Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව 26 වසරකට පෙර ක්‍රිකට් ලෝකය ජය ගත් හැටි

1996 මාර්තු 17 වැනිදා ලොව පුරා සිටි සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් යොමුව තිබුණේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය දෙසට යි. ඒ එම ක්‍රීඩාංගණයේ දී පැවති විල්ස් ලෝක කුසලාන අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු නිසා යි. එදා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක අවසන් තරගයේ දී අරවින්ද, ගුරුසිංහ, සහ අර්ජුණ දැක්වූ සුපිරි දස්කම් නිසා ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් හිමිවුණා. එම වටිනා ජයග්‍රහණය ලබාගෙන අදට වසර 25ක් සම්පූර්ණ වනවා. එම නිසා 1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණයේ අමතක නොවන මතකයන් කිහිපයක් පිළිබඳව ඔබ වෙත ගෙන ඒමට Roar සිංහල අප තීරණය කළා. 

ලෝක කුසලාන ආරම්භයට පෙර ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය

1996 පෙබරවාරි 14 විල්ස් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණු නිසා ලාංකීය ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් වසන්තයේ අසිරිය විඳගැනීමට සිහින දකිමින් සිටියා. නමුත් 1996 ජනවාරි 31 වැනිදා කොටි ත්‍රස්තවාදීන් මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ දී තරග වැදීම ප්‍රතික්ෂේප කළා. එදා ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් පවසා සිටියේ ක්‍රිකට් තරගයක් වෙනුවෙන් දිවිපිදීම මෝඩකමක් බව යි. එලෙස ඕස්ට්‍රේලියානුවන් සහ කොදෙව්වන් ලංකාවේ තරග වැදීම ප්‍රතික්ෂේප කිරීමත් සමගම සිම්බාබ්වේ සහ කෙන්යාවත් ලංකාවට පැමිණීමට අදිමදි කළා.

එම නිසා ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වය අහිමිවීමේ අවදානමක් මතුව තිබුණා. එදා සිම්බාබ්වේ සහ කෙන්යානු කණ්ඩායම්වලට පූර්ණ ආරක්ෂාව දෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දුන් පොරොන්දුවත් සමගම ඔවුන් මෙහි පැමිණීමට එකඟතාවය පළ කළා. ඒ අතරතුර අපේ අසල්වැසියන් වුණු ඉන්දියාව සහ පාකිස්ථානය ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් වුණා.

විල්ස් ඒකාබද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයන් ලංකාවට පැමිණි ආකාරය (cricfinity)

එහි දී ඉන්දීය ක්‍රීඩකයන් 6 දෙනෙකුගෙන් සහ පාකිස්ථානු ක්‍රීඩකයන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින තරගයක් පවත්වනු ලැබුවා. එදා මොහොමඩ් අසාරුඩීන්ගේ නායකත්වය යටතේ තරග කළ කණ්ඩායම විල්ස් ඒකාබද්ධ කණ්ඩායම ලෙසින් හඳුන්වනු ලැබුවා. 1996 පෙබරවාරි 13 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිවුණේ විල්ස් ඒකාබද්ධ කණ්ඩායමට යි. පහත දක්වා තිබෙන්නේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

අර්ජුන සහ අසාරුඩීන් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි අවස්ථාව (cricfinity)

ශ්‍රී ලංකාව- 168/9 (40), (ගුරුසිංහ- 34, අර්ජුණ- 32, කුම්බ්ලේ- 12/4, කපූර්- 34/2)

විල්ස් කණ්ඩායම- 171/6 (34.3), (ටෙන්ඩුල්කාර්- 36, අසාරුඩීන්- 32, චන්දන- 35/2, මුරලිදරන්- 46/2)

විල්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් 

තරගයේ වීරයා- අනිල් කුම්බ්ලේ 

ප.ලි- මෙම තරගය සඳහා අරවින්ද, මහානාම සහ ප්‍රමෝද්‍ය යන ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනාම ක්‍රීඩා කළේ නැහැ 

තරගය සඳහා සහභාගි වුණු කණ්ඩායම් දෙක (cricfinity)

