Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුටුවන් මන බන්දන ෆේරෝ දූපත්හි අසිරිය

අත්ලාන්තික් සාගරයේ උතුරට වන්නට පිහිටි කුඩා දිවයින් කිහිපයක් වන ෆේරෝ දූපත්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඩෙන්මාර්කයට අයිති, ස්වයං පාලනයක් සහිත පෙදෙසක් වෙනවා.

මෙය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය දූපත්වලට වයඹදිගින්, අයිස්ලන්තයට මඳක් ගිනිකොණට වන්නට යි. වර්ග කිලෝමීටර 1399 ක භූමි භාගයකට හිමිකම් කියන මෙම දූපත්හි ජීවත් වන්නේ 54,000 ක පමණ ජනකායක් පමණ යි.

ෆේරෝ දූපත් හි පිහිටීම- stuff.co.nz

කුඩා දිවයින් කිහිපයක් වුව ද, ෆේරෝ දූපත්හි සංචාරක ආකර්ෂණය නොමඳ ව දිනා ගත් ස්ථාන රාශියක් තිබෙනවා. භූ විෂමතාව සහ දේශගුණය අතින් ගත් කල, සෞම්‍ය කලාපික, සාමුද්‍රික ලක්ෂණ ප්‍රකට කරන මෙම දිවයින් කිහිපයෙ හි දිව්‍ය විමාන බඳු, මනස්කාන්ත ස්ථාන කිහිපයක් ම දැකගත හැකි යි.

මුලෆෝසර් දියඇල්ල

ෆේරෝ දූපත් හි, වෝගාර් දූපතේ පිහිටි කුඩා ගම්මානයක් වන ‘ගැසඩලුර්’ 2004 වසර වන තුරු පැවතියේ ඉතාමත් පිටිසර තත්තවයක යි. එවකට ලෝකයෙන් වසන් වී පැවති මෙම ප්‍රදේශය වර්තමානය වන විට දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක ගේ අවධානයට සහ ආකර්ෂණයට නතු වී තිබෙනවා. වර්තමානය වන විට ඒ වෙත ළඟා වීම සඳහා වූ ප්‍රවාහන බාධකත් සෑහෙන පමණකින් මඟහරවාගෙන තිබෙනවා.

මුලෆෝසර් දියඇල්ල – ocationscout.net

මුහුදුබඩ ගම්මානයක් වන ගැසඩලුර් හි පිහිටා ඇති මුලෆෝසර් දියඇල්ලේ විශේෂත්වය වන්නේ, එය කඩා හැලෙන්නේ මුහුදට වීම නිසා යි. මීටර 60 ක් හෙවත්, අඩි සියයක පමණ උසකින් පිහිටි  මුහුදුබඩ ගල් කුලක සිට කඩාහැලෙන මෙය, ඉතාමත් මනස්කාන්ත දර්ශනයක් මවනවා.

මෙම දියඇල්ල සහිත ප්‍රදේශය අද වන විටත් සෑහෙන පමණකින් ජන ශුන්‍ය ව පවතිනවා. මේ නිසා එහි සොබා සෞන්දර්යයට හානි වී නැහැ.  දියඇල්ල පිහිටා ඇති ස්වභාවය අනුව, එය නැරඹීමට වඩාත් පහසු, එහි සිට යම් තරමක දුරක සිට යි.

ට්‍රේලනිපා

ෆේරෝ දූපත් හි පිහිටා ඇති ඉතාමත් මනස්කාන්ත ස්ථානයක් ලෙස ‘ට්‍රේලනිපා’ හැඳින්විය හැකි යි. සමුද්‍රාසන්න උස් බිමක පිහිටා ඇති මෙහි වූ සොර්වැග්ස්වාන් විලට ලැබී ඇති අන්වර්ථ නාමය වන්නේ ‘පාවෙන විල’ යන්න යි. ඈත සිට බලන්නකුට මෙම විල පාවෙන ආකාරයට දිස්වෙනවා. මෙය පිහිටා ඇත්තේ ෆේරෝ දූපත්වල ඇති එක ම ගුන්වන්තොටුපොළට ආසන්නව  යි.

