Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් නතර වන මිනිත්තු 90 – El Clasico

ප්‍රථමයෙන් මෙම රූප රාමු පෙළ නරඹන්න. එසේත් නැතිනම් කවරයේ රූපය දෙසට නැවතත් අවධානය යොමු කරන්න.

ඉහත රූප රාමු පෙළ හෝ රූපය දුටු ඔබට El Clasico තරඟය පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැතැයි සිතමි. පාපන්දු ලෝකයේ හොඳම ප්‍රතිවාදී කණ්ඩායම් දෙක යැයි නම් කලහැකි ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා යන පාපන්දු කණ්ඩායම් දෙක අතර මෙම El Clasico තරඟය පැවැත්වේ. ක්‍රීඩා සමාජ මට්ටමෙන් පැවැත්වෙන තරඟ අතුරින් ලෝකයේ ජනප්‍රියම තරඟය ලෙසින් ද El Clasico තරඟය හැඳින්විය හැක. තරඟකාරීත්වයෙන්, කුතුහලයෙන් සහ විවිධ ගැටුම් වලින්ද අඩුවක් නොමැති El Clasico තරඟය පිළිබඳව අද අපි Roar සිංහල තුලින් කතා කරමු.

El – Clasico ආරම්භය 1902 දක්වා ඈතට විහිද යන්නකි. මෙම කණ්ඩායම් දෙක අතර පැවති ප්‍රථම තරඟය 1902 වසරේ දී පැවත්වී ඇති අතර එම තරඟය ස්පාඤ්ඤ කප් ශූරතාවය (වර්තමානයේ කෝපා ඩෙල් රේ) වෙනුවෙන් පැවති තරඟමාලාවක අවසන් පූර්ව වටයේ තරඟයක් විය. එහිදී බාසිලෝනා කණ්ඩායම විසින් තරඟය ජයගත්තේ 3-1 ක් ලෙසිනි. ඉන් ඇරඹි El Clasico තරඟය අද වනවිට මිනිත්තු 90 ක කාලයක් පුරා ලෝකයේ ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් නතර කරන්නට සමත්වී තිබේ.

ඉංග්‍රීසි භාෂාවෙන් “The Classic” යන අර්ථය රැගත් ස්පාඤ්ඤ භාෂාවේ El Clasico වචනය මුල් සමයේ දී ස්පාඤ්ඤ ලා ලීගා ලීගයේ දී මෙම දෙපිල අතර පැවති තරඟ වෙනුවෙන් පමණක් භාවිතා කල ද වර්තමානයේ රියල් මැඩ්රිඩ් සහ බාසිලෝනා කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ඕනෑම තරඟයක් වෙනුවෙන් මෙම El Clasico යන වචනය භාවිතා වේ. පසුගිය වසර කිහිපය පුරාවටම ලෝකයේ වත්කම් අතින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩා සමාජ දෙකක් අතර මෙම තරඟය පැවැත්වෙන නිසා, පෙරටත් වඩා සමස්ත ලෝකයේම අවධානය මේ වනවිට El Clasico තරඟය වෙත ලැබී තිබේ. එසේනම් අපි ප්‍රථමයෙන් රියල් මැඩ්රිඩ් සහ බාසිලෝනා කණ්ඩායම් දෙක පිළිබඳව කෙටියෙන් විමසමු.

රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජය (Real Madrid C.F)

“සැන්ටියාගෝ බර්නබෙවු ක්‍රීඩාංගනය” (Сантьяго Бернабеу / fstadium.com)

1902 වසරේ පිහිටුවන ලද​ රියල් මැඩ්රිඩ් කණ්ඩායම මේ වනවිට ස්පාඤ්ඤ ලා ලීගා ලීගය 33 වරක් ද චැම්පියන්ස් ලීග් ශූරතාවය 12 වරක් ද ජයග්‍රහණය කර තිබේ. රියල් මැඩ්රිඩ් ක්‍රීඩාංගනයට අයත් ක්‍රීඩාංගනය වන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පිහිටි “සැන්ටියාගෝ බර්නබෙවු” ක්‍රීඩාංගනයයි. එහි එකවර ක්‍රීඩා ලෝලීන් 81,044 කට තරඟ නැරඹීමේ පහසුකම ඇත. රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය “20 වැනි සියවසේ පාපන්දු ක්‍රීඩා සමාජය” ලෙසින් ද නම් කර තිබේ.

බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය (FC Barcelona)

“කෑම්ප් නොවු” ක්‍රීඩාංගනය (fcbarcelona.com)

1899 වසරේ දී පිහිටුවා තිබෙන බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගනය වන්නේ බාසිලෝනා නගරයේ පිහිටා තිබෙන “කෑම්ප් නොවු” ක්‍රීඩාංගනයයි. එහි 99,354 ක ක්‍රීඩා ලෝලීන්ට එකවර තරඟ නැරඹීමේ පහසුකම තිබේ. බාසිලෝනා ක්‍රීඩා සමාජය මේ වනවිට ස්පාඤ්ඤ ලා ලීගා ලීගය 25 වරක්ද චැම්පියන්ස් ලීග් ශූරතාවය 5 වතාවක් ද ජයග්‍රහණය කර තිබේ. පසුගිය දශකයේ දී ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩා සමාජය ලෙසින් ද බාසිලෝනා කණ්ඩායම හැඳින්වූවාට වරදක් නැත.

ක්‍රීඩා ලෝලීන් අතර සටන

ඕනෑම කණ්ඩායම් දෙකක් අතර දැඩි ලෙස ප්‍රතිවාදීත්වයක් ගොඩ නැගෙන විට එම කණ්ඩායම් දෙක වටා සිටින ක්‍රීඩා ලෝලීන් අතර ද එම ප්‍රතිවාදීත්වය ගොඩනැගෙන බව අප කවුරුත් හොඳින්ම දනී. බාසිලෝනා සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩා ලෝලීන් අතර ද එවැනි දැඩි ප්‍රතිවාදීත්වයක් තිබෙන බව සමාජ ජාල වෙබ් අඩවි වල සැරිසරන ඔබට දැකගන්න හැකිය. මෙම ප්‍රතිවාදීත්වය විටෙක ඉතා උණුසුම් ලෙසින්ද විටෙක හාස්‍යයෙන් යුතුවද ගලාගෙන යන බව, ක්‍රීඩා ලෝලීන් දක්වා තිබෙන පහත සඳහන් අදහස් වලින් ඔබට දැකගත හැක. නමුත් “Rivals, not enemies” (ප්‍රතිවාදීත්වය යනු හතුරුකම නොවේ) යන ප්‍රකට කියමනද මෙම අවස්ථාවේ දී සිහිපත් කිරීම වටී යැයි සිතේ.

රියල් මැඩ්රිඩ් ක්‍රීඩා ලෝලීන්ගේ අදහස් කිහිපයක්



බාසිලෝනා ක්‍රීඩා ලෝලීන්ගේ අදහස් කිහිපයක්



බාසිලෝනා සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායම් දෙකට ස්පාඤ්ඤය තුල පමණක් නොව ලෝකය පුරාවටම ක්‍රීඩා ලෝලීන් සිටින අතර සමාජ ජාල වෙබ් අඩවි වල වැඩිම පිරිසක් ප්‍රිය කරන ක්‍රීඩා සමාජ දෙක ලෙසින්ද මෙම ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජ දෙක හැඳින්විය හැක.

වාර්තා

වසර 100 ටත් වඩා වැඩි ඉතිහාසයක් තිබෙන El – Clasico තරඟයට අදාළ වාර්තා මොනවාදැයි දැන් විමසා බලමු.

මෙම කණ්ඩායම් දෙක අතර තරඟකාරී මට්ටමෙන් තරඟ 236 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 95 ක ජය රියල් මැඩ්රිඩ් කණ්ඩායමටත් තරඟ 92 ක ජය බාසිලෝනා කණ්ඩායමටත් හිමිවී තිබේ. තරඟ 49 ක් ජය පරාජයෙන් තොර වී තිබේ. තරඟකාරී මට්ටමේ තරඟ වලට අමතරව ප්‍රදර්ශන තරඟ 34 ක් ද පවත්වා ඇත.

මෙම වගුව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ කණ්ඩායම් දෙකම එකකට එකක් නොදෙවෙනි ආකාරයෙන් ක්‍රීඩා කර ඇති බවයි. ඉතිහාසය පුරාවටම විවිධ නැගීම් සහ පසු බැසීම් මෙම කණ්ඩායම් දෙකටම තිබී ඇති නමුත් කිසිම කණ්ඩායමක් මෙම තරඟය සඳහා දී ඇති අවධානය දශමයකින්වත් අඩු වී නොමැති බව මෙම වගුවෙන් පෙන්නුම් කෙරේ.