මූලික වටයේ දී මතුවුණු ප්‍රසාද ලකුණු ගැටළුව 

කොදෙව් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා නොකරන තරග සඳහා කණ්ඩායම් දෙකටම ලකුණ බැගින් ප්‍රදානය කිරීමට මුල දී තීරණය වුණා. එම අවස්ථාවේ දී එයට විරෝධය පෑ ආනා පුංචිහේවා ලෝක ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරින්ට පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියානුවන්ට සහ කොදෙව්වන්ට ලංකාවට පැමිණ තරග කිරීමට නොහැකි නම් එම තරගවල ප්‍රසාද ලකුණු 4 ශ්‍රී ලංකාවට ලැබිය යුතු බව යි. ඉන් පසුව ආනා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා. එහි දී පළමු වටයේ ඡන්ද විමසීමෙන් යෝජනාව එක් ඡන්දයකින් පරාජයට පත්වුණා. එලෙස ඡන්ද විමසීමෙන් පරාජයට පත්වුණත් නොසැලුණු පුංචිහේවා සභාපතිවරයා ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් ලැබිය යුතු බව පුන පුනා ප්‍රකාශ කළා. එම නිසා යෝජනාව සම්බන්ධව යළි ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වුණා. එහි දී කලින් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටක් මෙවර එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එම නිසා තරගාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 4ක් හිමිවුණා. 

4) ආනා පුංචිහේවා සහ අර්ජුන විල්ස් ලෝක කුසලානය සමග (Prasanna Hennayake)

ශ්‍රී ලංකා පළමු වටයේ තරග සියල්ලම ජයගනියි 

1996 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ පැවති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා. එහි දී පිත්තෙන් දස්කම් දැක්වූ කැම්බල් ලකුණු 75ක් ලබාගනිද්දී වාස් ලකුණු 30කට කඩුලු 2ක් ලබාගෙන පන්දුවෙන් සාර්ථක වුණා. 

ඉන් පසුව ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 23ක් තුළ ක්‍රීඩාගාරය වෙත යැවීමට හීත් ස්ට්‍රීක් සමත් වුණා. එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු අරවින්ද සහ ගුරුසිංහ තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 172ක අගනා සබඳතාවය නිසා පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 4ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය වෙත යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩාකළ අරවින්ද පන්දු 86කින් ලකුණු 91ක් ලබාගත්තා. එය එම අවධියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෝක කුසලාන ඉනිමක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුණා. ඊට පෙර එම වාර්තාවෙහි හිමිකරුවා වුණේ 1987 ලෝක කුසලානයේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 89ක් ලබාගත් රොෂාන් මහානාම යි. 

එසේම මෙම තරගයේ දී අසංක ගුරුසිංහ හයේ පහරවල් 6ක් සමගින් වටිනා ලකුණු 87ක් ලබාගත්තා. එහි දී ඔහු එල්ල කළ හයේ පහරවල් 6 එම අවධිය වන විට ලාංකීය පිතිකරුවෙකු ලෝක කුසලාන ඉනිමක දී වාර්තා කළ වැඩිම හයේ පහර ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඊට පෙර එම වාර්තාව ලියැවී තිබුණේ 1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී ඉන්දියාවට එරෙහිව හයේ පහර 3ක් එල්ල කළ දුලිප් මෙන්ඩිස්ගේ නම ඉදිරියේ යි. තව ද එදා අරවින්ද සහ ගුරුසිංහ ගොඩනැගූ ලකුණු 172ක සබඳතාවය එම අවධිය වන විට ලාංකීය පිතිකරු යුගලයක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ හොඳම සබඳතාවය ලෙසින් වාර්තා අතරට එක් වුණා. එහි දී ඔවුන් බිඳ දැමුවේ 1982 වසරේ දී රෝයි ඩයස් සහ සිදත් වෙත්තමුණි ඉන්දියාවට එරෙහිව පිහිටුවා තිබුණු ලකුණු 170ක සබඳතාවයේ වාර්තාව යි.

අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (Cricinfo)

සිම්බාබ්වේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැදීමට සිදුවුණේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිව යි. දිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා පිටියේ පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 271ක් වාර්තා කළා. එහි දී සුපිරි පිතිහරඹයක නිරතවුණු සචින් ටෙන්ඩුල්කාර් හයේ පහර 5ක් සමගින් පන්දු 137කින් ලකුණු 137ක් ලබාගනිද්දී ඔහුට අනගි සහායක් ලබාදුන් නායක අසාරුඩීන් නොදැවී ලකුණු 72ක් ලබාගත්තා. 

 ටෙන්ඩුල්කාර්ගේ ඉනිමේ අවස්ථාවක් (Pinterest)

එදා ලකුණු 272ක ඉලක්කයක් හඹායාමට පිටියට යාමට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු ඩේව් වට්මෝර් සනා සහ කළූ යුගලය අමතා මෙසේ පවසා සිටියා.

“ඇත්තමට මේ ඉලක්කය වෙත යන්න අපට අමාරු යි. ඒ හින්ද දළ ලකුණු වේගය රඳවා ගන්න ප්‍රමාණවත් තරම් ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට උත්සාහ කරමු”

වට්මෝර් එසේ පැවසීමත් සමග සිය කටහඬ අවදි කළ මහානාම පවසා සිටියේ, “නෑ, අපි මේ ගාන එළවල ගිහින් කොහොමහරි තරගය දිනනවා” යන්න යි.

ඇත්තටම එදා වට්මෝර්ට අපේ ක්‍රීඩකයන්ගේ කටින් අසාගැනීමට ඕනෑ වුණේත් අන්න ඒ වචන පෙළ යි. එදා හොඳ ආත්ම විශ්වාසයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් ඉන්දීය පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළා. එහි දී ජයසූරියගෙන් ලද අමතක නොවන සංග්‍රහය හමුවේ ප්‍රභාකර්ට දඟපන්දු යැවීමට පවා සිදුවුණා. එදා ජයසූරිය ලබාගත් වේගවත් ලකුණු 79 නිසා එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 137/2 ලෙසින් දිස්වුණා. 

ජයසූරිය ඉන්දීය පන්දු යවන්නන්ට බැටදෙමින් (The Hindu)

නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ඉන්දීය පන්දු යවන්නන් ඉක්මනින්ම ජයසූරිය සහ අරවින්ද දවාගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 141/4 ලෙසින් සටහන් වුණා. එලෙස ශ්‍රී ලංකාව අවදානම් අඩියක වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වුණු නායක අර්ජුණ සහ හෂාන් නොබිඳුණු ලකුණු 131ක සබඳතාවයක් ගොඩනගමින් පන්දුවාර 48.4ක දී සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. එහි දී හෂාන් සහ අර්ජුන පිළිවෙලින් ලකුණු 70ක් සහ 46ක් වාර්තා කළා.

හෂාන් සහ අර්ජුන තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (විජයග්‍රහණය-රංජන් පරණවිතාන)

මූලික වටය යටතේ ශ්‍රී ලංකා මුහුණදුන් අවසන් තරගය මහනුවර අස්ගිරිය පිටියේ දී පැවැත්වුණා. වාර්තා පිට වාර්තා බිහිවුණු එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළා. එම තරගයේ දී ලංකා ක්‍රීඩකයන් අතින් බිඳ වැටුණු ලෝක වාර්තා සහ ජාතික වාර්තා පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

1) ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 398 එම අවධිය වන විට එක්දින තරගයක දී යම් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වුණා. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 1992 වසරේ දී පාකිස්ථානය හමුවේ 363/7 ලෙස ලකුණු ලබාගත් එංගලන්ත කණ්ඩායම යි.

2) එසේම එම ලකුණු 398 ලෝක කුසලාන තරගයක දී යම් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. ඊට පෙර එම වාර්තාව හිමිව තිබුණේ 1987 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 4ක් දැවී ලකුණු 360ක් ලබාගත් කොදෙව් කණ්ඩායමට යි. 

