Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෝලිගේ දස්කම් හමුවේ බිඳ වැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් අභිමානය

තරග 3කින් සමන්විත වුණු ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ අවසන් තරගය තිරුවනන්තපුරම් හි දී ඊයේ (15) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබා ගත්තා.

එහි දී ඉන්දීය ඉනිම වර්ණවත් කළ විරාත් කෝලි හයේ පහර 8ක් සමඟින් පන්දු 110කින් නොදැවී ලකුණු 166ක් රැස් කළා.

කෝලි ශතකය ලබා ගත් මොහොත – espncricinfo.com

ලකුණු 391ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 22ක් ඇතුළත සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 73ක් පමණ යි. තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 317ක වාර්තාගත ජයග්‍රහණයක් හිමි වුණා. එය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ යම් කණ්ඩායමක් ලකුණු 300කට වැඩි පරතරයකින් තරගයක් ජයග්‍රහණය කළ මුල් ම අවස්ථාව ලෙස වාර්තා අතරට එක් වුණා. එසේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාවට හැකි වුණා.

පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට ලකුණු 67ක ජයක්

2023 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය ගුවහාටි හි දී පසුගිය අඟහරුවාදා (10) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දීමට රෝහිත් ෂර්මා සහ ශුම්බන් ගිල් සමත් වුණා. එහි දී ඔවුන් දෙපළ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 118කින් ලකුණු 143ක් එකතු කළා.

එම සාර්ථක ආරම්භය නිසා සෙසු ඉන්දීය පිතිකරුවන්ට කිසිදු පීඩනයකින් තොර ව ලකුණු රැස් කිරීමට හැකි වුණා. ඉන්දියානුවන් නියමිත පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් ලබා ගත්තා. එහි දී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු විරාත් කෝලි පන්දු 87කින් වේගවත් ලකුණු 113ක් රැස් කළා.

ගිල් සහ රෝහිත් පන්දුවට පහරදෙමින් – espncricinfo.com

ලකුණු 374ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 64ක දී දැවී ගියා. ඒ මොහොතේ පිටියේ එක් වුණු පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා ලකුණු 72ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයකට පත් කළා. එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ඉන්දීය වේග පන්දු යවන්නන් දිගින් දිගට ම කඩුලු ලබා ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 206/8 ලෙසින් දිස් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම නියත පරාජයක් ලබන්නට ගිය ඒ මොහොතේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 88කින් නොදැවී ලකුණු 108ක් ලබා සිය එක්දින තරග දිවියේ දෙවන ශතකය වාර්තා කළා.

දසුන් සිය ශතකය සම්පූර්ණ කළ මොහොත – espncricinfo.com

එය ඔහු එක්දින ඉනිමක දී ලබා ගත් වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. දසුන්ගෙන් වාර්තා වුණු එම සුපිරි ඉනිම නිසා නියමිත පන්දු වාර 50 අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 306/8 ලෙස දිස් වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව- 373/7 (50), (කෝලි- 113, රෝහිත්- 83, ගිල්- 70, රාජිත- 88/3, දසුන්- 22/1)
ශ්‍රී ලංකාව- 306/8 (50), (දසුන්- 108*, නිස්සංක- 72, ධනංජය- 47, මලික්- 57/3, සිරාජ්- 30/2)
ඉන්දියාවට ලකුණු 67ක ජයක්
තරගයේ වීරයා- විරාත් කෝලි

රාහුල්ගේ ඉවසිලිවන්ත ඉනිම නිසා ඉන්දියාවට කඩුලු 4ක ජයක්

තරගාවලියේ දෙවන තරගය කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේ දී පසුගිය බ්‍රහස්පතින්දා (12) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 39.4ක දී සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 215ක් පමණ යි.

එහි දී සිය මංගල එක්දින තරගය සඳහා සහභාගි වුණු නුවනිඳු ප්‍රනාන්දු දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 50ක් රැස් කළා. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් 6 වන පිතිකරුවා ලෙසින් වාර්තා අතරට එක් වුණා. නුවනිඳුට පෙර සුනිල් වෙත්තමුණි, චාමර සිල්වා, අශාන් ප්‍රියන්ජන, කුසල් මෙන්ඩිස් සහ අශේන් බණ්ඩාර යන පිතිකරුවන් එම දස්කම දක්වා තිබුණා.

මංගල එක්දින තරගයේ දී පිත්තෙන් දස්කම් පෑ නුවනිඳු ප්‍රනාන්දු – espncricinfo.com

ඉන් අනතුරුව ලකුණු 220ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 86ක දී බිඳ වැටුණා.

