Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕලන්දයන් ඉදිකළ අදටත් සෙත සලසන ඌරුබොක්ක වේල්ල

ඕලන්ද කාලෙ ඉදි කළ වාරිමාර්ග ක්‍රම කිහිපයක් ම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල අදත් දකින්නට ලැබෙනවා. මීගමුව කළපුවේ සිට පුත්තලම කළපුව දක්වා ඉදිකළ ඕලන්ද ඇළ, ඌරුබොක්ක වේල්ල ඒ අතර වැදගත් සිහිටවන සේ සැලකෙනවා. 

මාතර දිස්ත්‍රික්කයට අයත් ඌරුබොක්ක වේල්ල ගංගා දෙකක ජලය පාලනය කරමින් ගංවතුර පාලනයටත් යොදා ගත් වාරි ව්‍යාපාරයක්. එය ලන්දේසීන්ගේ මෙරට වැදගත්ම ජල ව්‍යාපෘතිය සේ සලකනවා. වැඩි දෙනෙක් නොදන්න ඌරුබොක්ක වාරි වේල්ලේ කතාව ගැනයි මේ.

පිහිටීම

කොටපොල – මුලටියන පාරේ  ඌරුබොක්ක නගරය දක්වා ගමන් කරන විට හොරගස්මණ්ඩිය ප්‍රදේශයේ දී   ඌරුබොක්ක වේල්ල අපට හමුවෙනවා. එය පස්ගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත්. මේ පෙදෙස මුහුදු මට්ටමේ සිට අඩි 1100ක් පමණ උස යි. එය මොරවක් කෝරළේට අයිති පෙදෙසක්. 

ඌරුබොක්ක වාරි ව්‍යාපෘති – irrigationsrilanka.wordpress.com

වේල්ල තනා තිබෙන්නේ ඌරුබොක්ක අවට කඳුවැටිවලින් උපත ලබනා ඌරුබොක්ක ඔය හරස් කරමින්. මහා පරිමාණ වාරි කර්මාන්ත ගැන අවධානය යොමු කරමින් සිටින වර්තමානයේ මෙවැනි අතීත සුළු වාරි ක්‍රමවල සාර්ථකත්වය අවධානයට ගත යුතු වෙනවා. එය වාරි පුරාවිද්‍යා උරුමයක් ලෙසත් වැදගත්. මේ ලන්දේසි වේල්ල 2016 මාර්තු 16 දා පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ද නම්කර තිබෙනවා.

 ඕලන්දයන් තැනූ වේල්ල

මාතර පාලනය අතට ගත් ඕලන්ද ජාතිකයන් නිල්වලා ගඟේ ඉහළ නිම්නයේ එක් රැස් වන ජලය පහළ නිම්නයේ භවභෝග විනාශ කිරීමට හේතුවන බව ටික කලකින් අවබෝධ කර ගත්තා. ගංවතුර ගලා ගොවිතැන්බත් හානියට පත්වීම ඔවුන්ගේ බදු ආදායමට ද  බලපෑමක් සිදු කළ නිසා ඔවුන් ගංවතුර අවදානම අඩු කිරීමට  පිළියමක් යෙදීමට උනන්දු වුණා. ඒ සඳහා තමයි ඌරුබොක්ක වේල්ල තැනීමට සැලසුම් කළේ.

කළුගල් කපා තැනූ වේල්ල – දකුණ Facebook page

 වේල්ල මුලින් ම තනා තිබෙන්නේ වර්ෂ 1787 දී . එය සැලසුම් කර ඇත්තේ ඉංජිනේරු පීටර් ෆොනැන්ඩර්. මේ මඟින් ජලාශය ඔස්සේ ඌරුබොක්ක ඔයට එක් කළ ජලය අමුණු පද්ධතියක් නිර්මාණය කර කුඹුරුවලට හරවා තිබෙනවා. ඌරුබොක්ක ඔය දිගේ අමුණු මාලාවක් ඉදි කර කුඹුරු පෝෂණය කිරීමටත් මේ වේල්ලට හැකිවී තිබෙනවා.  ඕලන්ද පාලන කාලයේත් රාජකාරි ක්‍රමය පැවති නිසා ජනතාව මේ වේල්ල නඩත්තු කිරීම කරගෙන ගියා. 

