Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව මැතිවරණ රටාවක් ගෙන ආ 1991 පළාත් පාලන මැතිවරණය

2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 340ක් සඳහා නාමයෝජනා භාරගැනීම පසුගිය ජනවාරි 18 වැනි දා සිට ජනවාරි 21 වැනි දා දහවල් 12 දක්වා සිදු වුණා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව එදින සවස නිවේදනය කළේ මෙවර පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දින පැවැත්වෙන බව යි.

ඒ අයුරින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟින් මෙරට දේශපාලන පිටිය යළි උණුසුම් වුණා. ඒ සමඟ ම වැඩි පිරිසක් මැතිවරණය ගැන උනන්දුවෙන් පසුවෙනවා. එවැනි වටපිටාවක මෙරට පළාත් පාලන ක්‍රමය විකාශනය වුණු ආකාරය සහ පළාත් මැතිවරණ ඉතිහාසය පිළිබඳ ව ඔබ දැනුම්වත් කිරීම සුදුසු යැයි අප කල්පනා කළා.

මෙතැන් සිට ඔබට කියන්නේ 1991 පළාත් පාලන මැතිවරණය පිළිබඳ තොරතුරු යි.

මැතිවරණය සඳහා අපේක්ෂකයන් නාමයෝජනා භාරදුන් ආකාරය – facebook.com/Frontline Galle

මෙරට පළාත් පාලන ආයතන පිළිබඳ ඉතිහාසය කෙටියෙන්

ශ්‍රී ලංකාවේ අද වන විට දක්නට ලැබෙන පළාත් පාලන ආයතන අතුරින් මුලින් ම ස්ථාපිත කළේ මහ නගර සභා යි. ඒ 1865 දී ඉදිරිපත් කළ අංක 17 දරන මහ නගර සභා ආඥා පනත මඟින්. එම පනතට අනුව 1865-1867 අතර කාලයේ දී කොළඹ, මහනුවර සහ ගාල්ල යන මහනගර සභා තුන ස්ථාපිත කළා.

1871 දී ඉදිරිපත් කළ අංක 26 දරණ ගම්කාර්ය සභා ආඥා පනත මඟින් එම වසරේ දී ම ගම්සභා ස්ථාපිත කළා. ඒ අනුව 1930 දශකයේ අවසන් භාගය වන විට අප රටේ ක්‍රියාත්මක වුණේ මහනගර සභා සහ ගම්සභා යන පළාත් පාලන ආයතන පමණ යි.

කොළඹ මහනගර සභාව – facebook.com/colombo municipal council

එම පළාත් පාලන ආයතන අතරට නගර සභා එක් වුණේ 1940 දී යි. ඒ 1939 දී ඉදිරිපත් කළ අංක 61 දරණ නගර සභා ආඥා පනත හරහා යි. 1946 දී ඉදිරිපත් කළ අංක 3 දරණ සුළුනගර සභා පනත මඟින් එම වසරේ දී ම සුළුනගර සභා පිහිටුවීමත් සමඟ මෙරට පළාත් පාලන ආයතන පද්ධතිය තවත් පුළුල් වුණා. 1980 වන තුරු එම පළාත් පාලන ආයතන පද්ධතියේ කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ.

දිස්ත්‍රික් සංවර්ධන සභා පනත

1980 දී හඳුන්වා දුන් අංක 35 දරණ දිස්ත්‍රික් සංවර්ධන සභා පනත මඟින් ගම්සභා සහ සුළුනගර සභා අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටැවුණා. දිස්ත්‍රික් සංවර්ධන සභාවල ක්‍රියාකාරිත්වය වැඩි කිරීම සඳහා ග්‍රාමෝදය මණ්ඩල සහ ප්‍රාදේශිය මණ්ඩල පිහිටුවූවා.

