
ලොව බිහි වූ විශිෂ්ටත ම වේග පන්දු යවන්නන් නම් කරන්න කියා ඔබට කිවහොත් ඔබ ග්ලේන් මැග්‍රාත්, ඩෙනිස් ලිලී, වසීම් අක්‍රම්, කර්ටිලි ඇම්බ්‍රෝස්, චමින්ද වාස්, ජේම්ස් ඇන්ඩර්සන් වැනි පන්දු යවන්නන් රාශියකගේ නම් එක හුස්මට කියනු ඇත. එහිදී ඔබට මට මඟහැරී ගිය එක් පන්දු යවන්නෙක් සිටියි. ඔහු වැරදි පාරක ගමන් කිරීමෙන් තමන්ගේ ක්‍රිකට් දිවිය ම නැති කර නොගන්නට ඔහුගේ නම ද ඉහත ලැයිස්තුවට පහසුවෙන් ම ඇතුළත් කිරීමට හැකිවනවා නොඅනුමාන ය. ඔහු නමින් මොහොමඩ් ආසිෆ් ය.

1982 වර්ෂයේ උපත ලැබූ ආසිෆ් වේග පන්දු යවන්නකු ලෙසින් දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසා ඔහුට පාකිස්තාන කණ්ඩායමේ දොරගුළු විවර වන්නේ 2005 වර්ෂයේදී ය. පාකිස්තානය යනු වේග පන්දු යවන්නන් බිහි කිරීමට නම් දැරූ භූමියකි. එරටින් බිහි වූ විශිෂ්ට වේග පන්දු යවන්නන් රාශියකි. ඒ පන්දු යවන්නන් තමන්ගේ ක්‍රීඩා දිවිය ආරම්භයේ දී පෙන්වූ දක්ෂතා එලෙසින් ම ප්‍රදර්ශනය කළ ආසිෆ් ද තමන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතයක් ඇති බවට මුල සිටම පෙන්නුම් කරමින් සිටියේ ය.
ඔහු විශිෂ්ට ටෙස්ට් පන්දු යවන්නකු ලෙසින් නම් කිරීම වඩාත් යෝග්‍ය ය. සීමිත පන්දුවාර තරගවලට වඩා ටෙස්ට් තරගවලදී තමන්ගේ හැකියාව මනාව පෙන්නුම් කළ ආසිෆ්, කෙටි කලකදී ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම් දැරූ වේග පන්දු යවන්නෙක් බවට පත් විය. ඔහු පාකිස්තාන ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටත ම පන්දු යවන්නෙක් වන බවට වන ඉඟි පළ කරමින් සිටියේ ය.
එක්දින හා විස්සයි විස්ස තරග දිවිය
එංගලන්තයට එරෙහි ව 2005 දෙසැම්බර් මස 21 වන දා එක්දින වරම් දිනා ගත් ඔහු ක්‍රීඩා කළ එක්දින තරග සංඛ්‍යාව 38 කි. එම තරග 38 දී කඩුලු 46ක් බිඳ හෙළීමට ආසිෆ් සමත් විය. ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ ලකුණු 28 කට කඩුලු 3ක් බිඳ හෙළීම ය.

එංගලන්තයට එරෙහිව තම විස්සයි විස්ස දිවිය 2006 අගෝස්තු මස 28 වනදා ආරම්භ කළ ආසිෆ් ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග සංඛ්‍යාව 11 කි. එම තරග 11 දී ඔහු කඩුලු 13ක් බිඳ හෙළීමට සමත් විය. එහිදී ඔහුගේ හොඳ ම විස්සයි විස්ස පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ ලකුණු 18 කට කඩුලු 4ක් බිඳ හෙළීම ය. විස්සයි විස්ස තරග ඉතිහාසයේ මුලින් ම නිලකුණු පන්දු වාරයක් යොමු කළේ ද මොහොමඩ් ආසිෆ් ය.
ටෙස්ට් තරග දිවිය
මොහොමඩ් ආසිෆ් ගේ කෙටි ටෙස්ට් තරග දිවිය අලංකාර එකක් විය. ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව 23 කි. මෙම ටෙස්ට් තරගවලදී සොඳුරු මතක ලෙසට 2006 ඉන්දීය කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ අවසන් ටෙස්ට් තරගයේ දී ඉනිම දෙකේදී ම කඩුලු 7ක් බිඳ හෙළීමට ඔහු සමත් විය. විරේන්ද්‍ර ශෙවාග්, සචින් තෙන්දුල්කාර් මෙන්ම යුව්රාජ් සිං ගේ කඩුලු දවා ගැනීමට ඔහු යොමු කළ පන්දුක්‍රිකට් පිටියේ අදටත් කතා බහට ලක්වන මතක ය.
ශ්‍රී ලංකාව සමඟින් ඉන් අනතුරුව පැවති තරගාවලියේ දී ඉනිම දෙකේදී ම ලකුණු 70 ට කඩුලු 11ක් දවාලීම ශ්‍රී ලංකාව තුළ වේග පන්දු යවන්නකු සිදු කළ ඉහළත ම දක්ෂතාවක් ලෙසින් සටහන් වී තිබේ. ඔහුගේ ටෙස්ට් දිවිය තුළ දී ලොව නම් දැරූ පිතිකරුවන් රැසක් දවාගැනීමට ආසිෆ් සමත් වී තිබේ. 2007 දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 19ක් බිඳ හෙළීමට සමත් වූ මොහොමඩ් ආසිෆ් ටෙස්ට් ලෝක පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි මුල් 10 දෙනා අතරට ද පැමිණීමට සමත් විය. එහිදී එය සඳහන් වූයේ පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ අඩු ම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් ශ්‍රේණිගත කිරීම් හි මුල් 10 අතරට පැමිණි ක්‍රීඩකයා ලෙසට ය.

