Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවට ජයබිමක් වුණු පාකිස්ථානු ක්‍රිකට් පිටිය

1996 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී පැවැත්වුණා. පාකිස්ථානු බිමේ පැවති ලෝක කුසලාන අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එදා ගඩාෆි පිටිය අපේ ක්‍රීඩකයන්ට ජයබිමක් වුණත් ඊට පෙර සිටම ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාසනාව ගෙන දුන් වෙනත් පාකිස්ථානු ක්‍රිකට් පිටියක් තිබුණා. ඒ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රිකට් පිටිය යි. 1982-2004 කාල සමය තුළ මෙම පිටියේ දී පැවති ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුවිශේෂී දස්කම් දක්වා තිබෙනවා. 

මංගල ටෙස්ට් ජයග්‍රහණය අනූනමයෙන් ගිලිහී ගිය 1982 ටෙස්ට් තරගය 

1982 වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 270ක් ලබා සිටියා. ඉක්බාල් පිටියට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් කුල්මත් කළ සිදත් වෙත්තමුණි දිනය නිමා වන විට නොදැවී ලකුණු 143ක් ලබාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ඉතිහාසගත වුණා. 

සිදත් වෙත්තමුණි (gettyimages)

දෙවන දිනයේ උදෑසන සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට පෙරුම් පුරාගෙන සිටි රෝයි ඩයස් ලකුණු 98කට දැවීයාම අවාසනාවන්ත සිදුවීමක් වුණා. ඉන් පසුව සිදත් ලකුණු 157කට දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණත් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලුණු මඩුගල්ලේ එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන්නා. නමුත් ඉක්බාල් කාසිම් ලකුණු 141කට කඩුලු 6ක් දවාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 454කට සීමා වුණා. එලෙස ශ්‍රී ලංකා ඉනිම නිමාව දකින විට එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදෙමින් සිටි මඩුගල්ලේ නොදැවී ලකුණු 91ක් ලබාගෙන සිටියා. එදා ඔහුට සහාය දීමට පිතිකරුවෙකු සිටියා නම් මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට පවා අවස්ථාවක් තිබුණා.  

රංජන් මඩුගල්ලේ (gettyimages)

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම ලකුණු 270ක් පමණක් ලබාගන්නා වීට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 8ක් දැවී ලකුණු 154ක් ලබා සිටිය දී සිය දෙවන ඉනිම අත්හිටවනු ලැබුවා. එම නිසා අවසන් දිනයේ උදෑසන පාකිස්ථානු කණ්ඩායමට ලකුණු 339ක ඉලක්කයක් හඹා යාමට සිදු වුණා. එදා පාකිස්ථානු මුල් පෙළ පිතිකරුවන් සංයමයෙන් පන්දුවට පහරදුන් නිසා එක් අවස්ථාවක ඔවුන්ගේ ලකුණු පුවරුව 132/2 ලෙසින් සටහන් වුණා. 

ඒ වන විට ජය පරාජයෙන් තොරව අවසානයක් කරා යමින් තිබුණු තරගය තියුණු මුහුණුවරක් ගනු ලැබුවේ ලකුණු 5ක් තුළ පාකිස්ථානු කඩුලු 4ක් දැවීගිය නිසා යි. එලෙස පාකිස්ථානු කණ්ඩායම අවදානම් අඩියකට වැටුණේ අවස්ථාවේ වගකීමෙන් පන්දුවට පහරදුන් අෂ්‍රෆ් අලී නොදැවී ලබාගත් ලකුණු 29 නිසා තරගය ජය පැරදුමෙන් තොරව නිමාව දුටුවා. ඒ වන විට පාකිස්ථානු ලකුණු පුවරුව 186/7 බවට පත්ව තිබුණා. එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු සෝමචන්ද්‍ර ද සිල්වා ලකුණු 59කට කඩුලු 5ක් දවාගනිමින් ටෙස්ට් ඉනිමක දී කඩුලු 5ක් දවාගත් මුල්ම ලාංකීය පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වුණා. 

