දක්ෂීණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය භාවිත කරලා කොළඹ නුවර කුරුණැගල යාපනේ අනුරාධපුර වාගේ පලාත් වල ජනයාට කතරගම ලේසියෙන් යන්න පුළුවනි. එවිට කෙලින්ම කොළඹ සිට මාතරට ගතවෙන කාලය සැලකිය යුතු ලෙසින් අඩුවෙනවා. කතරගම යන බොහෝ දෙනා යන්නේ කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමේ අරමුණින් වන අතර ඒ සමඟම කිරිවෙහෙර වන්දනාවටද බෞද්ධ බැතිමතුන් යොමු වීම සාමාන්‍ය සිරිතකි.
වසර සිය ගනනක් තිස්සේ සිටම කතරගම දේවාලය ප්‍රසිද්ධව පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි. අපි අද සොයාබලමු කතරගම යන අතරමග තවත් වැඳපුදාගන්න තියෙන තැන් කිහිපයක් ගැන විස්තර. මාතරින් අධිවේගී මාර්ගයෙන් එලියට ගියාම මාතර සිට කතරගම දක්වා යන අතරමග තිබෙන ලෙහෙසියෙන් බලාකියාගන්න පුළුවන් සිද්ධස්ථාන කිහිපයක් මේ විස්තරයේ ඇතුළත් වෙනවා.
වෙහෙරහේන විහාරය
අසූ අට රියන් සුවිසල් බුද්ධ ප්‍රථිමා වහන්සේ නමක් වැඩවසන වෙහෙරහේන විහාරය සාපේක්ෂව මෑත කාලයේ ඇතිවූවක්. 20 වැනි ශතවර්ෂයේ මාතර ප්‍රදේශයේ සිටි දානපතියන්ගේ අන්රගහයෙන් නිර්මාණය වුනු මෙම මහා සිද්ධස්ථානය තුල ලෙන් විහාරයේ ජාතක කතා සහ බුදුසිරිත දැක්වෙන විශාල චිත්‍ර ප්‍රමාණයක් තිබෙනවා. මාතර සිට කතරගම යන අයට වෙරළ පාර නොව අනෙක් ප්‍රධාන මාර්ගය භාවිත කොට මාතර කාර්මික විද්‍යාලය අසලින් හැරී කැකණදුර පාරේ මඳ දුරක් ගිය තැන මෙම විහාරයට යන මාර්ගය හමුවෙන අතර ඒ මාර්ගයේ ගොස් වෙහෙරහේන විහාරය වැඳපුදාගන්න හැකියාව තිබෙනවා.
දෙවිනුවර උපුල්වන් දේවාලය
පෲතුගීසි ජාතිකයින් දකුණු වෙරළබඩ තීරය අල්ලාගන්න අවස්තාවේදී උපුල්වන් දේවාලයේ තිබූ වස්තුව ඔවුන් කොල්ලකාගෙන සිය රට ගෙනයෑමට උත්සාහ කොට තිබෙනවා. නමුත් ඔවුන්ට වැඩි දුරක් වස්තුව රැගෙන යාත්‍රා වලින් මුහුදේ යන්නට හැකියාව ලැබී නෑ,.වස්තුව සහ නාවුකයින් සමඟම ඒ යාත්‍රා මුහුදේ ගිලී යන්නේ උපුල්වන් දෙවිඳුන්ගේ අනුහසින් බව ජනප්‍රවාද වල සඳහන් වෙනවා. දෙවිනුවර දෙවොල එකල උපුල්වන් දෙවිඳු වැඩවාසය කල පුන්‍ය භූමියක් බව ප්රකටයි. නමුත් පසුකාලීනව උපුල්වන් පැහැය විශ්ණු දෙවියන්ගේ නිල්පැහැයට සම නිසාදෝ හෝ විශ්ණු දෙවියන් ගේ දෙවොලක් බවට දැන් දැන් දෙවිනුවර දේවාලය පත් වෙලා තිබෙනවා. සුවිසල් හිටි පිළිමයක් ද සහිත දෙවිනුවර දේවාලය පුරාණ රජ දවස පටන් වැඳුම් පිඳුම් වලට ලක් වූ මාහැඟි සිද්ධස්ථානයක් ලෙස ප්‍රකට වී තිබෙනවා.
