පොළොන්නරුවේ සිට ගිරිතලෙන් හැරිලා බකමුණ හරහා යන පාර ඇදී යන්නේ ඇලහැර හරහා නාවුල හන්දියට යි. මේ මාර්ගය වැඩි දුරක් ගමන් කරන්නේ ඇලහැර යෝධ ඇළ කණ්ඩිය දිගේ. පටු පාරක් වශයෙන් තිබුණු මේ මාර්ගය මෑතක දී කාපට් අතුරා වැඩි පළලකින් යුක්තව සංවර්ධනයකර තිබෙනවා. ඇළක් කිව්වට, මේ දිය මාර්ගය ගංගාවක් වගෙයි අපට නම් පේන්නේ. සමහර තැන්වල තෙත්බිම් පරිසරයක් මැවිලා. ඉතා සුන්දර වටපිටාවක් මේ අවට දැකගත හැකියි. කෙත්වතු මෙන්ම එළවළු වගාවන් ද ඇළ දෙපස පිහිටා තිබෙනවා. අපේ පුරාණ විශාලම වාරිමාර්ග ව්‍යාපාරය ලෙස සැලකෙන්නේ ක්‍රි. ව. පළමු සියවසේ දී තැනූ මෙම ඇළ යි. යෝධ ඇළ සංකල්පය ආරම්භ වුණෙත් මෙම වාරි ව්‍යාපාරයෙන්. ඉතින් ඇලහැර යෝධ ඇළ දිගේ එහි අතීතයට ගමන්කර බලමු.
වසභ රජු
මෙම ඇළට ජලය හරවාගෙන ඇත්තේ මහවැලි නදියේ ප්‍රධාන ශාඛාව වූ අඹන් ගඟ හරස්කර තැනූ ඇලහැර අමුණ මඟින්. වංසකතාවේ සඳහන් වන පුරාතනම අමුණ ලෙසින් සැලකිය හැකි ඇලහැර අමුණ ඉදිකරවන්නේ වසභ (ක්‍රි .ව. 67-111) රජ්ජුරුවෝ යි. ශ්‍රී ලංකාවේ විශාල වාරි කර්මාන්තවල ආරම්භකයා වන එම රජු විසින් ඇළ මාර්ග 12ක් කරවන ලද බවට මහාවංසයේ දැක්වුවත්, නමින් සඳහන්කර ඇත්තේ ඇලහැර හෙවත් ආළිසාර ඇළ පිළිබඳව පමණ යි. වසභ රජතුමා විසින් ඊට අමතරව වැව් 11ක් තනවන ලදැ යි මහාවංශයේ සඳහන් වන අතර වෙනත් ඓතිහාසික කෘති වල වැව් 12ක් තනවන ලදැ යි සඳහන් වෙනවා.
වසභ රජු විසින් කරවන ලද වාතමංගන වැව පිහිටා ඇත්තේ ද මහවැලි නිම්නයේම යි. මනම්පිටිය ආසන්නයේ නොච්චිපොතානේ ලිපියක වලරකහෙල්ගමු නම් ඇළ මාර්ගයක් පිළිබඳව ද සඳහන් වෙනවා. මහාවංසයේ එය ආළිසාර නමින් හඳුන්වා තිබෙනවා.
කියවන්න: මහා වැව් අමුණු තනා හෙළ කෙතට පණදුන් මහරජ: වසභ
මෙහි දිය බද්ද වසභ රජු විසින් තිස්වඩමන්හි මූචෙල විහාරයට පිදූ බව සඳහන් වෙනවා. අමුණේ ජලයෙන් පෝෂණය වන කවුඩුල්ල වැව අසල පිහිටා තිබෙන නටබුන් වූ විහාරය, මේ මූචෙල විහාරය ලෙස හඳුනාගෙන තිබෙනවා.
