හෙනන්නේගල ගල්ලෙන රුහුණේ දක්නට ලැබෙන දිගින් වැඩි සුවිශාල ම ලෙන ලෙස සැලකෙනවා. මහඔය නගරයේ සිට වයඹ දෙසට විහිදෙන අරලගංවිල පොළොන්නරුව මාර්ගයේ කිලෝ මීටර් 10 ක් දුරින් මාදුරුඔය රක්ෂිතයේ පිහිටි අගනා පුරාවස්තු රැසක් සහිත ස්ථානයක් තමයි හෙනන්නේගල කියන්නේ. සීගිරි පර්වතය සිහිපත් කරන විශාල ගලක් ඇසුරු කර ගෙන මේ නටබුන් විහාරය පිහිටා තිබෙනවා.
උතුරේ යුදමය වාතාවරණය පැවති වකවානුවේ හෙනන්නේගල පැරණි සංඝාරාමය කලක් කොටින්ගේ කඳවුරක් ස්ථාපිත ව තිබූ තැනක්. මේ නිසා ඒ කාලයේ කාටවත් එය නැරඹීමට යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.අද නම් මාර්ග පහසුකම් ද පවතින නිසා පහසුවෙන් හෙනන්නේගලට යා හැකි යි. මෙය පිහිටා තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයට අයත්වයි. කොළඹ සිට එතැනට දුර කිලෝ මීටර් 260ක්.
අවට සුන්දර තැන්
මුහුදු මට්ටමේ සිට මීටර් 120ක් පමණ උසකින් පිහිටා ඇති හෙනන්නේගලට ආසන්න දැක බලා ගත යුතු තැන් ලෙස මාදුරුඔය ජලාශය හා වේල්ල, මාදුරුඔය ජාතික උද්‍යානය, නුවරගල කන්ද , රඹකැන් ඔය ජලාශය, මහඔය උණුවතුර ළිං, වහව උණු දිය උල්පත් ආදිය දැක්විය හැකි යි. ඉතා සුන්දර වටපිටාවක තමයි හෙනන්නේගල කන්ද පිහිටා ඇත්තේ. පුරාණයේ ආදීවාසී වැදි ජනතාව දිගු කාලයක් ජීවත් වූ ලෙනක් ලෙසත් හෙනන්නේගල සැලකෙනවා.
ඉතිහාසය
හෙනන්නේගල ඓතිහාසික පුදබිම මුලින් ම ඇරඹී තිබෙන්නේ භාවනානුයෝගී භික්ෂුන්ගේ වාස භූමියක් ලෙස බව එහි පිහිටි ලෙන් ලිපියකින් හෙළි වෙනවා. මේ සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව යුගයට අයත්. ඒ අනුව මෙහි ආරම්භ අදින් වසර 2300කට එපිට කාලයක් දක්වා දිව යනවා. එවකට රුහුණේ සිටි රජවරුන්ගේ අනුග්‍රහය එයට ලැබී ඇති බව පැහැදිලි වෙනවා. අනුරාධපුර මුල් යුගයේ සිට ම මෙම ස්ථානය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙස පැවතුණා. නමුත් මෙහි පැරණි නාමය හඳුනා ගැනීමට නම් සෙල්ලිපිවලින් හෝ ඉතිහාසයෙන් උදව්වක් ලැබෙන්නේ නැහැ.
මෙම ලෙන් පියස්ස සහ බිත්ති, බිතු සිතුවම්වලින් පුරාණයේ අලංකාර කර පැවති බව පේනවා. දැනටත් එම චිත්‍ර අතරින් කිහිපයක් ඉතිරි ව පවතිනවා. ඒවා අනුරාධපුර යුගයට අයත් විය හැකි බව යි පේන්නේ.
කඳු පාමුල පිහිටි පියගැට පෙළ, සඳකඩ පහණ, ගල්කණු කොටස් ආදී නෂ්ටාවශේෂවලින් පුරාණ ආරාමය ගොඩනැඟිලි රාශියකින් සමන්විත ව පැවති බව හෙළි කරනවා. ගල්ලෙනට යා කරමින් ඉදිකර තිබුණේ යැයි සිතිය හැකි පැරණි විහාර මන්දිරයේ නටබුන් ද දැකගත හැකි යි. චක්‍රාකාර කුඩිම්බි ගල් කිහිපයක් ද පා දෝවනය කිරීමට ගන්නා ගල් කෙමි කිහිපයක් ද මල් ආසන දෙකක් ද කොරවක්ගල් ද බිම ඇතුරූ ගල් පුවරු ද තැනින් තැන දැකගත හැකි යි.
