
තරග 3කින් සමන්විත ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලිය ලක්නව් හි දී අද (පෙබරවාරි 24 වැනිදා) ආරම්භ වීමට නියමිත යි. වර්තමානය වන විට ඉන්දියාව 20/20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කණ්ඩායම ලෙසින් වැජඹෙනවා. එනිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවට සැකයක් නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දු බිමේ දී 20/20 තරගාවලියක් 2009 දී මුල් ම වරට ක්‍රීඩා කළා. එදා සිට අද දක්වා ඉන්දු බිමේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලි ගණන හතරක්. එයින් තරගාවලි තුනක ජයග්‍රහණය ඉන්දියාවට හිමි වෙද්දී ඉතිරි තරගාවලිය ජය පරාජයෙන් තොර ව අවසන් වුණා. එම තරගාවලි යටතේ පැවති තරගවලින් තරග 8ක ජයග්‍රහණය ඉන්දියාවට හිමි වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තරග 2ක් පමණ යි.
ශ්‍රී ලංකාව ලොව අංක එකේ 20/20 කණ්ඩායම වන ඉන්දියාව සමඟින් උරෙනුර ගැටීමට සූදානමින් සිටින මොහොතක ඉන්දු-ශ්‍රී ලංකා 20/20 සටන්වල අතීතය යළි සිහිපත් කිරීමට අප තීරණය කළා. මෙතැන් සිට ඔබ හමුවේ දිගහැරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දු බිමේ දී වාර්තා කළ 20/20 තරග ජයග්‍රහණ ද්විත්වය පිළිබඳ යි.
1). සංගක්කාරගේ සුපිරි පිතිහරඹය නිසා ලැබුණු ජයග්‍රහණය
2009 ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ පළමු තරගය නාග්පූර් නුවර විදර්බා පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දුවට මුලින් ම පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. එදා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සනත් ජයසූරිය සහ තිලකරත්න දිල්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38කින් ලකුණු 43ක් එකතු කළා. අශෝක් ඩින්ඩාගේ පන්දුවක් හමුවේ ලකුණු 26ක් ලබා සිටි ජයසූරිය දැවී යාමත් සමඟින් එම සබඳතාව නිමාව දුටුවා.

ජයසූරියගේ නික්ම යාමෙන් පසුව පිටියට පිවිසි කුමාර් සංගක්කාර දැඩි විශ්වාසයකින් පන්දුවට පහරදෙන ආකාරය දැකගන්නට ලැබුණා. එහි දී සංගක්කාර, ප්‍රග්‍යාන් ඕජා යොමු කළ ඉනිමේ 9 වන පන්දුවාරයේ දී ලකුණු 16ක් ලබාගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා.
එදා සංගක්කාර සහ දිල්ෂාන් පන්දු 36කින් එකතු කළ ලකුණු 74 නිසා පන්දුවාර 12.2ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 117/1 ලෙසින් දිස්වුණා.

ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයකට පත් ව තිබුණු එම අවස්ථාවේ දිල්ෂාන් ලකුණු 34කට දැවී යාම බලවත් පාඩුවක් වුණා. දිල්ෂාන්ගේ කඩුල්ල දවා ගෙන සෑහීමකට පත් නොවුණු ඉන්දියානුවන් මහේලගේ කඩුල්ලත් ඉක්මනින්ම දවාගත්තා.
ඒ වන විට මහේල ලබාගෙන සිටියේ ලකුණු 9ක් පමණ යි. මහේල දැවී යන මොහොත විට ශ්‍රී ලංකාව පන්දුවාර 13.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 126ක් රැස් කර තිබුණා. එනිසා තරගය දෙපිලට ම විවෘත ව පැවතුණා.

එම තීරණාත්මක අවස්ථාවේ පිටියේ එකතු වුණු නායක සංගක්කාර සහ චාමර කපුගෙදර පන්දු 39කින් ලකුණු 69ක වේගවත් සබඳතාවක් ගොඩනැඟුවා. එදා ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ කපුගෙදර හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් පන්දු 20කින් ලකුණු 47ක් ලබා ගත්තා.
එහි දී ඔහු අශීෂ් නෙහෙරා යොමු කළ 19 වන පන්දු වාරයේ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 18ක් ලබා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා.

