Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතෙන් වැඩි කරපු වාහන බද්ද ගැන තොරතුරු කිහිපයක්

මේ දවස් වල රටේම මාතෘකාව වෙලා තියෙන්නේ අලුතෙන් වැඩි කරපු වාහන බදු ගැනයි. මේකට අදාළව බොහෝ පුවත් පත් වගේම වෙනත් මාධ්‍ය ආයතන, වෙබ්සයිට් එහෙමත් තොරතුරු පළ කරලා තිබුණා. නමුත් එයාල හැමෝම කතා කළේ එක එක වාහන වල මිල අඩු වැඩි වුණු ප්‍රමාණ ගැන විතරයි. ඉතින් Roar අපි තීරණය කළා මේ අලුත් බදු ක්‍රමය යටතේ වාහන මිල තීරණය වෙන සුත්‍රය ගැනත් ඔබට පැහැදිලි කිරීමක් කරන්න.

ළඟදී වාහනයක් ගන්න හිතාගෙන හිටියා නම් හරි, මේ දවස් වල ගන්න උත්සාහ කරමින් ඉන්නවා නම් හරි, ටිකක් ඉවසලා ඉන්න පුළුවන් නම් වැඩිය හොඳයි. විශේෂයෙන්ම තැනකින් තැනකට යන්න කාර් එකක් ගන්න හිතනවා වෙනුවට වාහනයක් එළවලා සතුටක් ලබා ගන්න හිතන කෙනෙක් නම් ඔබ විශේෂයෙන්ම මේ ගැන සැළකිලිමත් වෙන්න අවශ්‍යයි. මේ ළඟදී අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ලංකාවට ගෙන්වන වාහන සඳහා බදු අය කරන ක්‍රමය වෙනස් කරලා තියෙනවා. දැන් ඒ සඳහා “ඒකක අගය මත බද්දක්” තමයි අය කරන්නේ. අපි කලිනුත් කිව්වා වගේ බොහෝ තැන් වල මේ තොරතුරු වාර්තා කෙරුණත් ඒ ගැන පැහැදිලි කිරීමක් තිබුණේ නැහැ.

බොහොම සරලව කිව්වොත් කතාව මෙහෙමයි. ලංකාවට ගෙන්වන වාහන සඳහා ඒවා රේගුවෙන් නිදහස් කරන්න කලින් බද්දක් අය කරනවා. ඒ විදිහට අය කරන බද්දේ ප්‍රමාණය තීරණය කරන්න කරුණු කිහිපයක්ම බලපානවා.

  1. රේගු වටිනාකම – නිෂ්පාදකයා අදාළ වාහනයට නියම කරන මිල වගේම නිෂ්පාදිත වර්ෂය හා තත්වය (අලුත්/පාවිච්චි කළ) ගැනත් සළකලා බලලා හැම වාහනයකටම රේගුව මගින් වටිනාකමක් ගණනය කෙරෙනවා.
  2. ලංකාවේ වරායකට ඒ වාහනය ප්‍රවාහනය කරන්න වැය වන මුදල.
  3. වරායේ සිට වාහනය ගෙන ඒම සඳහා වැය කෙරෙන මුදල – වාහනය ගොඩ බෑම, මෙහෙයුම් කටයුතු ආදිය සඳහා වය වෙන මුදල මේකට ඇතුළත් වෙනවා.
  4. වාහනය වරාය දක්වා ගෙන ඒමට අය කෙරෙන රක්ෂණ ගාස්තුව.
වරාය වෙත මෝටර් වාහන ප්‍රවාහනය කිරීම සඳහා වැය කෙරෙන මුදල වාහනයට අදාළ මුළු බදු මුදල ගණනය කිරීම සඳහා එක් කාරණාවක් විදිහට යොදා ගැනෙනවා. රූපය : livejamaicaupdates.com

