Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ම අවදි කළ ඩයිනෝසෝර බිත්තරයේ කතාව

මිහිපිට වාසය කළ දැවැන්ත ම උරග විශේෂය වන ඩයිනෝසෝරයන්ගේ පොසිල තවමත් පෘථිවියේ විවිධ ස්ථානවලින් හමුවනවා. මීට වසර මිලියන 230 කට පමණ පෙර සිට ඔවුන් පෘථිවියේ ජීවත්ව සිට ඇති බවට වර්තමානයේ දී හමුවන පැහැදිලි සාක්ෂිවලින් තහවුරු කෙරෙනවා. වසර මිලියන 65 කට පෙර පෘථිවිය මතට පතිත වූ දැවැන්ත ඇස්ටරොයිඩයක් හේතුවෙන් එම සතුන් වඳවී ගිය බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

කෙසේවෙතත් ඩයිනෝසෝරයන් පිළිබඳ අධ්‍යයන තවමත් අවසන් වී නැහැ. ඔවුන්ගේ ජීවන රටාව, ආහාර ගැනීම සහ බෝවීම ආදිය පිළිබඳ මෑත කාලයේ හමුවන පොසිලවලින් ද තොරතුරු එකතු වනවා. බොහෝ පාෂාණ විද්‍යාඥයන් (Paleontologist) පසුගිය දෙසැම්බරයේ දී කතාබහ කළ එවැනි පොසිලයක් වන්නේ චීනයෙන් හමුවූ ඩයිනෝසෝර් බිත්තරය යි.

ඩයිනොසෝර් බිත්තරය හමු වූ හැටි

සත්ව විශේෂඥයන් සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව මිහිපිට වාසය කළ සියලු ම ඩයිනෝසෝරයන් පාහේ බිත්තර දැමීමෙන් වර්ගයා බෝ කළ අතර මෑතක් වන තුරු ම ලෝකයේ විවිධ ප්‍රදේශවලින් හමුවන ඩයිනෝසෝර බිත්තර කුමන ඩයිනෝසෝර විශේෂයට අයත් දැයි හඳුනා ගැනීම කළ නොහැකි වුණා. එයට හේතුව වන්නේ වසර මිලියන ගණනක් සංරක්ෂණය වූ කළල කොටස් ඒවා තුළින් හමුවීම අතිශය දුර්ලභ වීම යි.

ඩයිනෝසෝරයන් මිලියන ගණනක් පෘථිවිය මත වාසය කළා යැයි සැලකෙන නිසා ඔවුන්ගේ බිත්තර ට්‍රිලියන ගණනක් පෘථිවිය මත තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ඒවායිනුත් අති බහුතරයක් පිපිරී ඩයිනෝසෝර පැටවුන් බිහිවීමත් ස්වභාවික පිපිරීමට ලක්නොවන බිත්තර, බිහි වූ අනෙක් ඩයිනෝසෝරයන් කඩා දැමීම හෝ මව් ඩයිනෝසෝරයා කඩා දැමීම නිසාත් වර්තමානය වනවිට ඉතිරි ව තිබිය හැක්කේ ඉතාම සුළු බිත්තර ප්‍රමාණයක් පමණ යි.

විලෝපික බලපෑම ද වැඩි වශයෙන් එම බිත්තර විනාශ වීමට බලපාන්නට ඇති. එනිසා වසර මිලියන 70 කට පමණ පසු අද දක්වා ඒවා යම් තරමකින් හෝ සංරක්ෂණය වී තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩු යි. කෙසේවෙතත් මේ දක්වා විවිධ ප්‍රදේශවලින් ඩයිනෝසෝර බිත්තර සිය ගණනක් හමු වී තිබෙනවා. ඒවා චීනය, මොන්ගෝලියාව, ආජන්ටිනාව සහ උතුරු අමෙරිකාව ආශ්‍රිත ව වැඩි වශයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

ලොව පුරා ඩයිනෝසෝර පොසිල හමුවී ඇති ප්‍රදේශ – quora.com

 

Yingliang යනු චීනයේ මහා පරිමාණ කැණීම් සිදු කරන සමාගමක්. ඔවුන් සමූහ ව්‍යාපාරයක් වන අතර කැණීම්වලදී හමු වන දුර්ලභ ඛනිජ ආදිය නිවාස අලංකරණයට සුදුසු ලෙස සකස් කර විකිණීමට අමතර ව ඒවායේදී හමුවන කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ සහ පොසිල ඔවුන් සතු කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබනවා.

