතරකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ද ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ කොටසක් වන අතර එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වනු ඇත.

එයට සමගාමී ව දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ, 2015 වර්ෂයේ දෙසැම්බර් මස 03 සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක වූ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳ මතකය අවදි කිරීමකි මේ.

ක්‍රිකට් පිටියේ අලංකාර අවස්ථා

ක්‍රිකට් පිටියේ අලංකාර අවස්ථා බොහොමයක් ගැන අපට කතා කළ හැකි ය. ඉන් සමහර අවස්ථා අලංකාර වුවත් එහි කථානායකයන් තරගය පරාජය වී තිබේ. තරගය පරාජය වුවත් එම කතාවට මූලික වූවන් දැක්වූ දක්ෂතා කතාබහ කළ හැකි තරම් සුවිශේෂී ඒවා ය. මෙය ද එවැනි කතාවකි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ 2015 වර්ෂයේ දෙසැම්බර් මස 03 සිට 07 වනදා දක්වා ක්‍රියාත්මක වූ දෙපිල අතර පැවති සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී මෙම අපූරු සිදුවීම දක්නට ලැබිණි.

විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් යන පූර්ණ තරගාවලි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන්දියාවේ 2015 වර්ෂයේ අග භාගයේ දී සංචාරයක නිරත විය. තරග 3 කින් සමන්විත වූ විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙසින් මෙන් ම තරග 5 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-2 ක් ලෙසින් ජයග්‍රහණය දකුණු අප්‍රිකාව සතු විය. තම මවුබිමේදී ම ලැබූ මේ පරාජය නිසා ටෙස්ට් තරගාවලිය කෙසේ හෝ ජය ගැනීමේ අදිටනින් යුතු ව ඉන්දියාව තරග වැදුණේය.

තරඟාවලිය ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඡායාරූපයක්
තරගාවලිය ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම – BCCI/ESPN Cricinfo

එහි ප්‍රතිඵලය ඉන්දියාව දෙසින් සාර්ථක විය. පළමු තරගයෙන් ඉන්දියාවට ජය හිමි වූ අතර දෙවැනි තරගය ජය පරාජයෙන් තොර ව නිමාවට පත් විය. තෙවැනි තරගය නැවතත් ජයග්‍රහණය කළ නිසා ඉන්දියාව තවත් තරගයක් ඉතිරි ව තිබියදී ම ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළේ ය. ඒ අනුව සිව්වැනි සහ අවසන් ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකා කණ්ඩායම දිල්ලි හි ෆෙරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ තමන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම උදෙසා ය.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඩේන් පියෙඩ් සහ කයිල් ඇබොට් සිදු කළ සාර්ථක පන්දු යැවීම හමුවේ ඉන්දීය මුල් කඩුලු 3 ලකුණු 66ක් තුළ බිඳ වැටිණි. මේ මොහොතේදී පිටියේ ස්ථාවර වූ නායක විරාට් කෝලි සහ අජින්කයා රහනේ ඉන්දීය සිව්වන කඩුල්ල සඳහා ලකුණු 70ක් එක් කිරීමට සමත් විය. කෝලි පන්දු 62ක් තුළ හතරේ පහර 7ක් ද සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 44කි. අනතුරුව රෝහිත් ශර්මා සහ විද්දර්මන් සාහා ඉක්මනින් ම දැවී යාම නිසා විටෙක ලකුණු 136-3 ක් ලෙසින් සටහන් වූ ඉන්දීය ලකුණු පුවරුව 139-6 ක් දක්වා පරිවර්තනය විය.

ඉනිම පුරා නැංගුරම බවට පත් වූ අජින්කයා

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 24ක් රැස් කළේ ය. ඉනිමේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් සමස්ත ඉන්දීය ඉනිම පුරා නැංගුරම බවට පත් වූ අජින්කයා රහනේ පන්දු 215කින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් ද සමඟ ලකුණු 127 ක විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කළේ ය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ඉනිමේ අග භාගයේ දී පන්දු 140 කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක්ද  සමඟින් රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 56ක් රැස් කිරීමට සමත් විය. ඔවුන් දෙපළ 8 වන කඩුල්ල සඳහා පැවැත් වූ සබඳතාව ලකුණු 98කි. මේ නිසා ඉන්දීය මුල් ඉනිම සියල්ලන් දැවී ලකුණු 334ක් ලෙසට සටහන් විය. පන්දු යැවීමේ දී කයිල් ඇබොට් ලකුණු 40 කට කඩුලු 5ක් බිඳ හෙළුවේය.

ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් සුපිරි ශතකයක් වාර්තා කරගත් අජින්කයා රහනේ
ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් සුපිරි ශතකයක් වාර්තා කරගත් අජින්කයා රහනේ – BCCI/ESPN Cricinfo

තම මුල් ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකානුවන් ඉන්දීය දඟ පන්දු බළ ඇණිය හමුවේ අසාර්ථක විය. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒ.බී.ඩිවිලියර්ස් ලකුණු 42ක් රැස් කළ අතර ම ටෙම්බා බවුමා ලකුණු 22ක් රැස් කළේ ය. මීට අමතර ව වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාවට ළඟා වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 30 කට කඩුලු 5ක් බිඳ හෙළූ අතර ම දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 121 කට සීමා විය. ඉන්දියාව මුල් ඉනිමේ දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 216ක් ඉදිරියෙන් පසු වෙමින් නැවත වතාවක් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

කෝලි – රහනේ සුසංයෝගය

ඉන්දීය දෙවනි ඉනිමේද ආරම්භය එතරම් යහපත් වූයේ නැත. මුරලි විජේ, රෝහිත් ශර්මා, ශිකර් ධවාන් සහ චෙටෙෂ්වර් පුජාරා යන පිතිකරුවන් සිව් දෙනා ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අතර ම ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 57ක් ලෙසින් දිස් විය. නැවත වතාවක් පළමු ඉනිමේ දී මෙන් ම දෙවනි ඉනිමේදීත් කෝලි රහනේ සුසංයෝගය ඉන්දීය ගැලවුම්කරු බවට පත් විය.

කෝලි සහ රහනේ පස්වන කඩුල්ල සඳහා ලකුණු 154ක සබඳතාවක් සටහන් කළේ දකුණු අප්‍රිකාව දෙසින් තරග ජය ඈත් කරමිනි. විරාට් කෝලි පන්දු 165 කදී හතරේ පහර 10ක් ද සමඟින් ලකුණු 88ක් රැස් කළේ ය. නැවත වතාවක් ඉන්දීය ඉනිම ගොඩනැගූ අජින්කයා රහනේ පන්දු 206 ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ද සමඟින් නොදැවී ලකුණු 100ක් රැස් කළේ ඉනිම දෙකේදී ාම ශතක වාර්තා කරගනිමිනි. ඉන්දියාව තම දෙවන ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 267ක් ලෙසින් සටහන්ද්දී වෙද්දී  අත්හිටුවීමට තීරණය විය.

ඉන්දීය දෙවනි ඉනිම ගොඩනැගූ විරාට් කෝලි සහ අජින්කයා රහනේ ක්‍රීඩා කරමින්
ඉන්දීය දෙවනි ඉනිම ගොඩනැගූ විරාට් කෝලි සහ අජින්කයා රහනේ ක්‍රීඩා කරමින් – BCCI/ESPN Cricinfo

දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 484 ක ඉලක්කයක් හිමි විය. මේ සඳහා දින දෙකක පමණ සම්පුර්ණ කාලයක් ඉතිරි ව තිබූ නමුත් එම ඉලක්කය දිල්ලි හි දඟ කැවෙන තණතීරුවේ ලබා ගැනීම අතිශයින් ම අපහසු වී තිබිණි. මේ මොහොතේ දී දකුණු අප්‍රිකාව වෙනස් ම තීරණයක් ගෙන තිබිණි. ඒ ඉතිරි කාලය ම හැකිතාක් කඩුල්ල ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරමින් තරගය ජය පරාජයෙන් තොර ව අවසන් කර ගැනීම ය. දකුණු අප්‍රිකානු පළමු කඩුල්ල ලෙසින් ඩීන් එල්ගාර් ලකුණු 4 කට දැවී යාමෙන් අනතුරුව දිල්ලි හි මැරතන් තරගය ආරම්භ විය. ටෙම්බා බවුමා පන්දු 117ක් තුළ ලකුණු 34ක් ලබා සිටිය දී දැවී යන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව පන්දුවාර 42.4 ක් තුළ ලකුණු 49ක් ලෙසින් සටහන් විය.

අනතුරු ව පිටියේ ස්ථාවර වූයේ හෂීම් අම්ලා සමගින් ඒ.බී.ඩිවිලියර්ස් ය. ඔවුන් දෙදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දුන්නේ දිල්ලි පිටියේ තම කඩුල්ල පන්දුවාර 42.1 පුරාවට ම ආරක්ෂා කරගනිමිනි. එම පන්දුවාර 42.1 පුරාවටම 3 වන කඩුල්ල සඳහා අම්ලා සහ ඩිවිලියර්ස් රැස් කළේ ලකුණු 27ක් පමණි. පන්දු 249ක් දිගු වූ ඔවුන්ගේ සබඳතාව බිඳ වැටුනේ හෂීම් අම්ලාගේ දැවී යාමෙන් අනතුරුව ය. අම්ලා පන්දු 244 කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 25ක් රැස්කරගෙන තිබිණි. මේත් සමඟ ම තරගය අවසන් දිනය දක්වා ම රැගෙන යාමට ද දකුණු අප්‍රිකාවට හැකි විය.