කතරගම වසන ස්කන්ධ කුමාර දිව්යරාජෝත්තමයන් වහන්සේ ලක්දිවට ගොඩ බට ස්ථානය දෙවුන්දර ලෙසත් ඉන් පසු ස්කන්ධ කුමාර එතැන් සිට පා ගමනින් කතරගමට ගිය බවත් පුරාණ ජනකතා සාහිත්‍යයේ සඳහන් වී තිබෙනවා.මාතර සිට දික්වැල්ලට වෙරළබඩ හරහා යන විට මහා මාර්ගය ආසන්නයේම දෙවිනුවර දේවාලය පිහිටා තියෙනවා.
වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර
අළුත්ගම කන්දේ විහාරයේ සුවිසල් හිඳි පිළිමය තැනීමට ප්‍රථම ආසනාරූඪව සිටින සෛයාවකින් සිටින විශාලතම පිළිමය ලෙස සැළකුවේ වැවුරුකන්නල හිඳි පිළිමයයි. 1950 දශකයෙන් පසු ප්‍රදේශයේ සිටි දානපතියන්ගේ අනුග්‍රහයෙන් වැවුරුකන්නල සුවිසල් සියක් රියන් උස බුදු පිළිමය නිර්මාණය කොට තිබෙනවා. ආවරණයකින් තොරව පවතින මේ මහා සම්බුද්ධ ප්‍රතිමාවේ පිටතට අල්ලා ඇත්තේ අඟලක වපසරියකින් යුතු මොසෑක් ටයිල් විශේෂයකි. තරමක් මෑත කාලීනව (1965-1969) ඉදි වුවද මේ සුවිසල් පිළිමය ඉදිකිරීමේදී නූතන තාක්ෂණය යොදාගත්තේ අඩුවෙන් බවද සටහන් වල දැක්වේ.
වැවුරුකන්නල පිහිටි මහා සුවිසල් බුදු පිළිම වහන්සේ නැරඹීමට යන ඔබට ඒ විහාරය තුලම ඇති උමං විහාරයේ යම ලොව ඇති දඬුවම් දැක්වෙන පිළිම සහ සිතුවම් දකින්නට ද අවස්ථාවක් ලැබේ. යකුන් වැනි බියජනක දේ දුටුවිට බියවන දරුවන් මෙම යම ලොව සිතුවම් සහ පිළිම නැරඹීමට රැගෙන නොයෑමට වග බලාගැනීම නුවණට හුරුයි. ලංකාවේ සුවිසාල පැරණි ඔරලෝසුවක්ද කුඩා කෞතුකාගරයක්ද වැවුරුකන්නල බුදුරජමහ වෙහෙරේ දකින්නට ලැබේ. මාතර සිට තංගල්ලට පැමිණෙන විට දික්වැල්ල නගරයෙන් බෙලිඅත්ත පාරේ කිලෝමීටර 3-4ක් පැමිණි කල වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර දැකබලාගත හැකිය.
