Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2003 රග්බි ලෝක කුසලාන තරගාවලියේ විල්කින්සන්ගේ හපන්කම්

2003 වසරේ පැවති රග්බී ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සත්කාරක රට වීම නිසා ඔවුන් මුල සිට ම බලාපොරොත්තු වූයේ 1999 වසරේ දිනාගත් ලෝක රග්බි කිරුළ මෙවර ද ආරක්ෂා කර ගැනීමට යි. ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ ඒ වන තෙක් කිසිදු රටක් පිට පිට ම දෙවරක් රග්බි ලෝක කුසලානය දිනා නොතිබූ නිසා ඕස්ට්‍රේලියානුවන් සිය රටේ දී ම ලෝක කුසලාන රග්බි ඉතිහාසය අලුතින් ලිවීමට බලාපොරොත්තුවෙනුයි  සිටියේ. නමුත්, එලෙස ලෝක රග්බි ඉතිහාසය අලුතින් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටි ඕස්ට්‍රේලියානුවන්ගේ ගමන අවහිර කළ එංගලන්ත වීරයෙකු, ඔහුගේ රටට මුල්ම වතාවට ලෝක රග්බි කිරුළ දිනා දුන්නා. ඒ එංගලන්ත වීරයා පිළිබඳ ව කතාව යි මේ.

විල්කින්සන්ගෙන් පළමු වටයේ දී සුපිරි දස්කම්

තරගාවලියේ C කාණ්ඩය යටතේ තරග කළ එංගලන්තයට එහි දී දකුණු අප්‍රිකාව, උරුගුවේ,

සැමෝවා, සහ ජෝජියාව යන රටවල් සමග තරග කිරීමට සිදුවුණා. එහි දී 1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත ගමන අතරමඟ නතර කළ දකුණු අප්‍රිකානුවන්ගෙන් එම වාඩුව ගැනීමට මෙවර හොඳම අවස්ථාවක් උදා වී තිබුණා.

ජෝජියාවට එරෙහිව

ජෝජියානු පිලට එරෙහිව 84-6ක් ලෙස ඉතා පහසු ජයක් ලැබූ එංගලන්ත පිල වෙනුවෙන් විල්කින්සන් දඬුවම් පහර 2ක් සහ ප්‍රවර්තන 5ක් සාර්ථක කර ගනිමින් ලකුණු 16ක් ලබා ගත්තා. තරගාවලිය ආරම්භයේ දී ම මෙවැනි විශාල ජයග්‍රහණයක් ලබාගැනීම එංගලන්ත පිලේ මානසිකත්වය ඉතාමත් ඉහළ තැනකට ගෙනා අතර, එය තරගාවලිය තුළ ඔවුන්ට සටන්කාමී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීමට සහායක් වුණා.

විල්කින්සන් ජෝජියාවට එරෙහිව ක්‍රීඩා කරමින් (gettyimages)

දකුණු අප්‍රිකාවට එරෙහිව

මූලික වටයේ එංගලන්ත පිල සහභාගි වූ වැදගත් ම තරගය වූයේ දකුණු අප්‍රිකානු තරගය යි. මෙම තරගයේ ජයග්‍රාහකයන්ට බොහෝ විට කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අවස්ථාවක් තිබූ නිසා මෙම තරගය පිළිබඳ ව ප්‍රේක්ෂකයන්ගේ අවධානය දැඩි ලෙස යොමු වුණා. ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති මෙම තරගය තුළ ඉතාමත් විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළ විල්කින්සන්,  දඬුවම් පහර 4ක්, ඩ්‍රොප් ගෝල් 2ක්, සහ ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් ලබාගත් ලකුණු 20 නිසා අවසානයේ දී එංගලන්ත පිල දකුණු අප්‍රිකානු පිල පරදවා ලකුණු 25-6ක් ලෙස පහසු ජයක් ලබා ගන්නවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව විල්කින්සන් තියුණු සටනක (gettyimages)

සැමෝවා පිලට එරෙහිව

සැමෝවා පිලට එරෙහිව 35-22 ලෙස එංගලන්තය ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් විල්කින්සන් දඬුවම් පහර 2ක්, ඩ්‍රොප් ගෝලයක්, සහ ප්‍රවර්තන 3ක් සමඟින් ලකුණු 15ක් ලබාගත් අතර, එම ජයග්‍රහණයත් සමග එංගලන්තයට කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගැනීමට ඇති අවස්ථාව තවත් වැඩි වුණා.

