Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙවර පාපන්දු ලෝක කුසලාන A කාණ්ඩයේ තතු විත්ති

පෘථිවියේ තනි ක්‍රීඩාවක් වෙනුවෙන් පවත්වන විශාලත ම සැණකෙළිය කුමක්ද කියා විමසුවහොත් ලබා දීමට ඇති හොඳ ම පිළිතුර වන්නේ පාපන්දු ලෝක කුසලානය යන්න යි. 22 වන වතාවටත් පැවැත්වෙන මේ මහා තරගාවලිය මෙවර කටාර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් එළඹෙන නොවැම්බර් මස 20 වැනි දා ආරම්භ වනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8ක් යටතේ තරග වැදීමට නියමිත යි. එම කාණ්ඩ 8 සම්බන්ධයෙන් මෙම ලිපි පෙළ සකස් කරන අතර එහි පළමුවැන්න වන මෙම ලිපියෙන් A කාණ්ඩය පිළිබඳ සාකච්ඡා කෙරනවා.

1. කටාර්

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය A කාණ්ඩයේ පළමුවන කණ්ඩායම බවට පත්ව තිබෙනවා. ඔවුන් ඉක්වදෝරය සමඟින් මෙවර තරගාවලියේ පළමු තරගයට ද ක්‍රීඩා කිරීමට නියමිත යි. මේ සත්කාර කටාර් රාජ්‍යයේ මංගල ලෝක කුසලාන නියෝජනය වීමද විශේෂත්වයක්. ලෝක කුසලානයට පෙර සිදුකළ අවසන් ශ්‍රේණිගත කිරීම් හි 50 වන ස්ථානය එරටට හිමි වී තිබෙනවා.

කටාර් රාජ්‍යය 2019 ආසියානු ශූරතාව ද ජයග්‍රහණය කළා – www.qfa.qa.com

මෑත කාලීන ව විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් කටාර් පාපන්දුව දියුණු කිරීමට එරට බලධාරීන් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරට පාපන්දු ක්‍රීඩාව මේ වන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. එහි මෑත කාලීන ව සිදු වූ හොඳ ම නිරූපණය වූයේ 2019 වසරේ ආසියානු පාපන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වීම යි. කෙසේ වුවත් මෙවර ලැබී තිබෙන සත්කාර වාසිය ද සමඟින් පාපන්දු ලෝක කුසලානයේ පෙරළියක් කිරීමට කටාර් සැරසෙමින් සිටිනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

කටාර් කණ්ඩායමේ වඩාත් තීරණාත්මක සාධකය වී තිබෙන්නේ ඉදිරිපෙළ ක්‍රීඩක අල්මොයෙස් අලී බවට ප්‍රකාශ කිරීම වඩාත් නිවැරැදි යි. ඔහු මෑත කාලීන ව සුවිශේෂී දස්කම් දක්වමින් සිටිනවා. වර්තමානයේ දී කටාර් පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අල් ඩුහයිල් සමඟින් වෘත්තියමය ක්‍රීඩා කරනා අලී 2016 සිට කටාර් වෙනුවෙන් තරග 76 කදී ලබා ගෙන සිටිනා ගෝල සංඛ්‍යාව 39ක්.

2015 වසරේ සිට එරට ජාතික කණ්ඩායම නියෝජනය කරනා ඉදිරිපෙළ ක්‍රීඩක අක්‍රම් අෆීෆ් ද තීරණාත්මක සාධකයක් වී තිබෙනවා. අත්දැකීම් බහුල ඔහු මේ වන විට අල් සාද් පාපන්දු ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක්. කටාර් වෙනුවෙන් තරග 85 ක් ක්‍රීඩා කළ අක්‍රම් අෆීෆ් එහිදී ගෝල 26ක් වාර්තා කර තිබෙනවා.

කටාර් වෙනුවෙන් තරග 85ක් ක්‍රීඩා කළ අක්‍රම් අෆීෆ් – www.afc.com

අල් සාද් කණ්ඩායමේ ම සාමාජිකයෙක් වන ලෙෆ්ට් බැක් ක්‍රීඩක අබ්ඩෙල් කරීම් හසන් යනු එරට සිටිනා තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඔහු 2010 වසරේ සිට ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. මේ වන විට කටාර් ජර්සිය හැඳ තරග 124 ක් ක්‍රීඩා කොට ඇති ඔහු එහි දී ලබා ගත් ගෝල සංඛ්‍යාව 15ක්.