වරාය වෙත මෝටර් වාහන ප්‍රවාහනය කිරීම සඳහා වැය කෙරෙන මුදල වාහනයට අදාළ මුළු බදු මුදල ගණනය කිරීම සඳහා එක් කාරණාවක් විදිහට යොදා ගැනෙනවා. රූපය : livejamaicaupdates.com

ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයට කලින් බලාත්මක වෙලා තිබුණු ගැසට් නිවේදනයට අනුව (ගැසට් නිවේදනය 1901/3) රේගුව මේ සම්පූර්ණ බදු මුදල තීරණය කරන්න FOB (Fee On Board) අගයත් පාවිච්චියට ගත්තා. මේකට ලංකාවේ වරායක් දක්වා වාහනය ගෙන එන්න අපේ රට මගින් දරන සම්පූර්ණ වියදම ඇතුළත් වෙනවා. මේ FOB අගය පසුගිය සැප්තැම්බර් මාසයේදී මුදල් අමාත්‍යවරයා අත්සන් කරපු ගැසට් නිවේදනයක් මඟින් ඉවත් කෙරුණා.

නමුත් අලුත්ම ගැසට් නිවේදනය අනුව FOB අගය නැවතත් මේ ගණනයට අදාළ වෙනවා. මේකේ තියන ප්‍රධානම ගැටලුව ලංකා රේගුව වාහන වල FOB අගය තීරණය කරන්න නිෂ්පාදකයන් නියම කරන වටිනාකම පාවිච්චි කරන එකයි. මේ වටිනාකම අදාළ නිෂ්පාදකයන් නියම කරන විදිහ වගේම ඒක රේගුවට ලැබෙන විදිහ ගැනත් නිල දැනුම් දීමක් කෙරිලා නැහැ.

කොහොම වුණත් අපි අද ඇති වෙලා තියෙන තත්වය ගැන හිතලා බලමු. අලුත්ම ගැසට් නිවේදනයට අනුව වාහනයක් ආනයනය කරන්න ගෙවිය යුතු රේගු බද්ද සහ අනෙක් ගෙවීම් සේරම ගණනය කරන්න යොදා ගැනෙන්නේ “මෝටර් වාහනයේ රේගු වටිනාකම” (Custom Value of the Motor Vehicle) කියන අගය මතයි.

මේ “මෝටර් වාහනයේ රේගු වටිනාකම” තීරණය කරන්න පාවිච්චි කෙරෙන සාධක දෙකක් තියෙනවා

(A) අලුත් වාහනයක ගනුදෙනු වටිනාකම. (Transacted value of a brand new motor vehicle)

අලුත්ම වාහනයකට අදාළ වන ගනුදෙනු වටිනාකම අදාළ නිෂ්පාදකයා ලබා දෙන නිල බිල්පතක් මගින් හෝ එම නිෂ්පාදකයා වටිනාකම සහතික කළ ලේඛනයක් ඇසුරෙන් තහවුරු කරන්න අවශ්‍ය වෙනවා.

(B) ඉහත (A) ට අදාළ නොවන වාහනයක ගනුදෙනු වටිනාකම. (ඒ කියන්නේ පාවිච්චි කරන ලද වාහනයක ගනුදෙනු වටිනාකම)

ඉහත (A) ට අදාළ නොවන වාහනයක් (ඒ කියන්නේ පාවිච්චි කරපු වාහනයක්) සඳහා භාවිත වෙන වටිනාකම ඒ වර්ගයේ අලුත්ම වාහනයක් සඳහා අය කෙරෙන වටිනාකමෙන් 82.5%කට වඩා අඩු නොවිය යුතුයි කියලා නීතියක් තියෙනවා. මේ වර්ගයේ වාහනයක ගනුදෙනු වටිනාකම තහවුරු කරන්න වෙන්දේසි සහතිකයක්, දේශීය බදු ආපසු ගෙවූ සහතිකයක් හෝ අපනයනය කෙරෙන රටේ රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි.

