Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීතාවක රාජසිංහගේ ප්‍රේමයේ ටජ්මහල

සීතාවක රාජසිංහ දරුණු සටන්කාමී රජෙක් විදිහට යි සැලකෙන්නේ. ඔහු පෘතුගීසින්ට පන්න පන්නා පහරදුන් රජකෙනෙක්. ඒත් ප්‍රේමය හමුවේ මේ රජ්ජුරුවොත් බොළඳ පෙම්වතෙක් වූ බව හෙළිදරව් කරන කතාන්දර සීතාවක අවට පැතිර තිබෙනවා. රජුගේ පෙම් කතාවට සම්බන්ධ අපූරු සිහිවටනයක් අදත් ජනතාවගේ වැඳුම්පිදුම්වලට ලක්වන දේවාලයක් ලෙස පවතිනවා. ඒ, අවිස්සාවේල්ලට නුදුරු රුවන්වැල්ල මැදගොඩ පත්තිනි දේවාලය යි.

ගමන් මාර්ගය

දෙවොල් බිම ඈතින් – lankadeepa.lk

අවිස්සාවේල්ල තල්දූව හන්දියෙන් වමට ඇති ගුරුගල්ල අමිතිරිගල හරහා කැලණි මිටියාවත ඔස්සේ ඇදී යන මාර්ගයේ අමිතිරිගලට පැමිණිවිට ගුරුගල්ල කැලණි නදී පාලම හමුවෙනවා. පාලම පසු කළ විට වම්පස ඇති පුරාවිද්‍යා නාම පුවරුව මැදගොඩ ශ්‍රී සිද්ධ ගනේගොඩ දොළහ පත්තිනි දේවාලයට මඟ පෙන්වනවා. අවිස්සාවේල්ලේ සිට මේ වෙත දුර කි. මී. 10ක් පමණ වෙනවා. අතුරු මාර්ගයේ කිලෝමීටරයක ගමනකින් පසු නිසංසල වටපිටාවක පිහිටි දේවාල බිමට ළඟාවිය හැකියි. නා ගසින් සැදුම්ලත් දේවාල බිම  වටාම තිබෙන්නේ ගස්වැල්වලින් පිරි සුන්දර පරිසරයක්.

මැදගොඩ තඹ සන්නස

මැදගොඩ තඹ සන්නස- පුරාවිද්‍යා වාර්ෂික ගවේශනය 1892 – කැගල්ල දිස්. එච්. සී. පී. බෙල් කෘතියෙනි.

සීතාවක පළමුවැනි රාජසිංහ රජ්ජුරුවෝ තඹ සන්නසකින් අක්කර 631 රූඩ් 1 පර්චස් 18ක බිම් ප්‍රමාණයක පිහිටි මැදගොඩ ගම, දේවාලයට රාජකාරි කිරීමට නින්දගමක් වශයෙන් පූජා කරලා තිබෙනවා. දේව රාජකාරි 18කට තමයි එහෙම ඉඩම් ලබාදීලා තියෙන්නේ. පළමුවැන්න දේවාලයේ කපුකම යි. කපු රාජකාරියට මංගල්‍ය හතරේ දී දෙවියන් වැඩමවීම, දේවාලයේ සියලුම භාණ්ඩ ආරක්ෂා කිරීම, ගම්මඩුවට වෙඩි බෙහෙත් සැපයීම අයත් වෙනවා. රජ කාලයේ සිට පෙරහර මංගල්‍යයේ වෙඩිමුරය පවත්වන්නේ රාජසිංහ රජ්ජුරුවෝ පූජා කරපු කාලතුවක්කුවකින්. එයට වෙඩි බෙහෙත් ලබාදීමත් කපු පරම්පරාවේ වගකීමක් ලෙස සැලකෙනවා.