සෝමචන්ද්‍ර ද සිල්වා (gettyimages)

අරවින්දගේ මංගල ටෙස්ට් ශතකය 

1985 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඉක්බාල් පිටියේ පැවති  ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 165ක් තුළ දැවීගියා. එම අවස්ථාවේ දී අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි අරවින්ද අනික් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි අර්ජුණ සමග එක්ව වටිනා සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී ඔවුන් දෙදෙනා එකතු කළ ලකුණු 121ක නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 286/5 බවට පත්වුණා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට පත්ව සිටි අවස්ථාවේ අර්ජුණ ලකුණු 79කට දැවීගියත් ඉන් නොසැලුණු අරවින්ද නොනවත්වාම සිය පිති ප්‍රහාරය දියත් කළා. එම නිසා තරගයේ දෙවන දිනය අවසන් වන විට ඔහු නොදැවී ලකුණු 93ක් ලබා සිටියා. තරගයේ තෙවන දිනය ආරම්භ වී සුළු මොහොතකින් ඉම්රාන් ඛාන්ගේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කළ අරවින්ද සිය ශතකය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කළා. නමුත් අවසානයේ දී ඔහු ඉම්රාන් ඛාන්ගේ පන්දුවකටම දැවී යන විට ලකුණු 122ක් ලබා සිටියා. එදා පළමු ඉනිමට ලකුණු 479ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තා.

අරවින්ද ද සිල්වා (gettyimages)

1995 සංචාරයේ දී දැක්වූ දස්කම් 

1995 වසරේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය 2-1 ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එදා ශ්‍රී ලංකාව වසර 15කට පසු පාකිස්ථානයේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ විදෙස් කණ්ඩායම බවට පත්වුණා. ඊට පෙර 1980 වසරේ දී පාකිස්ථාන බිමේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කර තිබුණේ ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. 1995 ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පාකිස්ථාන කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 40කින් ජයග්‍රහණය කළා. එවැනි වටපිටාවක ඉක්බාල් පිටියේ දී ආරම්භ වුණු දෙවන ටෙස්ට් තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වුණා.

එම ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 117ක් තුළ දැවී ගියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ හෂාන් තිලකරත්න ලකුණු 115ක් ලබාගනිමින් සිය කණ්ඩායම ලකුණු 223 සීමාව දක්වා රැගෙන ගියා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන පිතිකරුවන් එක් අවස්ථාවක දී කඩුලු 3ක් දැවී ලකුණු 214ක් ලබා සිටියා. ඒ වන විට තරගයේ පාලනය පාකිස්ථානුවන් සතු පැවතුණත් සිය සටන අත්නොහැරි ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ අවසන් කඩුලු 7ම ලකුණු 119ක් තුළ දවාගත්තා. ඒ අනුව පළමු ඉනිම අවසන් වන විට පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 110ක් ඉදිරියෙන් සිටියා.

හෂාන් තිලකරත්න (gettyimages)

ඉන් පසුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 361ක් ලබාගත්තා. එහි දී ලකුණු අතරට පිවිසි අරවින්ද ලබාගත් ලකුණු 105ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් හතුරුසිංහ ලකුණු 83ත් ලබාගැනීමට සමත් වුණා. තරගයේ සිව්වන දින සවස් යාමයේ ලකුණු 252ක ඉලක්කයක් හඹා යාම ඇරඹූ පාකිස්ථාන කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 58ක් ලබා සිටියා. අවසන් දිනයේ දී ප්‍රබල පන්දු යැවීමක නිරත වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්ථාන ඉනිම ලකුණු 209කට සීමා කළා. ලකුණු 42ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන බිමේ දී මුල්ම ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කළා. තරගය පුරාවට කඩුලු 7ක් දවාගත් මුරලිදරන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

මුත්තයියා මුරලිදරන් (gettyimages)

එම සංචාරය යටතේ පැවති එක්දින තරගාවලිය 2-1 ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එදා ශ්‍රී ලංකාව වසර 8කට පසු පාකිස්ථානයේ දී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළ විදෙස් කණ්ඩායම බවට පත්වුණා. ඊට පෙර 1987 වසරේ දී පාකිස්ථාන බිමේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කර තිබුණේ මයික් ගැටිංගේ නායකත්වයෙන් යුත් ප්‍රබල එංගලන්ත කණ්ඩායම යි. 1995 ශ්‍රී ලංකා-පාකිස්ථාන එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කළේ පාකිස්ථාන කණ්ඩායම යි. එම නිසා ඉක්බාල් පිටියේ පැවති දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක එකක් වුණා. එදා කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 257ක් ලබාගත්තා. එහි දී ගුරුසිංහ ලකුණු 66ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් ජයසූරිය ලකුණු 51ක් ලබාගත්තා. ඉන් පසුව ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු පිතිකරුවන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 208ක් පමණ යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 49ක ජයක් හිමි වුණා.