1987 දී ඉදිරිපත් කළ අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මඟින් දිස්ත්‍රික් සංවර්ධන සභා අහෝසි කර ප්‍රාදේශීය සභා ස්ථාපිත කළා. ඒ අනුව 1987 වසරේ සිට පසු අප රටේ පවතින්නේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන පමණ යි.

මාතර ප්‍රාදේශිය සභාව (island.lk)

ශ්‍රී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන ප්‍රමාණ

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සමස්ත පළාත් පාලන ආයතන ප්‍රමාණය 341ක්. ඒ අතරට මහනගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් අයත්. එයින් වැඩි ම පළාත් පාලන ආයතන ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ යි. එම ප්‍රමාණය 22ක්. මේ අද වන විට එක් එක් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පිහිටා තිබෙන ආකාරය යි.

1). බස්නාහිර පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 49

1). කොළඹ දිස්ත්‍රික්කය- මහ නගර සභා- 5 + නගර සභා- 5 + ප්‍රාදේශීය සභා- 3 = සමස්ත ප්‍රමාණය- 13
2). ගම්පහ දිස්ත්‍රික්කය- මහ නගර සභා- 2 + නගර සභා- 5 + ප්‍රාදේශීය සභා- 12 = සමස්ත ප්‍රමාණය- 19
3). කළුතර දිස්ත්‍රික්කය- නගර සභා- 4 + ප්‍රාදේශීය සභා- 13 = සමස්ත ප්‍රමාණය- 17

2). මධ්‍යම පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 47

1). මහනුවර දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 4 + ප්‍රාදේශීය සභා- 17 = සමස්ත ප්‍රමාණය- 22
2). මාතලේ දිස්ත්‍රික්කය- මහ නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 11 = සමස්ත ප්‍රමාණය- 13
3). නුවරඑළිය දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 9 = සමස්ත ප්‍රමාණය- 13

3). දකුණු පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 49

1). ගාල්ල දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 17 = සමස්ත ප්‍රමාණය- 20
2). මාතර දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 15 = සමස්ත ප්‍රමාණය- 17
3). හම්බන්තොට දිස්ත්‍රික්කය- මහ නගර සභා-1 + නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 10 = සමස්ත ප්‍රමාණය- 12

ගාල්ල මහනගර සභාව – facebook.com/Galle municipal council

4). උතුරු පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 34

1). යාපනය දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 3 + ප්‍රාදේශීය සභා- 13 = සමස්ත ප්‍රමාණය- 17
2). මන්නාරම දිස්ත්‍රික්කය- නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 4 = සමස්ත ප්‍රමාණය- 5
3). වව්නියා දිස්ත්‍රික්කය- නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 4 = සමස්ත ප්‍රමාණය- 5
4). මුලතිව් දිස්ත්‍රික්කය- ප්‍රාදේශීය සභා- 4 = සමස්ත ප්‍රමාණය- 4
5). කිලිනොච්චි දිස්ත්‍රික්කය- ප්‍රාදේශීය සභා- 3 = සමස්ත ප්‍රමාණය- 3

5). නැඟෙනහිර පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 45

1). මඩකළපුව දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 9 = සමස්ත ප්‍රමාණය- 12
2). අම්පාර දිස්ත්‍රික්කය- මහ නගර සභා- 2 + නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 17 = සමස්ත ප්‍රමාණය- 20
3). ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 11 = සමස්ත ප්‍රමාණය- 13

6). වයඹ පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 33

1). කුරුණෑගල දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 19 = සමස්ත ප්‍රමාණය- 21
2). පුත්තලම දිස්ත්‍රික්කය- නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 10 = සමස්ත ප්‍රමාණය- 12

7). උතුරු මැද පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 27

1). අනුරාධපුර දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 18 = සමස්ත ප්‍රමාණය- 19
2). පොළොන්නරුව දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + ප්‍රාදේශිය සභා- 7 = සමස්ත ප්‍රමාණය- 8

