Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිරිපා අඩවි පරිසරය සුරකින්නට වටිනා යෝජනා 7ක්

සිරිපා වන්දනා සමයේ වැඩිම පිරිසක් සිරිපා කරුණා කරන්නට තෝරාගන්නේ හැටන් නල්ලතන්නි මාර්ගයයි. නල්ලතන්නියේ සිට උඩමළුවට ලඟාවීමට මීටර 1000ක පමණ උසක් නැගිය යුතු වේ. ගෙවිය යුතු දුර ප්‍රමාණය කිලෝමීටර 6ක් පමණ වන අතර මාර්ගයේ ඇති පඩි ප්‍රමාණය පඩි 5500කට අධික වේ.

ශ්‍රී පාදස්ථානයේ සිට උදෑසන අවට බැලූ විට

“කිරිකෝඩුත් වන්දවන්න අපේ බුදුන් අපි වඳින්න පෙරළි පෙරළි අපි වඳින්න” කියමින් යන සැදැහැති පිරිස බුදුන්වහන්සේගේ වම් සිරිපතුල වැඳ පුදාගැනීමට සමන්ගිර තරණය කරති. අසිරිමත් සූර්ය උදාව දැක ගැනීමටත්, කඳුකර සොබාසිරිය දැක බලා ගැනීමටත් විදේශිකයෝද දැන් දැන් වැඩිවශයෙන් සිරිපා ගිර තරණය කරති.

සංචාරකයින් හා වන්දනාකරුවන් පරිසරයට බලපාන්නේ ඇයි?

ශ්‍රීපාදස්ථානය

වසර එකසිය පනහකට  පෙර අතීතයේ සිරිපා පැමිණි බැතිමත්හු ලංකාවේ සතර දිග්බාගයෙන් පයින්ම ඇවිදගෙන පැමිණ දුෂ්කර යකඩ දම්වැල් මතින් එල්ලීගෙන මහගිරිදඹ තරණය කළෝය. පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන කසළ නොතිබූ එකල පැමිණි ජන පිරිසද ස්වල්පයක් වූ බැවින් එය අවට පරිසරයට එතරම්ම බලපෑමක් නොවීය. වසර දෙසීයකට පෙර එනම් 1815 දි ලංකාවේ මුළු ජනගහනය මිලියනයකට ආසන්න වූ අතර අද එය ආසන්න වශයෙන් මිලියන 22කි. ජනගහණය වැඩි වීම සහ ප්‍රවාහන පහසුව දියුණු වීම හේතුවෙන් සිරිපා සමන්ගිර තරණය කරන ජනතාවද එකලට වඩා බොහෝ සෙයින් වැඩිය.

සතියකදී ලක්ෂයක සෙනඟ සිරිපා ඉම වැඳ පුදාගැනීමට පැමිණියහොත් හා ඉන් එක් අයෙකු මාර්ගයේ ඉහළදී ග්‍රෑම් 100ක අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරියහොත් ඔවුන් නිකුත් කරන මුළු අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 10,000කි. එම කුණු සියල්ල කම්කරුවන්ගේ කරමතින් පහළට ඇදීම සැබැවින්ම අපහසු ක්‍රියාදාමයකි. කඳුකර දුෂ්කර මාර්ගයේ කරමතින් කුණු කිලෝග්‍රෑම් පනහක් රැගෙන ඒම අප කුඩා පාර්සලයක් රැගෙන සිරිපා කරුණාවට එක් වන තරම් සරල, පහසු කාරණාවක් නොවේ.

සිරිපා ඉමේ වැදගත්කම

සිරිපා කරුණාවේදී හමු වූ අලංකාර පක්ෂියෙක්

ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර වල වෙසෙන අලි ප්‍රමාණය සීමිත වන අතර එයින් අලි 10 – 11 පමණ  සමනොල අඩවියේ සැරිසරතැයි සැළකේ. වල් ඌරා සිරිපා ඉමේ සුලබ තවත් වන සිව්පාවෙකි. සිරිපා මග අවට හොඳින් බැලුවොත් කුණු ගොඩවල් අසල වල් ඌරන් සැරිසැරූ ලකුණු පැහැදිලිව දැකගත හැකිය.  සිරිපා කරුණා කරන ඉමේදී දැකගැනීමට අපහසු වුවත් සමනොල සිරිපා පරිසරය තුළ අඳුන් දිවියා, දඬුලේනා, ගෝනා, රිලවා, හම්බාවා, වැලිමුවා, මුගටියා වැනි ක්ෂීරපායින් රැසක් දිවි ගෙවති.