2000 වසරේදී දකුණු දිග චීනයේ Ganzhou ප්‍රදේශයේ Yingliang සමාගම සිදු කළ කැණීම් කටයුත්තක් අතරතුර ඩයිනොසෝර් බිත්තරයක් හමු වී තිබුණා. 1859 දී මුල්වරට ඩයිනෝසෝර බිත්තර හමුවීමෙන් පසු විශාල ලෙස එවැනි සිදුවීම් වාර්තා වීම නිසා Yingliang විශේෂඥයන් ද මූලික පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු මෙම බිත්තරය ද Yingliang Stone Nature History කෞතුකාගාරය වෙත ප්‍රදර්ශනය සඳහා යවා තිබුණා.

වසර 15 කට පසු අමුතු සොයාගැනීමක්

2015 වසරේදී කෞතුකාගාරයේ තබා තිබූ ඉහත ඩයිනෝසෝර බිත්තරයේ කුඩා වෙනස්කමක් පර්යේෂණවල නිරත වූ පර්යේෂකයෙක්ගේ ඇස ගැටී තිබුණා. එය නම් බිත්තරයේ කටුවෙහි පැල්මක් තුළින් කුඩා අස්ථි කොටසක් වැනි යමක් පිටතට පැමිණ තිබෙන ආකාරයයි. මේ හේතුව නිසා ඩයිනෝසෝර බිත්තරය දික් අතට කොටස් දෙකකට ඉතා සුක්ෂම ව වෙන් කිරීමට කටයුතු කෙරුණා. එවිට පර්යේෂකයන්ට දැකගත හැකි වූයේ ඉතා ම හොඳින් සංරක්ෂණය වූ ඩයිනෝසෝර කලලයක සියලු අස්ථි කොටස්, කලලයේ ස්වරූපයෙන් බිත්තරය තුළ තැන්පත් වී තිබෙන ආකාරය යි.

කෙතරම් ඩයිනෝසෝර් බිත්තර හමු වී තිබුණත් කලලය සංරක්ෂණය වූ බිත්තර මීට පෙර හමුවී ඇත්තේ අවස්ථා 5 ක් පමණ ඉතා අඩු ප්‍රමාණයකදී පමණයි. ඒවා සියල්ලට ම වඩා මෙම කලලය බොහෝ සෙයින් සංරක්ෂණය වුවක් වනවා. පර්යේෂකයන් එතැන් සිට මෙම කලලය හඳුන්වා ඇත්තේ Baby Yingliang ලෙස යි.

Baby Yingliang ඩයිනෝසෝර බිත්තරය ඇතුළත – gismeteo.ru

හොටයක් සහිත මෙම ඩයිනෝසෝර කලලයේ හොටෙහි සිට වලිගය කෙළවර දක්වා අඟල් 10 ක දිගින් යුක්ත වනවා. ඇටසැකිල්ල වකුටු වී තිබෙන ආකාරයෙන් තිබී ඇති අතර නූතන පක්ෂීන් සහ උරගයන්ගේ ස්වභාවික කලල ස්වරූපයට මෙය ඉතා ඉහළ සමානකමක් දක්වන බවයි පැවසෙන්නේ. කාල නිර්ණය කිරීම්වලට අනුව මීට වසර මිලියන 66 සිට 72 දක්වාවූ කාල පරාසයකට මෙම ඩයිනෝසෝර බිත්තරය අයත්වන බවට සොයාගෙන තිබෙනවා.