වසභ රජු විසින් එම අමුණ කරවීමේ අරමුණ වී ඇත්තේ දුර බැහැර ප්‍රදේශයන් කරා ජලය සැපයීම වන බව පෙනෙන්නට තිබෙනවා. මින්නේරිය හා කවුඩුල්ල යන වැව් තැනීමට පෙර එම ප්‍රදේශය පෝෂණය කිරීමට ඇලහැර ඇළ මාර්ගය තනා තිබුණු බව පැහැදිලි යි. ඇතැම් විටෙක, මහසෙන් රජු මින්නේරිය හා කවුඩුල්ල වැව් කරවීමට වසභ රජු විසින් තනවන ලද ඇලහැර අමුණෙන් ආරම්භ වූ ආළිසාර ඇළ මාර්ගය ද හේතු වන්නට ඇති.
කවුඩුල්ල වැව හැදුණු හැටි කියවන්න: මහසෙන් රජු තැනූ නෑබිලියට කොරහක් සෑදූ බිසෝ බණ්ඩාර කුමරිය
ඇලහැර ඇළ
ඇලහැර ඇළේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි. මී. 88ක් (සැතපුම් 54ක්). මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැර දී අඹන් ගඟ හරස්කර තනවා ඇති මේ ඇළ පොළොන්නරුව දිස්ත්‍රික්කය හරහා කුඹුරුවලට සහ වැව්වලට ජලය බෙදමින් ඇදී යනවා. එහි පළල අඩි 70 සිට අඩි 200 දක්වා වෙනස් වෙනවා.
ඇලහැර අමුණ වසභ රජු විසින් තනවා, පසුව මහසෙන් රජු විසින් වර්තමාන තත්ත්වයට පත්කර ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. සියවස් ගණනාවක් තිස්සේ නොසලකාහැර තිබූ ඇලහැර ඇළ පසුකාලීනව ප්‍රතිසංස්කරණය කරන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වන හෙන්රි වෝඩ්ගේ කාලයේ දී යි.
ඇලහැර දී තැනූ අමුණ
ඇලහැර හන්දිය අසලින් හැරී මඳ දුරක් ගමන්කළ විට අඹන් ගඟට යාබදව පිහිටි අමුණ හමුවෙනවා. මාතලේ සිට නාවුල හරහා මේ ස්ථානයට දුර කි. මි. 55ක්. අමුණ මුහුදු මට්ටමේ සිට මී. 160ක් උසින් පිහිටා තිබෙනවා.
මින්නේරිය හා කවුඩුල්ල යන වැව් තැනීමට පෙරම මේ අමුණෙන් දිය හරවා ඇළ ඉදිකර තිබූ අතර, එම ප්‍රදේශවල ගොවිතැනට ක්‍රි. වර්ෂ පළමුවන සියවසේ සිටම ජලය බෙදා ඇත්තේ ඇලහැර ඇළෙන්. මෙය තැනවීමේ අරමුණ වී තිබුණේ අඹන් ගඟට මාතලේ ආශ්‍රිතව තෙත් කලාපයේ වර්ෂාවෙන් ලැබෙන ජලයෙන් වියළි කලාපයේ ගොවිබිම් සරු කිරීම යි. මහසෙන් රජුට වැව් තැනීමට අදහස මතුවන්නට ඇත්තේ ඇලහැර ඇළ නිසා බවට සමහර විද්වතුන් අදහස් පළ කරනවා.
මහසෙන් රජු (274-301) විසින් ඉදිකරවූ මින්නේරිය වැවට අවශ්‍ය අතිරේක ජලය ලබාගැනීමට අඹන් ගඟේ ජලය ලබාගෙන ඇත්තේ ඇලහැර අමුණ තවත් උස්කොට නිර්මාණය කිරීමෙන්. ඊට පසු ඇළේ ජලය මින්නේරිය වැව දක්වා ගෙන යාමට ‘තිලවත්තුක’ හෙවත් තලවතු ඇළ නමින් ඇළ මාර්ගයක් කපා තිබෙනවා. වර්තමානයේ ඒ ඇළ හඳුන්වන්නේ ‘තල්වතුර ඔය’ නමින්.