තෙත් කලාපීය කඳුකර පරිසර පද්ධතියට අයත් මෙම සිරිපා සමනොල රක්ෂිත සීමාවේ එම ප්‍රදේශයට විශේෂිත වූ වෘක්ෂලතාද රැසක්ම පවතී. සමනළ අඩවියෙන් පක්ෂීන් විශේෂ 160ක් වාර්තා වී ඇති අතර  ලංකාවට ආවේණික පක්ෂීන් 26න් 25ක්ම සමනොල සිරිපා ඉමේදී හඳුනාගෙන තිබේ. බුලත් හපයා, ලේ තිත්තයා, මල් පුලුට්ටා, දෙපුල්ලියා වැනි ආවේණික මත්සයින් ඇතුළු මත්ස්‍ය විශේෂ 17ක් පමණ සමනළ අඩවියෙන් හමු වේ. කටුස්සන්, උරගයින් සහ අලංකාර සමනල් විශේෂ රැසක්ද සිය වාසභූමිය ලෙස මෙම තෙත් කලාපීය කදුකර වන පෙදෙස තෝරාගෙන ඇත.

රැක ගන්නට යෝජනා

1. පානීය ජල පද්ධතියක් ස්ථාපනය කිරීම

දැනුදු සිරිපා මගේ ඇතැම් තැනක වන්දනාකරුවන්ගේ ජල පහසුව පිණිස කරාම සවිකොට තිබේ. එහෙත් පැමිණෙන අතිවිශාල ජනතාවට එම ජල සැපයුම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. සිරිපා මාර්ගයේ මීටර 300කට එකක් වන සේ හෝ නැතිනම් ප්‍රධාන ස්ථානවල කිහිපයක් වන සේ බීමට සුදුසු, විශ්වාසනීය ජල සැපයුමක් ලබා දිය යුතුය.

එවිට අදාල අංශවලට සිරිපා මාර්ගයේ දෙපස විකිණීමට ඇති ප්ලාස්ටික් ජල බෝතල් සහ බීම වර්ග තහනම් කළ හැකිය. දැනට සිරිපා මගේ එකතු වන කසළ වලින් වැඩි ප්‍රමාණයකට මෙම ජලය සහ දියර ඇතුලත් හිස් බෝතල් හේතු වේ.

2. ක්‍රමවත් වැසිකිළි සහ මළ අපවහන පද්ධතියක් ඇතිකිරීම

ශ්‍රී පාදස්ථාන උඩමළුවේ ඇති වැසිකිළි අපද්‍රව්‍ය නල මගින් රත්නපුර සිරිපා මාර්ගයේ ස්ථානයකට ගෙනගොස් ඒවා පවිත්‍ර කොට මුදාහැරීමේ වැඩපිළිවෙලක් මෑතකදී ඇති කොට තිබේ. එහෙත් හැටන් මාර්ගයේ මග දිගට හමුවන වැසිකිළිවල අපද්‍රව්‍ය යොමුවන්නේ අවට පරිසරයටමය. හැටන් මාර්ගයේදීද එම වැසිකිලි අපද්‍රව්‍ය නල මගින් පහළට ගෙනැවිත් යම් පිරිසිදු කිරීම් ක්‍රියාවලියකින් පසුව පමණක් පරිසරයට මුදා හළ යුතුය. වැසි වැටුණු කල උතුරා ගලා යන මේ වැසිකිළි වලවල්වල ජලය සාපෙක්ෂව ඉහළ මට්ටමේ ඇති ජල මූලාශ්‍රවලටද එකතු වේ. එය පරිසර හානියක් මෙන්ම දීර්ඝකාලීනව සෞඛ්‍යමය ගැටලු ඇතිකරන්නටද හේතුවිය හැකි සංවේදී කාරණාවකි.

3. කඩ සංඛාව අඩුකිරීම සහ කඩ විධිමත් කිරීම

කසළ බඳුනට හිස ඔබන රිලවෙක්

අසල වනයෙන්ම ලබාගත් දර මගින් අතීතයේදී කෑම කඩවල ඉවුම් පිහුම් කටයුතු සිදු වූ අතර අද වනවිට වනජීවි සංරක්ෂණ අංශවල මැදිහත් වීම මත දර භාවිතය සෑහෙන දුරට අඩු වී තිබේ. ශීත ගඟුලෙන් උඩ කොටසේ කඩවල ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ගෑස් පමණි. එය අදාළ අංශවලින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක වැඩපිළිවෙලක ප්‍රතිඵලයකි.

සිරිපා ඉමේ පහළ කොටස්වල ඇති කඩ එම ස්වභාවික පරිසරය හා නොගැළපෙන ස්වභාවයක් ගනී. එම පරිසරයට ගැළපෙන, වන්දනාකරුවන්ට අවශ්‍ය කඩ තෝරා ඉතිරි ඒවා වසාදැමීම කළ යුතුම දෙයකි. සිරිපා ඉම වන්දනාව භක්තිමත් වන්දනාවක් මෙන්ම අමිල පරිසර චාරිකාවක් ලෙසද සැළකිය හැකිය. වර්තමානයේ මේ දෙකටම අයත් නොවූ කඩ රැසක් සිරිපා මග දෙපස පිහිටා ඇති අතර ඒවා ඉවත් කිරීම ඉතා වැදගත් වේ.