3) එදා පන්දු 29කින් සිය අර්ධ ශතකය සම්පුර්ණ කළ අර්ජුණ එම අවධියේ දී ලෝක කුසලානයක වාර්තා වුණු වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරගත්තා. ඊට පෙර එම වාර්තාව උරුමව තිබුණේ 1975 ලෝක කුසලානයේ දී ඉන්දියාව හමුවේ පන්දු 30කින් අර්ධ ශතකයක් ලබාගත් එංගලන්තයේ ක්‍රිස් ඕල්ඩ්ට යි.

4) එදා අරවින්ද හයේ පහර 5ක් සමගින් පන්දු 115ක දී ලබාගත් ලකුණු 145 ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෝක කුසලාන ඉනිමක දී ලබාගත් මුල්ම ශතකය ලෙසින් සටහන් වුණා. එසේම එය එම අවධියේ දී ලාංකීය පිතිකරුවෙකු එක්දින ඉනිමක දී වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එහි දී ඔහු අතින් බිඳ වැටුණේ ජයසූරිය නවසීලන්තය හමුවේ ලකුණු 140ක් ලබාගෙන පිහිටුවා තිබුණු වාර්තාව යි.

5) අරවින්ද සහ ගුරුසිංහ තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 183ක සබඳතාවය එම අවධියේ දී ලාංකීය පිතිකරු යුගලයක් එක්දින තරගයක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටවූ ඉහළම සබඳතාවය බවට පත්වුණා. 

අරවින්ද සහ අර්ජුන කෙන්යා තරගයේ දී (sportstar)

අර්ධ අවසන් පූර්ව තරගය පහසුවෙන් ජයගනියි 

මූලික වටයේ සියලුම තරග ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව තරගයේ දී හමුවුණේ එංගලන්ත කණ්ඩායම යි. එම තරගයට පෙර කරන ලද සාකච්ඡාවල දී තීරණය වන්නේ රොෂාන් මහානාම ඉවත් කර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වුණු උපුල් චන්දන ක්‍රීඩා කරවීමට යි. නමුත් තරගයට පෙරදින චන්දන නායක අර්ජුණව හමුවීමට ගියා. එදා ඔහු අර්ජුණගෙන් ඉල්ලා සිටියේ මෙම තරගයටත් මහානාමව ක්‍රීඩා කරවන ලෙස යි. එහි දී චන්දනගේ ඉල්ලීමට කන්දුන් අර්ජුණ එංගලන්ත තරගයට මහානාමගේ නම ඇතුළත් කළා. 

එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. එදා ඔහු කාසියේ වාසිය දිනාගත් අවස්ථාවේ පවසා සිටියේ එංගලන්තය මෙම තරගය ජයග්‍රහණය කරාවි යන්නයි. නමුත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ එංගලන්ත කණ්ඩායමට හිස එසවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එම නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී එංගලන්ත ලකුණු පුවරුව 235/8 ලෙස සටහන් වුණා. එහි දී ඩිප්‍රේටස් ලකුණු 67ක් ලබාගන්නා විට ධර්මසේන, මුරලිදරන්, සහ ජයසූරිය අතරේ කඩුලු 2ක බැගින් බෙදීගියා.

ජයසූරිය කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

ඉන්පසුව ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.4ක් අවසානයේ දී කඩුලු 5ක් පමණක් දැවී තිබිය දී ජය කණුව වෙත ගියා. එදා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ සනත් ජයසූරිය හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 44කදී ලකුණු 82ක් ලබාගත්තා. එලෙස තරගය පරාජය වීමෙන් පසුව මාධ්‍යය හමුවේ කරුණු දැක්වූ එංගලන්ත නායක ඇතර්ටන් පවසා සිටියේ අපට ජයසූරියව නවත්වන්න බැරිවුණා ඔහු ඉන්නකොට ඉතින් අපට කරන්න දෙයක් නෑ යන්න යි. 