මේ නිසා අපි මුලින්ම සඳහන් කරපු 1) වෙනි අගයට අමතරව 2) ප්‍රවාහන වියදම්, 3) රක්ෂණ වියදම්, 4) ලංකාවේ වරායකට ගෙන ඒම සඳහා අවශ්‍ය වන පැටවීම්, බෑම් හා මෙහෙයුම් සඳහා ගාස්තු සහ 5) මිලදී ගන්නා ගෙවිය යුතු තැරැව්කරු ගාස්තු හා විකිණීම සඳහා වන කොමිස් මුදලත් අයත් වෙනවා.

සාරාංශයක් විදිහට ගත්තොත් දැන් තියෙන අලුත්ම ක්‍රමවේදය සඳහා පාවිච්චි වෙන්නේ අලුත්ම අගය ගණනය කිරීමේ ක්‍රමවේදයක්. මේකට මුලිකව අයත් වෙන්නේ මේ කාරණා තුන:

  1. ඒකක අගය.
  2. කලින් සඳහන් කරපු විදිහට සහතික ඉදිරිපත් කිරීමෙන් තහවුරු කරගත්තු වටිනාකම
  3. නිෂ්පාදකයා නියම කරන අගයෙන් 82.5%ක මුදල.

මේ තුනම සළකලා බලලා ඒ තුනෙන් වැඩිම අගය ගෙවන්න තමයි වාහනයක් ගෙන්වන අපිට සිදු වෙන්නේ. (දැන් තේරෙනවා නේද අලුතෙන් ඇති වෙලා තියෙන තත්වය මොන වගේද කියලා?)

දැන් අපි මේකේ කාටත් තේරෙන කොටසට එමු. (විශේෂයෙන් ඔබට දැන්මම හොඳ වාහනයක් මිලට ගන්න ලොකු උවමනාවක් තියෙනවා නම්) ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (Lanka Vehicle Importers’ Association) සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහත්මයා කියන විදිහට සිලින්ඩර් ධාරිතාවය ඝන සෙන්ටිමීටර් 1000-1500 අතර වාහන සහ විශේෂයෙන්ම 1500ට වඩා වැඩි ධාරිතාවයක් ඇති වාහන වල මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනවා.

ටොයෝටා ප්‍රයස් අලුත්ම මාදිලිය. හයිබ්‍රිඩ් තාක්ෂණය ලෝකයට හඳුන්වා දුන්නු මේ රථය වගේම එහි කලින් මාදිලිත් ලංකාව තුළ බොහෝ ජනප්‍රියයි. මේ වාහනයත් ඉතා ඉහළ මිල වැඩි කිරීමක් සිදු වෙන මාදිලි වලින් එකක්. රූපය : hybridcars.com

ටොයෝටා ප්‍රයස් අලුත්ම මාදිලිය. හයිබ්‍රිඩ් තාක්ෂණය ලෝකයට හඳුන්වා දුන්නු මේ රථය වගේම එහි කලින් මාදිලිත් ලංකාව තුළ බොහෝ ජනප්‍රියයි. මේ වාහනයත් ඉතා ඉහළ මිල වැඩි කිරීමක් සිදු වෙන මාදිලි වලින් එකක්. රූපය : hybridcars.com

මේ කියන එන්ජින් ධාරිතා වලට අයත් වෙන ජනප්‍රිය වාහන මාදිලි බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම ටොයෝටා මෝටර් රථ වලින් වැඩිම අලෙවියක් තියෙන ඇක්වා, ප්‍රයස්, ඇක්සියෝ, වොක්සි, කැම්රි, ප්‍රෙමියෝ වගේම (මේ සියල්ලම හයිබ්‍රිඩ් තාක්ෂණය පාවිච්චි වෙන වාහන) ලේක්සස් අනු සමාගමේ මෝටර් රථ සේරම මේකට අයත් වෙනවා. ඒ වගේම ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ඉතා විශාල මිල වැඩි කිරීමකට ලක් වෙනවා.