අනෙකුත් වාර්තා

එක් එක් කණ්ඩායම වෙනුවෙන් තිබෙන වාර්තා

  • කණ්ඩායම් දෙක හිමිකරගෙන ඇති විශාලම ජයග්‍රහණ – රියල් මැඩ්රිඩ් 11 – 1 බාසිලෝනා (1943 ජූනි 19), බාසිලෝනා 7 – 2 රියල් මැඩ්රිඩ් ( 1950 සැප්තැම්බර් 24)
  • නොකඩවා වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කර තිබෙන අවස්ථා – බාසිලෝනා 6 , රියල් මැඩ්රිඩ් 6
  • නොකඩවා වැඩිම වාර සංඛ්‍යාවක් අපරාජිතව සිටි අවස්ථා – රියල් මැඩ්රිඩ් 14, බාසිලෝනා 13
  • නොකඩවා ප්‍රතිවාදීන්ට ගෝලයක් ලබා නොදී ක්‍රීඩා කල කල වැඩිම තරඟ ප්‍රමාණය – බාසිලෝනා 5, රියල් මැඩ්රිඩ් 3
  • නොකඩවා ගෝල වාර්තා කර ඇති තරඟ ප්‍රමාණය – බාසිලෝනා 23, රියල් මැඩ්රිඩ් 18
  • නොකඩවා වැඩිම තරඟ ප්‍රමාණයක දී ගෝල වාර්තා කර ඇති ක්‍රීඩකයින් – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (රියල් මැඩ්රිඩ්) 6, රොනාල්ඩීනියෝ (බාසිලෝනා) 4
  • ගෝල ලබා ගැනීමට වැඩිම සහය දැක්වීම් – ලියොනල් මෙස්සි (බාසිලෝනා) 14
  • වැඩිම අවස්තාවකදී ගෝල ත්‍රිත්ව ලබාගෙන තිබෙන ක්‍රීඩකයින් – ලියොනල් මෙස්සි (බාසිලෝනා), ජෙයිමි ලැස්කානෝ (රියල් මැඩ්රිඩ්), සැන්ටියාගෝ බර්නබෙවු (රියල් මැඩ්රිඩ්), පවුලිනෝ ඇල්කැන්ට්‍රා (බාසිලෝනා) සහ ෆෙරෙන්ච් පුස්කස් (රියල් මැඩ්රිඩ්) විසින් ගෝල ත්‍රිත්ව දෙක බැගින් වාර්තා කර තිබේ.
  • වැඩිම තරඟ ප්‍රමාණයකට සහභාගී වී ඇති ක්‍රීඩකයින් – මැනුවෙල් සැන්චිස් (රියල් මැඩ්රිඩ්) 43 , ක්ෂාවී (බාසිලෝනා) 42. එයට අමතරව වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් ලියොනල් මෙස්සි (බාසිලෝනා), සර්හියෝ රාමෝස් (රියල් මැඩ්රිඩ්) සහ අන්ද්‍රේස් ඉනියෙස්ටා (බාසිලෝනා) El-Clasico තරඟ 37 බැගින් ක්‍රීඩා කර තිබේ.

විශිෂ්ට ක්‍රීඩකයින්

මේ දක්වා බාසිලෝනා සහ රියල් මැඩ්රිඩ් දෙපිල වෙනුවෙන් ක්‍රීඩා කල විශිෂ්ට ක්‍රීඩකයින්, එම ක්‍රීඩකයින්ගේ රටවල් සහ ඔවුන් මෙම දෙපිල වෙනුවෙන් ක්‍රීඩා කල කාලය පිලිබඳ කෙටියෙන් විමසා බලමු.

රියල් මැඩ්රිඩ්

“ඩි ස්ටෙෆානෝ (වමේ) සහ පුස්කස් (දකුණේ)” (metro.co.uk)

  • සැන්ටියාගෝ බර්නබෙවු (ස්පාඤ්ඤය) 1911-27
  • ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ (ආර්ජෙන්ටිනාව, කොලොම්බියාව, ස්පාඤ්ඤය) 1953-64
  • ෆෙරෙන්ච් පුස්කස් (හංගේරියාව, ස්පාඤ්ඤය) 1958-66
  • රවූල් ගොන්සාලෙස් (ස්පාඤ්ඤය) 1994-10
  • සිනෙඩින් සිඩෑන් (ප්‍රංශය) 2001-06
  • රොනාල්ඩෝ (බ්‍රසීලය) 2002-07

බාසිලෝනා

“ලාස්ලෝ කුබලා” (barcablaugranes.com)

  • ලාස්ලෝ කුබාලා (හංගේරියාව) 1951-61
  • යොහාන් ක්‍රයිෆ් (නෙදර්ලන්තය) 1973-78
  • ඩියේගෝ මැරඩෝනා (ආර්ජෙන්ටිනාව) 1982-84
  • රොමාරියෝ (බ්‍රසීලය) 1993-95
  • රිවාල්ඩෝ (බ්‍රසීලය) 1997-02
  • රොනාල්ඩීනියෝ (බ්‍රසීලය) 2003-08