Baby Yingliang අයත් ඩයිනෝසෝර වර්ගය

මෙය Maniraptora වංශයට අයත් Oviraptorosaurs නම් ඩයිනෝසෝර විශේෂයේ සතකුගේ කලලයක් බවටයි හඳුනා ගෙන ඇත්තේ. Maniraptora වංශයට පියාඹිය හැකි (Avian) සහ නොහැකි (non-Avian) යන දෙවර්ගයේ ම ඩයිනෝසෝරයන් අයත් වනවා. එයිනුත් Oviraptorosaurs පියාඹිය නොහැකි ගණයෙහි ලා සැලකුවත් මෙම ඩයිනෝසෝරයන් බොහෝ සෙයින් පියාඹිය හැකි ඩයිනෝසෝරයන්ගේ ලක්ෂණ බොහෝ සෙයින් පෙන්වනවා. පෙර සඳහන් වූ ආකාරයට ශක්තිමත් හොටයක් (නූතන ගිරවුන්ට සමාන) සහිත මොවුන් සතු ව පිහාටු ද පැවති බවටයි සඳහන් වන්නේ. ඇතැම් Oviraptorosaurs සතුන්ගේ හිස් මුදුනේ ඔටුන්නක ආකාරයට අස්ථි කොටසක් ද තිබුණු බවට වාර්තා වනවා.

විවිධ වර්ගයේ Oviraptorosaurs සතුන් – dinopedia.fandom.com

 

පියාඹිය හැකි ඩයිනෝසෝරයන්ට සමාන වන ප්‍රමාණයෙන් කුඩා හිස් කබලක් සහිත මොවුන්ගේ වලිගය ද එතරම් දිගු වන්නේ නැහැ. Baby Yingliang කලලය බිත්තර පුපුරා වැඩිහිටි සත්වයකු බවට පත්වූයේ නම් හොටෙහි සිට වලිගය කෙළවරට මුළු දිග අඩි 6 ක් පමණ වන බව යි පැවසෙන්නේ. Oviraptorosaurs සතුන්ගේ ආහාර රටාව පිළිබඳ ව එතරම් පැහැදිලි චිත්‍රයක් පර්යේෂකයන් සතු ව නැහැ. පර්යේෂණවලට අනුව එම සතුන් මාංශ භක්ෂක, ශාක භක්ෂක හෝ සර්ව භක්ෂක බවට සාක්ෂි ලැබී තිබෙනවා.

Oviraptor සතුන්ගේ පොසිල ඩයිනෝසෝර සතුන්ගේ කූඩු මතින් හමුවීම නිසා බොහෝ දෙනා විශ්වාස කළේ මොවුන් අනෙක් ඩයිනෝසෝරයන්ගේ බිත්තර ආහාරයට ගැනීම නිසා මෙය සිදුවන්නට ඇති බව යි. පසුව හමුවූ පොසිලවලින් අනාවරණය වී ඇත්තේ Oviraptor සතුන්ගේ පොසිල හමුවූ කැදලි ඔවුන්ගේ ම ඒවා බව යි. මෙම කැදලි ආශ්‍රිත ව තිබී මොලුස්කාවුන් සහ කටුස්සන් වැනි කුඩා සතුන්ගේ පොසිල ද හමුවීම නිසා Oviraptor සතුන් සර්ව භක්ෂක ලෙසයි පිළිගැනෙන්නේ. මොවුන්ගේ පොසිල වැඩි වශයෙන් ආසියානු සහ උතුරු අමෙරිකානු කලාපවලින් හමු වී තිබෙනවා.

ජර්මනියේ Senckenberg කෞතුකාගාරයේ තබා ඇති Oviraptorosaurs සතකුගේ සම්පුර්ණ සැකිල්ලක් සහ බිත්තර – insidescience.org

නූතන කුරුල්ලන්ට සමානකම් පෙන්වන Baby Yingliang

කුරුල්ලන් පරිණාමනය වන්නේ Theropod ඩයිනෝසෝරයන්ගෙන් බව පැවසෙනවා. ඔවුන් බොහොමයක් පියාසර කළ හැකි ඩයිනෝසෝරයන් ගෙන් පැවත එන බවට විශ්වාස කළත් පියාසර කළ නොහැකි Oviraptorosaurs වැනි සතුන්ගේ සමානකම් ද නූතන කුරුල්ලන්ගෙන් දැකිය හැකි යි. මේ සඳහා Baby Yingliang හොඳ ම උදාහරණය සපයනවා.