8). ඌව පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 28

1). බදුල්ල දිස්ත්‍රික්කය- මහනගර සභා- 2 + නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 15 = සමස්ත ප්‍රමාණය- 18
2). මොණරාගල දිස්ත්‍රික්කය- ප්‍රාදේශීය සභා- 10 = සමස්ත ප්‍රමාණය- 10

9). සබරගමුව පළාත- පළාත් පාලන ආයතන ප්‍රමාණය- 29

1). රත්නපුර දිස්ත්‍රික්කය- මහ නගර සභා- 1 + නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 14 = සමස්ත ප්‍රමාණය- 17
2). කෑගල්ල දිස්ත්‍රික්කය- නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 11 = සමස්ත ප්‍රමාණය- 12

රට නොසන්සුන් වීම නිසා කල් ගිය 1987 පළාත් පාලන මැතිවරණය

1987 දී ප්‍රාදේශීය සභා ස්ථාපිත කිරීමෙන් පසු ව පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වුණා. ඒ සඳහා 1987 ජූනි මාසයේ දී පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවූවා. මහනගර සභා 2ක්, නගර සභා 5ක් සහ ප්‍රාදේශීය සභා 68ක් සඳහා සභිකයන් එහිදී නිතරගයෙන් තේරී පත් වුණා. 1991 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමෙන් පසුව කඩුගන්නාව නගර සභාවේ සභිකයින් නිතරගයෙන් තේරී පත් වීම විශේෂ සිදුවීමක් වුණා. ඉතිරි පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා කැඳවීම සිදු වුණා. එහි දී මහ නගර සභා 2ක්, නගර සභා 4ක් සහ ප්‍රාදේශීය සභා 36ක් සඳහා නාමයෝජනා කිසිවක් නොලැබීම විශේෂත්වයක් වුණා.

එවර පළාත් පාලන මැතිවරණය 1987 අගෝස්තු 15 දින පැවැත්වීමට නියමිත ව තිබුණා. එම වසරේ ජූලි මාසයේ දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟින් රට පුරා කලබල ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල් ගියා.

ඉන් අනතුරුව රට තුළ මහා භීෂණයක් නිර්මාණය වුණු නිසා වසර කිහිපයක් යන තුරු මැතිවරණය පැවැත්වීමට හැකි වුණේ නැහැ. 1991 වසර ආරම්භ වෙද්දී රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පැවතුණා. එනිසා 1991 මාර්තු මාසයේ දී එවකට මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කැඳවූවා.

1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාව – dailynews.lk

මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම

මහ නගර සභා 10ක්, නගර සභා 33ක් සහ ප්‍රාදේශීය සභා 194ක් සඳහා 1991 මාර්තු 7 වැනිදා නාමයෝජනා කැඳවූවා. එම නාමයෝජනා භාර ගැනීම 1991 මාර්තු 21 වැනි දින සිට 1991 මාර්තු 28 වැනි දින දහවල් 12 දක්වා සිදු වුණා. එහි දී දේශපාලන පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 82ක් ඉදිරිපත් කළ නාමයෝජනා 870ක් අතුරින් 73ක් ප්‍රතිකේෂ්ප වුණා. අවසන අපේක්ෂකයන් 16009කට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට වරම් ලැබුණා. එම මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමෙන් පසුව කඩුගන්නාව නගර සභාවේ සභිකයින් නිතරගයෙන් තේරී පත් වීම විශේෂ සිදුවීමක් වුණා.

මැතිවරණය පැවති ආකාරය

1991 මැයි 11 වැනිදා ඡන්ද මධ්‍යස්ථාන 7499කදී ඡන්ද විමසීම පැවැත්වුණා. එහි දී උතුරු සහ නැඟෙනහිර පළාත්වල මැතිවරණය පැවැත්වුණේ නැහැ. 1988/89 භීෂණ සමයේ දී අප රටේ පළාත් සභා මැතිවරණයක්, ජනාධිපතිවරණයක් සහ මහා මැතිවරණයක් පැවැත්වුණා. එම මැතිවරණවල දී ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වුණා.

