බදුල්ල නගරයට ඉහළින් පෙනෙන අලංකාර කඳු පන්තිය තමයි නමුණුකුල කියන්නේ. එය ඌව පළාතේ උස ම කන්ද ලෙස සැලකෙනවා. මෙය කුලු හෙවත් මුදුන් නවයකින් සෑදී ඇති නිසා නමුණුකුල ලෙස භාවිත වුණු බව පැවසෙනවා.
මෙහි පැහැදිලි ව දකින්න තිබෙන්නේ මුදුන් හතක් පමණ යි. කඳුවැටිය අවට ඉතා සුන්දර වටපිටාවක් දකින්න පුළුවන්. මේ නිසා ම පසුගිය කාලයේ නමුණුකුල තරණය කර කඳවුරු පිහිටුවීම සොබා රසිකයන් අතර ඉතා ජනප්‍රිය වුණා.
යන්නෙ කොහොමද?
මේ කඳුවැටිය තරණය කිරිමට මාර්ග කිහිපයක් ම පවතිනවා. ඒ අතර ප්‍රධාන මාර්ග දෙකක් සොබා රසිකයන් අතර ජනප්‍රිය යි. බදුල්ලේ සිට ස්ප්‍රින්වැලි නල්ලමලේ හරහා ඇති මාර්ගය එක් පාරක්. අනෙක් මාර්ගය වන්නේ බදුල්ල 3 කණුව ග්ලේන් ඇල්පින් හරහා දියනගල මාර්ගය යි.
මේ මාර්ග දෙකේ ම කඳු පාමුලට යාමට බදුල්ල නගරයේ සිට කිලෝ මීටර 15ක් පමණ ගමන් කළ යුතු යි. ඉතා අලංකාර තේවතු සහිත වටපිටාවක් මේ පාරවල් දෙකේදී ම හමු වෙනවා. සංචාරකයන් වැඩි දෙනෙක් යොදා ගන්නේ බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගය යි.
ස්ප්‍රිංවැලි, නල්ලමලේ හරහා මාර්ගයේ ගමන් කරන සංචාරකයන්ට බදුල්ලේ සිට බසයකින් නල්ලමලේ ගම්මානයට ගමන් කළ හැකි යි. ගමේ සිට කඳු බෑවුම් පාරේ යා ගමනින් මඳ දුරක් යන විට හමුවන්නේ කෝවිලක්. එය පිහිටා තිබෙන්නේ කඳුවැටියේ අර්ධයක් පමණ තරණය කළ පසුව යි.
කෝවිල අසල සිට ආරම්භ වන්නේ ටර්පන්ටයින් වන වගාවක්. මේ වන වගාව අතරින් ගොස් ස්වභාවික වනයට පිවිසෙන අතර එහි සිට පැයක පමණ ගමනකින් පසු කඳු මුදුනට ළඟාවීමට පුළුවන්. කඳු මුදුන ආසන්නයේ උප කඳුකර වනාන්තර දකින්න ලැබෙනවා. කඳු පාමුල වනාන්තර වතු වගාව නිසා වැනසී ගිහින්. මුදුන ආසන්නයේ පමණයි ස්වභාවික වනාන්තර දකින්න ලැබෙන්නේ.
කඳු තරණයට තිබෙන අනෙක් මාර්ගය බදුල්ල පස්සර පාරේ 3 කණුව හරහා දිව යනවා. 3 කණුව සිට ග්ලේන් ඇල්පින් තේ වතුයාය හරහා කිලෝමීටර 10ක් පමණ ගමන් කළ විට දියනගල ගමට ළඟා විය හැකි යි. එහි සිට සිට පැය එකහමාරක පමණ ගමනකින් කන්ද මුදුනට ගමන් කළ හැකි යි. මේ මාර්ගයේ තේවතුවලින් පසු ව හමු වන වනාන්තරය සහ ගල් පර්වත අතරින් ගමන් කිරීම දුෂ්කර කාර්යයක්. ඔබට මේ ගමනේ දී අත්විඳීමට ලැබෙන දියඇලි, කඳු හරහා හමන අධික සුළං ධාරා ආදිය නිසා වෙහෙස තරමක් තුනී වෙනවා.
