Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාහුගල වන මැද නීලගිරිය

නීලගිරි දාගැබ, නැගෙනහිර පළාතේ දෙවැනි විශාලතම දාගැබ යි. (පළමු තැන දීඝවාපිය හිමිකර ගනී). මේ නටබුන් දාගැබ පිහිටා තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යි. මෙම පුරාවිද්‍යා භූමිය, දාගැබ, පිළිම ගෙයක් ඇතුළු පූජනීය ස්මාරකවලින් සමන්විත බෞද්ධ විහාරාරාම සංකීර්ණයක්. දාගැබට නුදුරින් පිහිටි නීලගිරි හෙළ ආශ‍්‍රිත ව පිහිටි නටබුන්, සෙල් ලිපි, කටාරම් සහිත ගල් ලෙන් මෙන්ම සිතුවම් සහිත ලෙන් ආදියෙන් ද සමන්විත වෙනවා. මෙය රෝහණ රාජධානි සමයේ ඉතා විශාල ප‍්‍රදේශයක ව්‍යාප්ත ව පැවති විහාරාරාම සංකීර්ණයක් බව ඉන් පෙනී යනවා. නීලගිරි සෑය පිහිටි ලාහුගල සහ පොතුවිල් ප‍්‍රදේශය බොහෝ කලක් ම පැවතියේ, මහජනතාවගෙන් වසන් වෙමින්. 26 වසරක් පුරාවට ඇදී ගිය එල්. ටී. ටී. ඊ. යුද්ධයට එම ප්‍රදේශ ද බිලි වී පැවතීම ඊට හේතුව යි. මේ නිසා නීලගිරි පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයේ නටබුන් දැකබලා ගැනීමට හෝ ඒවා සංරක්ෂණය කිරීම ගැටලුවක් වී පැවතුණා. කොටි පරාජයෙන් පසු ව මෙම දාගැබ ගැන පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වුණා.

යන්නේ කොහොමද?

මොණරාගල සිට සියඹලාණ්ඩුව හරහා ලාහුගලට පැමිණිය හැකි යි. කොළඹ සිට ලාහුගලට දුර කි. මී. 311ක්. මොණරාගල සිට දුර කි. මී. 53 යි. ලාහුගල ජාතික උද්‍යානයට නුදුරින් පිහිටි නාම පුවරුව නීලගිරි සෑයට මඟ පෙන්වනවා. කෙත්වතු සහ  වීර, පලු, කරඹ, කළුවර, කුඹුක් රුක් සමූහයා පිරිවරාගත් මහ වන පෙත මැදින් මේ මාර්ගය ඇදී යනවා. ලාහුගල පොතුවිල් ප්‍රධාන මාර්ගයේ 10 කණුවෙන් හැරී කොන්ක්‍රීට් දැමූ පාරක කී. මී. 3ක් ගමන් කළ විට හැඩ ඔය හමුවෙනවා. දශකයකට පමණ ඉහත, වාහනයකට ගමන් කිරීමට අපහසු මේ මාර්ගය මෑතක දී පාලමක් ඉදිකර කොන්ක්‍රීට් දමා සකසා තිබෙනවා. පාලමෙන් එතෙර වී මහ වන මැදින් වැටුණු පාරේ තවත් කී. මී. 2ක් ගමන් කළ විට දාගැබ පිහිටි ස්ථානයට ළඟාවිය හැකියි. මේ නිසා දැන් අම්පාර අවට සංචාරය කරන බොහෝ බැතිමතුන්ට නීලගිරි සෑය දැකබලාගෙන සිත්පහන් කර ගැනීමට හරි පහසු යි.

ගවේෂණ ඉතිහාසය

කැණිම්වලින් ලැබුණු පැරණි ගඩොල් සහ උළු –  කුසුම්සිරි විජයවර්ධන

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් නීලගිරි සෑය කැණීම් කළ අතර, එම ව්‍යාපෘතියෙන් ලාංකේය ස්තූප නිර්මාණ තාක්ෂණය පිළිබඳ නව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. ඔබ මේ ලිපිය කියවන මොහොතෙත් වන මැද ඉදිකළ තාවකාලික ටකරන් ගොඩනැඟිලිවල නවාතැන් ගනිමින් විශාල සේවක පිරිසක් මෙම දාගැබේ සංරක්ෂණ කටයුතු සිදුකරමින් සිටිනවා.

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කර සංරක්ෂණය කරන නැගෙනහිර පළාතේ ප්‍රධාන ස්මාරකයක් වශයෙන් නීලගිරි සෑය හඳුන්වන්න පුළුවන්. දැනට නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු පිළිබඳ ව හා ඉදිරියට අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය පිළිබඳ ව වාර්තාවක් ලබාගෙන මේ දාගැබේ සංරක්ෂණ කටයුතු තවදුරටත් වේගවත් කිරීමට අපි අදහස් කරනවා. දැනට දාගැබ තිබෙන පැරණි ගඩොල්වලින් ම තමයි සංරක්ෂණය කරන්නේ.” අපට එලෙස පැවසුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල යි.