මෙම මැතිවරණය ඊට සාපේක්ෂ ව සමකාමී ව පැවැත්වුණු බව මැතිවරණ කොමසාරිස්වරයා 1991 දී නිකුත් කළ පාලන වාර්තාවේ දක්වා තිබෙනවා. එවර මැතිවරණයේ දී 72.97%ක ප්‍රතිශතයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක් වුණා. එම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 1988/89 භීෂණ සමයේ පැවති මැතිවරණවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි අගයක් ගත්තා.

භීෂණකාරී වාතාවරණයක් මැද පැවති 1988 ජනාධිපතිවරණයේ අවස්ථාවක් – gettyimages.com

මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය

1991 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් පත් වුණු ප්‍රධාන පක්ෂ දෙක බවට පත් වුණේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. එක්සත් ජාතික පක්ෂයට එවකට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ව තිබුණා. එපමණක් නොව එකල මෙරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළා.

එනිසා මෙම මැතිවරණයේ වැඩි වාසිය හිමි ව තිබුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට තිබුණු ප්‍රබල ආණ්ඩු බලය ද නොඅඩුව භාවිත කරමින් විපක්ෂයට දරුණු පරාජයක් අත් කර දෙමින් මැතිවරණ ජය ගත්තා.

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස – gettyimages.com

එහි දී මැතිවරණය පැවති මහනගර සභා 10න් 9ක ජය එක්සත් ජාතික පක්ෂයට හිමි වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ රත්නපුර මහනගර සභාව පමණ යි. එසේ ම මැතිවරණය පැවති නගර සභා 32ක් අතුරින් 27ක ජය එක්සත් ජාතික පක්ෂයට හිමි වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ පානදුර සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා පමණ යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය

ඊට අමතර ව ස්වාධීන කණ්ඩායම් ජා-ඇළ සහ බේරුවල නගර සභා ජයග්‍රහණය කරද්දී කොමියුනිස්ට් පක්ෂය මාතර නගර සභාව ජයග්‍රහණය කළා. ඒ අතුරින් ජා-ඇළ නගර සභාව ජයග්‍රහණයේ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කිරීමෙන්. මාතර නගර සභාව සඳහා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතිකේෂ්ප වී තිබුණා. එනිසා ජයග්‍රාහී කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය ලැබුණු බවට උපකල්පනය කරන්න පුළුවන්.

එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡනය – dailynews.lk

මැතිවරණය පැවති ප්‍රාදේශීය සභා 194න් 153ක ම ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට යි. එසේ එක්සත් ජාතික පක්ෂයට අතිශය බහුතර ප්‍රාදේශීය සභා ප්‍රමාණයක බලය හිමි වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි වුණේ ප්‍රාදේශීය සභා 33ක පමණ යි. ඉතිරි ප්‍රාදේශීය සභා අතුරින් කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම සහ සීතාවක ප්‍රාදේශිය සභාවල බලය මහජන එක්සත් පෙරමුණට හිමි වුණා.

ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළි දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කළා. ඊට අමතර ව කොමියුනිස්ට් පක්ෂය මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම යන ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කරද්දී ස්වාධීන කණ්ඩායම් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම යන ප්‍රාදේශීය සභාවල බලය ලබා ගත්තා

ඉතිරි පළාත්වල දී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂයට සැලකිය යුතු තරම් තරගයක් ලබා දුන්නේ දකුණ සහ බස්නාහිර යන පළාත්වල දී පමණ යි. ඉතිරි පළාත්වල දී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වුණා. එහි දී මධ්‍යම පළාතේ කිසිදු පළාත් පාලන ආයතනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය ගැනීමට නොහැකි වීම සුවිශේෂී සිදුවීමක් වුණා. මහනුවර, මාතලේ, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. මේ එක් එක් පළාත්වල පිහිටි පළාත් පාලන ආයතනවල බලය පක්ෂ අතර බෙදී ගිය ආකාරය යි.