කඳුවැටියේ පිහිටීම
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, බදුල්ල හා ඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට මායිම් ව පිහිටා ඇති මෙම කඳු පන්තිය මධ්‍යම කඳුකරයේ ප්‍රධාන කඳුවැටියක් ලෙස භූ විද්‍යාඥයන් සලකනවා. මධ්‍යම කඳුකරයේ නැංගුරමක හැඩය ගත් කඳු පන්ති හතරක් පිහිටා තිබෙන අතර නැංගුරම් පාදයේ බටහිරින් ඇත්තේ සමනළ කදු පන්තිය යි. නැංගුරම් පාදයේ නැගෙනහිරින් ඇත්තේ ඌව පළාතට අයත් වන හපුතලේ නමුණුකුල කදු පන්තිය යි.
නමුණුකුල කන්දේ උස මීටර් 2036ක්(අඩි 6680) වෙනවා. එය ශ්‍රී ලංකාවේ 12 වැනි උස ම කන්ද යි. බොහෝ දෙනා තරණය කරන්නේ කන්දේ අඩි 6600 ක් උසින් පිහිටි කඳු මුදුන යි. කඳුවැටියේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 3000-3500ත් අතර පවතිනවා. එය ජල රක්ෂිතයක් ලෙස ද නම් කළ හැකි යි. මේ කඳු මුදුනට ඌව පළාත මෙන් ම ඈතින් නැඟෙනහිර පළාතත් මධ්‍යම පළාතේ කඳුවැටිත් දැකගත හැකි වෙනවා.
ඉන්දික දෙවියෝ
නමුණුකුල කඳුවැටියට අධිපති දෙවියන් සේ සලකන්නේ ඉන්දික නම් දෙවි කෙනෙක්. ජනප්‍රවාද පවසන්නේ කඳුවැටිය සහ අවට ජනතාව ආරක්ෂා කිරිමට ඉන්දික දේව බැල්ම ලැබෙන බව යි. කඳු පන්තිය වටා හුදකලා ගම් කිහිපයක් ම පිහිටා තිබෙනවා. ආසන්නව ඇති මේමලේ ගම්මානය ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. කඳු පාමුල ජීවත්වන්නේ දෙමළ ජනතාව යි. ඔවුන් මේ අවට තේවතුවල සේවය කරනවා.
මේමලේ ගම්වාසීන් කඳු පන්තිය පූජනීයත්වයෙන් සලකනවා. කන්දට පිවිසෙන මාර්ගය දෙපස කෝවිල් සහ දේවාල කිහිපයක් ම දකින්නට ලැබීමෙන් එය පැහැදිලි වෙනවා. ඉන්දික දෙවියන් වෙනුවෙන් තැනූ කුඩා දේවාලයක් කඳු මුදුනේ පැවති බවට සාධක පවතිනවා . එම දේව ප්‍රතිමාවේ කොටසක් වර්තමානයේ ඉතිරි ව තිබෙනවා. අලුතින් තැන්පත් කළ කුඩා බුද්ධ ප්‍රතිමා කිහිපයක් ද ඒ අසල තිබෙනවා.
වැසි දෙන කන්ද
ඌව පළාතේ බදුල්ල අවට පෙදෙස් සමහර කාලවල දැඩි නියඟයෙන් පීඩාවට පත්වෙනවා. එවැනි නියඟ කාලවල දී මුතියංගන විහාරය මුල්කර ගනිමින් ළිඳමුල්ල පත්තිනි දේවාලයෙන් පෙරහරක් කඳුමුදුනට පිටත්වීම පුරාණයේ සිට පැවැත්වෙන සිරිතක්. කඳුමුදුනේ ඇති ඉපැරැණි ළිඳේ ජලය ඉස දෙවින්ට පුද පූජා පැවැත්වීම එහිදී සිදුවෙනවා.
ඉන් පසු හේවිසි වාදනයක් පවත්වා පිරිස් නැවත බදුල්ලට ඒමට පිටත් වන අතර ඔවුන් නගරයට පැමිණීමට පෙර මහ වැසි ඇද වැටෙන බව විශ්වාසය යි. 1950 දශකය වන විට මෙම පෙරහරට මුතියංගන විහාරයේ තිබෙන ඉපැරණි පෙතිකඩ සිතුවමක්ද රැගෙන ගිය බව අලව් ඉසි සැබිහෙළ ඌව දනවුව කෘතියේ සඳහන් කර තිබෙනවා.