පේසා වළලු සංරක්ෂණය කරමින්-  කුසුම්සිරි විජයවර්ධන

වනපෙත මැදින් ඉහළ නඟින නීලගිරිය රෝහණ රාජධානි ඉතිහාසයේ සැඟවුණු පුවතක් අපට නිහඬ බසින් පවසන සාක්ෂියක් වැනි යි. අද වනගත ව අලි ඇතුන්ගේ නිජබිමක් බවට පත්ව ඇති මේ පෙදෙස සියවස් 20කට එපිට සිට ගොවිබිම්, ජනාවාස පිරුණු පුණ්‍ය භූමියක් ව පැවති බවට සාධක අවටින් හමුවෙනවා. දාගැබේ විශාලත්වය අනුව මෙම මහා විහාරය නඩත්තු කිරීමට විශාල දායක දායිකාවන් පිරිසකගේ ධානමානාදී අනුග්‍රාහය එදා හිමිවන්නට ඇති බව පේනවා.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ඒ. එම්. සෝකාට් 1928 දී වනාන්තරයේ මහා ගස් වැවී තිබූ මේ දාගැබ් ගොඩැල්ල මුල්වරට ගවේෂණය කළ බව වාර්තාවල සඳහන්. දාගැබේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු 1979, 1983, 1998 යන වර්ෂවල කෙරුණත් දිගටම කරගෙන යාමට ලැබුණේ නැහැ.  කොටි ත්‍රස්තවාදී අවදානම නිසා කැණීම් අතරමඟ නතර වුණා. 2011 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නීලගිරි දාගැබ අවට පුරාවිද්‍යා ගවේෂණයක් කළා. 2012 දී මෙහි කැණීම් ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර 2014, 2015 යන වර්ෂවල කැණීම් දිගටම සිදුවුණා. දැන් තිබෙන්නේ දාගැබේ සංරක්ෂණය යි. පේසාව සහ ගර්භය සකස් කිරීම 2016 දී ඇරඹුණු අතර, මේ වන විටත් අඛණ්ඩ ව සංරක්ෂණ කටයුතු සිදුකරනවා.

දිගාමඩුල්ලේ විශාල දාගැබක්

දාගැබ තවත් කෝණයකින්-  කුසුම්සිරි විජයවර්ධන

ගරා වැටුණු දාගැබේ උස අඩි 72ක්. වටප්‍රමාණය අඩි 628ක්. මේ විශාල දාගැබේ විෂ්කම්භය අඩි 180කට ආසන්න යි. පුරාවිද්‍යා ගවේෂණවලට අනුව මෙම පුරාණ විහාරයේ නෂ්ටාවශේෂ අක්කර 89ක පෙදෙසක පැතිර තිබෙන බව හෙළිවුණා. රෝහණ දේශයේ නැගෙනහිර කොටසට අයත් මේ ප්‍රදේශය මහානාග යුවරජුගේ කාලයේ සිට පචින භූමි හෙවත් ප්‍රාචීන භූමිය ලෙස සලකා ඇති බව සෙල්ලිපිවලින් පේනවා. සිරිපතුල් ගල්, භික්ෂු විනය කිරීම කළ පෝය ගෙය, ගොඩනැඟිලි පාදම් රාශියක්, භික්ෂූන් වාසය කළ කුටිවල පාදම් යනාදිය ගවේෂණයේ දී හමුවුණා. දාගැබේ වාස්තු විද්‍යාත්මක විශේෂත්වය නම් ප්‍රාකාර බැම්ම මත ගොඩනැඟිලි දෙකක නටබුන් හමුවීම යි.

නටබුන් පිරි අවට වනපෙත-  කුසුම්සිරි විජයවර්ධන

මෙහි ඉදිකිරීම් සාධක අනුව ක්‍රි. පූ. යුගයේ මුලින්ම තැනූ දාගැබක් බව හෙළි වී අවසාන යි. මෙහි පළමු ඉදිකිරීම් ස්තූපය ක්‍රි. පූ. අවධියට අයත් වේයැ යි අනුමාන කළ හැක්කේ ඉන්පසු එම මුල් ගර්භය වසා ඉදිකරන ලද කංචුකය හෙවත් වැස්ම ක්‍රි. ව. 3 – 4 සියවසට අයත් බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇති නිසයි. එම කංචුකයේ ගරා වැටී තිබූ පස් හා ගඩොල් අතර තිබී හමු වී ඇති ධාතු කරඬුවල හැඩය, අක්ෂර සහිත ගඩොල්, හා ස්තූපයෙන් හමු වූ එක ම ශිලා ලේඛනයේ අක්ෂර ලක්ෂණ අනුව එම සාපේක්ෂ කාල නිර්ණය කර තිබෙනවා. ධාතු කරඬු තැන්පත් කිරීම, පූජ්‍ය වස්තු තැන්පත් කිරීම, ඒවා තැන්පත් කිරීමෙන් පසු එම කුටිය පාෂාණ පුවරුවකින් වැසීම, සිතුවම් කර තිබීම යන ලක්ෂණ නීලගිරි දාගැබේ පිහිටි කංචුක ධාතු කුටීරවල ද දක්නට ලැබෙනවා.