සිරිපා කඩයක පොලිතින් අසුරණ

දුන්හිඳ නැරඹීමට මෙකල යන අයට පවා මාර්ගය දෙපස ඇති කඩවලින් බෙලිමල්, ඔසුපැන්, දොඩම්, දෙහි යුෂ වැනි ස්වභාවික දෑ පානය කිරීමට අවස්ථාව තිබේ. එහෙත් බෙහෙවින් වාණිජකරණයට ලක්ව ඇති සිරිපා මග දෙපස කඩවල වර්තමානයේ වැඩිවශයෙන් ශක්තිජනක පාන, කාබනික බීම, කෘතිම පලතුරු යුෂ වර්ග ආදිය දිරා නොයන අසුරණ වල බහා විකිණීමට තබා තිබේ. ඓතිහාසික චාරිකාවක් වන සිරිපා කරුණාවට අපගේ අතීත කෑම බීම වර්ග කිහිපයක් හෝ එකතු වන්නේ නම් එය පාරිසරික මෙන්ම සංස්කෘතික අතින්ද ඉහළ වටිනාකමක් හිමි වන කටයුත්තකි.

4. මග දෙපස වන සීමාව කම්බි දැලකින් ආවරණය කිරීම

බහින නඩයක්

අධිවේගී මාර්ගයන් දෙපස ඇති කම්බි දැල් මෙන් කම්බි දැල් පෙළක් සිරිපා මග දෙපස වන සීමාවේද ඉදි කළ හැකි නම් වනය තුළට කසළ ගෙන යෑමත්, වන මාර්ගවලට සාමාන්‍ය ජනයා පිවිසීමත් අවම වේ. වැසිකිළි සේදී යාමෙන් හෝ මහජනයා වනය තුළට ගොස් කසල ඉවතලීමෙන් වර්තමානයේදී සිරිපා මග දෙපස මීටර 20-50ක් සීමාවේ බෑවුම්වල දිරානොයන පොලිතීන්, යට ඇඳුම්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ගොඩගැසී තිබේ. කම්බි දැලක් ඉදි කරගත හැකි නම් එයින් වනයට එකතු විය හැකි අපද්‍රව්‍ය මෙන්ම මහජනයාගේ වනයට පිවිසීම්ද සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගත හැකි වේ. මෙහිදී වන සිව්පාවුන් බැලීමට යන සංචාරකයන්ට යම් අපහසුතාවක් ඇතිවිය හැකි වුවත් වැටක් ඇතිකිරීමෙන් ඊට වඩා වාසියක් වනජීවින්ට අත් වේ.

5. ඉදිකටු සහ හැරමිටි

පොලිතීන් මලු පිටින් එල්ලූ ඉදිකටුපාන

ශ්‍රී පාද මාර්ගයේ කසළ ඉවත් කිරීමේදී බලධාරීන් මුහුණපාන විශාල  ගැටළුවකි ලෝහමය ඉදිකටු සහ ලෝහමය හැරමිටි ඉවත් කිරීම. සාම්ප්‍රදායික වටිනාකම් සුරැකෙන පරිදි ලී වලින් කුඩා ඉදිකටුවක් සහ හැරමිටි කොටසක් නිර්මාණය කොට එය කෝඩු පැකට් කරුවන්ට ලබා දිය හැකිය. එවිට කසළ ඉවත්කරන විට ඇතිවන දරුණු උවදුරු අවම වන අතර ලී කොටස් ඉක්මනින් දිරායාම නිසා පාරිසරික බලපෑම්ද අවම වේ.

6. පොලිතීන් භාවිතය අවම කිරීම

සිරිපා මාර්ගයේ තබා ඇති කසළ බඳුන්වලට එකතු වන ප්ලාස්ටික් බෝතල හැරුණු කොට විශාලම උවදුර වන්නේ මෙම පොලිතීන් කවරයි. අතීතයේදී රෙදි හෝ කඩදාසි මල්ලක රැගෙන ආ අග්ගලා වැනි දේ නිවසේ සිටම රැගෙන එන්නේ දිරායන ඇසුරුම්වලය. අද ඇති ස්නැක්ස්, විස්කෝතු, බයිට්ස්, රස කැවිලි බොහොමයක් මිලට ගැනෙන්නේ පොලිතීන් කවරද සමගයි.  එදා ගොටුවකට, පොඩි කඩදාසි මල්ලකට ලබාදුන් කඩල, රටකජු වැනි දේ පවා අද පොලිතින් පාර්සල්වල ඔතා ලබා දෙති. කෑම අවසානයේ බර අඩු පොලිතින් මල්ල අවට බඳුනකට හෝ පරිසරයටම එකතු වේ.