දේවාලයේ රාජකාරි පංගු

දේවාලය තවත් කෝණයකින්- මැදගොඩ පත්තිනි දේවාලය fb page

කපු රාජකාරියට අමතරව දේවලයේ නඩත්තුව සඳහා හේනමාමා පංගුව, ලෙවන්ගමගේ රාජකාරිය, දීගලගේ පංගුව, ගීතියනගේ පංගුව, පනාවලගේ පංගුව, කල්තොට පංගුව, පුවක්පිටියගේ පංගුව, ඇස්වත්තේ පංගුව, මංඩාවලයැගේ පංගුව, නැකතිගේ පංගුව, ආචාරිගේ පංගුව ආදී වශයෙන් දේවාල රාජකාරි පුරාණයේ පටන්ම පවුල්වලට බෙදා දී තිබෙනවා. රජු විසින් ප්‍රදානය කෙරුණු නින්දගමේ ඉඩම් භුක්ති විඳීම හිලව්වට ගැමියන් දේවාලයට ඒ රාජකාරි කළ යුතු වෙනවා. ඔවුන් රෙදිපිලි අපුල්ලා දීම, දේවාල බිම උදළු ගෑම, උඩුවියන් බැඳීම, තොරණ බැඳීම ආදී රාජකාරිවල යෙදිය යුතු යි. රාජකාරි නොකර ඉඩම් භුක්ති විඳින අය ඒ වෙනුවෙන්  දේවාලයට බදු ගෙවීම අවශ්‍ය යි. දැනට රාජකාරි වෙනුවෙන් වෙන්ව පවතින්නේ අක්කර එකසිය ගණනක් පමණ යි. ඉන් අදහස් වන්නේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් රාජකාරිවලින් ඉවත්ව තිබෙන බව යි.

දේවාලයට වෙනම ග්‍රාම සේවා වසමක්

දේවාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල -ruwanawella.ps.gov.lk

සිංහල රජ කාලේ රටපුරාම පැවති ඉඩම් හිමිවූයේ රජුට යි. එම ඉඩම් භුක්ති විඳීම වෙනුවෙන් රජුට බදු ගෙවිය යුතු වුණා. සුද්දන්ගේ කාලේ රාජකාරි ක්‍රමය අහෝසි කෙරුණත් පූජනීය සිද්ධස්ථානවලට එය බලපෑවේ නැහැ. එලෙස පුරාණ රාජකාරි ක්‍රමය ක්‍රියාත්මක වන මැදගොඩ වැනි ගම්මාන අපට ඉඳහිට හමුවෙනවා. මැදගොඩ ග්‍රාමසේවා වසමේ ඉඩම් සම්පූර්ණයෙන්ම දේවාලයට අයත් වන අතර එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ භාරකරුවකු විහාර දේවාලගම් පනත යටතේ අධීක්ෂණය කරනවා. එම ග්‍රාම සේවා වසමේ මහදෙනිය, හේන්යාය, මහඅරඹ වත්ත, අම්බලම්පිටිය වත්ත ආදී රාජකාරී ගම් පිහිටා තිබෙනවා. මේ ගම්වල පදිංචිකරුවන්ට එම ඉඩම් භුක්ති විඳිය හැකි වුණත් සින්නක්කර අයිතිය තිබෙන්නේ දේවාලයට යි. පදිංචිකරුවන්ට ගමේ ඉඩම් විකිණීමට නොහැකියි. ඉඩම්වල ගස් කැපීමට ද නොහැකියි. ඉඩම් පැවරීමට අවශ්‍ය නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ භාරකරුවා හරහා පැවරුම් ඔප්පුවක් මඟින් තමයි පැවරීම සිදුවන්නේ.

බොහෝ පෞරාණික සිද්ධස්ථානවලට මෙන්ම මැදගොඩ පත්තිනි දේවාලයට ද රාජකාරි ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ ගැටලු පවතින බව දැනගැනීමට ලැබුණා. කපු මහතා අපට පැවසුවේ රාජකාරිය වෙනුවෙන් ඉඩම් හතක් තම පරම්පරාවට ලබා දී තිබුණත්, ගමේ වෙනත් අය ඉඩම් අල්ලා ගැනීම නිසා දැන් භුක්ති විඳින්නේ ඉඩම් දෙකක් පමණක් බව යි.  

දේවාලයේ උපත

රාජසිංහ රජු හෙවත් ටිකිරි කුමරුගේ ප්‍රතිමාවක්- Wikipedia.org

අතීතයේ දිනෙක රාජසිංහ රජ්ජුරුවෝ කිසියම් කාර්යයක් සඳහා රාජකීය අඟුලේ නැගී රුවන්වැල්ල බලා ගංගාව ඔස්සේ යමින් සිටියාලු. සීතාවක ඔයේ පහළට පැමිණ, ඉන්පසු කැලණි ගඟේ උඩහට පදවමින් සිටි අඟුල මැදගොඩ ගමේ මායිමට පැමිණි විට ගඟ මැද නැවතුණා. අඟුල පදවන්නන් කොපමණ උත්සාහ කළත් එය සෙලවීමටවත් හැකි වුණේ නැහැ. හේවායන් ගඟෙන් ගොඩවී ඉවුර අවට පරීක්ෂා කිරීමේ දී ජරාවාස වූ දේවාලයක් දැකගන්නට ලැබුණා. රජු වහාම එතැනට ගොස් බාරහාර වී පැමිණියා. ඊට පසු අඟුලට යලිත් ගමන් කිරීමට හැකි වුණා. රජු පසුව එම පත්තිනි දේවාලය නවකම් කර පිළිසකර කරවා සන්නසකින් ඉඩකඩම් පූජා කළා. අද දක්වා දේවාලය නඩත්තු වන්නේ ඒ ඉඩම්වලින්. 

