Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නකල්ස් කඳුකරයේ සැඟවුණු දියඇලි

මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය ඔප් නංවනා දුම්බර හෙවත් නකල්ස් කඳුවැටිය මේ වනවිට සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් වෙලා. විශේෂයෙන් තරුණ පරපුරේ සංචාරකයන් නකල්ස් යන්නට වැඩි කැමැත්තක් දක්වනවා. දීර්ඝ සතිඅන්තවල වෑන් වගේ කුඩා වාහනවලින් නකල්ස්වලට යන සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙන බවයි පේන්නේ.  

ඒ වගේම විදේශ සංචාරකයන් සැලකියයුතු ප්‍රමාණයකුත් දුම්බර විවිධ ස්ථානවල සංචාරය කරනවා. මේ සංචාරක ආකර්ශනය නිසාම කුඩා සංචාරක හෝටල් රාශියක් මෙහි පිහිටුවා තිබෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක නවාතැන් කිහිපයකුත් ඉලුක්කුඹුර සහ ඩීන්ස්ටන්වල තිබෙනවා.

හුගදෙනෙක් දුම්බර ඇවිදින්න ගියත් ඒ අතරින් වැඩි පිරිසක් යන්නේ පිටවල පතනට හෝ රිවස්ටන් කුඩා ලෝකාන්තය බැලීමට පමණයි. එයට හේතුව එහි පිහිටි අලංකාර තැන් ගැන වැඩිදෛනෙකුට දැනුමක් නැතිවීමයි. ඒ සොබාසොඳුරු තැන් අතරින් දියඇලිවලට හිමිවන්නේ පළමු ස්ථානයයි. මේ දුම්බර දියඇලි ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක්.

දුම්බර කඳුවැටිය. (Wikipedia.com)

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පැතිරි ඇති දුම්බර කඳුවැටියේ විශාලත්වය හෙක්ටයාර් 21,000 ක් වෙනවා. ප්‍රධාන වර්ෂා කාලය ඊසානදිග මෝසමයි. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 5000 ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා මෙහි සෑම පෙදෙසකට වැසි ලැබෙන අතර ඒ කාලයට දියඇලි වඩාත් අලංකාරව ගලා හැලෙනවා. මාතලේ දිස්ත්‍රික්කය හරහා ගලාබසින කලුගඟේ සහ අඹන් ගඟේද, මහනුවර දිස්ත්‍රික්කය හරහා ගලනා මහවැලි ගඟේද, ප්‍රධාන ජල පෝෂක පෙදෙසක් ලෙසින් දුම්බර කඳුවැටිය වැදගත්.

මේ නිසාම මෙය සංරක්ෂණ වනාන්තරයක් ලෙසද නම්කර ඇති අතර යුනෙස්කෝව විසින් මෙය ලෝක ස්වභාව උරුමයක් වශයෙන්ද නම් කෙරුණා.

රත්නින්ද ඇල්ල

රත්නින්ද ඇල්ල. (visionlanka.com)

පිටවල පතන යනු සංචාරකයන්ට පහසුවෙන් ළගාවිය හැකි දියඇල්ලක්. පිටවල පතනේ සිට ඉලුක්කුඹුර හරහා රත්නින්ද ගම්මානයට ළගාවීමෙන් දියඇල්ල දැකගත හැකියි. මීටර 1157ක් උසැති කිරිමැටියා කන්දෙන් උපත ලබන ජල ධාරාවලින් මෙය නිර්මාණය වෙනවා.

මෙහි ජලය පසුව තෙලිගමු ඔයට එක්වෙනවා. මෙය කුඩා දියඇල්ලක්. ඇල්ල සමීපයට යාමට නම් කඳුබෑවුම තරණය කළ යුතුයි.

