Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

T20 ලෝක කුසලාන බිමේ සුපිරි දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ

2023 කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි දී පසුගිය සිකුරාදා (10) ආරම්භ වුණා. එම තරගාවලියේ සමාරම්භක තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් තරග වැදුණා. එහි දී ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.

ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් බංග්ලාදේශය සමඟ ඊයේ දිනයේ පැවති තරගය ද කඩුලු 7කින් ජයග්‍රහණය කළා. ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණ ද්විත්වය නිසා තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශ තරගය ජය ගත් මොහොත – gettyimages.com

කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා දස්කම්

මෙවර කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් ම තරග වැදුණේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ යි. එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශාල අභියෝගයක් වුණා. ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට එරෙහි ව ඔවුන්ගේ බිමේ දී තරග වැදීමට සිදු වුණු නිසා යි.

කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් පිටියේ දී පසුගිය සිකුරාදා පැවති එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන්නේ ශ්‍රී ලංකාව යි. එහි දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 50කින් ලබා ගත් අගනා ලකුණු 68 නිසා නියමිත පන්දු වාර 20 දී ශ්‍රී ලංකා ඉනිම 129/4 ලෙසින් නිමාව දුටුවා. එම ඉනිමේ දී විශ්මි ගුණරත්න ලකුණු 35ක් ලබා ගෙන චමරිට අනගි සහායක් ලබා දුන්නා.

චමරි අතපත්තු සිය අර්ධ ශතකය ලබා ගත් මොහොත – gettyimages.com

ඉන් අනතුරුව ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 72ක දී බිඳ වැටුණා. ඒ ඉනෝකා රණවීර සහ ඕෂධී රණසිංහ සිදු කළ දක්ෂ පන්දු යැවීම නිසා යි. දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටුණත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සටන අත් හැරියේ නැහැ. ඔවුන් තරගයේ අවසන් පන්දුවාරය දක්වා ම තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසා නියමිත පන්දු වාර 20 අවසානයේ දකුණු අප්‍රිකාවට ලබා ගත හැකි වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් පමණ යි. එහිදී ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක් හිමි වුණා. එහි දී පන්දුවෙන් දස්කම් පෑ ඉනෝකා රණවීර ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිද්දී ඕෂධී රණසිංහ සහ සුගන්දිකා කුමාරි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පන්දුවෙන් දස්කම් පෑ ඉනෝකා රණවීර – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව- 129/4 (20), (අතපත්තු- 68, විශ්මි- 35, කැප්- 15/1, ඉස්මයිල්- 22/1)
දකුණු අප්‍රිකාව- 126/9 (20), (ලූස්- 28, ඉනෝකා- 18/3, ඕෂධී- 20/2, සුගන්දිකා- 28/2)
ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක්
තරගයේ වීරයා- චමරි අතපත්තු

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණයේ සතුට බෙදා ගනිමින් – gettyimages.com

2023 T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවන තරගය කේප්ටවුන් හි දී ඊයේ දිනයේ පැවැත්වුණා. ඒ බංග්ලාදේශයට එරෙහිව යි.

එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තා. එහි දී පන්දුවෙන් දස්කම් පෑ ඕෂධී රණසිංහ ලකුණු 23කට කඩුලු 3ක් ද, චමරි අතපත්තු ලකුණු 19කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

පන්දුවෙන් දස්කම් පෑ ඕෂධී රණසිංහ – gettyimages.com

ලකුණු 127ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉනිම ආරම්භයේ දී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වුණා. ඒ ඔවුන්ගේ මුල් කඩුලු 3 ලකුණු 25ක දී දැවී යාම යි.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි එම අවස්ථාවේ පිටියේ එකතු වුණු හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා මනා සැලසුමකට අනුව පන්දුවට පහර දුන් ආකාරය දැක ගන්නට ලැබුණා.

කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරන බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ – gettyimages.com

එනිසා පන්දු වාර 18.2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට ශ්‍රී ලංකාවට හැකි වුණා. එහි දී කලකට අමතක නොවන සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා පන්දු 50කින් නොදැවී ලකුණු 69ක් ලබා ගනිද්දී, ඇයට අනගි සහායක් ලබා දුන් නිලක්ෂි පන්දු 38කින් නොදැවී ලකුණු 41ක් රැස් කළා.

එම ඉනිමේ දී ඔවුන් දෙදෙනා නොබිඳුණු ලකුණු 104ක සබඳතාවක් ගොඩ නැගුවා. එය ශ්‍රී ලංකා කාන්තා T20 තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා ලකුණු 100කට වැඩි සබඳතාවක් ගොඩ නැඟුණු මුල් ම අවස්ථාව ලෙස වාර්තා අතරට එක් වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා ජයග්‍රහණයේ සතුට සමරමින් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

බංග්ලාදේශය- 126/8 (20), (සෝබනා- 29, නිගාර්- 28, ඕෂධී- 23/3, අතපත්තු- 19/2)
ශ්‍රී ලංකාව- 129/3 (18.2), (හර්ෂිතා- 69*, නිලක්ෂි- 41*, අතපත්තු- 15, මරුෆා- 23/3)

ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 7ක ජයක්
තරගයේ වීරයා- හර්ෂිතා සමරවික්‍රම

මෙවර කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව තවත් තරග 2කට සහභාගි වෙනවා. ඒ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන කණ්ඩායම්වලට එරෙහිව යි. එම තරග පැවැත්වෙන දින සහ වේලා පහතින් දැක්වෙනවා.

1). ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව- පෙබරවාරි 16 බ්‍රහස්පතින්දා සවස 6.30 (ශ්‍රී ලංකා වේලාවෙන්)
2). ශ්‍රී ලංකාව සහ නවසීලන්තය- පෙබරවාරි 19 ඉරිදා රාත්‍රී 10.30 (ශ්‍රී ලංකා වේලාවෙන්)


මෙම තරග දෙකෙන් එක් ජයග්‍රහණයක් වාර්තා කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරග වටයට පිවිසීම සඳහා විශාල අවස්ථාවක් තිබෙනවා.

ඕස්ට්‍රේලියාව හමුවේ ඉන්දියාවට දැවැන්ත ටෙස්ට් ජයග්‍රහණයක්

බෝඩර්-ගවස්කාර් කුසලානය වෙනුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය ඉන්දියාවේ නාග්පූර් හි දී පසුගිය බ්‍රහස්පතින්දා (9) ආරම්භ වුණා. 2021-23 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට එම කණ්ඩායම් 2කට ම මෙම තරගාවලියේ ජයග්‍රහණය ඉතා වැදගත්.

එනිසා නාග්පූර් ටෙස්ට් තරගයට කණ්ඩායම් දෙක ම අවතීර්ණ වුණේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. එවැනි වටපිටාවක ආරම්භ වුණු ටෙස්ට් තරගය සඳහා සකස් කර තිබුණේ දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවක්.

එසේ සකස් කර තිබුණු තණතීරුවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ඉන්දීය දඟපන්දු යවන්නන් තරගයේ පළමු දිනයේ දීම ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 177කට සීමා කළා. එහි දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 47කට කඩුලු 5ක් බිඳ දැමුවා. ඉන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ ඉන්දීය පිල වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා ලකුණු 120ක් ලබා ගත්ත ද සෙසු මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසියේ නැහැ.

එක් අවස්ථාවක ඉන්දීය ලකුණු පුවරුව 240/7 බවට පත් ව තිබුණා. ඒ මොහොතේ අක්සාර් පටෙල් සහ රවීන්ද්‍ර ජඩේජා යන පිතිකරුවන් පිළිවෙළින් ලබා ගත් ලකුණු 84 සහ 70 නිසා ඉන්දීය පළමු ඉනිම ලකුණු 400 දී නිමාව දුටුවා. එහි දී ඕස්ට්‍රේලියා වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයට සහභාගි වුණු ටොඩ් මර්ෆි ලකුණු 124කට කඩුලු 7ක් දවා ගත්තා.

පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වූ රවීන්ද්‍ර ජඩේජා (මැද) – gettyimages.com

ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් යළිත් වරක් ඉන්දීය දඟපන්දු යවන්නන් හමුවේ අසරණ තත්ත්වයකට පත් වුණා. එහි දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 37කට කඩුලු 5ක් දවා ගනිමින් සිදු කළ ප්‍රබල පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 91කට සීමා වුණා.

එය ඕස්ට්‍රේලියාව ඉන්දීය බිමේ දී ටෙස්ට් ඉනිමක ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා අතරට එක් වුණා. ඒ අනුව තරගයෙන් ඉනිමක සහ ලකුණු 132ක දැවැන්ත ජයක් හිමි වුණේ ඉන්දීය කණ්ඩායමට යි. එය පසුගිය අවුරුදු නවයේ දී ඕස්ට්‍රේලියාව ලැබූ දරුණුත ම ටෙස්ට් පරාජය බවට පත් වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

රවිචන්ද්‍රන් අශ්වින් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

ඕස්ට්‍රේලියා පළමු ඉනිම- 177/10, (ලබුෂේන්- 49, කේරි- 36, ජඩේජා- 47/5, අක්සාර්- 42/3)
ඉන්දීය පළමු ඉනිම- 400/10, (රෝහිත්- 120, අක්සාර්- 84, ජඩේජා- 70, මර්ෆි- 124/7, කමින්ස්- 78/2)
ඕස්ට්‍රේලියා දෙවන ඉනිම- 91/10, (ස්මිත්- 25*, ලබුෂේන්- 17, අශ්වින්- 37/5, ෂමී- 13/2, ජඩේජා- 34/2)

ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 132ක ජයක්
තරගයේ වීරයා- රවීන්ද්‍ර ජඩේජා

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 500 කඩඉම පසු කරයි

සෞදි අරාබි ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය යටතේ අල් නසාර් සහ අල් වහාඩා යන කණ්ඩායම් අතර තරගය පසුගිය බ්‍රහස්පතින්දා (9) පැවැත්වුණා. එම තරගයෙන් ගෝල 4-0ක පහසු ජයක් හිමි වුණේ අල් නසාර් පිලට යි.