දේවාලයේ ඇතුළු ගැබ- deshaya.lk

මැදගොඩ සන්නස අනුව මාගම්මනින් කුඹුරු  දෙපෑලක්, ඇපලපිටියෙන් කුඹුරු පෑලක් ඇතුළුව ගොඩමඩ ඉඩම් සහිත මැදගොඩ ගම්මානය දේවාලගමක් සේ පවරා දී තිබෙනවා. ඒ ශත වර්ෂ 1499 දුරුතු මාසයේ දී යි (ක්‍රි. ව. 1577-78 දෙසැ-ජනවාරි) මැදගොඩ ගම්මානයට මායිම් වශයෙන් නැගෙනහිරින් කැලණි ගඟ හා බස්නාහිරෙන් ඇතිමලදෙණියෙ ඇළ ද, උතුරින් ඉන් ඇළ, නක්කාවල ඇළ මෝදර හා දකුණෙන් දෙල්පිටිමෝදර සඳහන් වෙනවා.

දේවාල බිමේ පිහිටි අතිවිශාල ඉඹුල් වෘක්ෂය දේවාලය තරම්ම පැරණි බව පැවසෙනවා. ඒ අවට පිහිටි නා ගස් ගොන්නත් පැරණි වෘක්ෂ බව නිසැක යි. “පස්වාන් දහසක් බහාති කාලයක් මේ ලංකාවට වැඩ සිද්ධ වූ මැදගොඩ සිද්ධ පත්තිනි දෙවි හාමුදුරුවෝ….” ආදී වශයෙන් තමයි කපු මහතාගේ යාතිකාව ආරම්භ වන්නේ. මේ දේවාලයේ පිහිට පතා බදාදා, සෙනසුරාදා කෙම්මුර දවස්වලට බොහෝ දෙනා එනවා. මවුවරුන්ට දරුඵල ලබාදීම, ලෙඩදුක් සුවකිරීම වගේ දේවල්වලට වැඩිදෙනා පත්තිනි මෑණියන්ගේ පිහිට ඉල්ලනවා.

මල්වතී බිසව

පෙතන්ගොඩ උයන-  dinamina.lk

දේවාලයේ උපත ගැන සඳහන් තවත් ජනකතාවකට අනුව රාජසිංහ රජු මෙය ඉදිකර තිබෙන්නේ තම සිත්ගත් මල්වතී බිසව සිහිවීමට යි. මල්වතී කියන්නේ දොඩම්පේ ගණිතයාගේ දුව යි. ඈ රජුගේ පුත්‍ර රාජසූරිය කුමාරයා සමග පෙමින් බැඳී සිටියා. නමුත් මහලුවියේ සිටි රජුටත් ඇයගේ පහස අවශ්‍ය වුණා. මේ නිසා රජු හැඩකාර මල්වතී බලෙන්ම රජවාසලට රැගෙන ගිහින් බිසෝ තනතුරේ තබාගත්තා. රජු ඇය කෙරෙහි ප්‍රේමයෙන් වෙලී සිටි බවත් පැවසෙනවා. ඒත් බිසව වංසගත රෝගයක් වැළදිලා හදිසියේ මිය යන්නේ රජු බලාපොරොත්තු නොවූ ආකාරයට යි. එම වියෝවෙන් දුකටපත් රාජසිංහ රජු බිසව සිහිවීමට මැදගොඩ ගම්මානයේ පත්තිනි දේවිය උදෙසා දේවාලයක් ඉදිකරනවා.

දේවාලයේ කැටයම් කුලුනක්-  පුරාවිද්‍යා වාර්ෂික ගවේශනය 1892 – කැගල්ල දිස්. එච්. සී. පී. බෙල් කෘතියෙනි.

ප්‍රේමයේ සිහිවටනයක් වශයෙන් එසේ දේවාලයක් ඉදිකර පුද පූජා පවත්වමින් සිටි රාජසිංහ රජු, උඩරට රජු හා සටන්වැදී පැරදී ආපසු එන ගමන් පෙතන්ගොඩ උයනේ දී විෂ උණ කටුවක් ඇනීමෙන් මරණයට පත්වුණේ නොසිතූ ලෙස යි. මල්වතිය පැහැරගෙන යාම නිසා වෛර බැඳගත් රාජසූරිය කුමරු හා දොඩම්පේ ගණිතයා රාජසිංහ රජුගෙන් පළිගැනීමට විෂ බැන්දවූ බව යි ජනප්‍රවාදවල සඳහන් වන්නේ.