පසුව බලයට පැමිණි ඉංග්‍රීසි පාලකයන් රාජකාරි ක්‍රමය අහෝසි කළා. ඉන් පසු වේල්ල ගැන කිසිවෙක් උනන්දු වුණේ නැහැ .ගංවතුරක් නිසා 1837 දී වේල්ල කැඩී ගොස් තිබෙනවා. ආණ්ඩුකාර හෙන්රි වෝඩ් 1860 දී ඌරුබොක්ක ප්‍රදේශයේ සංචාරය කළ අතර එම වැසියා පීඩිත ව කල්ගත කරන බව ඔහු සිය වාර්තාවල ලියා තිබෙනවා. පසුව යළිත් එය ප්‍රතිසංස්කරණය කළේ 1861 දි යි. අද අපට දැකගත හැක්කේ එම ප්‍රතිසංස්කරණයෙන් පසු ස්වරූපය යි. වේල්ල තනා තිබෙන්නේ ඔප කළ කළුගල් යොදා ගනිමින්.    

වේල්ල මතින් දිවෙන පාර -දකුණ Facebook page

කුඩා වේල්ලක්

ඌරුබොක්ක වේල්ල දිගින් අඩි 159ක් වන අතර උස අඩි 37යි. එය  දැවැන්ත වාරිමාර්ගයක් නොවේ.  මෙම වේල්ල සුවිශේෂී  ලක්ෂණ රාශියකින් යුක්ත බව වාරි ඉංජිනේරුවන් සඳහන් කරනවා. එය ඉදිකර ඇත්තේ නිල්වලා ගංගා ද්‍රොණියේ අතු ගංගාවක් හරහා යි. එමඟින් නිල්වලා ගංගා ද්‍රෝණියේ  ගංවතුර විනාශයන් අඩු  කරමින් ඌරුබොක්ක අවට ජල හිඟයට ජලය සපයනවා. 

ඒ අනුව මේ වේල්ල හඳුන්වන්නේ  අන්තර් ද්‍රෝණි ජල හුවමාරු පද්ධතියක් ලෙසට යි. මෙහි ජලය තවත් උඩුකිරිවිල ජලාශය හා තවත් වැව් කිහිපයකටත් සපයමින් අවසානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න අසලින් මුහුදට වැටෙනවා. එහි අග කොටස හඳුන්වන්නේ රන්න ඔය කියල යි. අදටත් මහ වැසි සමයට ගංවතුර තර්ජන මේ අවට පෙදෙසට එල්ල වෙනවා. නමුත් වේල්ල නිසා එහි අවදානම තරමක් අඩුවී තිබෙනවා.

ඌරුබොක්ක ඔය මුල් අවස්ථාවේ දී – hikers sri lanka Facebook page

 එක්වන ජලය ගින්නෙලි ඔයට

ඌරුබොකු වේල්ල මඟින් නිල්වලා ගංගා නිම්නයේ වර්ග සැතපුම් 9ක පෙදෙසක් අවහිර කරමින් ඒ අවට කලාපයේ රැස්වෙන ජලය සැතපුම් 2.75 ක් දිග කැපූ ඇළක් හරහා ගමන් කරන්නේ ඌරුබොකු ඔයෙහි ප්‍රධාන අතු ගංගාව වන ගින්නෙලි ඔය වෙත යි. මේ උපක්‍රමය නිසා වේල්ලේ දකුණු පැත්තට ලැබෙන වැසි ජලය ඌරුබොක්ක ඔය හරහා ගලා යන අතර වම් පැත්තට වැටෙන වැසි ජලය නිල්වලා ගඟ දිගේ ගලා යාම සිදුවෙනවා. අද වන විට හැරවුම් ඇළ,  ඇළහැර ඇල මෙන් ස්වභාවික ජල මාර්ගයක් බවට පත් වෙලා.