එහි දී ජයග්‍රාහී අල් නසාර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4 ම ලබා ගත්තේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නම් සුපිරි පාපන්දු තරුව යි. එම තරගයේ දී ලබා ගත් පළමු ගෝලය රොනාල්ඩෝගේ පාපන්දු ක්‍රීඩා සමාජ දිවියේ 500 වැනි ගෝලය බවට පත් වීම විශේෂ සිදුවීමක් වුණා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අල් නසාර් කණ්ඩායම වෙනුවෙන් දස්කම් පාමින් – gettyimages.com

ඒ අනුව මේ වන විට පාපන්දු ක්‍රීඩා සමාජ තරගවල දී රොනාල්ඩෝ වාර්තා කර තිබෙන සමස්ත ගෝල ප්‍රමාණය 503ක්. එයින් ඔහු ගෝල 311ක් ලබා ගත්තේ ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම වෙනුවෙන්. ඊට අමතර ව ඔහු එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ඉතාලියේ යුවෙන්ටස් වෙනුවෙන් පිළිවෙළින් ගෝල 103ක් සහ 81ක් ලබා ගත්තා. සෞදි අරාබියේ අල් නසාර් වෙනුවෙන් ගෝල 5ක් සහ පෘතුගාලේ ස්පෝටිං ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් ලෙස ඔහුගේ පාපන්දු ක්‍රීඩා සමාජ දිවියේ ඉතිරි ගෝල වාර්තා වුණා.

වසර 34ක් පැරණි ටෙස්ට් වාර්තාවක් සම කළ චන්ද්‍රපෝල් පිය-පුතු යුගළය

2023 බටහිර ඉන්දීය කොදෙව්-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බුලවායෝ හිදී පසුගිය බදාදා (8) නිමාව දුටුවා. එම තරගයේ කොදෙව් පළමු ඉනිමේ දී ටැගනරීන් චන්ද්‍රපෝල් නොදැවී ලකුණු 207ක් රැස් කළා. ටැගනරීන්ගේ පියා වන ශිවනරීන් චන්ද්‍රපෝල් 1994-2015 යුගය තුළ ටෙස්ට් තරග 164කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 11867ක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පිත්තෙන් ද්විත්ව ශතක 2ක් වාර්තා වුණා. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක වාර්තා කළ දෙවන පිය-පුතු යුගළය බවට පත් වීමට ශිව්නරීන් චන්ද්‍රපෝල්ට සහ ටැගනරීන් චන්ද්‍රපෝල්ට හැකි වුණා.

ශිව්නරීන් චන්ද්‍රපෝල් සහ ටැගනරීන් චන්ද්‍රපෝල්- thesportsrush.com

ඊට පෙර එම දස්කම දැක්වූයේ පාකිස්තානයේ හනීෆ් මොහොමඩ් සහ ෂොයිබ් මොහොමඩ් යන පිය-පුතු යුගළය යි. ඒ අතුරින් හනීෆ් මොහොමඩ් 1952-1969 යුගයේ ටෙස්ට් තරග 55කදී පාකිස්තානය නියෝජනය කරමින් ලකුණු 3915ක් ලබා ගත්තා.

එහි දී ඔහු ද්විත්ව ශතක 2ක් රැස් කළා. ඔහුගේ පුත් ෂොයිබ් 1983 සිට 1995 දක්වා ටෙස්ට් තරග 45කදී පාකිස්තානය නියෝජනය කරමින් ලකුණු 2705ක් ලබා ගත්තා. එහි දී ඔහුගේ පිත්තෙන් ද ද්විත්ව ශතක 2ක් වාර්තා වුණා.

ෂොයිබ් මොහොමඩ් – gettyimages.com

ඒ අතුරින් ඔහු පළමු ද්විත්ව ශතකය ලබා ගත්තේ ලබා ගත්තේ 1989 වසරේ දීයි. එම ද්විත්ව ශතකය ලබා ගැනීමත් සමඟින් ටෙස්ට් ද්විත්ව ශතක වාර්තා කළ මුල්ම පිය-පුතු යුගළය ලෙස හනීෆ් සහ ෂොයිබ් වාර්තා අතරට එක් වුණා. එදා ඔවුන් දෙපළ තැබූ සුවිශේෂී වාර්තාව 34 වසරකට පසුව සම කිරීමට චන්ද්‍රපෝල් පිය-පුතු යුගළයට හැකි වුණා.

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දකුණු අප්‍රිකා තරගය ජය ගත් මොහොත - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
howstat.com
t20worldcp.com
goal.com
allfootball.com

Related Articles