දෙවන අග්ගබෝධි (604- 614) විසින් නිර්මාණය කරන ලද ගිරිතලේ වැවට ජලය ලබාගැනීමට ඇලහැර අමුණ යලිත් ශක්තිමත්ව ඉදිකරවන්නට ඇති බව පෙනෙනවා. ඒ වන විට ඇළ සියවස් පහකට අධික කාලයක් භාවිතකර තිබුණා. තලවතු ඇළ ආරම්භ වන ස්ථානයේ සිට කැපූ වෙනත් ඇළක් ඔස්සේ ගිරිතලේ වැවට ජලය සම්පාදනයකර තිබෙනවා.
අමුණේ නටබුන්
පැරණි අමුණ තිබූ ස්ථානයේම මෑත අතීතයේ ඉදිකළ අමුණ දැකගත හැකියි. පැරණි අමුණේ ඉතිරිව තිබෙන අවසන් කෙළවරින් එම කොන්ක්‍රීට් අමුණ ආරම්භ වෙනවා. නව අමුණේ දිග මී. 122.5ක්. පැරණි අමුණේ ඉතිරිව තිබෙන කොටසේ දිග මී. 62ක් වෙනවා. දැනට තිබෙන සාධක අනුව පෙනෙන්නේ නව අමුණේ දිග ප්‍රමාණයට වඩා පැරණි අමුණ දිගින් යුක්ත වන්නට ඇති බව යි. ඒ අනුව එහි මුළු දිග මී. 185ක් විය හැකියි.
අමුණ ඉදිකිරීමට කළුගල් කුට්ටි මෙන්ම ගඩොල් ද භාවිතකර තිබෙනවා. අංගම්මැඩිල්ලේ මෙන් මෙහි ද පාදම සඳහා, පිහිටි කළුගලක් උපයෝගී කරගෙන තිබෙනවා. අමුණ සැලසුම් කර ඇත්තේ මේ ස්වභාවික පාෂාණය ද හසුවන ආකාරයට යි. එම පාෂාණය මත ඉදිකිරීම නිසා මෙහි ශක්තිමත් බව ද වැඩි වී තිබෙනවා.
කියවන්න: අංගම්මැඩිල්ල: රජ බැම්ම මැදි කර ගත් වන උයන
අමුණේ දකුණු කොටසේ විශාල ප්‍රමාණයක් මේ වන විට ඉතිරිව තිබෙනවා. ගල්වරි එකිනෙක බැඳීමට හුණුමිශ්‍ර බදාමයක් යොදාගෙන ඇති බව හෙළිවී තිබෙනවා. ඇතැම් තැන්වල මේ බදාමය සෙ. මී. 20-30ක් ඝනකමට ඉතිරිව තිබෙනවා.දැනට දැකගත හැකි පරිදි මෙහි ඉතිරිව ඇති බැම්මේ උපරිම උස මී. 4.60ක් වෙනවා.
7 ඇලහැර අමුණෙන් පෝෂණය ලබන ඇලහැර ඇළ- geo.fu-berlin.de
අඹන් ගඟේ රැස්වන ජලය ගෙනයාමට තැනූ ඇළ මාර්ගය ඉදිකර ඇත්තේ බැම්මේ සිට කි. මී. 1ක් පමණ ගඟ ඉහළින්. එය වම් ඉවුරේ ප්‍රධාන ඇළ ලෙස නිර්මාණය කර තිබෙනවා. මේ ඇළ මාර්ගය ස්වභාවික ගඟක් ලෙස පෙනෙන නිසා කුඩා ගඟ ලෙස හඳුන්වනවා.
