Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ග්වාතමාලාව සංචාරකයන් අතර ජනප්‍රිය ඇයි?

ඕනෑම රටක පිහිටා ඇති නැරඹීමට ඇති දෑ සහ එහිදී අත්විඳිය හැකි අත්දැකීම් වැඩි වන තරමට ම එම රට සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් බවට පත් වේ. බොහෝ රටවල් ඒවා සතු ස්වාභාවික සම්පත්, සංස්කෘතිකමය වටිනාකමක් සහිත ස්ථාන සහ ත්‍රාසජනක අත්දැකීම් ලබාගත හැකි ස්ථාන වැනි දෑ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කරන්නේ එබැවිනි.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති මායා ශිෂ්ටාචාරය සමඟ බැඳුණු සංස්කෘතිය, සශ්‍රීක වැසි වනාන්තර, විස්මයජනක විල්, විවිධ ක්‍රම මගින් අලංකරණය කළ නගර, ක්‍රියාකාරී ගිනි කඳු සහ නිමක් නැති තැනිතලා බිම් වැනි සංචාරකයන් ප්‍රිය කරන බොහෝ දෑ සමඟ බැඳුණු එවැනි රටකි ග්වාතමාලා රාජ්‍යය. එය සංචාරකයන් අතර ප්‍රසිද්ධ ගමනාන්තයක් බවට පත් වීමට කරුණු ගණනාවක් බලපා ඇත.

ග්වාතමාලා ජනරජය මධ්‍යම අමෙරිකානු රටකි – www.wikipedia.org

ග්වාතමාලාව

ග්වාතමාලා ජනරජය යන නිල නාමයෙන් හඳුන්වන මෙය මධ්‍යම අමෙරිකානු රටකි. එය උතුරින් සහ බටහිරින් මෙක්සිකෝවටත්, ඊසාන දෙසින් බෙලීස් සහ කැරිබියන් දූපත්වලටත්, නැඟෙනහිරින් හොන්ඩුරාස් ජනරජයටත්, ගිනිකොන දෙසින් එල් සැල්වදෝරයටත්, සහ දකුණින් පැසිෆික් සාගරයටත් මායිම්ව පිහිටා ඇත. මෑතකාලීන දත්ත අනුව ග්වාතමාලාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 17.6ක් ලෙස ගණන් බලා තිබේ. එය මධ්‍යම අමෙරිකානු රටවල් අතරින් ජනගහනය වැඩි ම රට වන අතර අමෙරිකානු මහද්විපවලට අයත් රටවල් අතරින් 11 වැනි වැඩි ම ජනගහනය සහිත රට වේ. දීර්ඝ කාලයක් තිස්සේ ස්පාඤ්ඤ සහ මෙක්සිකෝ යටත් විජිතයක් ලෙස පැවැති ග්වාතමාලාවට 1821 දී නිදහස ලැබිණි.

මායාවරුන්ගේ නටබුන්

ග්වාතමාලා රාජ්‍යයේ විවිධ ස්ථානවල පුරාණ මායා ශිෂ්ටාචාරය සමඟ බැඳුණු නටබුන් සහිත ස්ථාන 1,500කට වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ. යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ටිකාල් නගරය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ක්‍රිස්තු පූර්ව 400 වැනි සියවසේ පටන් ජනාවාස වී තිබූ භූමියක් ලෙස සැලකෙන එය ක්‍රිස්තු පූර්ව 800 වැනි සියවස වන විට බොහෝ පහසුකම් සහිත නගරයක් බවට පරිවර්තනය වී තිබූ බව ඉතිහාසඥයන්ගේ මතය වේ.

ග්වාතමාලා රාජ්‍යයේ මායා ශිෂ්ටාචාරය සමඟ බැඳුණු නටඹුන් රැසක් පිහිටා තිබේ – www.theculturetrip.com

ග්වාතමාලාවට පැමිණෙන සංචාරකයන් අතර අතිශයින් ම ප්‍රසිද්ධ ගමනාන්තයක් වන ටිකාල් නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල මායා ශිෂ්ටාචාරය සමඟ බැඳී ඇති භාෂා කතා කරන බොහෝ ආදිවාසී ජනකොටස් ජීවත් වන බව කියැවේ. මෙහි පැමිණෙන බොහෝ සංචාරකයන් සංචාරක මාර්ගෝපදේශකයන්ගේ ද සහාය ඇති ව එවැනි ජනකොටස්වලට අයත් පුද්ගලයන් සමඟ ඔවුන්ගේ ඉතිහාසය සහ ජීවන රටාව පිළිබඳ ව අදහස් හුවමාරු කර ගැනීමට අමතක නොකරති.

