මහනුවර සහ හැටන් සානු දෙකට මැදිව පිහිටි රමණීය කදුකර බිම් පෙදෙසක් තමයි කොත්මලේ. මුහුදු මට්ටමේ සිට මීටර 1500කට වැඩි උසකින් යුක්ත යි. අනුරාධපුරයේ රජවූ (ක්‍රි. පූ. 291-164) ගැමුණු රජු, සිය පියරජ වූ කාවන්තිස්සට කාන්තා ආභරණ යවා පලා ගියේ කොත්මලේට යි. ගැමුණු රජු කුමාර කාලයේ කොත්මලේ හැංගී වාසය කළ කරුණ හා සම්බන්ධ ස්ථානයන් රාශියක් මෙහි තිබෙනවා.
ජන කවියා කොත්මලේ දකින්නේ මේ විදිහට යි:
සමවන් රටකි වටටම කදුවැටිය වුණා
දිලි රන් කොතක් ඒ රටටම පහළ වුණා
ගුණයෙන් උතුම් සැම පලවැල එහි සැදුණා
නැණයෙන් බලනු කොත්මල යයි නම සැදුණා
පුසුල්පිටිය රජ මහා විහාරය
කොත්මලේ මැදපනේ කෝරළයේ පිහිටි මෙම විහාරයට නාවලපිටිය කොත්මලේ මාර්ගයේ පැමිණ කලවිටිය හරහා ළගා විය හැකියි. පියගැට රාශියක් විහාරය පිහිටි කදු බෑවුම වෙත දිව යනවා. කලවිටිය හන්දියේ සිට මේ වෙත දුර කි. මී. 3ක්. විහාර බිමට කොත්මලේ ජලාශය ද කදිමට දිස් වෙනවා.
මෙහි පිහිටා තිබෙන්නේ අෂ්ටඵලරුහ බෝධියක්. බුදු මැදුරු දෙකක් විහාර බිමේ තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන බුදු මැදුර දෙමහල් ටැම්පිට විහාරයක්. ඒ විහාර මන්දිරය දිගින් අඩි 42ක් ද පළලින් අඩි 31ක් ද වෙනවා. ඉහළ මාලයේ බිතුසිතුවම් සහ ප්‍රතිමා සහිත ප්‍රතිමා මන්දිරය දකගත හැකියි. එහි ප්‍රතිමා ගර්භය සහ පිටත මණ්ඩපය වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. මෙහි බිත්තිවල උඩරට සම්ප්‍රදායේ සිතුවම් දැකගත නොහැකියි. 1914 දී කරන ලද ප්‍රතිසංස්කරණයේ දී අලුතෙන් සිතුවම් ඇදලා. ඇතුළු මාලයේ පුරාණ දැව මකර තොරණක් තිබූ අතර අගනා කලා කෘතියක් වන අතර එය 6 වන පරාක්‍රමබාහු රජු පූජා කළ බව සදහන්. පසුගිය දාක ඒ මකර තොරණත් හොරු ගෙනගිහින් බවට වාර්තා වුණා.
ඵූපඝරයක් සහිත විහාරය මෙම පිළිමගෙය අසලම පිහිටා තිබෙනවා. ගොඩනැගිල්ල දෙකට බෙදා ඉදිරිපසින් පිළිමගෙය ද පසුපසින් දාගැබ ද ඉදිකර තිබෙනවා. මෙම දාගැබ පිහිටා ඇත්තේ ගල්පර්වතයක් මත බවත්, එය ගැමුණු කුමරු විවේකගත් තැනක් බවත් විශ්වාස කෙරෙනවා. මේ විහාරයට ඉදිරිපස මකර තොරණ සහිත දොරටුවකින් ඇතුළු විය යුතු යි. ඇතුළත මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහ ප්‍රතිමා දැකගත හැකියි. හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ හිඳි බුදු පිළිම දෙකක් මෙහි තිබෙනවා. බිත්තිය සරසා තිබෙන්නේ සුවිසි විවරණය සහ බුදුපුදට යන රහත් රූපවලින්.
සෙල්ලිපි දෙකක් ද මේ විහාර බිමේ තිබෙනවා. ඉන් එකක් කීර්ති ශ්‍රී රාජසිංහ රජ යුගයට අයත් වන අතර අනෙක් ලිපිය 1893 දී කෙටූ එකක්. විහාර ප්‍රතිසංස්කරණය ගැන ලිපි දෙකෙම දැක්වෙනවා. උඩරට රාජධානි සමයේ දී මහනුවරට ඉංග්‍රිසි ආක්‍රමණ එල්ල වන විට දළදා වහන්සේ හංගා තැබූ ස්ථානයක් වශයෙන් ද පුසුල්පිටිය විහාරය වැදගත් වෙනවා.
නියම්ගම්දොර විහාරය සහ දේවාලය
ගම්පොළ නුවරඑළිය පාරේ තවලන්තැන්න හන්දියෙන් හැරී කි. මී. 10ක් ගමන් කර ළගාවිය හැකියි. කොත්මලා ඔය ගලායන්නේ මේ විහාරය අද්දරින්. වැලිවිට සරණංකර සංඝරාජ සමයේ මුල්කිරිගල පරම්පරාවේ වටරක්ගොඩ ධම්මපාල හිමි විහාරය ආරම්භ කළ බව පැවසෙනවා. ආරම්භයේ දී පැවති ටැම්පිට විහාරට පසුව වෙනස් කර තිබෙනවා. පැරණි ප්‍රතිමා සහ සිතුවම් ද නවීකරණයේ දී විනාශ වී ඇති බවයි පෙනෙන්නේ. දේවාල ගොඩනැගිල්ල පුරාණ ස්වරූපයෙන් පවතිනවා. එය ටැම්පිට දේවාලයක්. මෙය පත්තිනි දෙවියන් උදෙසා කැප කළ දේවාලයක්.
