Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් ලෝකයේ පැරණි ක්‍රමයට රෙදි සෝදන ලොන්ඩරිවත්ත

කොළඹ නගරයේ කලකට පෙර රෙදි සෝදන ගම් කිහිපයක් තිබුණත් අද ඒවා අතුරුදහන්වී ගොසින්. නමුත් නවීන ලෝකයේ පැරණි ක්‍රමයට රෙදි සෝදන ගමක් තවමත් කොළඹ තිබෙන බව ඔබ නොදන්නවා විය හැකි යි. ඒ ආමර් වීදියට නුදුරු ලොන්ඩරිවත්ත යි. දුක්ගැහැට පිරුණත් සතුටින් සහ සමගියෙන් ජීවත්වන ජනතාවක් දිවිගෙවන ලොන්ඩරිවත්තට ගොඩවැදීමට අපි හිතුවා.

 ලොන්ඩරි සේවය

පුරාණයේ පටන් ලංකාවේ රෙදි සෝදා කුණු කහට ඉවත්කර පිරිසුදු කිරීමේ සේවය සිදු කළේ රෙදි නැන්දා හෙවත් රීදී නැන්දා නමින් හඳුන්වන වෙන ම කුලයකට අයත් ජන කොටසක්. ඉංග්‍රීසි පාලන කාලයේ දී කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථාන සහ හෝටල්, රෝහල් ඇතුළු විවිධ ආයතන බිහිවීම නිසා රෙදි පිරිසුදු කිරීම මහා පරිමාණයෙන් කිරීමේ අවශ්‍යතාව මතු වුණා. මේ නිසා විශාල වශයෙන් එක්තැනකින් රෙදි  පිරිසුදු කිරීමට ඉල්ලුමක්   මතු වී තිබෙනවා. එය රෙදි නැන්දලාගෙන් පිට වෘත්තියක් වශයෙන් මුලින් ම කොළඹ සිදු ව ඇත්තේ 1930 දශකයේ මුල් භාගයේ බවයි පැවසෙන්නේ. 

කොල්ලුපිටියේ ඩෝබිවත්තේ පැරණි සේයාරුවක්-nostaglia.lk facebook page

එකල  දෙමළ ජනතාව ඉංග්‍රීසි හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සේදීම සිදු කර තිබෙනවා.  සිංහල හා මුස්ලිම් පවුල් කීපයක් ද පසුව මේ රැකියාවට පිවිසුණා.කොළඹ ස්ථාන කිහිපයක ම එවැනි රෙදි සෝදන ගම් තිබුණා. දැනට ඉතිරි ව ඇති විශාල ම  රෙදි සෝදන ගම වන්නේ මරදාන මාලිගාවත්තට නුදුරු පැරඩයිස්වත්ත හෙවත් ලොන්ඩරිවත්ත යි.

එයට අමතර ව කොටහේන, කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදියේ බේරේවැව අසබඩ වෑකන්ද ප්‍රදේශයේ ද තවත් රෙදි සෝදන ගම් පිහිටා තිබුණා. නවීන යන්ත්‍ර සහිත ලොන්ඩරි සේවා සපයන සමාගම් පිහිටුවීමත් සමඟ මේ ලොන්ඩරි ගම්වල පැවැත්මට යම් අවදානමක් ද මතු වූ අතර ඒ නිසා බොහෝ ගම් අහෝසි වී ගියා.

ලොන්ඩරිවත්තේ රෙදි සමඟ ජීවිතය- Akila Jayawardana

 ලොන්ඩරිවත්ත

කොළඹ ආමර් වීදියට නුදුරින් ඇති අතුරු මාවතක ගමන් කිරීමෙන් ලොන්ඩරිවත්තට පිවිසිය හැකි යි. එහි නම පසුගිය කාලයේ  ‘පැරඩයිස් වත්ත’ යනුවෙන් වෙනස් කර තිබෙනවා. කොළඹ තිබුණු රෙදි සෝදන ගම් අතරන් අද ඉතිරි ව ඇත්තේ මෙය පමණ යි. කොළඹ 1 – 15 දක්වා ජනතාවගේ  රෙදි මේ ස්ථානයේ සේදීම සිදුවෙනවා. ඊට අමතරව දෙහිවල, පානදුර පැත්තෙන්, ඒ වගේම කැලණිය, ගම්පහ පැත්තෙන් විශාල රෙදි තොගයක් මේ ස්ථානයට රැගෙන එනවා.