මරණයෙන් අනතුරුව යක්ෂයකු බවට පත්වන රජු, “ගනේගොඩ දෙවියන්” නමින් දේවත්වයට පත්වෙනවා. ගනේගොඩ දෙවි මැදගොඩ දේවාලයේ ද පුදසත්කාරවලට ලක්වන ප්‍රාදේශීය දෙවියෙක්. මැදගොඩ දේවාලයට අමතරව කරවනැල්ල කබලමුල්ල දේවාලයේ ද ගනේගොඩ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වෙනවා.

පත්තිනි දේවාලය

දේවාලයේ කැටයම් කුලුනු- deshaya.lk

එච්. සී. පී. බෙල්ගේ 1892 කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ දේවාලය ගැන අංගසම්පූර්ණ විස්තරයක් අඩංගු යි. චතුරස්‍රාකාර ගොඩනැගිලි පන්තියක් මැද ශ්‍රී සිද්ධ ගනේගොඩ පත්තිනි දොළහ දේවාලය පිහිටා තිබෙනවා. රිට්ටාගේ, ගබඩාගේ, මුරුතැන්ගේ ආදී ගොඩනැගිලි වටකරගෙන දික්ගෙයක් සහිත දේවාල ගොඩනැගිල්ල පිහිටා තිබෙනවා. එය 1947.7.6 දින අලුත්වැඩියා කර තිබෙන බව සඳහන්. 

දේවාලය ටැම්පිට ගොඩනැගිල්ලක්. ගල් ටැම් 10ක් මත නා දැව යොදා එය තනා තිබෙනවා. ඒ අතරින් කැටයම් සහිත කළුගල් කුලුනු දැනට ඉතිරිව පවතින්නේ 4 යි. ඉතිරි කුලුනු එම ස්වරූපයට කොන්ක්‍රීට්වලින් තනා තිබෙනවා. මෙහි දික්ගෙයට අයත් වූ අලංකාර කැටයම් සහිත ගල් කුලුණක් කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා. සීතාවක යුගයට අයත් කැටයම් කලාව විමසීමේ දී මැදගොඩ දේවාලයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්.

මැදගොඩ කොඩිතුවක්කුව

පැරණි කාලතුවක්කුව – lankadeepa.lk

දේවාලයට අයත් රාජසිංහ රජු පරිත්‍යාග කළ බව පැවසෙන කුඩා කාලතුවක්කුව පුරාවස්තුවක් වශයෙන් ඉතා වැදගත්. ශ්‍රී ලංකාව සතු දැනට සොයා ගෙන ඇති පැරණිතම කොඩිතුවක්කුව මෙය බව පැවසෙනවා. මෙම තුවක්කුව එහි මුල් ස්වරූපයෙන් කිසිදු වෙනස්කමකට ලක් නොකර තිබීම ද විශේෂත්වයක්. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම තුවක්කුව සෘජු වෙඩි තැබීමේ ක්‍රමවේදයන්, එනම් තුවක්කු බටෙහි කඳෙහි ඇතුළත ඇති වෙඩි බෙහෙත් සෘජුවම ගිනි පන්දමක් මඟින් දැල්විය හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා. එම තුවක්කුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ කටයුතු නක්කාවල මාන්නලාගේ පරපුරට භාරකර, එම රාජකාරි කටයුතු වෙනුවෙන් ඔවුන්ට ඉඩම් ද ලබා දී තිබෙනවා.

වාර්ෂික පෙරහර මංගල්ලය

සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ දින 15ක් පුරා මැදගොඩ වාර්ෂික ඇසල පෙරහර පැවැත්වෙනවා. එකලට අවට බොහෝ ප්‍රදේශවලින් පිරිස් පැමිණ පෙරහර නරඹනවා. පත්තිනි දෙවියන්ගේ මෙන්ම ගනේගොඩ දෙවියන්ගේ ද හාස්කම් පතා බාරහාර වීමත් එහිදී සිදුවෙනවා. වාර්ෂික පෙරහර මංගල්ලයේ දී මුතුකුඩ ඇල්ලීම, පාවාඩ දැමීම, අත්පන්දන් ඇල්ලීම වැනි රාජකාරි පංගු දහ අටක් සඳහා කුළ පරම්පරාවල් පත් කර ඔවුන්ට ඉඩම් ද ලබා දී තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ගියගමං- කුසුම්සිරි විජයවර්ධන

පුරාවිද්‍යා වාර්ෂික ගවේශනය 1892 - කැගල්ල දිස්. එච්. සී. පී. බෙල්

Dinamina.lk

Cover: දේවාල ගොඩනැගිල්ල -picture.lk

Related Articles