කපුගෙදර දැවී යන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ඉනිමේ තවත් ඉතිරිව තිබුණේ එක් පන්දුවාරයක් පමණ යි. එම පන්දු වාරයේ දී පන්දුවට මැනවින් පහර දුන් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 20ක් ලබා ගත්තා. එහි දී ඇන්ජලෝ මැතිව්ස් දැවැන්ත හයේ පහර 2ක් එල්ල කළා. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා ගත්තා.
එදා ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වුණු සංගක්කාර පන්දු 37කින් අගනා ලකුණු 78ක් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන් යූසුෆ් පතාන් සහ අශීෂ් නේරා යැවූ පන්දුවාර 8 තුළ ලකුණු 106ක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ලකුණු 216ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ විරේන්ද්‍ර ෂෙවාග් සහ ගෞතම් ගාම්භීර් පන්දු 17කින් ලකුණු 32ක් ඉන්දීය ලකුණු පුවරුවට එකතු කළා. ඒ වන විට පන්දු 14කින් ලකුණු 26ක් ලබාගෙන සිටි ෂෙවාග් දැවී යාමත් සමඟින් ගම්භීර් ක්‍රියාත්මක වුණා.
එදා ඔහු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවකින් තොර ව පහරදෙමින් පන්දු 19කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 7 වන පන්දුවාරය නිමා වෙද්දී ඉන්දීය ලකුණු පුවරුව 88/1 ලෙසින් දිස්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා යමින් සිටි අවස්ථාවක සනත් ජයසූරිය සහ ඇන්ජලෝ මැතිව්ස් දක්ෂ ලෙස පන්දු යැව්වා. එදා ඔවුන් දෙදෙනා ක්‍රියාත්මක කළ පන්දුවාර 4ක් තුළ ඉන්දීය පිතිකරුවන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 18ක් පමණ යි. ඒ අතරතුර ඔවුන්ගේ කඩුලු 4ක් බිඳ වැටුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 11 වන පන්දු වාරය නිමාව දකින විට ඉන්දියානුවන් කඩුලු 5ක් දැවී ලකුණු 106ක් ලබා ගෙන අසීරු අඩියකට වැටී තිබුණා.
ඉන් පසුව නැවත වරක් ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු 16ක් තුළ සුරේෂ් රයිනා සහ යූසුෆ් පතාන් යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනා දවා ගත්තා. ඒ අනුව පන්දුවාර 13.4ක් අවසානයේ ඉන්දීය ඉනිමේ ලකුණු තත්ත්වය 129/7 ලෙසින් සටහන් වුණා.

නොසිතූ මොහොතක සිදුවුණු එම කඩුලු බිඳවැටීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට තරගයට යළිත් අවතීර්ණ වීමට හැකියාවක් ලැබුණේ නැහැ. එදා ඉන්දීය පසු පෙළ පිතිකරුවන් වේගවත් පහරවල් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැහැ. නියමිත පන්දුවාර 20 අවසානයේ දී ඉන්දියානුවන්ට ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 186ක් පමණ යි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 29ක ජයක් හිමි වුණා.
කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව- 215/5 (20), (සංගක්කාර- 78, කපුගෙදර- 47, දිල්ෂාන්- 34, ජයසූරිය- 26, රෝහිත්- 22/1)
ඉන්දියාව- 186/9 (20), (ගාම්භීර්- 55, ෂෙවාග්- 26, ජයසූරිය- 19/2, මැතිව්ස්- 30/2, දිල්ෂාන්- 14/1)
ශ්‍රී ලංකාවට ලකුණු 29ක ජයක්
තරගයේ වීරයා- කුමාර් සංගක්කාර
නවක පන්දු යවන්නන් දෙදෙනෙක් එක් ව ලබා දුන් ජයග්‍රහණය
2016 ඉන්දු-ශ්‍රී ලංකා 20/20 තරගාවලියේ පළමු තරගය පූනේ හිදී ක්‍රියාත්මක වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පන්දුවට මුලින් ම පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් ම පන්දුවාරය ක්‍රියාත්මක කළේ සිය මංගල 20/20 තරගය සඳහා ක්‍රීඩා කළ කසුන් රාජිත යි.
එදා සිය නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කළ රාජිත පළමු පන්දුවාරයේ දී ම රෝහිත් ෂර්මා සහ අජින්කයා රහනේ යන පිතිකරුවන් දෙදෙනා දවා ගැනීමට සමත් වුණා. ඉන් නොනැවතුණු රාජිත සිය තෙවන පන්දු වාරයේ දී ෂිකාර් ධවාන්ගේ කඩුල්ලත් දවා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 5 වන පන්දුවාරය අවසන් වෙද්දී ඉන්දීය ලකුණු පුවරුව 32/3 ලෙසින් දිස්වුණා.

ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටී තිබුණු මොහොතක පිටියේ එකතු වුණු සුරේෂ් රයිනා සහ යුව්රාජ් සිං සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 49/3 දක්වා ඉහළ දැමුවා. එම අවස්ථාවේ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් නවක පන්දු යවන්නකු වුණු දසුන් ශානකට පන්දුව ලබා දුන්නා.
එය දසුන් ජාත්‍යන්තර 20/20 තරගයක දී ක්‍රියාත්මක කළ මුල් ම පන්දුවාරය බවට පත්වුණා. එදා කිසිවකු නොසිතූ අයුරින් අති දක්ෂ පන්දු යැවීමක නිරත වුණු දසුන් සිය පළමු පන්දුවාරයේ දී සුරේෂ් රයිනා සහ මහේන්ද්‍ර සිං දෝනි යන ප්‍රබල පිතිකරුවන් දෙදෙනා ක්‍රීඩාගාරය වෙත ආපසු හරවා යැව්වා.

ඉන් නොනැවතුණු දසුන් ඊළඟ පන්දු වාරයේ දී හාර්ඩික් පාණ්ඩ්‍යාගේ කඩුල්ල ද බිඳ දැමුවා. ඒ අතරතුර දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ යුව්රාජ් දැවී ගියා. එසේ පිට පිට ම කඩුලු බිඳ වැටුණු නිසා 11 වන පන්දුවාරය නිමාව දකිද්දී ඉන්දීය ලකුණු පුවරුව 58/7 ලෙසින් දිස් වුණා.

ඉන්දියානු කණ්ඩායම අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටි එම අවස්ථාවේ රවිචන්ද්‍රන් අශ්වින් සටන්කාමී පිතිහරඹයක නිරත වුණා. නමුත් පසු පෙළ පිතිකරුවන්ගෙන් ඔහුට ප්‍රමාණවත් තරම් සහායක් ලැබුණේ නැහැ. එනිසා පන්දුවාර 18.5කදී ඉන්දීය ඉනිම ලකුණු 101කට සීමා වුණා.
එදා ඉනිම අවසන් වන තුරු නොදැවී පන්දුවට පහරදුන් අශ්වින් පන්දු 24කින් ලකුණු 31ක් ලබා ගෙන සිටියා. එසේ ඉන්දීය ඉනිම කඩා බිඳ දැමීම සඳහා ප්‍රබල පන්දු යැවීමක නිරත වුණු කසුන් රාජිත සහ දසුන් ශානක කඩුලු 3 බැගින් දවා ගනිද්දී දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 4.3ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 23/2 බවට පත්ව තිබුණා. එදා දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අශීෂ් නේරා එම කඩුලු 2ම බිඳ දැමුවා.

තරගය දෙපිලට ම විවෘත ව පැවති එම අවස්ථාවේ පිටියේ එකතු වුණු දිනේෂ් චන්දිමාල් සහ චාමර කපුගෙදර සීරුවෙන් පන්දුවට පහර දුන්නා. එනිසා පන්දුවාර 11.2ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 63/2 ලෙසින් දිස්වුණා.
එම අවස්ථාවේ ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු ඉන්දීය පන්දු යවන්නන් ලකුණු 25ක් ලබාගෙන සිටි කපුගෙදර දවා ගත්තා. පිටියට ඉන් පසුව පිවිසි මිලින්ද සිරිවර්ධන නායක චන්දිමාල් සමඟ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 84/3 දක්වා ඉහළ දැමුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ළඟා වෙමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු ඉන්දීය පන්දු යවන්නන් කඩුලු 2ක් ඉක්මනින් දවා ගත්තා. නමුත් ඉන් නොසැලුණු මිලින්ද පන්දු 14කින් නොදැවී ලකුණු 21ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
එහි දී ඔහු ජස්ප්‍රිට් බූම්රා පිට පිට ම යොමු කළ පන්දු දෙකකට හයේ පහරක් සහ හතරේ පහරල් එල්ල කරමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුණු අවසන් ලකුණු කිහිපය ලබාගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි වුණා. සිය මංගල 20/20 තරගයේ දී සුපිරි පන්දු යැවීමක නිරත වුණු කසුන් රාජිතට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව- 101/10 (18.5), (අශ්වින්- 31*, රයිනා- 20, ශානක- 16/3, රාජිත- 29/3, චමීර- 14/2)
ශ්‍රී ලංකාව- 105/5 (18), (චන්දිමාල්- 35, කපුගෙදර- 25, මිලින්ද- 21*, අශ්වින්- 13/2, නෙහෙරා- 21/2)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්
තරගයේ වීරයා- කසුන් රාජිත