එපමණක් නොව යාපනය, මඩකලපුව ආදී දුරබැහැරින් පවා  ගේන රෙදිපිළි ආදියත් මෙතැන සෝදනවා.  පර්චස් 20ක පමණ බිමක වැල් ඇද වනා ඇති විවිධ වර්ණයෙන් යුත් රෙදි මේ පෙදෙසට ඇතුළුවන අයකුගේ නෙත මුලින් ම පැහැර ගන්නවා. සුළඟට වැනෙමින් පවතින රෙදි වැල්වලට නුදුරින් කාලි අම්මාට වෙන්වූ කෝවිලක් තිබෙනවා. එය අරඹා තිබෙන්නේ ද ලොන්ඩරිවත්තේ සේවයේ නියුතු පිරිස යි. රැකියාවෙන් ලැබෙන මුදල් සම්මාදම් කර කුඩාවට කෝවිල මුලින් ම අරඹා තිබෙනවා. අදත් එහි පිවිස දේව බැල්ම ලබා ගැනීමට ලොන්ඩරිවත්තේ සේවය කරන පිරිස උනන්දු වෙනවා.

ගලේ ගසමින් කුණු ඉවත් කරමින් – Akila Jayawardana

 බහුතරයක් දෙමළ ජනතාවයි

ලොන්ඩරිවත්තේ පවුල් 350 පමණ දිවි ගෙවනවා. සමහර එක් නිවසක පවුල් 2, 3 බැගින් ජීවත් වන්නේ සෑම පවුලකට ම වෙන ම නිවාස නැති නිස යි. මුල් ම කාලයේ  සිංහල, දෙමළ දෙපිරිස ම, ඉංග්‍රීසි හමුදා නිලධාරින්ගේ රෙදි සෝදා තිබෙනවා.  සිංහල පිරිස් අතරින් වැඩිදෙනෙක් පසු කාලයේ වෙනත් රැකියා සොයා ගෙන මෙතැනින් පිටව ගොස් ඇති නිසා අද මෙහි ජීවත්වන බහුතරය දෙමළ ජනතාව යි. එහි දැනට සිංහල පවුල් ඇත්තේ 3-4ක් පමණයි.  

දෙමළ ජනතාව සමඟ සිංහල ජනතාවත් සමගියෙන් ජීවත්වීම මේ වත්තේ විශේත්වයක්. රෙදි සේදීම මේ ජනතාවට පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ රැකියාවක්. රෙදි සෝදන වෘත්තික පවුල්වල අලුත් පරම්පරාවේ දරුවන් එම රැකියාවේ ඉදිරියට නිරතවීමට කැමැත්තක් නොදක්වන බවයි ඔවුන් පවසන්නේ.   ඔවුන් වෙනත් රැකියා සොයා ගෙන වත්තෙන් පිටමංවීම අරඹා තිබෙනවා.

 ටැංකිවල බැස රෙදි අපුල්ලමින් – Akila Jayawardana

 රෙදි සෝදන්නේ පරණ විදිහට

ලෝකය විදුලියෙන් රෙදි සේදීමට නවීකරණය වී කලක් ගතවුණත් අදත් ලොන්ඩරිවත්තේ රෙදි සෝදන්නේ රෙදි නැන්දලා පුරාණයේ පටන් සිදු කළ ක්‍රමයට අනුව යි.  රෙදි සේදීමට වෙන් වූ සිමෙන්තියෙන් බැඳි ටැංකි පනහක පේළියක් මෙහි දකින්න පුළුවන්. එම ටැංකි ජලයෙන් පුරවා ඒවායේ සබන් වතුර පුරවා රෙදි පෙඟෙන්න දමා තිබෙනවා.