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කල්කටාවේ දී ඉන්දියානුවන්ව මට්ටු කිරීම 

ලංකාවට හමුවුණු විශාලතම අභියෝගය වුණේ කල්කටාවේ දී ඉන්දියානුවන්ව පරාජය කිරීම යි. මෙම තරගය පැවති දිනයට පෙර දිනක වට්මෝර් ඊඩ්න් ගාඩ්න් තණතීරුව පරීක්ෂා කිරීමට ගියා. එහි දී ඔහුට එක් දෙයක් නිරීක්ෂණය කරන්නට ලැබුණා. ඒ තණතීරුවේ ඉක්මනින්ම කඩතොළු ඇතිවී දෙවන භාගයේ දී පන්දුව අධික ලෙස දඟකැවීමට තිබුණු හැකියාව යි. එම නිසා වට්මෝර් ශ්‍රී ලංකා නායක අර්ජුණට පවසා සිටියේ කාසියේ වාසිය හිමිවුණොත් මුලින්ම පන්දුවට පහරදෙන ලෙස යි. නමුත් ඒ වන විට ශ්‍රී ලංකාව ලකුණු හඹායන්නට රුසියන් වුණු නිසා වට්මෝර්ගේ අදහසට අර්ජුණ එකඟ වුණේම නැහැ. අවසානයේ දී වට්මෝර්ට සිදුවුණේ අර්ජුණට කාසියේ වාසිය නොලැබෙන්න කියා ප්‍රාර්ථනා කිරීම පමණ යි.

එදා වට්මෝර්ගේ ප්‍රාර්ථනය අනුව අසාරුඩීන්ට කාසියේ වාසිය හිමිවුණා. එහි දී ඔහු මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය තරගයේ පළමු පන්දු වාරයේ දීම ශ්‍රීනාත්ගේ පන්දු හමුවේ දැවීගියා. ඉන්පසුව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ වගකීම කරට ගත් අරවින්ද පන්දු 47ක දී වේගවත් ලකුණු 66ක් ලබාගත්තා. එම ඉනිම නිසා ස්ථාවර වුණු ඉනිමට මහානාම-58, අර්ජුණ- 35, සහ හෂාන්- 32 ලෙසින් ලකුණු එකතු කළ නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 251/8 ලෙසින් දිස්වුණා.

අරවින්දගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානුවන් එක් අවස්ථාවක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 98ක් ලබා සිටියේ ටෙන්ඩුල්කාර්ගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 65 නිසා යි. නමුත් ඒ මොහොතේ දී සනා සහ කළූ උපක්‍රමශීලීව ටෙන්ඩුල්කාර්ව ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමෙන් පසුව ඉන්දීය කඩුලු පෙරහැර ආරම්භ වුණා. එහි දී පන්දුව පමණට වඩා දඟ කැවුණු ආකාරය දක්නට ලැබුණා. එදා ජයසූරිය ලකුණු 12කට කඩුලු 3ක් දවාගෙන සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා පන්දුවාර 34.1ක් අවසන් වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 120/8 බවට පත්ව තිබුණා.

ටෙන්ඩුල්කාර් දැවීගිය අවස්ථාව (gettyimages)

එලෙස ඉන්දියානුවන් පරාජය වෙමින් පැවති අවස්ථාවේ දී කෝපයට පත්වුණු ඉන්දීය නරඹන්නන් පිටියට ගල්මුල් ප්‍රහාර එල්ල කළා. එම අවස්ථාවේ දී පිටියේ පන්දු රකිමින් සිටි චන්දන නායක අර්ජුණ ළඟට ගොස් මෙසේ පවසා සිටියා.

“අර්ජුන අයියෙ, අරවින්ද අයියට හතරේ සීමාව ළඟ පන්දු රකින්න දෙන්න එපා. එයාට මොකක්හරි වැදිල අනතුරක් වුණොත් අපිට අවසන් තරගෙ දි ලොකු අවාසියක් වෙනවා. ඒ හින්ද මාව හතරේ සීමාව ළඟට යවල අරවින්ද අයියව මෙතනට දාන්න.”

ඇත්තටම චන්දනගේ ඒ ඉල්ලීමෙන් ඔබට එදා අප කණ්ඩායම තුළ තිබුණු එකමුතුකම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳව අවබෝධයක් ඇතිවන්නට ඇති. එදා දිගින් දිගටම ඉන්දීය නරඹන්නන්ගෙන් එල්ල වුණු බාධා නිසා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබාදීමට තරග තීරක ක්ලයිව් ලොයිඩ් තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව විල්ස් ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා.