ඇන්ටිගුවා ග්වාතමාලා

ග්වාතමාලා රාජ්‍යයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති නගරයක් වන ඇන්ටිගුවා සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයකි. ක්‍රිස්තු වර්ෂ 1543 සිට 1773 දක්වා එය ග්වාතමාලාවේ අගනුවර ලෙස ක්‍රියාත්මක විය. ඉතාලි සහ ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිත ගොඩනැඟිලි ගණනාවක් මෙම නගරයේ පිහිටා තිබේ.

විවිධ ප්‍රමාණයේ ගල් කැට භාවිත කර සකස් කළ පදික මංතීරු සහ මහා මාර්ග ද මෙම නගරය සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් බවට පත් වීමට තවත් හේතුවකි. ඇන්ටිගුවා හි දැකිය හැකි සුවිශේෂී ඉදිකිරීම් හේතුවෙන් 1979 දී එය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් විය.

ඇන්ටිගුවා ග්වාතමාලා – www.conalmadeviaje.com

මෙහි පැමිණෙන බොහෝ සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍ය ත්‍රීරෝද රථ වීම සුවිශේෂී කරුණකි. ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කර නිෂ්පාදනය කරන අත්කම් භාණ්ඩ සඳහා ඉතා ප්‍රසිද්ධ මෙහි එවැනි භාණ්ඩ මිල දී ගත හැකි අතිශය ජනාකීර්ණ වෙළෙඳපොළ ගණනාවක් තිබේ.

ජන සංගීතය, සාම්ප්‍රදායික ඇඳුම් මෝස්‌තර සහ මායා ශිෂ්ටාචාරය සමඟ බැඳුණු භාෂා ද මෙහි බහුල ව දැකිය හැක. මෙහි ජීවත් වන ජනතාව ඉතා නිවැරැදි සහ පැහැදිලි විලාසයකින් ස්පාඤ්ඤ භාෂාව භාවිත කරන බැවින්, අන් කවර රටකටත් වඩා පහසුවෙන් ඇන්ටිගුවාහි දී ස්පාඤ්ඤ භාෂාව හැදෑරිය හැකි බව කියැවේ.

බොහෝ සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍ය ත්‍රීරෝද රථ වීම සුවිශේෂී කරුණකි- JOHAN ORDONEZ/AFP via Getty Images

ඇටිට්ලන් විල

ග්වාතමාලාවට පැමිණෙන සංචාරකයන් අතර ප්‍රසිද්ධ ගමනාන්ත ගණනාවක් අතරින් එකක් වන මෙය ලොව පිහිටි වඩාත් සුන්දර විල්වලින් එකක් ලෙස සැලැකේ. මධ්‍යම අමෙරිකාවේ පිහිටි ගැඹුරින් වැඩි ම විල ද වන එහි පතුලේ තිබී පුරාණ මායා ශිෂ්ටාචාරයට අයත් නටඹුන් බොහොමයක් හමු වී ඇත. සක්‍රීය ගිනිකඳු තුනකට මුහුණලා පිහිටා ඇති මෙම විල නිල් පැහැති ජලයෙන් පිරී ඇත. ඒ වටා පිහිටි ප්‍රදේශ ගණනාවක මායා ශිෂ්ටාචාරය හා සම්බන්ධ විවිධ ජනකොටස් ජීවත් වන අතර, එහි පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකකි.

ඇටිට්ලන් විල/ www.wikipedia.org

ලාභදායි පහසුකම්

අග්නිදිග ආසියානු සහ අනිකුත් මධ්‍යම අමෙරිකානු රටවල් සමඟ සංසන්දනය කරන විට ග්වාතමාලාව අතිශය ලාභදායි සංචාරක ගමනාන්තයක් නොවුණත්, දැරිය හැකි මුදලක් වැය කර ප්‍රවාහන පහසුකම් සහ අනිකුත් පහසුකම් සපයා ගැනීමට මෙහි පැමිණෙන සංචාරකයන්ට හැකියාව ලැබේ.