 1907 දී කැප්ටන් ජෝන් කීන්, “ලංකාවේ වාරිමාර්ග” පිළිබඳ සිය වාර්තාවේ සඳහන් කරන්නේ ආණ්ඩුකාර හෙන්රි වෝඩ්  පරිපාලන කටයුතුවලින් පමණක් සෑහීමකට පත් නොවී වාරිමාර්ග  ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පවුම් 7,765ක් වැය කර ඇති බව යි. ඒ අතරට ගැනෙන ඉතා  වැදගත්  කටයුතු ලෙස දකුණු පළාතේ ඌරුබොක්ක හා කිරම වැව ද තිබෙන බව ජෝන් කීන් සඳහන් කරනවා. මෙම වාරි කටයුතු සඳහා මුදල් වැයකර ඇත්තේ ඉන් ප්‍රතිඵල ලබන ජනතාවගෙන් මුදල් අය කිරීමකින් තොරව යි. පසුව වගා කරන කුඹුරුවලින් අයකරන  ධාන්‍ය බද්ද මඟින් එම මුදල් ආපසු ලබාගැනීමට ඉංග්‍රීසි ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.

ජලය පිරි ඌරුබොකු ඇළ – dinamina.lk

 ඌරුබොකු ඇළ

වේල්ල ඉදිකිරීමෙන් පසු පර්නැන්ඩර් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවා පත්තුවට ජලය ගෙනයාම සඳහා කිලෝමීටර් 03 ට වඩා දිග ඇළක් ද තනවා තිබෙනවා. එම ඇළත් පසුකාලීන ව හඳුන්වන්නේ ඌරුබොක්ක ඇළ හෙවත් ඌරුබොකු ඔය වශයෙන්. මෙය ගොවිතැනට වැදගත් වෙනවා මෙන්ම අපුරු පාරිසරික සුන්දරත්වයක් ද ප්‍රදේශයට එක්කරනවා.

ඌරුබොක්ක ඇළ මගින් 18 වන සියවසේ දී  කුඹුරු අක්කර 10,000 ට ආසන්න ප්‍රමාණයකට ජලය සැපයීමට ද හැකියාව ලැබී තිබෙනවා.  එහි ප්‍රතිඵලයක් වශයෙන් වී අමුණු 3,000 කට ආසන්න අමතර වී අස්වැන්නක් නෙළා ගැනීමට ද හැකි වූ බවයි පැවසෙන්නේ. එම ධාන්‍ය අස්වැන්නෙන් වී අමුණු 2,995 ක් සඳහා ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට බද්දක් ගෙවීමට ද සිදු වී තිබෙනවා.

මුරුතවෙල ජලාශය – sl  හිරුවා Facebook page

 ඌරුබොක්ක අවට තවත් වාරිමාර්ග

ජනගහනය වැඩිවීමත් සමඟ ජල ඉල්ලුම පසුගිය කාලයේ වේගයෙන් ඉහළ ගියා.  මේ නිසා   ඌරුබොකු ඔයේ අමුණක් තනා අක්කර අඩි 3225 ක ධාරිතාවකින් යුත්  උඩුකිරවිල ජලාශය පසුව ඉදිකර තිබෙනවා. එයට අමතර ව 1960 දශකයේ දී අපේ වාරි ඉංජිනේරුවන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජුලම්පිටියේ අක්කර අඩි 38900ක ක ධාරිතාවකින් යුත් මුරුතවෙල  නම් අලුත් ම ජලාශයක් ද ඉදිකිරීම සිදු කළා. ඒ කිරම ඔය හරස් කරමිනුයි.  

ඌරුබෙකු ඔය අමුණක් – badra kamaladasa Facebook page

නූතන ප්‍රතිසංස්කරණ

2003 මහ ගංවතුරින් වේල්ල තරමක් හානියට පත්ව එහි ඇළ මාර්ග ද අබලන් වුණා. ඕලන්ද හෙවත් නෙදර්ලන්ත ආධාර යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව වේල්ල සංරක්ෂණය කිරීමේ සැලසුමක් 2006 සිට 2008 දක්වා කාලයේ දී ක්‍රියාත්මක කළා. වේල්ල මත පිහිටි පාලම ද මෙහිදි අලුත්වැඩියාවට ලක්වුණා. අවට භූමි දර්ශනය ද අලංකාර ලෙස සකස් කෙරුණා. අදටත් ඌරුබොක්ක වේල්ල මේ අවට කලාපයට විශාල සේවයක් ඉටුකරන වාරි උරුමයක්.

කවරයේ ඡායාරූපය: ඌරුබෙකු ඔය අමුණක් - badra kamaladasa Facebook page
මූලාශ්‍ර:
News.lk
internationalheritage.dutchculture.nl
හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂ බද්‍රා කමලදාසගේ වාර්තා

Related Articles