කටාර් පසුපෙළ වෙනුවෙන් අබ්ඩෙල්කරීම් ගේ අත්දැකීම් බොහෝ ඉවහල් වනු ඇති. ස්පාඤ්ඤ ජාතික පුහුණුකරුවෙක් වන ෆීලික්ස් සැන්චෙස් යටතේ ඔවුන් 2022 ලෝක කුසලානයට පැමිණෙනවා. ඔහු එරට 2017 වසරේ සිට මේ දක්වා පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමද විශේෂත්වයක්.

කටාර් රාජ්‍යයේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 20 ඉක්වදෝරයට එරෙහිව

නොවැම්බර් 25 සෙනගාලයට එරෙහිව

නොවැම්බර් 29 නෙදර්ලන්තයට එරෙහිව

2. ඉක්වදෝරය

දකුණු අමෙරිකානු සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් සිව්වන ස්ථානය දිනා ගනිමින් ඉක්වදෝරය මෙවර පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තා. මෙය ඔවුන් ක්‍රීඩා කරනා සිව්වන ලෝක කුසලානය යි. 2006 වර්ෂයේ පැවති තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීම ඉක්වදෝරය පාපන්දු ලෝක කුසලානයක දැක්වූ ඉහළ ම දක්ෂතාව වනවා. ඔවුන් අවසන් වතාවට 2014 ලෝක කුසලානය ක්‍රීඩා කළ අතර එහිදී මූලික වටයෙන් ම තරගාවලියෙන් ඉවත් වුණා.

දකුණු අමෙරිකාවේ ප්‍රබල කණ්ඩායම් රැසක් අභිබවා ලෝක කුසලාන වරම් ලබා ගත් ඉක්වදෝරය – www.voi.com

වත්මන් පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් හි 44 වන ස්ථානය එරටට හිමි වී තිබෙනවා. දකුණු අමෙරිකා කලාපයේ රටවල් වන බ්‍රසීලය, ආර්ජන්ටිනාව, උරුගුවේ, කොලොම්බියාව, පේරු වැනි පාපන්දු ලොවේ නම රැන්දූ රටවල් සමඟ කරට කර සටන් වදිමින් ලෝක කුසලානයට පිවිසීමට ලැබීම ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයක්. මේ නිසා අවසන් 16 දෙනාගේ වටයට එක් වීම එරට වැසියන්ගේ සිහිනයක් බවට පත්ව තිබෙනවා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

32 හැවිරිදි එනර් වැලෙන්සියා සමස්ත ඉක්වදෝරයේ ම බලාපොරොත්තුව බවට පත්ව තිබෙනවා. එංගලන්තයේ වෙස්ට් හැම් යුනයිටඩ් වැනි ප්‍රමුඛ පෙළ පාපන්දු ක්‍රීඩා සමාජ පවා නියෝජනය කළ ඔහු වර්තමානයේ දී තුර්කියේ ෆෙනර්බාචේ ක්‍රීඩා සමාජය සමග ගිවිසුම් ගත වී සිටිනවා. 2012 වසරේ සිට ඉක්වදෝර් ජාතික කණ්ඩායම නියෝජනය කරනා වැලෙන්සියා තරග 74 කදී ගෝල 35ක් රැස් කළා.

වෘත්තිමය වශයෙන් ජර්මනියේ පළමු පෙළ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අයුස්බර්ග් හා එක්ව ක්‍රීඩා කරනා කාලෝස් ගෘයේසෝ ඉක්වදෝර මැද පෙළ වැඩි බරක් උසුලන ක්‍රීඩකයා වී සිටිනවා. ඔහු නවක ක්‍රීඩකයන් සමඟ ඉක්වදෝරය ලෝක කුසලානය වෙතට රැගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටු කළා. 2014 දී පළමු වතාවට ජාත්‍යන්තර පාපන්දු වරම් දිනා ගත් ඔහු තරග 40 කදී එක ගෝලයක් ලබාගෙන සිටිනවා.