අවසන් තරගයට පෙර අර්ජුණට ලැබුණු අපූරු උපදෙස 

අර්ජුණ ඇතුළු කණ්ඩායම අවසන් තරගයට පෙර දිනයක ලාහෝර් පිටිය පරීක්ෂා කිරීමට ගියා. එහි දී ඔහුට දක්නට ලැබුණේ තණකොළ මත අධික ලෙස වතුර තිබුණු ආකාරය යි. ඒ අවස්ථාවේ දී ඔහුට හිතවත් පිටිය සකසන්නෙකු ළඟට ගිය අර්ජුණ මෙසේ පවසා සිටියා.

“මොකද තණකොළ මත මේ තරම් වතුර? ෆයිනල් එක දවසෙ නම් මෙහෙම තණකොළවලට වතුර දාන්න එපා.”

එවිට පිටිය සකසන්නා මෙසේ පවසා සිටියා.

“නෑ සර් ඔය වතුර දාල එහෙම නෙවෙයි. මේ දවස්වල රෑට හරියට පින්න. ඉතින් 7 පහුවෙනකොට පින්න වැටෙන්න ගන්නව. ඒ හින්දා සර්ට තියෙන්නෙ ටොස් එක ආවොත් මුලින්ම බෝල් කරන එක. ඒ මොකද සර් රෑට මේකෙ බෝල දාන්න අමාරුයි පින්න හන්ද”

පිටිය සකසන්නා ලබාදුන් උපදෙස හිතේ තියාගත් අර්ජුණ අවසන් තරගයේ දී කාසියේ වාසිය ලැබුණොත් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. තරගය පැවති දිනයේ කාසියේ වාසිය උරගා බැලීමට පැයක පමණ කාලයක් තිබිය දී ඉම්රාන් ඛාන් අර්ජුණ හමුවීමට පැමිණියා. එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර මෙවැනි කතාබහක් ඇතිවුණා.

ඉම්රාන්- ඔබට කාසියේ වාසිය ලැබුණොත් මොකද කරන්න ඉන්නෙ?

අර්ජුණ- මං පන්දු යවන්න යි සූදානමින් ඉන්නෙ 

ඉම්රාන්- නෑ නෑ එහෙම කරන්න එපා. ඔබ මුලින්ම පන්දුවට පහරදෙන්න. ඒ මොකද ලෝක කුසලාන අවසන් තරගයක තියන පීඩනයත් එක්ක ලකුණු හඹායන්න ලෙහෙසි නැහැ.

ඉම්රාන්ගේ එම උපදෙස නිසා අර්ජුන දෙගිඩියාවෙන් පසුවුණා. ඒ අවස්ථාවේ දී ඔහු සිය සගයන් හමුවී ඉම්රාන් පැවසූ දෙය පිළිබඳව මෙසේ පවසා සිටියා.

“ඇත්තටම තවමත් කිසිම කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරගයක දී දෙවනියට පන්දුවට පහරදීල ලෝක කුසලානයක් ජයග්‍රහණය කරල නෑ. ඉම්රාන් කියන්නේ පාකිස්ථානයට ලෝක කුසලානය දිනල දුන්න නායකයෙක්, ඉතින් එයා කියන්නෙ මුලින්ම පන්දුවට පහරදෙන්න කියල. දැන් අපි මොකද කරන්නෙ?”

එවිට කණ්ඩායමේ ක්‍රීඩකයන් එක හඬින් පවසා සිටියේ මෙච්චර දවසක් අර්ජුන අයියා ගත්ත තීරණ හරි ගියා. ඉතින් මේ තරගෙදිත් අර්ජුණ අයියට හිතෙන දේ කරමු. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තීරණය වුණේ කාසියේ වාසිය දිනාගතහොත් මුලින්ම පන්දු යැවීමට යි.