නීලගිරි සර්වඥ ධාතු

නීලගිරි ධාතු ප්‍රදර්ශනයක්- buddhism2600.blogspot.com

කැණීම්වල දී හෙළි වූ කරුණක් වූයේ හත්වන සියවසේ දී දාගැබ විශාල කිරීමට කළ ප්‍රතිසංස්කරණයේ දී එක්කළ ගඩොල් කංචුකයක් පසු ව කඩාවැටී ඇති බව යි. පුරාවිද්‍යා කැණීම් ඇරඹුණේ කඩාවැටුණු ගඩොල් කන්ද අතරින්. එහි දී හමු වූ පුරාවස්තු අතර කරඬු දෙකක් ද වුණා. ඊට අමතර ව තවත් පළිඟු කරඬු 10ක් ද හමුවුණා. මේ අතරින් නිදන් හොරුන්ගෙන් විස්මයකින් මෙන් බේරී හමු වූ එක් ශෛලමය කරඬුවක් තුළ බහා තිබුණේ රන්පත්‍රවලින් කළ කරඬුවක්, එය අලංකාර කැටයමෙන් යුත් පියන සහිත මංජුසාවක්, එම මංජුසාව තුළ සිලින්ඩරාකාර හැඩයෙන් යුත් කුඩා ප්‍රමාණයේ රන් පැහැති කොපු තුනක් හමුවුණා. පුරාවිද්‍යා නිලධාරින් විසින් විවෘත කර බැලීමේ දී ඒවායේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති බව පසක් වී තිබෙනවා. එතරම් සැලකිල්ලෙන් නිදන්කර ඇත්තේ සර්වඥ ධාතු විය හැකි බව පුරාවිද්‍යාඥයන් පවසනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගත් මෙම ධාතූන් වහන්සේ සහිත කරඬුව ඊට පසු ශ්‍රී ලංකාව පුරා විවිධ විහාරස්ථානවල  ප්‍රදර්ශනය කෙරෙන අතර, එයට විශාල මහජන ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා.

කැණීම් මඟින් ස්තූප මළුවේ තිබී ඡත්‍ර 10කට ආසන්න ප්‍රමාණයක් ද, ඡත්‍ර දණ්ඩ 2ක් ද, සූපගලක් ද හමු වී තිබෙනවා. සිරිපතුල් ගල් 44ක් හා ආසන ගල් 15ක් ද මේ වටා තිබී මතු වුණා. පුරාවිද්‍යා සංගම් පර්යේෂණ සමුළුවට පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරි කේ. උදේනි අරුණසිරි සඳහන් කළේ මේ දාගැබේ ගොඩනඟා තිබුණේ හතරැස් කොටුවක් නොව වැටක් ආකාරයේ මුග්ධවේදියක් බව යි. දාගැබෙන් ලැබුණු පාදම් ගල්, පැරණි කරඬුවල ස්වරූපය අධ්‍යයනය කිරීමෙන් ඔහු එම නිගමනයට එළඹ තිබෙනවා.

ලෙන් සංකීර්ණයක්

දාගැබේ පේසා වළලු- කුසුම්සිරි විජයවර්ධන

දාගැබේ සිට කී. මී. 3ක් උතුරු දෙසින් නීලගිරි කන්දේ ලෙන් සංකීර්ණයක් හඳුනාගෙන තිබෙනවා. විහාර සංකීර්ණයක නටබුන්, සෙල්ලිපි හා නටබුන් වූ ස්තූප, ගල්කොරියක් (විහාරයට කළුගල් කැඩූ) ද එහි තිබෙනවා. සමහරක් ලෙනක අනුරාධපුර යුගයට අයත් බව කිව හැකි පැරණි සිතුවම් කොටස් දක්නට ලැබෙනවා. මේ විහාරය භාතිකාභය තිස්ස (ක්‍රි .පූ. 1 සියවස) රජුගේ කාලයේ ද පැවතුණු බවට සාක්ෂි තිබෙනවා. ඔහුගේ බිසව වූ චූලසීවලී දේවිය විසින් නීලගිරි සෑයට (උත්තර සීවලී පබ්බත විහාරයේ) කළ පූජාවක් ගැන සඳහන් සෙල්ලිපියක් මහාචාර්ය සෝමදේව කළ ගවේෂණයේ දී නුදුරින් හමු වී තිබෙනවා. කඳු තරණයට කැමැත්තක් දක්වන අයට නීලගිරි කන්ද නැඟ මේ ලෙන් නැරඹීමට යාමට පුළුවන්.

 

මූලාශ්‍රයයන්:

රජමහා විහාරාරාම - කුසුම්සිරි විජයවර්ධන

Neelagiriya Survey - Raj Somadewa

දායාද පුරාවිද්‍යා පුවත් අටුවාව - 2017 ජූලි, පුරාවිද්‍යා දෙපා.

Related Articles