කඳු මුදුනේ තැනිතලාව
නමුණුකුල කඳුමුදුනේ පිහිටා තිබෙන්නේ තැනිතලා බිමක්. එය කඳු මුදුනේ පිහිටි සානුවක් ලෙසත් හැඳින්විය හැකි යි. මෙවැනි ම කඳු මුදුනක් දුම්බර මානිගල කන්දේත් දැකගත හැකි යි. 1991 ඔක්තෝබර් 23 වෙනි දින නිකුත් කරන ලද අංක 685/9 දරන ගැසට් පත්‍රය අනුව කඳු මුදුන අවට පිහිටි වනාන්තයේ අක්කර 614 රූ.3.පර්.64 ක් වන රක්ෂිතයක් බවට පත් කර තිබෙනවා.
අක්කර 10 ක් තරම් විශාලත්වයක් ඇති මේ තැනිතලාවේ මහරත් මල්, දඹ, කීන වැනි තරමක් කුඩා ගස් හැරුණු විට පඳුරු හා තණ පිටියක් පැතිර තිබෙනවා. කුඩා හැඩයා, මහ හැඩයා, වන රාජ, වැනි දුර්ලභ ඔසු පැලෑටිත් මෙහි වැවෙනවා.
මෙම තැනි බිමේ මැද පෙදෙස තෙත්බිමක ස්වභාවයක් ගන්නවා. බොහෝ කඳු මුදුන්වල වියළි ස්වභාවයක් පැවතියත් නමුණුකුල කඳු මුදුනේ දිය උල්පත් තිබෙනවා. කුඩා වළවල් වැනි ළිං දෙක තුනක් දැකගත හැකි යි. එක් උල්පතක් ඇසුරු කරගෙන කලකට පෙර ගල්වලින් බැඳ ළිඳක් තනා තිබෙනවා.
කඳු මුදුනේ ජලය පානය කිරීමට ගෝනුන්, හාවන්, ඉත්තෑවන්, වල්ඌරන් සහ කලාතුරකින් කොටියා ද පැමිණෙන බව පැවසෙනවා. කුළුමීමුන් ද මෙහි බහුල ව ගැවසෙනවා. හඳුන් දිවියා, බළල් දිවියා, වල් බළලා වැනි බිලාල කුලයේ සතුන්ට ද මෙම කඳුවැටිය නිජබිමක් වී තිබෙනවා.
කඳු මස්තකයේ සිට හම්බන්තොට, කතරගම, මොනරාගල, අම්පාර, මහියංගණය, පිදුරුතලාගල, පැහැදිලි ව දැක ගැනීමට ලැබෙනවා. හිරු උදාවත් සමඟ කන්දේ හෙවණැල්ල අනෙක් පසින් පැහැදිලි ව දකින්න ලැබෙන්නේ සමනළ කන්ද මතකයට නගිමින්.
පරිසර විනාශයක්
මෑත අතීතයේ බොහෝ තරුණ පිරිසක් නමුණුකුල කඳු තරණයටත් රාත්‍රි කඳවුරු බැදිමටත් පැමිණෙන නිසා එහි පරිසරයට හානි සිදුවන බව වාර්තා වෙනවා. කඳවුරු පිහිටුවන පෙදෙස අවට හිස් බෝතල්,ප්ලාස්ටික් හා පොලිතින් වැනි කසළ බැහැර කිරිම නිසා විශාල හානියක් සිදු ව තිබෙනවා.
කඳු මුදුනේ ගස් කපා කඳවුරු ගැසීමට යොදා ගත් බවත් පෙනී යනවා. මෙසේ වනයේ ගස් විනාශ කිරීම නිසා කඳු මුදුනේ පරිසරයට සිදු ව ඇත්තේ විශාල විනාශයක්.
ඉඳුල් සමඟ ඉවත දමන පොලිතින් ගෝනුන් වැනි සතුන් ආහාරයට ගැනීම නිසා ඔවුන්ගේ පැවැත්මටත් තර්ජන එල්ල වෙනවා. කඳු තරණයට එක්වන පිරිස් එහි වටපිටාව ආරක්ෂා කිරීම ගැනත් අවධානය යොමුකළ යුතු බව අපගේ හැඟීමයි.