ඉක්වදෝරයේ ම බර කරට ගත් අත්දැකීම් බහුල එනර් වැලෙන්සියා – www.eltelegrafo.com

තවත් ජර්මානු පළමු පෙළ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන බයර් ලෙවර්කුසන් සමඟ ගිවිසුම් ගත වී සිටිනා ආරක්ෂක ක්‍රීඩකයෙක් වන පියෙරෝ හින්කපායි මෙවර ලෝක කුසලානයේ දී පෙරළියක් කිරීමට හැකි ක්‍රීඩකයෙක්. තවමත් 20 හැවිරිදි වියේ පසුවන ඔහු ඉක්වදෝරය වෙනුවෙන් තරග 21ක් ක්‍රීඩා කොට තිබෙනවා. ඔහුගේ සාර්ථකත්වය ඉක්වදෝරයට අවසන් 16 දෙනාගේ වටය තෙක් ගමන් කිරීමට විශාල පිටුවහලක් වනු ඇති. ආර්ජන්ටිනා ජාතික පුහුණුකරු ගුස්ටාවෝ ඇල්ෆාරෝ යටතේ ඉක්වදෝරය 2022 ලෝක කුසලානයට පිවිසෙනවා.

ඉක්වදෝරයේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 20 කටාරයට එරෙහිව

නොවැම්බර් 25 නෙදර්ලන්තයට එරෙහිව

නොවැම්බර් 29 සෙනගාලයට එරෙහිව

3. සෙනගාලය

වර්තමානයේ දී අප්‍රිකානු පාපන්දු පිටියේ පෙරළිකාරයන් බවට පත් ව සිටිනා සෙනගාලය එරට පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය යුගය පසු කරමින් සිටිනවා. මේ වසර මුල දී පැවති අප්‍රිකානු පාපන්දු ශූරතාව ජයග්‍රහණය කළ ඔවුන් ඉතිහාසයේ එම ශූරතාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද එය වුණා.

එරට පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියල්ල ම පාහේ යුරෝපයේ සුපිරි පාපන්දු ක්‍රීඩා සමාජයන් නියෝජනය කරනවා. මේ නිසා 2022 පාපන්දු ලෝක කුසලානය යනු සෙනගාලයට ලැබෙන හොඳ ම අවස්ථාවක්.

2022 අප්‍රිකා ශූරයන් බවට පත් වූ සෙනගාලය – www.theafricareport.com

මීට ප්‍රථම ව 2002 සහ 2018 පාපන්දු ලෝක කුසලානය නියෝජනය කළ ඔවුන් 2002 අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියා. මෙවර ඉතිහාසයේ මුල් ම වතාවට සෙනගාල කණ්ඩායමක් පිට පිට ම දෙවන වතාවට ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවා. අප්‍රිකා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයෙන් ඊජිප්තු බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් ලෝක කුසලාන වරම් ලබා ගත්තා. මේ වන විට පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 18 වන තැන මෙන් ම අප්‍රිකාවෙන් පළමු ස්ථානය ද ඔවුන්ට හිමි ව තිබීම විශේෂත්වයක්.

තීරණාත්මක ක්‍රීඩකයෝ

සෙනගාල පාපන්දුවේ හදවත මෙන් ම එරට ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර වී සිටින සාඩියෝ මානේ එරට ප්‍රධාන බලාපොරොත්තුව යි. වර්තමානයේ දී ජර්මනියේ අංක 1 පාපන්දු ක්‍රීඩා සමාජය වන බයන් මියුනිච් සමඟ ක්‍රීඩා කරන ඔහු ඊට ප්‍රථම එංගලන්තයේ ලිවර්පූල් සමගින් ක්‍රීඩා කළා. 2022 අප්‍රිකා ශූරතාව සෙනගාලයට හිමි වෙද්දී තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා වූයේ ද මානේ යි. ඔහුගේ දස්කම් ලෝක පාපන්දු පිටිය පුරා ම ප්‍රචලිත ව තිබෙනවා. 2012 දී ජාතික පාපන්දු පිටියේ වරම් ලැබූ මානේ මේ වන විට තරග 93ක දී ගෝල 34ක් ලබා ගෙන සිටිනවා.