හොන්ඩා වාහන අතරින් ෆිට්, ග්‍රේස්, ඇකෝඩ් කියන හයිබ්‍රිඩ් කාර් මාදිලි තුනත්, CRV මාදිලියත් මිල ඉහළ යනවා. නිසාන් වාහන වලින් එක්ස්-ට්‍රේල් සාමාන්‍ය හා හයිබ්‍රිඩ් යන මාදිලි දෙකම මිල ඉහළ යනවා. මැස්ඩා වාහන වලින් ඇක්සෙලා හයිබ්‍රිඩ් සහ CX5 මාදිලි මිල ඉහළ යන්න නියමිතයි.

මිට්සුබිෂි අවුට්ලෑන්ඩර්, ම(ර්)සීඩීස් බෙන්ස් C ක්ලාස් ප්ලග් ඉන් හයිබ්‍රිඩ් සහ BMW X5 එක්ස්ඩ්‍රයිව් මාදිලි වල මිල විශාල ලෙස වැඩි වෙන්න නියමිතයි.

සරත්චන්ද්‍ර මහතා කියන්නේ කලින් සඳහන් කරපු වාහන වර්ග වල මිල ඉහළ යාමත් එක්ක ඒවා විකුණා ගන්න අපහසු වෙන නිසා ඒ මාදිලි ගෙන්වීම අඩු කරන්න සිද්ධ වෙනවා කියලයි. තමන් වගේ වාහන ආනයන කරුවන්ට මේ වාහන ගෙන්වීම විශාල පාඩුවක් වෙන බව ඔහු පෙන්වා දුන්නා.

“මම නම් මේ මිල ඉහළ ගිය මාදිලි ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කරන්නයි ඉන්නේ. 1000 CC ට අඩු වාහන ඉල්ලුම වේගයෙන් ඉහළ යන්න ඉඩ තියෙන නිසා ඒ වගේ මාදිලි වලින් වැඩිපුර ගෙන්වන්න තමයි හිතාගෙන ඉන්නේ.” මෙහෙම කියන්නේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (Vehicle Importers Association of Sri Lanka – VIASL) සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහත්මයා.

සරත්චන්ද්‍ර මහතා පැහැදිළි කරන විදිහට දැන් ඒකක වටිනාකම රුපියල් 4000ක් නිසා මෙතෙක් රුපියල් මිලියන 3.7ක් වගේ බද්දක් අය කෙරුණු  ටොයෝටා ප්‍රයස් රථයක බද්ද මිලියන 7.1ක් දක්වා වැඩි වෙනවා. (4000 X 1750 CC)

මේ විදිහටම මැස්ඩා ඇක්සෙලා රථයක බද්ද රුපියල් මිලියන 3.8 ඉඳන් මිලියන 8ක් දක්වා වැඩි වෙනවා. ප්‍රාඩෝ 150 පෙට්‍රල් රථයක මිල රුපියල් මිලියන 5කින් සහ ලෑන්ඩ් කෲසර් 202 රථයක මිල රුපියල් මිලියන 10කින් වැඩි වෙනවා.

මිල අඩු වූ වාහන

කොහොම වුණත් සමහර වාහන වර්ග වල මිල අඩු වීමකුත් සිදු වෙනවා. ටොයෝටා විට්ස්, පැසෝ, හොන්ඩා ෆිට් ශට්ල් (හයිබ්‍රිඩ්), ෆ්‍රීඩ්, වෙසෙල්, ඉන්සයිට් වගේම සුසුකි හස්ලර් හා වැගන් R හයිබ්‍රිඩ් කියන වාහන මේ විදිහට අලුත් බදු ක්‍රමයට අනුව මිල අඩු වෙන්න නියමිතයි.