මුල්කිරිගල පුරාණ ලෙන් විහාරය
වලගම්බා රජ දවස සිට මුල්කිරිගල ලෙන් විහාරය ප්‍රකට බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසට ප්‍රසිද්ධියට පත්ව තිබේ. දැනට එකලස් කොට ඇති පැරණි අටුවා ග්රන්ථ මෙන්ම ජාතක පොත් වහන්සේගෙන්ද කොටසක් සොයාගෙන ඇත්තේ මුල්කිරිගල විහාරයෙනි. පඩිපෙල් කිහිපයකින් දඹුලු විහාරයේ මෙන් ඉහලට නගින්නට තිබෙන මෙම ලෙන් විහාරයේ ඉපැරණි සැතපෙන පිළිම සහ පිළිම ගෙවල් කිහිපයක් තවමත් සුරැකිව තිබේ. යටත් විජිත සමයේ ප්‍රකට හිමිපානන් වහන්සේ නමක් වූ කරතොට මහ නාහිමි වැඩ විසූ බැවින් මුල්කිරිගලට ලන්දේසීන්ගේ අනුග්රහයද නොඅඩුවම ලැබී තිබේ. බෙලිඅත්තට පැමිණ වලස්මුල්ල පාරේ මඳ දුරක් ගිය කල මුල්කිරිගල වෙහෙරට යන මාර්ගය හමු වේ.
නයිගල සහ කසාගල පුරාණ විහාර
රන්න සිට වීරකැටිය පාරේ මඳ දුරක් ගමන් කරන විට මුලින් නයිගල විහාරස්ථානයද දෙවනුව කසාගල විහාරස්ථානයද හමුවේ. නයිගල විහාරස්ථානයේ පුරාණයේ නාගයින් සම්බන්ධ වූ පුරාවෘත ඇති අතර එය මහානාග යුව රජ කාලය දක්වා පැතිරෙන ඉතිහාසයකට උරුමකම් කියන බවක්ද සඳහන් වේ.
කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස කරවන ලද විහාර ගෙහි නටඹුන් සහ දකුණේ එම කාලයේ දී ඇඳි තවමත් සුරැක්ව ඇති සිතුවම් කසාගල විහාරස්ථානයේදී දැකගත හැකිය. කාවන්තිස්ස රජ ඉන් පසු වලගම්බා රජ දවස දක්වා වූ ඉතිහාසයකට උරුම කම් කියන සාගල , මහනුවර යුගයේ සිතුවම් නැරඹිය හැකි දකුනේ පැරණිතම විහාරස්ථානයකි.
තිස්ස මහා විහාරය
හම්බන්තොට සිට කතරගම යන පාරේ පිහිටි තිස්ස මහා විහාරය අවධානමට ලක් වි ඇති සුවිසල් පුරාණ චෛත්‍යයකි. ජලයෙන් වටවූ ගොඩබිමක පිහිටා ඇති මෙම තිස්ස මහා වෙහෙර දැනට වානේ කම්බි වලින් වට කොට, පිපිරී තිබියදීත් චෛත්‍යයක් ලෙස ආරක්ෂා කොට ගෙන ඇත. කාවන්තිස්ස රජ විසින් පාලනය කල රුහුනු රට ප්‍රධානතම ස්ථානයක් ලෙස තිස්සමහාරාමය හැඳින්විය හැකිය. මේ ආසන්නයේම තවමත් ආරක්ෂා වී තිබෙන යටාල වෙහෙරද නැරඹීමට වටිනා සිද්ධස්ථානයකි.
රම්බා විහාරය
අම්බලන්තොට නෝනගම හන්දියෙන් ඇඹිලිපිටියට දිවෙන මාර්ගයේ කිලෝමීටර 22කට පසු වර්තමානයේ රම්බා විහාරය නමින් අද හඳුන්වන ස්ථානයේ පුරාණ රාජධානියක නටඹුන් රැසක් හමුවේ. විජයබාහු රජතුමාගේ කාලයේදී පොලොන්නරුව අනුරාධපුරය දකුණු ඉන්දීය ජාතිකයින්ට යටත්ව පවතින අවස්ථාවේදී සිංහල රාජධානිය දකුණට සංක්‍රමණය වූ බවත් ඉන් පසුව මේ රම්බා වෙහෙර ඇති වන්නට ඇති බවත් ඉතිහාසය ගැන හදාරන්නන් ගේ මතය වේ. සුවිසල් වපසරියක තවමත් සුළු වශයෙන් පමණක් අනාවරණය කර ගෙන ඇති රම්බා වෙහෙර ක්‍රි. ව 900-1100 අතර කාලයේදී සශ්‍රීකව පැවති රාජධානියක් බව පුරාවිද්‍යාඥයින්ගේ මතය වේ. අම්බලන්තොට ගොඩවාය පුරාණ වරායේ සහ වලවේ මිටියාවතේ තැනින් තැන හමුවන නටඹුන් අනුව එම කාලයේදී විදේශ සම්බන්ධතා සහිත සශ්‍රීක රාජධානියක් දකුණේ පවතින්නට ඇති බව අපට නිගමනය කල හැකිය.