විලිකින්සන් සැමෝවා පිලට එරෙහිව තරග වදිමින් (gettyimages)

උරුගුවේ පිලට එරෙහිව

උරුගුවේ පිලට එරෙහිව පැවති තරගය සඳහා විල්කින්සන් සහභාගි නොවූව ද, එංගලන්ත පිල එම තරගයෙන් 111-13 ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත පිලක් තරගයක ලැබූ ඉහළ ම ලකුණු ප්‍රමාණය වාර්තා කරමිනුයි. මෙම තරගයේ දී එංගලන්ත පිල විසින් බිඳ හෙළනු ලැබුවේ, ඔවුන් 1999 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ටොංගා පිලට එරෙහිව 101-10 ලෙස තබා තිබූ වාර්තාව යි.

විල්කින්සන් වේල්ස් පිලේ බලාපොරොත්තු සුන් කරයි

පළමු වටයේ සුපිරි දස්කම් දක්වමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි එංගලන්ත පිලට එම තරග වටයේ දී ක්‍රීඩා කිරීමට සිදුවූයේ වේල්ස් පිල සමග යි. මෙම තරගයේ දී නැවතත් එංගලන්ත පිලට එක්වූ විල්කින්සන් එහි දී දඬුවම් පහර 6ක්, ඩ්‍රොප් ගෝලයක්, සහ ප්‍රවර්තනයක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තේ එංගලන්ත පිලට ලකුණු 28-17ක ජයක් උරුමකර දෙමිනුයි. මෙම ජයග්‍රහණයත් සමග 1995 වසරට පසු ව එංගලන්ත පිල නැවතත් රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබීම එංගලන්ත රග්බි ලෝලීන්ට සතුටුදායක අවස්ථාවක් වුණා.

වේල්ස් පිලට එරෙහිව විල්කින්සන් තියුණු සටනක (gettyimages)

විල්කින්සන් තනිව ම එංගලන්තය අවසන් තරගයට ගෙන යයි

එංගලන්ත පිලට තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී මුණගැසුණේ ලෝක රග්බි පිටියේ ඉදිරියෙන් ම සිටින කණ්ඩායමක් වන ප්‍රබල ප්‍රංශ කණ්ඩායම යි. එම නිසා ම මෙම තරගය එංගලන්ත පිලට ප්‍රබල ම අභියෝගයක් වුණා. එවැනි වටපිටාවක් තුළ ආරම්භ වූ මෙම තරගයේ  9 වන විනාඩියේ දී විල්කින්සන් ඩ්‍රොප් ගෝලයක් මඟින් ලබාගත් ලකුණු 3ත් සමඟින් එංගලන්තය 3-0 ලෙස ඉදිරියෙන් පසු වුව ද, 10 වන විනාඩියේ දී ක්‍රියාත්මක වූ ප්‍රංශ පිලේ බෙට්සන් ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගත් මිචලැක් ප්‍රංශ පිල 7-3ක් ලෙසින් පෙරමුණට ගෙනා ආවා. ඉන්පසු ව, මඳ වේලාවක් නිසොල්මනේ තරගය පැවතිය ද, එම නිහඬතාවය බිඳිමින් විල්කින්සන් දඬුවම් පහරක් මඟින් ලබාගත් ලකුණු 3 නිසා ලකුණු තත්ත්වය 7-6ක් වුණා. මෙම අවස්ථාව වන විට දෙපිල ම තරගයේ පෙරමුණ ගැනීමට කරට කර සටන් කිරීම නිසා තරගය ඉතාමත් උද්වේගකර ව පැවතුණා. එලෙස ගලා ගිය තරගයේ 38 වන විනාඩියේ දී ඩ්‍රොප් ගෝලයක් සහ 40 වන විනාඩියේ දී දඬුවම් පහරක් මඟින් විල්කින්සන් ලබාගත් ලකුණු නිසා පළමු භාගය අවසන් වන විට එංගලන්ත පිල 12-7ක් ලෙස ඉදිරියෙන් පසු වුණා. උද්වේගකර පළමු භාගයෙන් අනතුරුව අරම්භ වූ තරගයේ දෙවන භාගයේ දී ප්‍රංශ පිලේ ක්‍රීඩකයන්ට නැවතත් තරගයට අවතීර්ණ වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් විල්කින්සන් 53, 63, සහ 72 යන විනාඩිවල දඬුවම් පහර මඟින් ද, 58 වන විනාඩියේ දී ඩ්‍රොප් ගෝලයක් මඟින් ද ලබාගත් ලකුණු නිසා එංගලන්ත පිල ප්‍රබල ප්‍රංශ පිල පරදවා 24-7ක ජයක් ලබා ගත්තේ 1991 වසරට පසු ව රග්බි ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබමිනුයි. මෙම තරගය විල්කින්සන්ට සුවිශේෂී තරගයක් වූයේ තරගය තුළ එංගලන්ත පිල ලබාගත් ලකුණු 24 ම විල්කින්සන් විසින් ලබා ගැනීම නිසයි.