වැද්දාපැණි ඇල්ල

වැද්දා පැණි ඇල්ල (කුසුම්සිරි විජයවර්ධන)

ඉලුක්කුඹුර රත්නින්ද හරහා ඇටන්වලට යන බොරලු පාරේ ගමන් කරන විට තෙලිගමු ඔයෙන් නිර්මාණය වූ වැද්දාපැණි ඇල්ල හමුවෙනවා. ඇල්ල අසලට යාමට පයින් කි. මී. එකක් පමණ ගමන් කළ යුතුයි. මීටර දෙකක් පළල ගල්පර්වත දෙකක් අතරින් ඔය කඩාහැලීමෙන් මේ අලංකාර  ඇල්ල නිර්මාණය වී තිබෙනවා.

දියඇල්ලට ඉහළින් හෙල්මලු කුඹුරු සහ එළවලු වගාබිම් දක්නට ලැබෙනවා. ඊට එපිටින් ඇදී යන්නේ මානිගල කන්දයි. කලකට පෙර ඇටන්වල ගමේ විසූ වැද්දෙක් පැණි කදක් රැගෙන ඇල්ලෙන් එගොඩවීමට යාමේදී පහළට වැටී මරණයට පත්වූ නිසා මේ නම ලැබීඇතැයි පැවසෙනවා. ඇල්ල ආසන්නයෙන් මෑතක දී කුඩා පාලමක් තනා තිබෙන නිසා දැන් ගමනාගමනය පහසු වෙලා.

දුම්බර දූවිලි ඇල්ල

ලග්ගල කලුපහන  පිහිටි මෙම දියඇල්ලට වල්පොලමුල්ල ගම්මානයේ සිට වන මැදින් දුෂ්කර මගක පයින්  ගමන් කළ යුතුය. කොටස් දෙකක් වශයෙන් ඇදහැලෙන මෙහි උස මීටර් 30ක්. මෙහි ජලයෙන් මාතලේ සිට ගලායන කලුගඟ පෝෂණය වෙනවා.

බඹරකිරි ඇල්ල

බඹරකිරි ඇල්ල (Ashan Geeganage – amazinglanka.com)

රිවස්ටන් හෝ පිටවල පතනට යන නරඹන්නන්ට පහසුවෙන් නැරඹිය හැකි තවත් ඇල්ලක්. මාතලේ රත්තොට සිට රිවස්ටන් වෙත ගමන් ගන්නා මහාමාර්ගයේ බඹරකිරිඇල්ල වංගුවේ සිට මීටර 500ක් දුරින් මෙය පිහිටා තිබෙනවා. ඇල්ල අසල පර්වතයේ බඹර වද බැඳතිබූ නිසා ඒ නම ලැබීඇතැයි පැවසෙනවා.

සේරැල්ල

සේරැල්ල (කුසුම්සිරි විජයවර්ධන)

දුම්බර දියඇලි අතරින් අලංකාරම දියඇල්ල වන්නේ සේරැල්ලයි. ලග්ගල ප්‍රා. ලේ. කොට්ඨාශයේ පොත්තටවෙල ගම්මානයට නුදුරින් වනමැද පිහිටා තිබේ. ඉලුක්කුඹුරේ සිට කි. මී. 6ක් දුරින් පිහිටි පුවක්පිටියට පැමිණ එහි සිට තවත් කි. මී. 3ක් ගමන් කර මඳක් කැලය තුළට යාමෙන් නැරඹිය හැකියි.

තෙල්ගමු ඔයෙන් නිර්මාණය වන දියඇල්ල උසින් මීටර 11කි. එය අප රටේ පළලම දියඇල්ලක්ද වෙනවා. බිත්තියක් ආකාරයට පිහිටා ඇති පර්වතයකින් සේරැල්ල කඩා හැලෙන්නේ අලංකාර දසුනක් මවමින්. දියඇල්ල පිහිටි පර්වතයේ ඇල්ල ඇතුළතින් එක්පසෙක ගුහාවක්ද පිහිටා තිබෙනවා. ගුහාවට පිවිසි විට ඔබට එය ඉදිරියෙන් ඇල්ල කඩාහැලෙන අන්දම දැකගැනීමේ දුලබ අවස්ථාව හිමිවෙනවා.