ඉහත සඳහන් කළ ඇටිට්ලන් විලේ සිට ඇන්ටිගුවා දක්වා ක්‍රියාත්මක වන පැය හතරක කාලයක් දිවෙන ෂටල් සේවාවට ගෙවිය යුතු මුදල පසුගිය වසර වන විට අමෙරිකානු ඩොලර් 12ක් පමණි. ඩොලර් 80ක් වැනි මුදලක් වැය කර සියලු පහසුකම් සහිත නවාතැන් පහසුකම් සපයා ගත හැක.

ග්වාතමාලාවේ පිහිටා ඇති ඉහළ පෙළේ අවන්හලකින් ආහාර ගැනීමට ආසන්න වශයෙන් ඩොලර් 10 ත් 25ත් අතර මුදලක් වැය කළ යුතු වේ. දේශීය සහ වීදි ආහාර ඩොලර් 1-5 අතර මුදලකට මිල දී ගත හැක.

එළිමහන් ක්‍රියාකාරකම්

කඳු තරණය වැනි එළිමහන් ක්‍රියාකාරකම්වලට ප්‍රිය කරන්නන් අතර වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් ලෙස ග්වාතමාලාව හැඳින්විය හැකි ය. එහි පිහිටා ඇති තරණය කළ හැකි ගිනිකඳු සංඛ්‍යාව 37කි. මඩවගුරු හරහා දිවෙන මාර්ග ඔස්සේ, මීදුම සහ අයිස් මෙන් සීතල සුළං පහස විඳිමින් ගිනිකඳු තරණය කිරීම බොහෝ දෙනකුට අමතක නොවෙන අත්දැකීමක් ගෙන දේ.

ග්වාතමාලාවේ පැමිණෙන සංචාරකයන් අතර ප්‍රසිද්ධ අනිකුත් එළිමහන් ක්‍රියාකාරකම් අතර ඔරු පැදීම, පාපැදි සවාරි, වෙරළ සාද, සහ වැසි වනාන්තර නැරඹීම වැනි ඒවා වේ.

එළිමහන් ක්‍රියාකාරකම් සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් ලෙස ග්වාතමාලාව හැඳින්විය හැකි ය – www.bicycling.com

ජෛව විවිධත්වය සහ වන සම්පත

ලොව වඩාත් ම ජෛව විවිධත්වයෙන් යුතු ශාක සහ සත්ත්ව විශේෂ දැකිය හැකි රටක් ලෙස ග්වාතමාලාව හැඳින්වේ. එවැනි ශාක සහ සත්ත්ව විශේෂ දැකිය හැකි වනාන්තරවල සංචාරය කිරීමට ග්වාතමාලාවට පැමිණෙන බොහෝ දෙනෙක් ප්‍රිය කරති. එම වනාන්තරවල ඒවාටම ආවේණික ශාක සහ පැළෑටි ගණනාවක් දැකිය හැකි ය.

ජගුවර්, පූමා, ක්වෙට්සල්, කළුකුමා සහ දිවි මකුළුවන් ඒවායේ ජීවත් වන සත්ත්ව විශේෂ අතර ප්‍රධාන තැනක් ගනී. එහි දක්නට ලැබෙන බොහෝ සත්ත්ව විශේෂ ලොව අන් කිසිදු රටක දක්නට නොලැබෙන බව සංචාරකයෝ පවසති.

ග්වාතමාලාවේ කාන්තාවෝ – www.borgenproject.org

සුහදශීලි ජනතාව

අනිකුත් බොහෝ ලතින් අමෙරිකානු රටවල මෙන් ග්වාතමාලාවේ ජනතාව ද ඉතා කරුණාවන්ත සහ මිත්‍රශීලි ගතිගුණවලින් යුක්ත වේ. ඔවුන් එහි පැමිණෙන සංචාරකයන් සමඟ ඔවුන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසය, විශේෂයෙන් ම මායා ශිෂ්ටාචාරය, පිළිබඳ ව සියලු තොරතුරු හුවමාරු කරගැනීමට කැමැත්තක් දක්වති.

එහි පිහිටි ආපනශාලාවල සේවය කරන පුද්ගලයන්, රියැදුරන්, වෙළෙන්දන් මෙන් ම මහමඟ දී හමු වන ආගන්තුකයෝ පවා සංචාරකයන් සමඟ ඉතා සුහදශීලි ව කටයුතු කරති.

කවරයේ ඡායාරූපය - ග්වාතමාලා රාජ්‍යයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති නගරයක් වන ඇන්ටිගුවා සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයකි/ www.destinationlesstravel.com

මූලාශ්‍ර - www.articlesvalley.com
www.conalmadeviaje.com
www.britannica.com
www.travel.com

Related Articles