අවසන් පූර්ව තරගයේ දී විල්කින්සන් තරග වදිමින් (gettyimages)

විල්කින්සන් ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ වීරයෙකු වෙයි

1991 වසරේ ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරගයේ දී එංගලන්ත පිල ඕස්ට්‍රේලියානු පිල හමුවේ 12-6ක් ලෙස පරාජයට පත් වෙනවා. ඉන් වසර 12කට පසු එනම්, 2003 වසරේ දී නැවතත් එංගලන්ත පිලට අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ම තරග වැදීමට සිදුවුණා. මෙම අවසන් තරගයේ 6 වන විනාඩියේ දී ඕස්ට්‍රේලියානු පිලේ ටුකිරි ලබාගත් උත්සාහක දිනුමත් සමග ඕස්ට්‍රේලියානු පිල ලකුණු ලැබීම ආරම්භ කළ ද එංගලන්තය වෙනුවෙන් විල්කින්සන් 10, 19, හා 27 විනාඩිවල දී ලබාගත් දඬුවම් පහරවලුත්,  රොබින්සන් 38 වන විනාඩියේ දී ලබාගත් උත්සාහක දිනුමත් නිසා පළමු භාගය අවසන් වන විට 14-5 ලෙස එංගලන්ත පිල පෙරමුණේ යි සිටියේ. නමුත් පහසුවෙන් පරාජය භාර ගැනීමට අකමැති වූ ඕස්ට්‍රේලියානු පිලේ ප්ලේට්ලි 47 හා 61 යන විනාඩිවල දී ලබාගත් දඬුවම් පහර 2ත් සමගින් 14-11 ලෙස තරගය තියුණු අතට හැරුණා. ඒ වන විට තරගය අවසන් වීමට මිනිත්තු 19ක් පමණ ඉතිරි ව තිබුණු නිසා ඕස්ට්‍රේලියානුවන් සිය උපරිමයෙන් ක්‍රීඩා කළා. එහි ප්‍රතිඵල ලෙස අවසානයේ දී ලබාගත් ඕස්ට්‍රේලියානුවන් තරගය නිමවීමට විනාඩියක් පමණ තිබිය දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්ත්වය 14-14 ලෙස සම කරගත්තේ අතිරේක කාලය සඳහා තරගය ගෙනයමිනි.ඉන් අනතුරුව ඇරඹි පළමු  අතිරේක කාලයේ 2වන විනාඩියේදී විල්කින්සන් එංගලන්තය වෙනුවෙන්ද දෙවන අතිරේක කාලයේ 7වන විනාඩියේදී ප්ලේට්ලි ඕස්ට්‍රේලියාව වෙනුවෙන්ද දඬුවම් පහරවල් සාර්ථක කරගැනීම නිසා ලකුණු තත්ත්වය නැවතත්, 17-17 ලෙස සම වූයේ තරගයේ තියුණු බව වැඩි කරමිනුයි. තරගය නිමවීමට විනාඩි 3ක් තිබිය දී ඕස්ට්‍රේලියානුවන් ලබාගත් එම දඬුවම් පහර, එංගලන්ත ක්‍රීඩකයන් එක්වර ම අසරණ කළ ද තරගාවලිය පුරා එංගලන්තය වෙනුවෙන් සිය උපරිමය ඉටුකළ විල්කින්සන් ඉන් නොසැලෙමින් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ සිය රටට ලබාදිය හැකි උපරිම ගෞරවය ලබාදෙමින්, තරගයේ අවසන් විනාඩියේ දී කිසිවෙකු නොසිතූ අයුරින් ඩ්‍රොප් ගෝලයක් මඟින් ලකුණු 3ක් ලබා ගත්තේ එංගලන්ත පිලට ලකුණු 20-17ක ජයක් සමගින් රග්බි ලෝක කුසලානය උරුම කර දෙමිනුයි.

විල්කින්සන් අවසන් තරගයේ දී ක්‍රීඩා කරමින් (gettyimages)

තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට ඔහු පත්විය

තරගාවලිය පුරාවට තරග 6ක් ක්‍රීඩා කළ විල්කින්සන් එහි දී දඬුවම් පහර 23ක්, ඩ්‍රොප් ගෝල් 8ක් සහ ප්‍රවර්තන 10ක් සාර්ථක කර ගනිමින් ලකුණු 113ක් ලබා ගත්තේ තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා වෙමිනුයි. එංගලන්ත රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත පිලක් ලෝක කුසලානය දිනාගත් එක ම අවස්ථාව මෙය වීම නිසා විල්කින්සන්, එංගලන්ත රග්බි ඉතිහාසයේ අමරණීය ක්‍රීඩකයෙකු බවට පත් වුණා.

කවරයේ ඡායාරූපය: අවසන් විනාඩියේ දී විල්කින්සන්, ඩ්‍රොප් ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

මූලාශ්‍රයයන්:

ESPN Scrum

Related Articles