සෑම ජල ටැංකියකට එකක් සේ තබන ලද අපුල්ලන ගල් ද දැකිය හැකියි. නියමිත කාලය පෙඟී කුණු බුරුල්වූ පසු එම ටැංකිවලින් ගත් රෙදි ටැංකි අසල ඇති පැතලි ගල මත ගසමින්, අපුල්ලමින් කුණු ඉවත් කිරීම සිදු කරනවා. ටැංකිවල ඉණක් ජලයේ බැස  එම කටයුතු සිදුකරන්නේ  උඩුකය නිරුවත් තරුණයන්. රෙදි පෙඟවීමේ කටයුතු සිදුවන්නේ ද පිරිමින් අතින්. මෙතැන වැඩ ආරම්භ වන්නේ උදේ 8.00ට යි.

සේදීමට ලැබුණු රෙදි- Akila Jayawardana

රෙදි සෝදන්නේ මෙහෙමයි

රැගෙන එන සහ ලැබෙන රෙදි වෙන් කර ගැනීම  මුලින් ම  සිදුවෙනවා. එසේ වෙන් කර ගන්නේ සමහර රෙදිවල තීන්න ගියොත් අනෙක් රෙදිවලට ඉන් වන හානිය වලක්වා ගන්න යි. සුදු රෙදි වෙන ම වෙන්කර ගෙන සෝදනවා. පාට රෙදි වෙන ම, පැල්ලම් සහිත රෙදි, සායම් යන රෙදි හා නොයන රෙදි ආදී වශයෙන් වෙන් කර ගැනීම සිදුවෙනවා. ඉන්පසු හැම ඇඳුමක ම ඇතුළේ, නොපෙනෙන තැනක අංකයක් සලකුණු කරනවා. 

අංක සලකුණු කිරීමට සෙංකොට්ටන් ඇට

ඉස්සර එසේ අංක සලකුණු කිරීමට පාවිච්චි කළේ බෙහෙත්කඩවලින් ගන්න සෙංකොට්ටන් ඇටවලින්. ඒ ඇටවලට කට්ටකින් ඇන්නා ම එන කහට කිරි තමයි තීන්ත ලෙස භාවිත කළේ.  දැන් මාකර් පෑනක් ඒ සඳහා යොදා ගන්නවා. ඒ විදිහට වෙන් කර ගත් රෙදි වෙන වෙන ම සබන් වතුර සහිත ටැංකිවල පෙඟෙන්න දමා    සෝදා ගන්නවා.   

 තද පැල්ලම් තියන රෙදි, සබන්, රෙදිසෝදන කුඩු, රෙදිසෝඩා, බේත් වතුරවලින් දවසක් පොඟවා ගන්නවා.  ඉන්පසු සබන් ගාලා බ්‍රෂ් එකකින් පැල්ලම් තිබෙන තැන් අතුල්ලනවා.  ගලේ ගැසීමෙන් ද තද  කුණු පැල්ලම් ඉවත් කිරීම සිදු වෙනවා. පසුව ජලයෙන් කිහිප වරක් නැවත  සෝදා සබන් ඉවත් කරනවා.  සුදු ඇඳුම්වලට නිල් සහ අනෙක් ඇඳුම්වලට  කැඳ දාන්නේ ඉන් අනතුරුව යි.  රෙදිවැල්වල දමන රෙදි වියළුණු පසු මදිනවා. මැද්දායින් පසු රෙදි වෙන වෙන ම තෝරනවා. සේදූ රෙදි ඒවා තැන්පත් කරන්නට සෑදූ කාමරවල තබා ගනුදෙනුකරුවන්ට ලබා දීම සිදුවෙනවා.