ඩයිනෝසෝර බිත්තරයෙන් හමු වී ඇති අස්ථි කොටස් අධ්‍යයනයෙන් පසු රචනා වුණු පර්යේෂණ වාර්තාව iScience වෙබ් සඟරාව ඔස්සේ පළ කර තිබුණේ පසුගිය දෙසැම්බර් 21 වනදා යි. මෙයට අනුව නූතන කුරුල්ලන් කළල අවස්ථාවේදී පෙන්වන ඉරියව්වට බෙහෙවින් සමාන ඉරියව්වක් මෙම ඩයිනෝසෝර කළලයේ දක්නට ලැබ තිබෙනවා. මෙම ඉරියව්ව සත්වවේදීන් හඳුන්වන්නේ Tucking ලෙසයි. එයට හේතුව වන්නේ මෙහිදී කලලය තම හිස තටු වලට පහළින් සිරකරගෙන සිටීම නිස යි.

පොසිලය අධ්‍යයනයෙන් පසු පරිගණක ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කළ Baby Yingliang – nationalgeographic.co.uk

කුරුළු පැටවුන් බිහි වීමට දින කිහිපයකට පෙර බිත්තරය තුළ, තම පියාපත් යටින් හිස සැඟවූ ඉහත (tucked) ආකාරයේ ඉරියව්වක් අනුගමනය කරනවා. එය නිවැරදි ව ලබා ගැනීමට අපොහොසත් වන කළල නිසි ලෙස පැටවුන් බවට පත්වීමට සමත් වන්නේ නැති බව යි පැවසෙන්නේ. මෙම ඉරියව්ව කුරුල්ලන්ගේ හිසෙහි චලනය සීමා කිරීමෙන් බිත්තර කටු තුළ පළමු ඉරිතැලීම් ඇති කිරීමට උපකාරී වනවා. එසේ වන්නේ බිත්තර කටුව කැඩීමට පැටවා උත්සාහ කරන විට උගේ හොට ස්ථායී කරමින් එය එක ම ස්ථානයකට යොමු කිරීම හේතුවෙනු යි.

ඩයිනෝසෝර බිත්තරවල කවච ද කුරුල්ලන්ගේ බිත්තර කවච මෙන් වැඩි දෘඩ බවක් දක්වනවා. කැස්බෑවුන්ගේ මෙන් මෘදු කටු වෙනුවට Oviraptorosaurs හට කුරුල්ලන්ගේ මෙන් දෘඩ කවච තිබූ නිසා ඒවා පිපිරවීම වෙනුවෙන් tucking ඉරියව්ව පරිණාමය වූ බව යි පර්යේෂකයන්ගේ අදහස. වසර මිලියන 70කට පමණ පෙර Protocertops ඩයිනෝසරයන් බිහි වූයේ මෘදු කටු සහිත බිත්තරවලින් බවට විශ්වාස කෙරෙනවා. මේ නිසා ඒවා පොසිල වශයෙන් ද හමුවන්නේ නැහැ. මෘදු කටුවලට වඩා දෘඩ බිත්තර කටු පරිසරයෙන් හොඳ ආරක්ෂාවක් ලබා දෙන බව ඒ අනුව පැහැදිලි යි.

Oviraptorosaurs සතෙකුගේ කළල විකසනය සහ කුකුළු පැටවකුගේ කලලය විකසනය සංසන්දනයක් – cell.com/iscience

 

Baby Yingliang ගේ පොසිලය (YLSNHM01266) වඩා සම්පුර්ණ හොඳින් ආරක්ෂා වූ Oviraptorosaurs බිත්තරයක් වූවත් තවත් එම සතුන්ගේ ම බිත්තරවල පොසිල ද්විත්වයක් මේ දක්වා හමු වී තිබෙනවා. ඒවා MPC 100/971 සහ IVPP V20183 ලෙස හඳුන්වන අතර මෙම පොසිල ත්‍රිත්වය මඟින් පෙන්වන්නේ Oviraptorosaurs කළලයක් විකසනය වන වෙනස් අවස්ථා ත්‍රිත්වයක් බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. ඒ සඳහා ඔවුන් යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය කුකුළු බිත්තරවල කළල විකසනය හා සංසන්දනයක්. එමඟින් ද ඔවිරැප්ටෝරෝසෝරයන් නූතන කුරුල්ලන්ට බොහෝ සෙයින් සමාන බව තවදුරටත් පෙන්වා දෙනවා.

කවරයේ ඡායාරූපය - nationalgeographic.co.uk

මූලාශ්‍ර:

yingliangstone.com

nationalgeographic.com

bbc.com, cell.com

mymodernmet.com

study.com

dinopedia.fandom.co

Related Articles