සරත්චන්ද්‍ර මහත්මයා Roar වෙත අදහස් දක්වමින් කිව්වේ ඉලෙක්ට්‍රික් වාහන වල බදු අය කිරීම බැටරි ධාරිතාවය මත සිදු කෙරෙනවා කියලයි. මේ අනුව බැටරි ධාරිතාව කිලෝවොට් පැය 100ක වාහන වලට මෙතෙක් අය කළ බද්දේ විශාල අඩු වීමක් තියෙනවා. නිසාන් ලීෆ් අලුත් මාදිලියේ රථ වල බද්ද මේ යටතේ රුපියල් මිලියන 2.9 සිට මිලියන 1.7 දක්වා අඩු කෙරෙන්න නියමිතයි.

ලොරි රථ, බස් හෝ වෑන් සඳහා අය කෙරෙන බද්දේ වෙනසක් නැහැ. ත්‍රී වීල් වල බද්ද මිලියන 0.4ක් හෙවත් ලක්ෂ 4කින් පමණ වැඩි කර තිබෙනවා.

පාවිච්චි කළ වාහන වෙළඳපොළ

මෙරෙන්චිගේ මහතාට අනුව පාවිච්චි කළ වාහන වෙළඳපොළ තුළ මේ බදු ඉහළ දැමීම නිසා එක පාරටම ලොකු වෙනස් කමක් ඇති වෙන්නේ නැහැ. “පාවිච්චි කරපු වාහන වල පොඩි මිල ඉහළ යාමක් නම් ඇති වේවි. මොකද මේ වාහන වෙළඳපොළ ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ වාහනයේ වටිනාකම සහ මිලදී ගන්නාගේ මුදල් හැකියාව මතයි.” කියලා තමයි ඔහු අපිට කිව්වේ.

සංඛ්‍යාලේඛන වලින් පෙනෙන දේවල්

කොහොම වුණත් මේ අලුත් බදු නීතිය පනවන්න දවසකට කලින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් ප්‍රසිද්ධ කෙරුණු වාහන වෙළඳපොළ පිලිබඳ වාර්තාවට අනුව (මේක ප්‍රකාශයට පත් කළේ මැයි 25 වෙනිදා) 2014 වර්ෂයට සාපේක්ෂව 2015 අවුරුද්දේ වාහන ආනයනය සඳහා කළ වියදමේ 60%ක වැඩි වීමක් පෙන්නුම් කරලා තියෙනවා. 2015 අවුරුද්දේ ලංකාවේ මුළු ආනයන වියදමෙන් 7%ක්ම වැය කෙරුණේ වාහන ආනයනය කිරීම සඳහායි. ලංකාවේ සම්පූර්ණ අපනයන ආදායමෙන් ඒක ප්‍රතිශතයක් විදිහට 13%ක්!

මේ අලුත් බදු වැඩි කිරීම නිසා අනිවාර්යයෙන්ම ලංකාවේ වාහන වෙළඳපොළට ලොකු බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ලංකාවේ මෙතෙක් ජනප්‍රිය වෙලා තිබුණු වාහන වර්ග බොහොමයක් කාලයක් යද්දී දකින්නත් අමාරු වෙලා වැඩිපුර දකින්න නොලැබුණු කුඩා වාහන හැම කෙනෙක් ළඟම තියේවි. මේ බදු ක්‍රමය ඔබට වගේම අපිටත් ප්‍රෙහේලිකාවක්. නමුත් Roarහි අපි මේ ගැන ඉදිරියටත් අවධානයෙන් ඉන්නවා. අනාගත කාලයේ දකින්න ලැබෙන ප්‍රවණතා අනුව මේ ලිපියට තවත් කොටසක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙන නිසා නිතරම Roar සමග එකතු වෙලා ඉන්න. ඔබට මේ ගැන හිතෙන දේවල් අපිට කියන්නත් අමතක කරන්න එපා.

Related Articles