2021 වසරේ චැම්පියන්ස් ලීග් ශූරතාව චෙල්සි කණ්ඩායම ජයග්‍රහණය කරන විට ඒ වෙනුවෙන් සැලකියයුතු දායකත්වයක් එඩොවුරාඩ් මෙන්ඩි නම් දැල් රකින්නා ඉටු කළා. වර්තමානයේදී සෙනගාල ජාතික කණ්ඩායමේ දැල් රකින්නා වන්නේ ද ඔහු යි.

2022 අප්‍රිකා ශූරතා අවසන් මහා තරගය මෙන් ම 2022 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් ඊජිප්තු තරගය ද දඬුවම් පහර දක්වා ගමන් කරද්දී සෙනගාල සිහින සැබෑ කරදීමට මෙන්ඩි සමත් වුණා. මෑතකාලීන ව යම් යම් ආබාධවලට ලක් වෙමින් තිබුණත් ලෝක කුසලානයේ දී ඔහුගේ සහභාගීත්වය සෙනගාලය අපේක්ෂා කරනවා.

සමස්ත සෙනගාලයේ ම ගෞරවාදරයට පත් ව සිටිනා සාඩියෝ මානේ – www.timesofindia.com

2015 වසරේ පටන් සෙනගාලය නියෝජනය කරමින් එරට ජාතික කණ්ඩායමේ නායකත්වය පවා දැරීමට කලිඩොවු කොවුලිබාලි කටයුතු කළා. ආරක්ෂක ක්‍රීඩකයෙක් වන ඔහු මේ වන විට සෙනගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 64ක්. වර්තමානයේ දී එංගලන්තයේ චෙල්සි සමඟ වෘත්තියමය පාපන්දු ක්‍රීඩා කරනා කොවුලිබාලි යුරෝපයේ සිටිනා සුපිරි ආරක්ෂක ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධ වී සිටිනවා.

2002 වසරේ ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය තෙක් ගමන් කළ සෙනගාල කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වූ අලියොවු කිසේ ගේ පුහුණුකාරිත්වය යටතේ ඔවුන් මෙවර ලෝක කුසලාන ගැටුමට අවතීර්ණ වනවා.

සෙනගාලයේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 21 නෙදර්ලන්තයට එරෙහිව

නොවැම්බර් 25 කටාරයට එරෙහිව

නොවැම්බර් 29 ඉක්වදෝරයට එරෙහිව

4. නෙදර්ලන්තය

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් අවාසනාවන්ත ම කණ්ඩායම්වලින් එකක් වන්නේ නෙදර්ලන්තය යි. ඔවුන් 1974, 1978 සහ 2010 යන වසරවල ලෝක කුසලාන අවසන් මහා තරගවලට පිවිසිය ද ඒවා ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නෑ. ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලි 10 ක් නියෝජනය කළ ඔවුන් එයින් තරගාවලි 5ක දී ම අවසන් සිව්දෙනා දක්වා පැමිණීමට සමත් වුණා.

A කාණ්ඩයේ වඩාත් ප්‍රභලයා ලෙසින් නම් දරා සිටිනා නෙදර්ලන්තය – www.jakartaport.com

වර්තමානයේ දී ප්‍රබල ක්‍රීඩකයන් රැසක්ද සමඟ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 8 වන ස්ථානයේ පසුවන නෙදර්ලන්තය මෙවර A කාණ්ඩයේ සිටිනා කණ්ඩායම්වලින් වඩාත් ප්‍රබල ම රට ලෙස හැඳින්වීම වරදක් නොවෙ යි. යුරෝපීය සුදුසුකම් ලැබීමේ වටයේ G කාණ්ඩයේ පළමු වැන්නා වෙමින් ඔවුන් 2022 ලෝක කුසලාන වරම් හිමි කර ගත්තා.