නිවසේ සිට බත් බැඳගෙන එන සැදැහැතියන්ගේ බත් පාර්සලය ඔතා ඇති කෑම කොළය ඉවත් කිරීම අපහසු වුවත් නැවත ගෙනයා හැකි ප්ලාස්ටික් හෝ ලෝහ ඇසුරුම්වල කෑම ගෙන ඒමට හුරු කිරීම, පැරණි පුරුදු කෙසෙල් කොළයේ බත් ඔතාගෙන එන ලෙස දැනුම් දීම වැනි ප්‍රයෝගික විසඳුම් අැති තරම් පවතී. මෙය නූතනයේ විද්‍යුත් මාධ්‍ය හරහාවුවද සිදු කළ හැකි දෙයකි.

7. ස්වභාවික වටිනාකම් ගැන ජනයා දැනුවත් කිරීම

ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීමට කුඩා දරුවන් සහ යොවුන් වැඩිහිටි විශාල ප්‍රමාණයක් දිනපතා ඇදෙති. ඔවුන් ශ්‍රී පාදස්ථානය ගැන තොරතුරු දන්නේ වුවද සිරිපාද අභය භූමිය, ඒ අවට සමනල වනය සහ එහි වැදගත්කම ගැන දැනුම ඇත්තේ නම් මඳ වශයෙනි.

පිරී ගිය කසල බදුනක්

සමනල අඩවියට විශේෂිත ජීවින් සහ එහි ඇති වැදගත්කම දැක්වෙන ස්වභාවික විද්‍යා කෞතුකාගාරයක්, වැදගත් ජීවින් ගැන තොරතුරු ඇතුළත් විස්තර පුවරු, කුඩා පොත් පිංචක් වැනි දේ වන්දනා කරුවන්ගේ දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සලසා දිය හැකි නම් ඔවුන් සිරිපා ඉමේ ස්වාභාවික සම්පත් ගැන වැදගත් යමක් සිතට ගනු ඇත. එය මතු පරපුර සිරිපා රක්ෂිතය කෙරෙහි වඩාත් සංවේදී වීමටද හේතු වනු ඇත.

ස්තූතිය –

  1. ශ්‍රී පාද මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට දායක වූ දිලීප, ලක්ෂාන්, තුවාන් ස්මයිල්, මංජු ඇතුළු රුහුණු විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨ සිසුන් සහ අනෙකුත් තරුණයින් කණ්ඩායමට.

  2. ශ්‍රී පාද සමනොල රක්ෂිතයේ වැදගත්කම ගැන තොරතුරු සපයා දුන්, සිරිපා මග අවට පරිසරය ගැන වැදගත් තොරතුරු රැසක් සපයාදුන් නල්ලතන්නි වනජීවි කාර්යාලයේ සුහද සේවක පිරිසට.

  3. නල්ලතන්නි සිමාව පිරිසිදුව පවත්වාගෙන යෑමට දායක වන අඹගමුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරීන්ට හා දුෂ්කර රාජකාරියක දිනපතා නිරත වෙමින් පිරිසිදු කිරීමේ කාර්යයේ නියැළෙන සේවක පිරිසට.

  4. පරිසර හා සෞඛ්‍ය සම්බන්ධ නීති රිති ක්‍රියාත්මක කිරීමට උරදෙන සිරිපා මගේ සිටින පොලිස් නිළධාරින්ට.

පයින්ම යායුතු අසීරු කඳුකර මගක් වන සිරිපා ඉමේ කසළ ඉවත්කිරීමට සහ මාර්ගය පිරිසිදු කිරීමට අඹගමුව ප්‍රාදේශීය සභාව ලක්ෂ 30ක මුදලක් වැය කොට ඇති අතර කම්කරුවන් 18 දෙනෙකු යෙදවා තිබේ. වනජීවි අංශද දක්ෂ සේවකයින් 3 දෙනෙකු ඉදිකටුපානෙන් ඉහළ කොටස සඳහා යොදවා තිබේ. එහෙත් වන්දනාවේ යෙදෙන දස දහස් ගණනක් බැතිමතුන්ගේ  කසල මෙම සේවකයින් පිරිසට වුව ඉවත් කිරීම අපහසු කාර්යයකි. ඔබ රැගෙන යන සියලු දේ නැවත නල්ලතන්නි බස් නැවතුම ආසන්නයටම ගෙනැවිත් කසළ එතැනින් බැහැර කරන්නේ නම් එය සමන් දෙවි අඩවි පරිසරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට කරන මාහැඟි කැප කිරීමකි.

සියලු රූප රචකයා වෙතිනි

Related Articles