තරගය දෙපිලට ම විවෘත ව පැවති ඒ මොහොතේ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ලෝකේෂ් රාහුල් පන්දු 103කින් නොදැවී ලකුණු 64ක් රැස් කළා. එනිසා ඉන්දීය කණ්ඩායමට පන්දු වාර 43.2ක දී කඩුලු 6ක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට හැකි වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ලෝකේෂ් රාහුල් – espncricinfo.com

කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව- 215/10 (39.4), (නුවනිඳු- 50, මෙන්ඩිස්- 34, සිරාජ්- 30/3, කුල්දීප්- 51/3, මලික්- 48/2)
ඉන්දියාව- 219/6 (43.2), (රාහුල්- 64*, හාර්ඩික්- 36, චාමික- 51/2, කුමාර- 64/2, ධනංජය- 9/1)
ඉන්දියාවට කඩුලු 4ක ජයක්
තරගයේ වීරයා- කුල්දීප් යාදව්

කෝලිගේ විශිෂ්ට ශතකය හමුවේ ඉන්දියාවට ලකුණු 317ක වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති එක්දින තරගාවලියේ අවසන් තරගය තිරුවනන්තපුරම් හිදී ඊයේ (15) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන්නේ ඉන්දියාව යි. ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් මෙම තරගයේ දීත් ලකුණු අතරට පිවිසියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් අවස්ථාවක ඉන්දීය ලකුණු පුවරුව 226/1 ලෙසින් දිස් වුණා.

ඒ මොහොතේ ලකුණු 116ක් ලබා සිටි ශුබ්මන් ගිල් දැවී ගිය ද එහි වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණේ නැහැ. ඒ විරාත් කෝලි පන්දු 110කින් නොදැවී ලකුණු 166ක් රැස් කරමින් නියමිත පන්දු වාර 50 අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව 390/5 දක්වා ඔසවා තැබූ නිසා යි.

කෝලිගේ විශිෂ්ට ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

ජයග්‍රහණය සඳහා ලකුණු 391ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය පන්දු බළ ඇණියෙන් කිසිදු බුරුලක් ලැබුණේ නැහැ. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 6 ලකුණු 39ක දී බිඳ වැටුණා.

ඉන් පසුව කිසිදු පිතිකරු යුගළයකට යළි ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟීමට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 22ක දී ලකුණු 73කට සීමා වුණා. ඒ තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 317ක දැවැන්ත ජයක් හිමි වුණා.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන සිරාජ් – espncricinfo.com

එය යම් කණ්ඩායමක් ලකුණු 300කට වැඩි පරතරයකින් එක්දින තරගයක් ජය ගත් මුල් ම අවස්ථාව යි. එහි දී ඉන්දියාව අභිබවා ගියේ නවසීලන්ත කණ්ඩායම අයර්ලන්තය හමුවේ 2008 දී පැවති එක්දින තරගයක් ලකුණු 290ක පරතරයකින් ජය ගෙන තබා තිබුණු වාර්තාව යි. මේ ඉන්දියාවට සුපිරි ජයක් හිමි වුණු එම එක්දින තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව- 390/5 (50), (කෝලි- 166*, ගිල්- 116, රෝහිත්- 42, රාජිත- 81/2, කුමාර- 87/2)
ශ්‍රී ලංකාව- 73/9 (22), (නුවනිඳු- 19, සිරාජ්- 32/4, කුල්දීප්- 16/2, ෂමී- 20/2)
ඉන්දියාවට ලකුණු 317ක ජයක්
තරගයේ වීරයා- විරාත් කෝලි
තරගාවලියේ වීරයා- විරාත් කෝලි

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම – espncricinfo.com

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ජයග්‍රාහී ආරම්භයක්

19න් පහළ කාන්තා ක්‍රිකට් 20/20 ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පසුගිය සෙනසුරාදා (14) ආරම්භ වුණා. එහි දී A කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ පළමු තරගයේ දී අමෙරිකාව සමඟින් තරග වැදුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් අමෙරිකාවට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 96ක් පමණ යි.

ලකුණු 97ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 19ක දී කඩුලු 3ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රහණය වාර්තා කළා. එහි දී ශ්‍රී ලංකා නායිකා විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 34ක් ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
අමෙරිකාව- 96/9 (20), (රිතූ සිං- 22, දෙව්මි විහංගා- 11/3, විදුශිකා පෙරේරා- 15/2)
ශ්‍රී ලංකාව- 100/3 (19), (විශ්මි ගුණරත්න- 34*, මනුදි නානායක්කාර- 32*, භූමිකා භද්‍රිරාජු- 17/2)
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
තරගයේ වීරයා- විශ්මි ගුණරත්න

විශ්මි ගුණරත්න තරගයේ වීරයා සම්මානය දිනා ගත් මොහොත – gettyimages.com

බාසිලෝනා කණ්ඩායමට තවත් පාපන්දු ශූරතාවක්

Spanish Super Cup සෑම වසරක් ආරම්භයේ දීම ස්පාඤ්ඤයේ පැවැත්වෙන පාපන්දු තරගාවලියක්. එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ඊට පෙර වසරේ ස්පාඤ්ඤ La Liga සහ Copa del Rey යන තරගාවලිවල ශූරතාව සහ අනු ශූරතාව දිනා ගත් කණ්ඩායම් 4 යි.