තීරණාත්මක ක්‍රීඩකයෝ

2013 වර්ෂයේ සිට නෙදර්ලන්තය නියෝජනය කරනා මෙම්පිස් ඩිපායි එරට ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව යි. ස්පාඤ්ඤයේ බාසිලෝනා සමඟින් ක්‍රීඩා කරන ඔහු පසුගිය තරග සමයේ එතරම් සාර්ථක වූයේ නෑ. සෑම විටෙක ම ජාතික කණ්ඩායම නියෝජනය කරද්දී ඩිපායි සාර්ථකත්වයට පත් වනවා. නෙදර්ලන්ත පාපන්දු ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභීන් අතර දෙවනියා ද වන ඔහු තරග 81 කදී ලබා ගෙන සිටිනා ගෝල සංඛ්‍යාව 42ක්.

ස්පාඤ්ඤයේ බාසිලෝනා සමඟින් ම ක්‍රීඩා කරන තවත් ක්‍රීඩකයෙක් වන ෆ්‍රැන්කි ඩි යොන්ග් නෙදර්ලන්තයේ මැද පෙළ සවිමත් කරනවා. අවශ්‍ය විටෙක ඉදිරියට යාමට මෙන් ම අවශ්‍ය විටෙක පසුපසට ගොස් ආරක්ෂිත ව ක්‍රීඩා කිරීමට ද ඔහුට හැකි යි. මෙම දක්ෂතාව භාවිත කරමින් ඔහු මැදපෙළ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරවීමේ හැකියාව ද තිබෙනවා. නෙදර්ලන්තය වෙනුවෙන් තරග 45ක් මේ වන විට ක්‍රීඩා කිරීමට ෆ්‍රැන්කි ඩි යොන්ග් සමත් වුණා. එහිදී ඔහු එක ගෝලයක් වාර්තා කර ගෙන තිබෙනවා.

යුරෝපයේ නම් දරා සිටිනා ආරක්ෂක ක්‍රීඩකයෙක් වන වර්ජිල් වැන් ඩයික් – www.skysports.com

වර්ජිල් වැන් ඩයික් යනු මෑත කාලීන ව ලෝක පාපන්දු පිටියේ බිහි වූ සාර්ථක ම ආරක්ෂක ක්‍රීඩකයෙක් බව සඳහන් කිරීම නිවැරැදි යි. ඔහුගේ අත්දැකීම් සහ තාක්ෂණය පසුගිය වසර කිහිපයේදී ජයග්‍රහණයන් කරා යෑමට ලිවර්පූල් කණ්ඩායමට බෙහෙවින් උපකාරී වුණා.

වැන් ඩයික් සහ මතිස් ඩි ලිට් යන දෙදෙනා ම නෙදර්ලන්තය සතු වීම නිසා ඔවුන්ගේ පසු පෙළ (Center Back) අතිශය සවිමත් වී තිබෙනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයා වන වැන් ඩයික් තරග 49 කදී ගෝල 6ක් සහ ඩිලිට් තරග 38ක දී ගෝල 2ක් ලබා ගෙන තිබෙනවා. 2014 දී නෙදර්ලන්තය ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනා ගැනීම දක්වා මෙහෙයවූ ලුයිස් වෑන් හාල්ගේ පුහුණුකාරිත්වය යටතේ ඔවුන් ලෝක කුසලානය වෙනුවෙන් එක් වීම ද සුවිශේෂී කාරණයක්.

නෙදර්ලන්තයේ මූලික වට තරග කාලසටහන

නොවැම්බර් 21 සෙනගාලයට එරෙහිව

නොවැම්බර් 25 ඉක්වදෝරයට එරෙහිව

නොවැම්බර් 29 කටාරයට එරෙහිව

කවරයේ ඡායාරූපය - නෙදර්ලන්තයේ ෆ්‍රැන්කි ඩි යොන්ග්- www.goal.com, කටාර් රාජ්‍යයේ අල්මොයෙස් අලී - www.dreamstime.com, ඉක්වදෝරයේ එනර් වැලෙන්සියා-www.eltelegrafo.com සහ සෙනගාලයේ සාඩියෝ මානේ - www.goal.com
මූලාශ්‍ර:
www.fifa.com
www.allfootball.com
www.qatar22.com

Related Articles