අසංක ගුරුසිංහ (gettyimages)

1995 පාකිස්ථාන සංචාරය යටතේ පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එම තරගාවලි 2 දීම පළමු තරගය පරාජය වී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි ජයග්‍රාහී මාවතට අවතීර්ණ වුණේ ඉක්බාල් පිටියේ දීයි. ඉක්බාල් පිටිය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයබිමක් වුණු බවට එය සාක්ෂ්‍ය සපයනවා.

1996 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය 

1996 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණා. එදා කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 94ක් තුළ දැවීගියා. එලෙස එංගලන්ත කණ්ඩායම අවදානම් අඩියකට වැටී සිටි අවස්ථාවේ දී වේගවත් පිතිහරඹයක නිරත වුණු ෆිල් ඩිප්‍රේටස් පන්දු 64කින් ලකුණු 67ක් ලබාගත්තා. එම නිසා එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 235ක් ලබාගත්තා.

ඩිප්‍රේටස්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ලකුණු 236ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ජයසූරිය-කළුවිතාරණ යුගලයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකි වුණේ නැහැ. එහි දී කළුවිතාරණ ලකුණු 8කට දැවීයාමෙන් පසුව ක්‍රියාත්මක වුණු ජයසූරිය එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා. ඒ අනුව ඔහු පන්දු 44කින් ලකුණු 82ක් ලබාගත්තේ හතරේ පහර 13ක් සහ දැවැන්ත හයේ පහරවල් 3ක් සමග යි. එදා ජයසූරිය දියත් කළ විශිෂ්ට පිතිහරඹය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.4ක් අවසානයේ දී කඩුලු 5ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එය ලෝක කුසලාන තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තය හමුවේ වාර්තා කළ මුල්ම ජයග්‍රහණය ලෙසින් සටහන් වුණා. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම  පළමු වරට ලෝක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ වරම ද හිමිකරගත්තා.

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉක්බාල් පිටියේ දී දියත් වුණු හොඳම ටෙස්ට් ඉනිම 

2004 වසරේ දී මෙම පිටියේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 243ක් පමණ යි. එහි දී තිලාන් සමරවීර පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 100ක් ලබාගන්නා විට ෂොයිබ් අක්තාර් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 60කට කඩුලු 5ක් දවාගත්තා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම ලකුණු 264ක් ලබාගත්තා.

ලකුණු 21ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව එක් අවස්ථාව කඩුලු 3ක් දැවී ලකුණු 309ක් ලබාගෙන ප්‍රබල ස්ථානයක පසුවුණා. නමුත් කිසිවෙකු නොසිතූ අයුරින් තරගයට අවතීර්ණ වුණු පාකිස්ථානුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 28කට දවාගත්තා. එම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 337/8 බවට පත්වුණා. එලෙස ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණු අවස්ථාවේ දී සනත් ජයසූරිය අනිත් අන්තයේ සිටි දිල්හාරවත් ආරක්ෂා කරගෙන සටන්කාමී පිතිහරඹයක නිරත වුණා. එහි දී ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු ලකුණු 101ක සබඳතාවය නිමා වුණේ දිල්හාර ලකුණු 1කට දුවද්දී දැවීයාමත් සමග යි. එදා පාකිස්ථානු පන්දු යවන්නන් හමුවේ අති විශිෂ්ට පිතිහරඹයක නිරත වුණු ජයසූරිය හතරේ පහර 33ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 253ක් ලබාගත්තා. එය අදටත් ඉක්බාල් පිටියේ දී පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වනවා.

ජයසූරියගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

කවරයේ ඡායාරූපය- 1996 අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

Related Articles