බස්නාහිර පළාත

1). එක්සත් ජාතික පක්ෂය- මහ නගර සභා- 3 + නගර සභා- 10 + ප්‍රාදේශීය සභා- 11 = සමස්ත ප්‍රමාණය- 24
2). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 13 = සමස්ත ප්‍රමාණය- 15
3). ස්වාධීන කණ්ඩායම්- නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 3
4) මහජන එක්සත් පෙරමුණ- ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 2

මධ්‍යම පළාත

1). එක්සත් ජාතික පක්ෂය- මහ නගර සභා- 3 + නගර සභා- 5 + ප්‍රාදේශීය සභා- 31 = සමස්ත ප්‍රමාණය- 39
2). ලංකා කම්කරු සංගමය- ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 2

දකුණු පළාත

1). එක්සත් ජාතික පක්ෂය- මහ නගර සභා- 1 + නගර සභා- 4 + ප්‍රාදේශීය සභා- 19 = සමස්ත ප්‍රමාණය- 24
2). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ප්‍රාදේශීය සභා- 15 = සමස්ත ප්‍රමාණය- 15
3) කොමියුනිස්ට් පක්ෂය- නගර සභා- 1, ප්‍රාදේශීය සභා- 1 = සමස්ත ප්‍රමාණය- 2
4). ස්වාධීන කණ්ඩායම්- ප්‍රාදේශීය සභා- 1 = සමස්ත ප්‍රමාණය- 1

වයඹ පළාත

1). එක්සත් ජාතික පක්ෂය- මහ නගර සභා- 1 + නගර සභා- 3 + ප්‍රාදේශීය සභා- 25 = සමස්ත ප්‍රමාණය- 29
2). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 2

5). උතුරු මැද පළාත

1). එක්සත් ජාතික පක්ෂය- නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 22 = සමස්ත ප්‍රමාණය- 23
2). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 2

6). ඌව පළාත

1). එක්සත් ජාතික පක්ෂය- මහ නගර සභා- 1, නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 23 = සමස්ත ප්‍රමාණය- 26
2). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- ප්‍රාදේශීය සභා- 1 = සමස්ත ප්‍රමාණය- 1

7). සබරගමුව පළාත

1). එක්සත් ජාතික පක්ෂය- නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 22 = සමස්ත ප්‍රමාණය- 24
2). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- මහනගර සභා- 1 = සමස්ත ප්‍රමාණය- 1
3) කොමියුනිස්ට් පක්ෂය- ප්‍රාදේශීය සභා- 1 = සමස්ත ප්‍රමාණය- 1

සමස්ත ඡන්ද ප්‍රතිඵලය

1). එක්සත් ජාතික පක්ෂය- මහ නගර සභා-9 + නගර සභා-27 + ප්‍රාදේශීය සභා-153 = සමස්ත ප්‍රමාණය-189
2). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- මහ නගර සභා-1, නගර සභා- 2 + ප්‍රාදේශීය සභා- 33 = සමස්ත ප්‍රමාණය- 36
3). ස්වාධීන කණ්ඩායම්- නගර සභා- 2 + ප්‍රාදේශිය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 4
4). කොමියුනිස්ට් පක්ෂය- නගර සභා- 1 + ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 3
5) මහජන එක්සත් පෙරමුණ- ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 2
6). ලංකා කම්කරු සංගමය- ප්‍රාදේශීය සභා- 2 = සමස්ත ප්‍රමාණය- 2

කවරයේ ඡායාරූපය- මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කළ ඡන්දදායිකාවෝ- ​​Buddhika Weerasinghe/Getty Images
මූලාශ්‍ර:
1991 වර්ෂය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ පාලන වාර්තාව
elections.gov.lk
lgd.nc.gov.lk
දේශපාලන විද්‍යාවේ න්‍යායයන් සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම- උපාලි ඒකනායක

Related Articles