දේශපාලන පසුබිම

ඕනෑම කණ්ඩායම් දෙකක් අතර දැඩි ප්‍රතිවාදීත්වයක් ඇතිවීමට විවිධ හේතු කාරණා බලපෑමට පුළුවන්. බාසිලෝනා සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායම් දෙක අතර ප්‍රතිවාදීත්වයක් ඇතිවීමට බලපා තිබෙන කරුණු අතුරින් දේශපාලන පසුබිම ද ප්‍රධාන තැනක් ගනී. බාර්සිලෝනා නගරය අයත් වන්නේ ස්පාඤ්ඤයේ කැටලෝනියාව යන ප්‍රාන්තයටයි. කැටලෝනියාවේ අගනුවර වන්නේ බාසිලෝනා නගරයයි. කැටලෝනියාව ඉතාම සශ්‍රීක පෙදෙසක් වන අතර ස්පාඤ්ඤයේ ආර්ථිකයට ඉතාම වැදගත් පෙදෙසකි. කැටලෝනියානු ජනතාව බොහෝ කාලයක් මුළුල්ලේ සිට ස්පාඤ්ඤයෙන් වෙන් වී නිදහස් රාජ්‍යයක් වීමට උත්සාහ ගන්නා නමුත් ස්පාඤ්ඤ රජයෙන් ඊට කිසිඳු යහපත් ප්‍රතිචාරයක් කිසි දිනෙක ලැබී නොමැත.

“El-Clasico” තරඟය අතරතුර විරෝධය දක්වන කැටලෝනියානු වැසියන්” (flickriver.com)

යම් හෙයකින් කැටලෝනියාව, ස්පාඤ්ඤයෙන් වෙන් වූවහොත් ඔවුන්ට ස්පාඤ්ඤයේ ලා ලීගා ලීගයට ක්‍රීඩා කිරීමට ද නොහැකි වනු ඇත. ඒ ලා ලීගා ලීගයෙහි නීති රීති වලට අනුකූලවයි. යම් හෙයකින් එවැනි තත්වයක් උදා වුවහොත් මෙම කණ්ඩායම් දෙකට මෙන්ම රටවල් දෙකටද විශාල වශයෙන් මූල්‍යමය අලාභයක් සිදුවනු ඇත.

ප්‍රතිවාදීත්වය පිලිබඳ වෙනත් වැදගත් විස්තර

“MSN ලෙසින් හැඳින්වූ මෙස්සි (දකුණේ), සුවාරෙස් (මැද) සහ නේමාර් (වමේ)” (paimages.co.uk)

මෑත කාලය පිලිබඳ කතා කළහොත් 2008-13 දක්වා කාලය ඉතාම උණුසුම් කාලයක් වේ. ඉහත රූප රාමු සහ කවරයේ රූපය ද මෙම කාලයට අයත් ඒවා වේ. කණ්ඩායම් දෙක අතර ප්‍රතිවාදීත්වයෙහි උච්ඡතම යුගයක් වූ මෙම 2008-13 යුගයෙහි බාසිලෝනා කණ්ඩායමෙහි පුහුණුකරු ලෙසින් කටයතු කරන ලද්දේ පෙප් ගාර්ඩියෝලා (2008-12) විසින් වන අතර රියල් මැඩ්රිඩ් කණ්ඩායමෙහි පුහුණුකරු වූයේ හොසේ මුරීනියෝ (2010-13) විසිනි. බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රියතම යුගය මෙයයි.

“BBC ලෙසින් හැඳින්වෙන බෙන්සෙමා (වමේ), රොනාල්ඩෝ (මැද) සහ බේල් (දකුණේ)” (sportslibro.com)

ඉන්පසු 2013-17 දක්වා වැදගත්ම කාරණය වන්නේ BBC vs MSN වේ. මෙහි BBC යනුවෙන් හැඳින්වෙන්නේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමෙහි ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන බේල්, බෙන්සෙමා සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. MSN අකුරු තුනෙන් හැඳින්වෙන්නේ එවකට බාසිලෝනා කණ්ඩායමෙහි ඉදිරිපෙළ ක්‍රීඩකයන් වූ මෙස්සි, සුවාරෙස් සහ නේමාර් ය. මෙම යුගයත් ක්‍රීඩා ලෝලීන්ට බොහෝ මතක ඉතිරි කල යුගයක් විය. ඉන්පසු 2017 සිට මෙම ප්‍රතිවාදීත්වය ඉදිරියට ගලා යමින් පවතී.