වැල්වල දමා වේලන රෙදි – Akila Jayawardana

 රෙදි වේලන්නේ කාන්තාවෝ

පිරිමින් සෝදා පිරිසුදු කළ රෙදි බඳුන්වල දමා ගෙනවිත් හිස් බිමේ ඇද ඇති වැල්වල දමා වේළීමේ කාර්යය සිදුකරන්නේ කාන්තාවන්. ඒ ඒ පවුල්වලට වෙන්වූ වැල් වෙන ම තිබෙනවා. ඔවුන්ගේ වෘත්තිය හිරුත් සමඟයි බැඳී පවතින්නේ.  උදේට ඉර පෑව්වොත් පමණි සාර්ථක ව රෙදි වේළා ගත හැක්කේ. එක දිගට වහින දිනවල ඔවුන්ගේ ආදායම ඇහිරී යයි. පසුගිය කොවිඩ් උවදුරු කාලයේ ද ඔවුන්ට ගත කිරීමට සිදුවුණේ ඉතා දුක්ඛිත ජීවිතයක්.

රෙදි මදින්නේ පොල්කටු අඟුරු ඉස්ත්‍රික්කයෙන් දි – Akila Jayawardana

 රෙදි මැදීම

උදේ 7.00ට වැඩ ආරම්භ කරන ඔවුන් වැඩ නිම කරන්නේ හවස 6.00ට යි. රෙදි මදින්නේ පොල්කටු අඟුරු ඉස්ත්‍රික්කයෙන්. රෙදි මැදීම සහ සේදීමේ නිරතවීමෙන් දිනකට රුපියල් 1500 – 2500 දක්වා ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව පැවසෙනවා.

මෙම සුළු මුදලින් දවස පිරිමසා ගැනිමට ඔවුන් හුරු වී සිටිනවා. මුදල් ඉතිරිකිරීම අපහසු නිසා සීට්ටු දැමීමේ ක්‍රමයෙන් එකවර යම් මුදලක් උපයා ගැනීම  ඔවුන්ගේ සිරිත යි.  

 ජීවන ගැටලු

මේ වත්තේ දිවිගෙවන වැඩි දෙනා හොඳ අධ්‍යාපනයක් ලත් අය නොවේ. සමහරුන්ට අකුරු හැකියාවත් නැහැ. සමහර පවුල්වල දරුවන් ඉගෙන ගැනීමට උනන්දුවක් දැක්වීම සතුටට කරුණක්. අලුත් පරම්පරාව රෙදි සේදීමේ රැකියාවට කැමැත්තක් නොදක්වන බවයි පේන්නේ. කොළඹ මහ නගර සභාවෙන් ඔවුන් ගැන සොයා නොබලන බවත් ලොන්ඩරිවත්තේ ජනතාව පවසනවා. 

  8  මානසික සුවය දෙන කෝවිල රෙදි වැල් අතරින් – – Akila Jayawardana

දැනට ජීවත්වන කුඩා නිවාසවලට යාබදව ආණ්ඩුවෙන් මහල් නිවාසයක් තනා තිබුණත් එය ලෙන්ඩරිවත්තේ ජනතාවට ලබා නොදුන් බවටත් ඔවුන් චෝදනා කරනවා. ඔවුන්ගේ කුඩා නිවාසවල ඉඩකඩ මදි නිසා ඇඳන්වල හරස් අතට නිදා ගන්නා බවයි පවසන්නේ.    

 පසුගිය කාලයේ රෙදි සෝදන ටැංකි සහිත ස්ථානයට පියස්සක් තනා දුන් අතර නිවාස 44ක් ද  කිලිටි රෙදි දැමීමට කාමර 50ක්  සහ සේදූ රෙදි ගබඩා කිරීමට කාමර 50ක් ද රජයෙන් ලබා දී තිබෙනවා. මේ වනවිට පවුල් සංඛ්‍යාව වැඩිවීම නිසා රෙදි දාන කාමරවලත් සමහර පවුල් ජීවත්වන අන්දම දැක ගත හැකි යි.

කවරයේ ඡායාරූපය - දිවි ගැටගසා ගැනුමට රෙදි සෝදමින්- inc42.com 
මූලාශ්‍ර:
Silumina.lk
Dinamina.lk
Catamaran.org
Divaina.lk

Related Articles