අවසන් තරගයේ විජයග්‍රහණය 

අවසන් තරගයේ දී කාසියේ වාසිය අර්ජුනට හිමිවුණා. ඔහු මුලින්ම පන්දු යැවීමට තීරණය කිරීමත් සමගම ලොව පුරා සිටි ක්‍රිකට් විචාරකයන් අර්ජුන විවේචනය කරන්නට පටන් ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසි අවස්ථාවේ, ආබාධිත පාකිස්ථානු ජාතිකයෙන් අර්ජු ඇතුළු කණ්ඩායමට සුබ පතන ආකාරය දක්නට ලැබුණා. පසුකලෙක අර්ජුණ පවසා තිබුණේ එය තමන්ට සුබ පෙරනිමිත්තක් සේ දැනුණු බව යි.

ආබාධිත පාකිස්ථානු ජාතිකයා සුබපතමින් (Prasanna Hennayake)

මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම  එක් අවස්ථාවක 137/1 ලෙස ලකුණු ලබාගනිමින් ප්‍රබල තත්ත්වයක පසුවුණා. නමුත් එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ක්‍රියාත්මක වුණු නිසා ඕස්ට්‍රේලියානු ඉනිම 241/7 ලෙසින් නිමාව දුටුවා. 

අරවින්ද පොන්ටිංව දවාගත් අවස්ථාව (gettyimages)

ලකුණු 242ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 23ක් ඇතුළත දැවීගියා. එම අවස්ථාවේ දී පිටියේ එක්වුණු අරා සහ ගුරා ලකුණු 125ක සබඳතාවයක් ගොඩනගමින් සිය කණ්ඩායම ජය මාවතට රැගෙන ආවා. 

අරා සහ ගුරාගේ සබඳතාවය (gettyimages)

එදා ගුරා ලකුණු 65කට නික්ම ගියත් ඉන්පසු පිටියේ එකතු වුණු අර්ජුන සහ අරවින්ද කැංගරුවන්ට පහර පිට පහර එල්ල කරන්නට පටන් ගත්තා. අරවින්දගේ පිත්තෙන් වාර්තා වුණු ශතකය ලෝක කුසලාන අවසන් තරගයක දී දෙවනියට පහරදුන් කණ්ඩායමක පිතිකරුවෙකු ලබාගත් මුල්ම ශතකය ලෙසින් වාර්තා අතරට එක් වුණා.

අරවින්ද ශතකය ලබාගත් මොහොත (gettyimages)

සීරුවෙන් පන්දුවට පහරදුන් අර්ජුණ සහ අරවින්ද නොබිඳුණු ලකුණු 97ක සබඳතාවයක් පිහිටුවමින් පන්දුවාර 46.2ක් අවසානයේ දී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහි දී අර්ජුන ලේට් කට් පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණ වාර්තා කළා.

ජයග්‍රහණයේ පහර (gettyimages)

ලකුණු 42කට කඩුලු 3ක් ලබාගෙන පිත්තෙන් නොදැවී ලකුණු 107ක් ලබාගත් අරවින්දට තරගයේ වීරයා සම්මානය හිමිවුණා. එය ලෝක කුසලාන අවසන් තරගයක දී ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාවයක් ලෙසින් සටහන් වුණා.

අරවින්ද තරගයේ වීරයා සම්මානය ලබාගනිමින් (gettyimages)

තරගාවලිය පුරාම සුපිරි දස්කම් දක්වමින් පිත්තෙන් ලකුණු 221ක් ලබාගෙන,පන්දුවෙන් කඩුලු 7ක් දවාගෙන, උඩපන්දු 5ක් රැකගත් සනත් ජයසූරියට තරගයේ වීරයා සම්මානය හිමිවුණා.

ජයසූරියට තරගාවලියේ වීරයා සම්මානය හිමිවුණු අවස්ථාව (prasanna Hennayake)

ඕස්ට්‍රේලියානුවන් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනා අදට හරියටම වසර 25ක් ගෙවී තිබුණත් අදටත් ඒ මිහිරි මතකය ලාංකිකයන් වන අප සැමගේම සිත්වල රැඳී තිබෙනවා.

අර්ජුන ලෝක කුසලානය සමග (gettyimages)

 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගත් මොහොත (gettyimages)

Related Articles