Messi vs Ronaldo

වර්තමානයේ සමාජ ජාල වෙබ් අඩවි වල වැඩියෙන්ම කතා කෙරෙන ක්‍රීඩා මාතෘකාවක් ලෙසින් ලියොනල් මෙස්සි සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිලිබඳ මාතෘකාව සඳහන් කලහැක. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝර් සම්මානය 5 වතාව බැගින් හිමිකරගෙන සිටින අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් හොඳම ක්‍රීඩකයා කවුද යන්න පිළිබඳව දෙපිලේ ක්‍රීඩා ලෝලීන් දරන විවිධ මත, සමාජ වෙබ් අඩවි පුරා ඔබට දැකගත හැක. මෙය ඉතාමත් උණුසුම් මාතෘකාවක් ද වේ. El Clasico තරඟවලදී මෙස්සි සහ රොනාල්ඩෝ ප්‍රදර්ශනය කරන විශිෂ්ට ඝනයේ දක්‍ෂතාද ක්‍රීඩා ලෝලීන්ට දැකගත හැක.

වර්තමාන කණ්ඩායම්

වර්තමානයේ ද මෙම කණ්ඩායම් දෙකම ඉතාමත් ශක්තිමත් කණ්ඩායම් දෙකකි. රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, කරීම් බෙන්සෙමා, ඉස්කෝ, මාර්කෝ ඇසෙන්සියෝ, ටෝනි කෲස්, සර්හියෝ රාමෝස් සහ කේලර් නවාස් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතර ලියොනල් මෙස්සි, ලුයිස් සුවාරෙස්, අන්ද්‍රේස් ඉනියෙස්ටා, පිලිප් කුටීනියෝ, සර්හියෝ බුස්කෙට්ස්, ජෙරාඩ් පීකේ සහ මාක් අන්ද්‍රේ ටර් ස්ටෙගන් වැනි ක්‍රීඩකයින් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරති. හිටපු සුපිරි ක්‍රීඩක සිනෙඩින් සිඩෑන් රියල් මැඩ්රිඩ් කණ්ඩායමෙහි පුහුණුකාරීත්වය හොබවයි. බාසිලෝනා කණ්ඩායමේ පුහුනුකාරීත්වය දරන්නේ අර්නෙස්ටෝ වැල්වර්ඩේ විසිනි.

“මෙස්සි විසින් ඔහුගේ ජර්සිය රියල් මැඩ්රිඩ් ප්‍රේක්ෂකයින්ට පෙන්වූ අවස්තාව” (Reuters)

ලා ලීගා ලීගය වෙනුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී සැන්ටියාගෝ බර්නබෙවු හීදී පැවති El Clasico තරඟයේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව ලියොනල් මෙස්සි විසින් සිය ජර්සිය රියල් මැඩ්රිඩ් ප්‍රේක්ෂකයින් වෙත ප්‍රදර්ශනය කරන ලදී. එයට පිළිතුරු වශයෙන්, පසුගිය අගෝස්තු මස පැවති ස්පාඤ්ඤ සුපර් කප් ශූරතාවයේ කෑම්ප් නොවු හි තිබූ තරඟයේ දී ගෝලයක් වාර්තා කල ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ජර්සිය ද බාර්සිලෝනා ක්‍රීඩකයින් වෙත පෙන්වන ලදී.

El Clasico තරඟය එතරම්ම උණුසුම් ය. අනෙකුත් තරඟ වලට සාපේක්ෂව ගෝල ද වැඩි වශයෙන් වාර්තා වේ. විවිධ ගැටුම් හටගන්නා El Clasico තරඟයෙහි රතු කාඩ් පත් සහ කහ කාඩ් පත් සාමාන්‍ය දෙයකි. ක්‍රීඩා ලෝලීන්ගේ ශබ්ධයෙන් ද කිසිදු අඩුවක් නොමැත. මේ සියල්ලම සපිරි El Clasico තරඟයක් ලබන ඉරිදා (මැයි 5 වැනි ඉරිදා, ශ්‍රී ලංකාවේ වේලාවෙන් 6 වැනි සඳුදා මධ්‍යම රාත්‍රී 12.15 ට) පැවැත්වීමට නියමිතය. සැටලයිට් නාලිකා තුලින් සහ අන්තර්ජාලයෙන් ද මෙම තරඟය සජීවීව නැරඹීමේ හැකියාව ඇත. ඒ වන තෙක් පසුගිය කාලයේ පැවති උණුසුම්ම El Clasico තරඟ 10 හි විශේෂ අවස්ථා නරඹන්න. El Clasico තරඟය පිළිබඳව මිතුරන්වද දැනුවත් කරන්න.

Cover – br_uk / Twitter

Related Articles