Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බහුතර මතයට හිස නමා ධුරයෙන් අස්වූ මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරු

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිඹිරිගෙය ලෙස සැලකෙන්නේ මහා බ්‍රිතාන්‍යය යි. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායයට අනුව මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දරන රජු හෝ රැජන, රාජ්‍ය නායකයා වුවත් එහි දේශපාලන විධායකය වන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යි. එහෙයින් මහා බ්‍රිතාන්‍යයේ අගමැති පදවිය ඉතා බලවත් ධුරයක් ලෙස සැලකිය හැකි ය.

මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්, බහුතර මතයට හිස නමා ධුරයෙන් ඉල්ලා අස්වූ මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරු සිවු දෙනකු පිලිබඳ තොරතුරු යි.

 මාග්‍රට් තැචර් – www.britannica.com

 

1. මාග්‍රට් තැචර්

ලොව පුරා “යකඩ ගැහැනිය” යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ තැචර් අගමැතිනිය, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අගමැති ධුරයට පත් වූ පළමු කාන්තාව යි. ඇගේ ප්‍රතිපත්ති ඉතා දැඩිවූත්, රැඩිකල්වූත් ඒවා වූ හෙයින් ඇතැම් තැනක දී ඇය දැඩි ලෙස මහජන අප්‍රසාදයට ලක්‌ වූවා ය.

එකල බිඳවැටෙමින් පැවැති ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ඇය ගෙන ගිය දැඩි ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති සහ ඇගේ අධිකාරීවාදය නිසා පක්ෂය තුළ ම ඇය කෙරෙහි විරෝධයක් ඇති විය. ඇය අමාත්‍යවරුන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීම වැනි කරුණු පදනම් කොටගෙන හිටපු අමාත්‍යවරයෙක් වූ මයිකල් හෙස්ල්ටයින්  ඇගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්‌ කළේ ය.

ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේ පළමු ගණනය කිරීමේදී තැචර් මනාප 204 ක්‌ ලබා ජයග්‍රහණය කළ අතර හෙස්ල්ටයින්ට ලබාගත හැකිවූයේ ඡන්ද 152 ක්‌ පමණි. එය ප්‍රමාණවත් නොවූ හෙයින් දෙවනවර ඡන්දයකට යාමට අගමැතිවරිය තීරණය කළා ය. දිගින් දිගට ම පක්ෂය තුළින් පැමිණි ඉල්ලීම් හේතුවෙන් ඇය තරග නොකර ඉල්ලා අස්වීමට පසුව තීරණය කළා ය.

අවුරුදු 11 ක්‌, විසිවන ශතවර්ෂයේ වැඩි ම කලක්, මහා බ්‍රිතාන්‍යයේ අගමැති පදවිය දැරූව ද ඇය බහුතර මතයට හිස නමා ධුරයෙන් සමුගන්නේ, එක දිගට මැතිවරණ ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ බ්‍රිතාන්‍යයේ එක ම නූතන අගමැතිවරයා ලෙස අපරාජිත ව යි.

 ටෝනි බ්ලෙයාර් -www.independent.co.uk

 

2. ටෝනි බ්ලෙයාර්

දශක දෙකක් තිස්සේ එකදිගට පැවති කොන්සවේටිව් පාලනය බිඳ දමා බලයට පැමිණි ටෝනි බ්ලෙයාර් මුල් කාලයේ දී ඉතා ජනප්‍රිය අගමැතිවරයෙක් විය. කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ ජනප්‍රියත්වය පිරිහීමට ලක් විය.

ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රයා වූ, අමෙරිකාවේ එවක ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ඇතැම් හිතුවක්කාරී තීරණවලට බ්ලෙයාර්ගේ සහය එළිපිට ම ලැබිණි. අමෙරිකාවට කළු පැල්ලමක් එක්කළ 2003 ඉරාක ආක්‍රමණයට සම්බන්ධ වෙමින් බ්ලෙයාර්, ඔහුගේ අත්වල ලේ පැල්ලම් තවරා ගත්තා පමණක් නොව යුද අපරාධකරුවෙක් ලෙස ද අවමන් ලැබී ය.

ඉරාක ආක්‍රමණයේ දී සිදුවූ දැවැන්ත මනුෂ්‍ය ඝාතන සහ ඉහත සිද්ධි දාමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නොමඟ යැවීම නිසා බ්ලෙයාර් වෙත දැවැන්ත විරෝධයක් මහජනතාව වෙතින් මෙන් ම කම්කරු පක්ෂය වෙතින් ද එල්ලවන්නට විය. පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී කම්කරු පක්ෂයට බහුතර බලය අහිමි වීමත් සමඟ තත්ත්වය තවත් බරපතල විය. 2006 දී ඊශ්‍රායල-ලෙබනන් ගැටුමට සාමකාමී මැදිහත්වීමක් නොකිරීම පිළිබඳ ව ද ඔහුට බරපතල ලෙස විවේචන එල්ල විය.