මේවා කැණිම් කර සංරක්ෂණය කර නැති නිසා නිශ්චිත චිත්‍රයක් මවා ගැනීමට නම් අසීරු යි. පිහිටි ගලේ ම නිර්මාණය වූ පොකුණක් ද මෙම පුදබිමේ අලංකාරය ඉහළ නංවන්නට සමත්. මෙය අද වනජීවී දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය ජාතික උද්‍යාන මහ වනාන්තරයේ පුරාණයේ ගම්මානයක් ව පැවති බවත් මහා විහාරයක් ලෙස පැවති බවත් පෙනෙනවා.
සෙල්ලිපිය
බ්‍රාහ්මී අක්ෂරයෙන් යුත් සෙල්ලිපිය කොටා ඇත්තේ අඩි 100ක් පමණ උස පර්වත මුහුණතේ මැදට වන්නට යි. මෙම විහාරය මුලින් ම ප්‍රභවය වූයේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසත් ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසත් අතර බව මෙම ස්ථානයේ ඇති පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියෙන් තහවුරු වන කරුණක්. මේ එම සෙල් ලිපියයි:
” ගමණිතිශහ පිතහ ච මඣිම රඣහ ච නියත ගමනි ශපරි (බො)ගනි ශගශ
ගිරිතිශගමෙ කරඣිනි තිශගමෙ විලගමෙ කශබ නගරෙ මලුගමෙ නොකපිකෙ”
මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි එහි අර්ථ දක්වා ඇත්තේ මෙසේය:
ගාමිණිතිස්සගේ පියා වූ මජ්ජිම රජුගේ ද එකතුවෙන් ගිරිතිසගම කරජිනි තිස්සගම, විලගම, කාශ්‍යප නගර, මලුගම, (සහ) නොකපිතෙ යන ගම් පරිභෝගයන් සහිතව සංඝයාට පූජා කරන ලදී.
ලිපිය පසෙක මත්ස්‍ය ලාංඡනය කොටා තිබෙනවා.
මෙහි සඳහන් ආකාරයට ගාමිණී තිශ රජුගේ පියා මඣිම රජ සමඟ විහාරයට පූජාවක් කර තිබෙනවා. මෙහි “ගාමිණී තිශ” යනු කාවන්තිස්ස රජු ලෙස සැලකෙන අතර ඔහුගේ පියා ගෝඨාභය විය යුතු බවට සැලකෙනවා. ලිපියේ ඇති මත්ස්‍ය ලාංඡනයට අනුව මජ්ජිම රජු කතරගම දසබෑ රජවරුන්ගෙන් කෙනකු වියු යුතු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන හඳුනා ගෙන තිබෙනවා. ඔහුගේ මතය අනුව දසබෑ රජවරුන්ගේ ගෝත්‍ර විහ්නය හෙවත් සලකුණ වී ඇත්තේ මත්ස්‍ය සලකුණ යි. මේ සලකුණ යෙදූ වෙනත් සෙල්ලිපි ද කතරගම අවට කලාපයෙන් හමු ව තිබෙනවා.
ලෙන් කුටි 12ක්
වක්‍රාකාර ව, ඇල ව, පිහිටි විශාල පර්වතයේ ඉහළින් කටාරම් කොටා පර්වත සෙවණ යට භික්ෂුන්ට වාසය කිරීමට ලෙන් සකස් කර තිබෙනවා. පසුකාලීනව එම ලෙන් ආශ්‍රිත ව කුටි තනා තිබෙන බව අද ඉතිරි ව පවතින නෂ්ටාවශේෂ අනුව පැහැදිලි යි. කුටි 12ක් මෙහි පැවති බව දැනට ඉතිරි බිත්ති කොටස්වලින් පැහැදිලි වෙනවා.ගඩොලින් තැනූ එක් ලෙන් කුටියක් අදටත් මැනවින් සුරක්‍ෂිත ව පවතිනවා. ලෙනෙහි උසින් වැඩි ම ස්ථානයේ පර්වතය මත කුඩා දාගබ ඉදිකර තිබෙනවා.
මෑත ඉතිහාසය
වනගත ව පැවති මේ නටබුන් බිම මෑත ඉතිහාසයේදී භික්‌ෂූන්ගේ ආරණ්‍යයක් ලෙස තෝරා ගැනීමට පුරෝගාමී ව කටයුතු කර ඇත්තේ 1967 වසරේ දී දිඹුලාගල විහාරයේ වැඩවාසය කළ කිතලගම සීලාලංකාර නායක හාමුදුරුවො යි. ඉනික්‌බිති ව දැනට ඉතිරි ව ඇති කුටියේ පදියතලාවේ සේලාලංකාර නම් භික්‌ෂුවක් වැඩ වාසය කර තිබෙනවා.