දියබෙදුමෙන් දෙකට බෙදී
ඇලහැර සිට කන්තලේ දක්වා ඇළ ගමන් කරන දිගු ගමනේ දී එය ඉහකුළු වැව, රොට වැව, මටළු වැව, හා කෝඳුරු වැව වැනි කුඩා වැව්වලට ද ජලය සපයා තිබෙනවා. ඇලහැර සිට දියබෙදුම දක්වා වන මෙම ඇළේ මුල් කොටස දිගින් සැතපුම් 20.75ක්. දියබෙදුමේ පිහිටි අමුණකින් ඇළ මාර්ගය කොටස් දෙකකට බෙදෙනවා. වම් කොටස මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, සහ වෙන්ඩ්‍රාසන් වැව් දක්වා දියවර ගෙනයමින් මහවැලි ඩී කලාපයේ කෘෂි ඉඩම් පෝෂණය කරනවා. දියබෙදුමින් දකුණට බෙදෙන කොටස තවත් ඇළ මාර්ගයක් ඔස්සේ කිලෝමීටර කිහිපයක් ගොස් ගිරිතලේ වැව පුරවනවා.
කන්තලේ වැවට ජලය
මහසෙන් රජුගෙන් පසු කලෙක රජ වූ දෙවෙනි අග්බෝ රජු විශාල කන්තලේ වැව ඉදිකරනවා. එයට ජලය ලබාගැනීමට මින්නේරිය සිට කන්තලේ වැව දක්වා ඇලහැර ඇළ දික්කර, අඹන් ගඟේ ජලය කන්තලේ වැව දක්වාම ගෙන ඒමට කටයුතු ඔහු කටයුතු කරනවා. ඒ අතරම ගිරිතලේ වැව ද තනවා, ඇලහැර ඇලෙන් තවත් ඇළක් වෙන්කොට ගිරිතලේ වැව දක්වා ජලය ගෙනයමින්, ගොවිතැනට අවශ්‍ය තරම් ජලය බෙදීමට පියවර ගන්නවා. දෙවෙනි අග්බෝ රජුගෙන් පසුව මහා පරාක්‍රමබාහු රජු විසින් ගිරිතලේ වැව ප්‍රතිසංස්කරණයකර තිබෙනවා. නටබුන් වී තිබූ මේ වැව බ්‍රිතාන්‍ය යටත්විජිත කාලයේ 1905 වර්ෂයේත්, 1942 දීත් ප්‍රතිසංස්කරණයට ලක් වෙනවා.
අඹන් ගඟ හරස්කොට වර්තමානයේ ඉදිකළ මොරගහකන්ද ජලාශයත් රජරටට ජලය ලබාදීම අරමුණු කරගෙන තැනූවක්. එහි ජලය රජරටට බෙදාහැරීමට ඉහළ ඇලහැර ඇළ නමින් ඇළ මාර්ගයක් ඉදිකිරීම මේ දිනවල සිදුවෙනවා.
අද මොරගහකන්ද ජලාශයේ සිට ඇලහැර අමුණ දක්වා එන ජලය ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ මහවැව් කරා රැගෙන යනු ලබන්නේ යෝධ ඇළ ඔස්සේ යි. ඊට අමතරව කුඹුරු අක්කර 16000කට පමණ යල – මහ දෙකන්නයේ ජලය සපයන්නේ ද මෙම යෝධ ඇළෙන්.
ඇළ අවට පරිසරය වැනසේ
විවිධාකාරයේ වෙළෙඳසල් රාශියක් යෝධ ඇළ ඉවුරු දෙපස ඉදිකර තිබෙනවා. මේ වෙළෙඳසල්වල අපද්‍රව්‍ය ඉවත් කරන්නේ ඇළට වීම කනගාටුවට කරුණක්. පසුගිය කාලයේ ඇළ ඉවුරේ ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වාරිමාර්ග නිලධාරීන් කටයුතු කළ බව වාර්තා වුණා.
විශේෂයෙන්ම යෝධ ඇළ අයිනේ පවත්වාගෙන යන වෙළඳසැල්වලින් බැහැර කරන පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් දිනපතා යෝධ ඇළට එක්වීම නිසා විශාල පරිසර හානියක් කලක පටන්ම සිදුවුණා.