ට්‍රේලනිපා – roadtripster.net

මෙම විල පිහිටා ඇති කඳු ගැටය ‘ටේලනිපාන්’ හෙවත් ‘වහල් කඳු ගැටය’ නමින් හැඳින්වෙන අතර, ගුවත්පොටුපොළෙහි සිට පැයක පමණ පා ගමනකින් පසු මෙම විල වෙත ළඟා වීමට හැකියාව තිබෙනවා. මෙම පාගමන යා යුතු මඟ එතරම් විශාල බෑවුමකින් තොර ව සෑදී තිබෙන නිසා එහි ළඟා වීම එතරම් අසීරු වන්නේ නැහැ.

මෙම විල ආසන්නයෙන් ම ‘ගේටුස්කොරඩ්‍රැන්ගර්’ නම් ස්වභාවික වෙරළාසන්න ගල් පරයක් නිර්මාණය වී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 116 ක උසකින් පිහිටා ඇති මෙය මත සිට ඉතා මනස්කාන්ත හාත්පස දර්ශනයක් නැරඹිය හැකි වෙනවා. ට්‍රේලනිපාන් කඳුගැටය ඔස්සේ කුඩා ගංගාවක් ද ගලා යන අතර, මෙහි යන්නකුට මෙම විලෙහි හා ගංගාවෙහි ඔරු පැදීමේ පහසුකම් ද සපයා තිබෙනවා.

ඩ්‍රැන්ගානිර්- windows10spotlight.com

ඩ්‍රැන්ගානිර්

ෆේරෝ දූපත් හි පිහිටා ඇති ඩ්‍රැන්ගානිර් මුහුදු කලාපය, මුහුදට පෙම් බඳින කාටත් සොඳුරු මතක සාදන ස්ථානයක් වෙනවා. මෙම කලාපය ෆේරෝ දූපත් හි සංචාරක ආකර්ෂණය වැඩියෙන් ම දිනා ගත් ස්ථානයක් වෙනවා. මෙහි පැමිණෙන්නන්ට බෝට්ටු සංචාර පහසුකම් සපයා තිබෙනවා.

වෙරළබඩ ගල් කුළු රාශියක් මැදින් ඇදී යන මෙම ත්‍රාසජනක බෝට්ටු සවාරිය අවදානම් සහගත එකක් වුවත්, ඒ සම්බන්ධ ව ඉතාමත් හුරු පුරුදු කණ්ඩායමක් මෙම සවාරි ක්‍රියාත්මක කරන නිසා, අනතුරු ඇතිවීම ඉතාමත් අවම මට්ටමක පවතිනවා.

විඩාරෙඩි- guidetofaroeislands.fo

විඩාරෙඩි

උතුරුදිග ෆේරෝ දූපත් හි පිහිටා ඇති විඩාරෙඩි ගම්මානය එහි උතුරින් ම වූ මිනිස් ජනාවාසය පිහිටි ස්ථානය යි. එහි වූ කඳු ගැට, සහ කැලෑබද වෙරළතීර අමුතු ම සුන්දරත්වයක් මවනවා. එහි වූ ඉපැරණි දේවස්ථානයත් සංචාරක ආකර්ෂණය නොමඳ ව ලබා ගත් ස්ථානයක් වෙනවා. මෙහි ඇති එක් ප්‍රධාන කඳුගැටයක් වන විලින්ගඩැල්ෆියෝර් පාගමනින් තරණය කරන්නටත් මෙහි යන්නන්ට හැකියාව තිබෙනවා. මෙහි මුදුනට ළඟා වූ විට ඉතා මනස්කාන්ත හාත්පස දර්ශනයක්  නැරඹිය හැකි යි.