ඔහු 2007 වර්ෂයේ දී දැක් වූ දක්ෂතා නිසා වසරේ විශිෂ්ටත ම ටෙස්ට් කණ්ඩායමටත් මොහොමඩ් ආසිෆ් ගේ නම ඇතුළත් විය. 2007 විස්සයි විස්ස ලෝක කුසලානයට ප්‍රථම ආසිෆ් සහ ශොයිබ් අක්තාර් අතර ගැටුමක් හට ගත් අතර ආසිෆ්ට අක්තාර් ක්‍රිකට් පිත්තකින් ක්‍රීඩක විවේකාගාරයේ දී පහර දී තිබිණි. මේ නිසා ආසිෆ්ට වම් පාදයේ ආබාධ තත්ත්වයක් ද ඇති විය. සිද්ධියට වරදකරු වූ අක්තාර්ට මාස 5 ක ක්‍රිකට් තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි. මේ ආකාරයෙන් ආසිෆ්ගේ ක්‍රිකට් දිවිය තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ද ඇති ව තිබිණි.
කෙසේ හෝ තම කෙටි ටෙස්ට් ක්‍රිකට් තරග දිවියේ තරග 23ක් තුළ මොහොමඩ් ආසිෆ් දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 106 කි. එයට ඉනිමක කඩුලු 5 බැගින් දවාලූ අවස්ථා 7ක් ඇති අතර හොඳ ම ඉනිමක පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ ලකුණු 41 කට කඩුලු 6ක් බිඳ හෙළීම ය. ඔහු තරගයක කඩුලු 10 බැගින් දවාලූ එක් අවස්ථාවක් සටහන් වන අතර ඒ ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 70 කට කඩුලු 11ක් බිඳ හෙළීම ය. ආසිෆ් එංගලන්තයේ ලැන්ක්ෂයර් සමඟින් ප්‍රාන්ත ක්‍රිකට් සඳහා ද එක් වූ අතර එහිදී තරග 7 ක දී කඩුලු 25ක් බිඳ හෙළීමට ඔහු සමත් විය.

තරග පාවාදීමේ සිද්ධිය
සියල්ල ආරම්භ වන්නේ 2010 වසරේ අගෝස්තු මාසයේදී ය. ඒ එංගලන්ත පුවත්පතක් වන News Of The World පුවත්පත මොහොමඩ් ආසිෆ් සහ මොහොමඩ් අමීර්, පාකිස්තාන කණ්ඩායම 2010 වසරේ නිරත වූ එංගලන්ත සංචාරයේ දී තරග පාවාදීම් සිදු කළ බවට අනාවරණය කිරීමත් සමඟ ය. ඔවුන් තරගයේ යම් යම් ස්ථානවල දී (Spot Fixing) අසාමාන්‍ය ලෙසින් නිපන්දු (No Ball) යොමු කිරීම පිළිබඳ ඇති වූ සැකය මෙයට හේතු වී තිබිණි.
2010 වසරේ සැප්තැම්බර් මස 1 වනදා විශේෂ නිවේදයනයක් නිකුත් කළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එදිනට පාකිස්තානය සහහාගී වීමට තිබූ පුහුණු තරගයෙන් මොහොමඩ් ආසිෆ්, මොහොමඩ් අමීර් සහ නායක සල්මන් බට් ඉවත් කරන ලෙස ද, ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බව ද ප්‍රකාශ කර සිටියේ ය.
පරීක්ෂණය සඳහා එංගලන්තය පොලීසිය වන ස්කොට්ලන්යාඩ් හි සහාය ද ලබා ගැනීමට තීරණය විය. අවසානයේ දී අනාවරණය වූයේ නායක සල්මන් බට් සමඟින් ඉහත ක්‍රීඩකයන් දෙපළ මෙම තරඟ පාවා දීමේ සිදුවීමට සම්බන්ධ බව ය. ඔවුන්ට එරෙහි ව තීරණය 2011 පෙබරවාරි මස 05 වන දින ලැබුණු අතර ඒ අනුව ආසිෆ්ට වසරක සිර දඬුවමක් සහ වසර 7 ක සියලු ම ක්‍රිකට් තරග තහනමක් පැනවිණි. එම වසර 7 ක තහනම වසර 5ක් සහ අත්හිටවූ වසර 2 කින් ද සමන්විත විය. මොහොමඩ් අමීර්ට වසර 5ක් ද, නායක සල්මන් බට් හට වසර 10 ක ද තරග තහනම් පැනවිණි.

තහනමෙන් අනතුරු ව ඔහුගේ වයසත් සමඟින් පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ආසිෆ්ට නැවතත් කිසි දිනෙක හිමි වූයේ නැත. බොහෝ දෙනා නොදන්නා කරුණ නම් ආසිෆ් බොලිවුඩ් සිනමාපටයක රංගනය සඳහා ද 2010 වර්ෂයේ දී එක් කර ගැනීමට සූදානමක් තිබූ බව යි. ඉහත වරද නිසා එය ද ඔහුට අහිමි වී ගියේ ය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිගු ගමනක් යාමට අවස්ථාව තිබූ මොහොමඩ් ආසිෆ්ට වැරදි මඟක ගමන් කිරීම නිසා සියල්ල අහිමි වී ගියේ ය.