සිව්වන දිනය අවසන් වද්දීත් තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි අම්ලා සහ ඩිවිලියර්ස්
සිව්වන දිනය අවසනදීත් තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි අම්ලා සහ ඩිවිලියර්ස් –  BCCI/ESPN Cricinfo

ඉන් පසුව ඩිවිලියර්ස්ට එක් වූයේ ෆෆ් ඩු ප්ලෙසිස් ය. ඩු ප්ලෙසිස් ද අම්ලා මෙන් ම ක්‍රීඩා කළ නමුත් එතරම් වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඔහුට නොහැකි විය. ඩිවිලියර්ස් සහ ඩු ප්ලෙසිස් පන්දුවාර 35.1 පුරාවට තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි අතරම ඔවුන් දෙදෙනා එම පන්දුවාර 35.1 පුරාවටම රැස් කළේ ලකුණු 35ක් පමණි. ඩු ප්ලෙසිස් පන්දු 97 කට මුහුණ දෙමින් ලකුණු 10ක් රැස් කළේ ය. දිල්ලි මැරතන් තරගයේ නායකයා බවට පත් වූ ඒ.බී.ඩිවිලියර්ස් රවිචන්ද්‍රන් අශ්වින් ගේ පන්දුවකට රවීන්ද්‍ර ජඩේජා රැකගත් උඩපන්දුවක් හමුවේ දකුණු අප්‍රිකාවේ 7 වන කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 297 කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් ද සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 43කි.

දකුණු අප්‍රිකානු බලාපොරොත්තු

ඩිවිලියර්ස් ගේ දැවී යාමෙන් අනතුරු ව දකුණු අප්‍රිකානු බලාපොරොත්තු බිඳ වැටුණු අතරම ඔවුන්ගේ ඉනිම ලකුණු 143 කට සීමා වූයේ ඉන්දියාවට ලකුණු 337 ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. එක් අවස්ථාවකදී දකුණු අප්‍රිකාව තරගය ජය පරාජයෙන් තොර ව නිමාකර ගන්නා බවම පෙනෙන්නට තිබිණි. බවුමා, අම්ලා, ඩු ප්ලෙසිස් සහ ඩිවිලියර්ස් දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දු 755ක් ක්‍රීඩා කර තිබූ අතර එය පන්දුවාරවලින් සැලකුවහොත් පන්දුවාර 125.5ක් පමණ වේ. ඔවුන් සිව් දෙනා  එම පන්දුවාර 125 ටම රැස් කර ගෙන තිබුණේ ලකුණු 112ක් පමණි. මෙම කඩුලු දවා ගැනීම සඳහා මුරලි විජේ, ශිකර් ධවාන්, විරාට් කෝලි පමණක් නොව චෙටෙෂ්වර් පුරාජා ද පන්දු යැවී ය.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම ලකුණු 143 කට සීමා වූ අතර ම ඒ සඳහා ඉන්දියාවට පන්දුවාර 143.1 ක් යැවීමට ද සිදු විය. ඉන්දීය පන්දු යවන්නන් මෙම ඉනිමේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නිලකුණු පන්දුවාර 86ක් යැවූ අතර ම එය ඉනිමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 60.13% වැනි අගයකි. කෙසේ වෙතත් අවසන් දිනය දක්වා ම ගමන් කරමින් දකුණු අප්‍රිකාව තරගය බේරා ගැනීමට ගත් උත්සාහය දිල්ලි හී දි දිවූ මැරතන් එකක් ලෙසින් ක්‍රිකට් පිටියේ ජනප්‍රිය ව පවතී.

සිව්වන තරඟය මෙන්ම තරඟාවලිය 3-0 ජයගත් ඉන්දියාව ජයග්‍රහණය සමරමින්
සිව්වන තරඟය මෙන්ම තරඟාවලිය 3-0 ජයගත් ඉන්දියාව ජයග්‍රහණය සමරමින් – BCCI/ESPN Cricinfo

තරග සාරාංශය:

ඉන්දියාව පළමු ඉනිම 334-10 (117.5)

අජින්කයා රහනේ 127(215), රවිචන්ද්‍රන් අශ්වින් 56(140), විරාට් කෝලි 44(62)

කයිල් ඇබොට් 40/5, ඩේන් පියෙඩ් 117/4

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 121-10 (49.3)

ඒ.බී.ඩිවිලියර්ස් 42(78), ටෙම්බා බවුමා 22(55)

රවීන්ද්‍ර ජඩේජා 30/5, රවිචන්ද්‍රන් අශ්වින් 26/2

ඉන්දියාව දෙවන ඉනිම 267-5d (100.1)

අජින්කයා රහනේ 100(206)*, විරාට් කෝලි 88(165)

මෝනේ මෝකල් 51/3

දකුණු අප්‍රිකාව දෙවන ඉනිම 143-10 (143.1)

ඒ.බී.ඩිවිලියර්ස් 43(297), ටෙම්බා බවුමා 34(117), හෂීම් අම්ලා 25(244)

රවිචන්ද්‍රන් අශ්වින් 61/5, උමේශ් යාදෙව් 9/3

තරගයේ වීරයා – අජින්කයා රහනේ

ඉන්දියාවට ලකුණු 337 ක ජයක්

කවරයේ ඡායාරූපය - ඉන්දිය කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය අතරතුර - BCCI/ESPNCricinfo

 මූලාශ්‍ර:

ESPNCricinfo

 

 

Related Articles