කල්ලුර් ප්‍රදීපාගාරය

මෙම ප්‍රදීපාගාරය ෆේරූ දූපත්වල දී හමුවන, මිනිසුන් ගොඩනැඟූ ඉතාමත් අලංකාර නිර්මාණයක් ලෙස සැලකෙනවා. කැල්සොයි දූපතේ පිහිටා ඇති මෙය හා ඒ අවට වූ සුන්දර දර්ශනය හේතුවෙන්, මෙම ප්‍රදීපාගාරයට සංචාරක ආකර්ශනය නොමඳ ව ලැබී තිබෙනවා. මෙහි අලංකාර බව නිසා ම ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපටයක් වන ‘නෝ ටයිම් ටු ඩයි’ චිත්‍රපටයේ පසුතලයක් ලෙසත් මෙය යොදාගෙන තිබෙනවා.

කල්ලුර් ප්‍රදීපාගාරය – guidetofaroeislands.fo

කැල්සොයි දූපත වෙත ළඟා වන්නට නම් ක්ලැක්ස්වික් හි සිට මිනිත්තු 20 ක පමණ බෝට්ටු සවාරියකින් එහි යා යුතු වෙනවා. ප්‍රදීපාගාරය තදාසන්න ගමක බෝට්ටුව නවතා, පා ගමනින් මෙහි ළඟා විය යුතු අතර, ප්‍රදීපාගාර දෙපස ම මුහුද වෙත ලම්බක ව බෑවුම් වන ගල් කුළු දැක ගත හැකි වෙනවා. ඒවා මීටර 200 ක පමණ උසකින් යුක්ත වන අතර, ප්‍රදීපාගාරය වෙත යන අතරමඟ පටන් ප්‍රදීපාගාරයත්, හාත්පස දර්ශනත් ඉතා මනස්කාන්ත ආකාරයෙන් පෙනෙන්නට පටන්ගන්නවා.

ජොග්

ෆේරෝ දූපත්වල පිටිසරබද පෙදෙසක, සමුද්‍රාසන්න උස් බිමක පිහිටා ඇති ‘ජොග්’ ගම්මානයත් සංචාරක ආකර්ෂණය හොඳින් ම දිනා ඇති ස්ථානයක් වෙනවා. මෙහි වූ විචිත්‍ර වර්ණාලේපිත කුඩා නිවෙස්, සමුද්‍රාසන්න උස්බිමට පෙනෙන හාත්පස දර්ශනය සහ සුවදායී දේශගුණය සංචාරක ආකර්ශනය මෙයට ලැබෙන්නට හේතු වී තිබෙනවා.

පැහැදිලි දේශගුණයක් ඇති දිනවල මෙම ගම්මානය තදාසන්න වෙරළෙහි සර්ෆිං ක්‍රීඩාවෙහි නිරත වන්නටත් මෙහි පැමිණෙන සංචාරකයන්ට අවකාශ ඇති අතර,  මෙහි නවාතැන් පහසුකම් ද සපයාගත හැකි යි.

ජොග් -guidetofaroeislands.fo

ඉහත ස්ථානවලට අමතර ව තවත් අලංකාර ස්ථාන රාශියක් ෆේරෝ දූපත්වල පවතිනවා. තණකොළ සෙවිළි කළ නිවෙස් සහිත සන්සුන් ගම්, ආකර්ෂණීය සොබාවික දර්ශන සහිත විතමර්, සුන්දර චොඩ්නොවික් වෙරළබඩ ගම, වෙස්ට්මනා සමුද්‍ර ගල්කුළු ඉන් කිහිපයක් පමණ යි.

යම් දිනයක ෆේරෝ දිවයින් වෙත යාමේ අවස්ථාව ඔබට ලැබුණොත් මෙම ස්ථාන වෙත සංචාරය කිරීමට අමතක කරන්නට එපා.

අලංකාර ස්ථාන රාශියක් ෆේරෝ දූපත්වල පවතිනවා – www.youtube.com/c/PurplePeakAdventures

කවරයේ ඡායාරූපය - Henrique Murta
මූලාශ්‍ර:
Britannica.com
Guidetofaroeislands.fo
Tripadvisor.com

Related Articles