1986 වසරේදී ත්‍රස්‌තවාදීන්ගේ අතින් ඝාතනය වූ බවට සැක කෙරෙන උන්වහන්සේගේ සිරුර හමු වී ඇත්තේ ඊට ටික කලකට පසුව යි. මේ සිදුවීමෙන් පසු බොහෝ කාලයක් යනතුරු ත්‍රස්‌තවාදීන්ගේ මුරපොළක් ලෙස පැවැති හෙනන්නෙගලට කවුරුවත් පැමිණියේ නැහැ. ත්‍රස්‌තවාදී උවදුරු නිමාවීමෙන් පසු වර්තමාන දිඹුලාගල නායක ස්‌වාමීන්වහන්සෙගේ අනුදැනුම මත ගෝනගල සුදර්ශීලංකාර හිමියන් මෙහි වැඩමවා සිටිනවා. පුරාවිද්‍යා භූමියට හානියක් නොවන සේ තාවකාලික ඉදිකිරීම් කර සංඝාවාස සකස් ඇති බවයි පේන්නේ.
ලෙන තුළ දාගබ
ලෙන ඇතුළත පිහිටි පුරාණ දාගබපුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂ 2014 දී සංරක්ෂණය කළා. මේ සඳහා ඇතුල්කෝට්ටේ ඉංජිනේරු ජයන්ත සමරසිංහ මහතා සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුණා. එපමණක් නොව ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්‍ෂණ කාර්යය සිදුකරන වකවානුව මුළුල්ලේ අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරමින් වනය තුළ ජීවත්ව සිට තිබෙනවා.
මේ දාගබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට යොමු වූයේ අනුරාධපුර අවදියේ මුල් භාගයට අයත් වීමත්, එම අවධියට අයත් දාගබේ ගර්භයේ මුදුන් මට්ටම දක්වා ම මැනවින් ආරක්‍ෂා වී පැවතීමත් නිස යි.
වසර දෙදහසකට ආසන්න කාලයක් සම්පූර්ණ ගර්භයේ සැලැස්ම මැනවින් ආරක්‍ෂා වී තිබුණේ එම දාගැබ ස්වභාවික ගල් ලෙනකට ආවරණය වී පැවතීම නිස යි. අව් වැසි සුළඟින් වන උපද්‍රව අවම වීම නිසා එහි පුරාණ කපරාරුව පවා ඇතැම් තැන්වල ශේෂ ව තිබුණා. එහෙත් නිදන් හොරු දාගැබේ සමස්ත හැඩය හඳුනාගත නො හැකි වන ලෙසගර්භය තැනින් තැන විශාල බෙනයක් පරිදි හාරා තිබුණා.
ආදිවාසී සාධක
හෙනන්නේගල මුල්වරට අනාවරණය කරගත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යි. ආර්. එල්. ස්පිට්ල් එහි ඇති ආදිවාසී චිත්‍ර ගැන සඳහන් කර ඇත්තේ 1924 තරම් ඈතකදි යි. මේ ලෙන ආශ්‍රය කරගෙන ආදිවාසීන් බොහෝ කලක් ජීවත් ව ඇති බව පේනවා. ආදිවාසීන් දඩයම්වලට භාවිත කළ දුනු හා ඊතලවල කොටස් රාශියක් මෙම ස්ථානයෙන් හමු වී තිබෙනවා. ලෙනෙහි ආදිවාසී සමූහයක් අතීතයේ ජීවත්ව සිටි බවට සාධකත් හමු වී තිබෙනවා. ඔවුන් භාවිත කළ වළං හා වෙනත් භාණ්ඩවල කොටස් ද මෙතැනින් හමුවෙනවා. ඒවා මැටියෙන් තනා පුළුස්සා ගත් ඒවා යි.
සංරක්‍ෂිත දාගබ ආසන්නයේ පර්වත මුදුනේ ප්‍රාථමික ගුහා චිත්‍ර නමින් පුරාවිද්‍යාඥයන් හඳුන්වන චිත්‍ර රාශියක් ද දක්නට ලැබෙනවා. අළුවලින් හා හුණු මිශ්‍ර මැටියෙන් එම ම චිත්‍ර ඇඳ තිබෙනවා. හෙනන්නේගල ගුහාවෙන් එවැනි ආදිවාසී චිත්‍ර සටහන් 36ක් හඳුනාගත හැකි යි. මෑතක දී නරඹන්නන් කුරුටු ගෑ සටහන් රාශියක් ද මෙහි දැකගත හැකි යි. පර්වතය ඉහළ සත්ව ලේවලින් ඇඳි බවට සැලකිය හැකි රක්ත වර්ණ පුරාණ චිත්‍ර සටහන් කිහිපයක් හමුවීම විශේෂ යි. ඒ අතරම ආදිවාසී අත් සලකුණු තුනක් ද දැකගත හැකි යි. රත් පැහැයෙන් ඇඳ ඇත්තේ ඊතලවල හැඩතල හා හඳුනාගත නොහැකි සලකුණු යි. මානව රූපත් මෙහි හමුවෙනවා. රත්පැහැ මෙන් ම සුදුපැහැති චිත්‍රත් මෙහි දැකගත හැකි යි. සතකු අරා සිටින ආදිවාසියකු ද හඳුනාගත හැකි යි.