මොරපේ කතරගම දේවාලය
කොත්මලේ පල්ලෙපොනේ කෝරළයේ පිහිටා තිබෙන දේවාලයක්. හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය පිළිබද ජනප්‍රවාදය මෙහි පැතිර තිබෙනවා. කතරගම දෙවියන් හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය සොයා මෙහි පැමිණි බවත් පසුව දේව විමානයක් ඉදිකළ බවත් ජනකතාවල කියැවෙනවා. මොර පේ කොට තැනූ දේවාලය නිසා මොරපේ නම් වූ බව පැවසෙනවා. අදත් බොහෝ දෙනා මේ දේවාලයට පැමිණ බාරහාර වෙන බව දැකගත හැකියි.
දෙහෙදු කඩුල්ල
පුරාණයේ රුහුණු රාජධානියේ සිට මලය රටේ කොත්මලේට පිවිසෙන කඩවතක් වශයෙන් පැවති ස්ථානයක්. පල්ලෙගම්පහ කෝරළේ කඩදොර ගමේ ඉහළින් වූ කඳුවැටියේ පැරණි පටු මාර්ගයක මෙය පිහිටා තිබෙනවා. පටු විවරයකින් තමයි මෙය හරහා කඩදොර ගමට පිවිසිය යුත්තේ. ගලින් ගල එක මත එක තබා කඩුල්ල නිර්මාණය කර තිබෙනවා. ගැමුණු කුමරු කඩදොර ගමට පැමිණෙන විට තම කඩුව මෙහි සඟවා තැබූ බව පැවසෙනවා. ජනප්‍රවාද අනුව ඔහු නවාතැන් ගත් ඌරුපැලැස්ස ගොවි ගෙදරට ගොස් ඇත්තේ මේ කඩුල්ල හරහායි. කඩුල්ල පළලින් මී. 2.1ක් ද උසින් මී. 2.1ක් ද වෙනවා. දෙහෙදු කඩුල්ල පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නම් කර තිබෙනවා.
යතුරුගැහූලියැද්ද රජමහා විහාරය
කොත්මලේ මාස්වෙල නම් මුඩුබිම සාරවත් කුඹුරු යායක් බවට පත් කළ ගැමුණු කුමරු ඉන් විශාල අස්වැන්නක් ලැබුවා. අස්වැන්න පාගා ගැනීමට කමතක් තනා ගත යුතු වුණා. ගලපිටගල නම් පර්වතයට නැගි කුමරු එහි සිට කුල්ලක් (කමත් භාෂාවෙන් යතුරක්) පහළට විසි කළා. කුල්ල වැටුණු ස්ථානය යතුරු ගැහූ ලියැද්ද නම් වුණා. එහි පසුකාලීනව විහාරයක් ඉදිවූ අතර උඩරට සම්ප්‍රදායට අයත් බිතුසිතුවම්, මූර්ති දැකගත හැකියි.
විහාර මන්දිරයේ ඇතුළු මාලයට පිවිසිය යුත්තේ අලංකාර මකර තොරණක් යටින්. ඇතුළත හිඳි බුදු පිළිමයක් තිබෙනවා. පිටත ප්‍රදක්ෂිණා පථයෙත් බිතුසිතුවම් තිබෙනවා. පිට බිත්තියේ වෙස්සන්තර ජාතකය සහ අපාය නිරූපණය කර තිබෙනවා. කුඩා දාගැබක්ද දැකගත හැකියි. පැරණි ශෛලමය සිරිපතුල් ගලක් සහ පහනක් ද මෙහි තිබෙනවා. මෙය පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නම්කර ඇති විහාරයක්.
මෙම විහාරස්ථානය නැරඹීමට පැමිණෙන්නන්ට ගම්පොල සිට කොත්මලේ වේල්ල හරහා තවලන්තැන්න දක්වා දිවෙන මාර්ගයේ පැමිණ කොත්මලේ වේල්ල නැරඹුම් ස්ථානය සහ මොරපේ කතරගම දේවාලය පසුකර මාවෙල දෙසට ගමන් කිරීමේදී මාවෙල නගරයට පෙර හමුවන කුඩා අතුරු පාරකින් කි. මී. බාගයක් දකුණට ගමන් කිරීමෙන් විහාරබිමට ළඟාවිය හැකියි. අතුරු පාරේ විශාල වාහනවලට නම් ගමන් කිරීම අපහසුයි.
ගැමුණු කුමරු හා සම්බන්ධ නා ගහ පිහිල්ලට පන්සල අසල අඩි පාරෙන් පහළට ගමන් කළ පසු ළගා විය හැකියි.
රණමුරේ පිහිල්ල
රණමුරේ පිහිල්ල මාවෙල පාරේ මාස්වෙල ප්‍රදේශයට නුදුරින් සුන්දර වෙල් යායක් අසල පිහිටා තිබෙනවා. මේ පිහිල්ල සංචාරකයන් අතර ගොඩක් ප්‍රසිද්ධයි. ගැමුණු කුමරු මෙන්ම ඔහුගේ අගබිසව වූ කළුමැණිකා ද මෙහි ස්නානය කළ බව සඳහන්. මේ අසල ගල්අම්බලමක් ද දක්නට ලැබෙනවා. අදත් ප්‍රදේශවාසීන් දිනපතා මෙම පීල්ලෙන් ස්නානය කරනවා . පීල්ල අසලම අම්බලමක් ද පිහිටා තිබෙනවා