මේ සමඟ පක්ෂ මන්ත්‍රීවරුන් පවා ඔහු හැරයාම නිසා 2007 දී පක්ෂ නායකත්වයෙන් මෙන් ම අගමැති ධුරයෙන් ද ඉල්ලා අස්වීමට බ්ලෙයාර් තීරණය කළේ ය.

 ඩේවිඩ් කැමරන් – www.bbc.com

 

3. ඩේවිඩ් කැමරන්

2010 දී බලයට පැමිණි ඩේවිඩ් කැමරන් සමස්ත යුරෝපාකරය ම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි අවස්ථාවක මහා බ්‍රිතාන්‍ය ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළේ ය. ඔහු සිය පළමු ධුර කාලය තුළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සන්ධාන ආණ්ඩුවක් පවත්වාගෙන ගියේ ය. 2015 පැවති මහා මැතිවරණයෙන් අනපේක්ෂිත බහුතරයක්‌ ඔහුගේ නායකත්වයෙන් යුතු කොන්සවේටිව් පක්ෂයට හිමි විය.

මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක්‌ ලෙස පවත්වන්නට යෙදුණු යුරෝපා සංගමයෙන් ඉවත් වීම (Brexit) පිළිබඳ ජනමත විචාරණයෙන් පසුව කැමරන්ගේ අගමැති ධුරය පිළිබඳව අවිනිශ්චිත බවක් මතුවන්නට විය. කැමරන්ගේ අදහස වූයේ මහා බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු බව යි.

ජනමත විචාරණයේ දී ජනතාවගෙන් 52% ක්‌ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව ප්‍රකාශ කළේ ය. එහෙයින් කැමරන්ගේ මතය ප්‍රතික්ෂේප විය. ඒ සමඟ ජාතිය අමතමින් ජනතා මතයට හිස නමමින් කැමරන්, නව අගමැතිවරයකුට වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට ඉඩදෙමින් ඉල්ලා අස් විය.

 තෙරේසා මේ – www.theguardian.com

 

4. තෙරේසා මේ

මහා බ්‍රිතාන්‍යය කාන්තා අගමැතිවරියක් යටතට පත්වන්නේ තෙරේසා මේ වසර 37 කට පසු එරට අගමැති ධූරයට පත්වීමත් සමඟ යි. ඊට ප්‍රථම අවුරුදු හයක්‌ බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම් ලෙස ඇය කටයුතු කළේ, අවුරුදු 60 කට පසු එම ධුරය දීර්ඝත ම කාලයක් දැරූ පුද්ගලයා ලෙස යි. ඩේවිඩ් කැමරන්ගෙන් පසුව කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වූ ඇය මත විශාල වගකීමක් පැවැරී තිබිණි.

කැමරන්ගෙන් හිස්වූ අගමැතිකම සමඟ තෙරේසා මේට Brexit මෙහෙයුම ද භාර ගැනීමට සිදුවිය. Brexit ක්‍රියාවලිය සමඟ බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් සිටි දැඩි දේශපාලනික අර්බුදය සමඟ තෙරේසා මේ ගේ නායකත්වයෙන් යුතු පරිපාලනය, වරප්‍රසාද අහිමි ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉතා විශාල වැඩකොටසක් සිදු කළේ ය. කෙසේ වෙතත් තෙරේසා මේ ඉතා වෙහෙස වී Brexit වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා ය. මේ අතරතුර ලන්ඩනයේ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් ද සිදුවිය.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව – www.gov.uk 

 

Brexit ගිවිසුම සම්බන්ධයෙන්පාර්ලිමේන්තුවේ තෙවරක් ම  පැවති මත විමසුම්වලින් පරාජය වීමත් සමඟ තෙරේසා මේට තම උත්සාහ අත්හැරීමට සිදුවිය. Brexit  බිලිගත් දෙවැනි මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙසින් බහුතරයට හිස නමා ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් තුළ පවතින ගරුත්වය ලොවට කියාපාමිනි. 

කවරයේ ඡායාරූපය- වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව - www.expatica.com/uk

මූලාශ්‍ර:

www.gov.uk

www.independent.co.uk

www.bbc.com

Related Articles