රත්න ඇල්ල

රත්න ඇල්ල. (නුවන් කරුණාරත්න traveltipssrilanka.blogspot.com)

මේ මහනුවර දිස්ත්‍රික්කයේ විශාලම දියඇල්ලයි. උසින් මීටර් 111ක්ද, පළලින් මීටර් 78ක්ද වන මෙය පිහිටා ඇති ස්ථානයට හසලක සිට හඳුන්ගමුව පාරේ විත් එකේ ඇළ හන්දියෙන් හැරී ගමන් කළ යුතුයි. හසලක නගරයේ සිට ඇති දුර කි. මී. 7ක්.

හුලු ගඟ ආශ්‍රිත දියඇලි

දුම්බර කඳුවැටියේ උසම කන්ද වූ ගොම්බානිය සහ උසින් තෙවැනි තැන ගන්නා කිරිගල්පොත්ත කන්ද ආශ්‍රිතව උපත ලබනා හුලු ගඟ දියඇලි කිහිපයක්ම නිර්මාණය කරයි. හුලු ගඟ සිය ගමන නිමකරන්නේ වික්ටෝරියා ජලාශයට එක්වීමෙන්. මහනුවර වත්තේගම සිට පන්විල හරහා කබරගල මාර්ගයේ ගමන් කිරීමෙන් මේ දියඇලි නැරඹීමට පුලුවන්. හුලුගඟ දියඇලි බොහෝ දෙනාගේ නෙතින් සැඟව පවතින සොබාදම් දායාදයන්.

රහස් ඇල්ල

වත්තේගම සිට පන්විල දෙසට කි. මී. 1ක් ගමන් කරන විට රහස් ඇල්ල හමුවෙනවා. දියඇලි දෙකක් වශයෙන් ඇදහැලෙන මෙය මහාමාර්ගයේ සිටම දැකගත හැකියි. මහනුවර අවසාන රජුවූ ශ්‍රී වික්‍රම රාජසිහංහ සතුරු ආක්‍රමණ පැමිණි විට ඇල්ල අසල වනයේ සැඟව සිටි නිසා රහස් ඇල්ල නම ලැබුණු බව පැවසෙනවා.

හුලු ගඟ ඇල්ල

හුලු ගඟ ඇල්ල. (Dhanushka Senadheera- flickr.com)

හුලු ගඟ ඇල්ල පන්විල පසුකරමින් හුලු ගඟ හන්දියට පිවිසෙන ඔබට පහසුවෙන් දැකගත හැකියි. එය මහාමාර්ගය අද්දරින්ම කඩාහැලෙන්නේ සොදුරු දසුනක් මවමින්. මේ ඇල්ල උසින් මීටර 65ක් පමණ වෙනවා. ජල දහරාව ගෝලාකාර පර්වතයක් මතට වැටී දසත විසිරෙන්නේ දියකෙඳි අවට විසුරුවමින්. හුලුගඟ හන්දියේ අවිධිමත් ඉදිකිරීම් ඇල්ලේ දර්ශනයට බාධාවක් වෙලා.

තාලිය වැටුණු ඇල්ල

තාලිය වැටුණූ ඇල්ලට යන ගමන්. (traveljournals.com)

හුලුගඟ හන්දියේ සිට අලකොලය තේවතුයාය හරහා ගමන් කළ යුතු මේ දියඇල්ල අසලටම වාහනයකින් ගමන් කිරීම නම් අමාරුයි. අලකොලයාය තේකම්හල වෙත යන මාර්ගයට ඇල්ල ඈතින් කඩාහැලෙන අයුරු පේනවා. ඇල්ල කඩා හැලෙන්නේ මලු දෙකක් වශයෙන්. අවට විසිරී ඇත්තේ තේ වතු යායක්. නිශ්චිත මාර්ගයක් නැති නිසා මේ ඇල්ල නැරඹීමට යන්නේ ඉතා සුලු නරඹන්නන් සංඛ්‍යාවක්.

ඒත් මෙයත් ඔබ ගොස් දැකබලා ගත යුතු ඇල්ලක් ලෙස හැඳින්විය හැකියි. ඉතින් අපිට අතහැරුණු තවත් මේ වගේ තැන් ගැන ඔබත් දන්නවාද? එහෙනම් පහල comment එකකින් ඒ තැන් ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: viplankatours.com

Related Articles