දැනට මෙහි පාදාගත් නටඹුන් විහාරස්ථාන සහ මාලිග ගෙවල් වැනියැයි සිතිය හැකි ගල් කණු සහිත නටඹුන් රැසක් හමු වී ඇති අතර තවමත් කැණීම් සිදුකරගෙන යන භූමියක් ලෙස රම්බා විහාරය දැක්විය හැකිය.
තිස්ස කිරින්ද විහාරය
එක් පසෙකින් මුහුදේ දර්ශනීය චිත්‍රයද මුහුදු සුලං පහසඳ විඳිමින් දැකබලා ගත හැකි දර්ශණීය වෙරළබඩ ස්ථානයකි තිස්ස කිරින්ද විහාරය. මේ ස්ථානය ආසන්නයේ විහාරමහා දේවිය ගොඩබහින්නට ඇති බව පුරා වෘත්තයන්හි සඳහන් වේ. හුණුගල් සහ ගල් පිහිටි පසුබිමේ විශාල කලු ගලක පිහිටි මෙම තිස්ස කිරින්ද විහාරය විහාරයක ඇති සිසිලසද වෙරලබඩ පරිසරයක ඇති ඝෝෂාවද සපිරි කදිම සංචාරක ස්ථානයකි. පොහෝ දිනයක් නොවන දිනයක් නම් ගල් තලාව මත සිට මුහුද දෙස බලමින් සැදැහැ සිතින් කාලය ගත කිරීමට සුදුසු ස්ථානයකි තිස්ස කිරින්ද මහා විහාරය. තිස්ස නගරයේ සිට යාල සහ සිතුල්පව්ව මාර්ගයේ මුහුද දෙසට දිගටම ගමන් කිරීමෙන් තිස්ස කිරින්ද ට ලඟාවිය හැක.
පැරැන්නෝ කතරගම වන්දනාව වනාහී සතියක් හමාරක් වැය කල කර්තව්‍යයකි. එකල මේ ඇතැම් ස්ථාන වල කරත්ත වලින් ගිය පැරණි වන්දනා නඩ නැවතී විවේක ගන්නටද ඇත. කතරගම වන්දනාවේ යන ඔබට දැන් පාන්දර කොළඹින් පිටත් වුවහොත් උදෑසන 9-10 වනවිට මාතරට ළඟා වන්නට අවස්ථාව උදා වී තිබේ. අධිවේගී මාර්ගයෙන් ඉතිරි වූ කාලයෙන් තවත් සිද්ධස්ථාන කිහිපයක්ම දැන් ඔබට දැකබලා නැරඹිය හැකිය. කතරගම යන ඔබට වැඳපුදා ගන්න එක සිද්ධස්ථානයක් හෝ මේ ලැයිස්තුවෙන් ඔබට ලැබෙන්නට ඇති. මේ ගැන තව අදහස් ඔබටත් ඇති. කමෙන්ට් එක්ක හරහා ඔබටත් පුළුවන් කතරගම වන්දනාව අතරමග නරඹන්නට ඇති තැන් ගැන ඔබේ අදහසුත් අපිට කියලා යන්න.