මෙවර Spanish Super Cup තරගාවලිය සඳහා 2021/22 තරග වාරයේ La Liga ශූරතාව දිනූ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම මෙන් ම අනු ශූරතාව දිනූ බාර්සිලෝනා කණ්ඩායම ද එක් වුණා. 2021/22 තරග වාරයේ Copa del Rey ශූරතාව දිනූ රියල් බෙටිස් කණ්ඩායම මෙන් ම අනු ශූරතාව දිනූ වැලෙන්සියා කණ්ඩායම ද මේ සඳහා එක් වුණා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය රියාල් මැඩ්‍රිඩ් සහ වැලෙන්සියා යන කණ්ඩායම් අතර පසුගිය බදාදා (11) පැවැත්වුණා. එම තරගයේ නියමිත කාලය අවසන් වෙද්දී දෙපිල ම ගෝලය බැගින් ලබා සිටියා. එනිසා දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තේරීමට සිදු වුණා.

එහි දී රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම දඬුවම් පහර 4-3ක් ලෙසින් තරගය ජයග්‍රහණය කළා. බාර්සිලෝනා සහ රියල් බෙටිස් අතර පසුගිය බ්‍රහස්පතින්දා (12) පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දීත් නියමිත කාලය අවසන් වෙද්දී දෙපිල ම ගෝල 2 බැගින් වාර්තා කර තිබුණා. ඉන් පසුව දඬුවම් පහර මඟින් තරගයේ ජයග්‍රාහකයා තේරූ අවස්ථාව බාර්සිලෝනා කණ්ඩායම දඬුවම් පහර 4-2ක් ලෙස තරගය ජයග්‍රහණය කළා.

වැලෙන්සියා- රියාල් මැඩ්‍රිඩ් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් – gettyimages.com

මෙවර Spanish Super Cup තරගාවලියේ අවසන් තරගය බාර්සිලෝනා සහ රියාල් මැඩ්‍රිඩ් යන කණ්ඩායම් අතර ඊයේ (15) පැවැත්වුණා. එම තරගයෙන් ගෝල 3-1ක පහසු ජයක් හිමි වුණේ බාර්සිලෝනා කණ්ඩායමට යි. එහි දී ජයග්‍රාහී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගාවි (පැබ්ලෝ ගාවිරා), රොබට් ලෙවන්ඩොව්ස්කි, පෙඩ්‍රි (පෙඩ්‍රෝ ලෝපේස්) ගෝල වාර්තා කළා.

රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම වෙනුවෙන් කරීම් බෙන්සෙමා එක ම ගෝලය වාර්තා කළා. බාර්සිලෝනා කණ්ඩායම මෙවර Spanish Super Cup ශූරතාව දිනා ගත්තේ 2018 වසරෙන් පසුව යි. ඔවුන් මෙම ශූරතාව දිනා ගත් 14 වන වතාව වීමත් විශේෂත්වයක්.

තරගාවලියේ ශූරතාවය දිනා ගත් බාර්සිලෝනා කණ්ඩායම – gettyimages.com

නවසීලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණයක්

තරග 3කින් සමන්විත වුණු පාකිස්තාන-නවසීලන්ත එක්දින තරගාවලිය කරච්චි හි දී පසුගිය සිකුරාදා (13) නිමාව දුටුවා. එම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ සංචාරක නවසීලන්ත කණ්ඩායම යි. පාකිස්තානයේ දී එක්දින තරගාවලියක් නවසීලන්තය ජයග්‍රහණය කළේ 1976 වසරෙන් පසුව යි. මේ එම තරගාවලිය යටතේ පැවති එක්දින තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

1). පළමු එක්දින තරගය (පාකිස්තානයට කඩුලු 6ක ජයක්)

නවසීලන්තය- 255/9 (50)
පාකිස්තානය- 258/4 (48.1)
තරගයේ වීරයා- නසීම් ෂා (පන්දුවෙන්- ලකුණු 57ට කඩුලු 5යි)

2). දෙවන එක්දින තරගය (නවසීලන්තයට ලකුණු 79ක ජයක්)

නවසීලන්තය- 261/10 (49.5)
පාකිස්තානය- 182/10 (43)
තරගයේ වීරයා- ඩෙවොන් කොන්වේ (පිත්තෙන්- පන්දු 92කින් ලකුණු 101යි)

3). තෙවන එක්දින තරගය (නවසීලන්තයට කඩුලු 2ක ජයක්)

පාකිස්තානය- 280/9 (50)
නවසීලන්තය- 281/8 (48.1)
තරගයේ වීරයා- ග්ලේන් පිලිප්ස් (පිත්තෙන්- පන්දු 42කින් නොදැවී ලකුණු 63යි)
තරගාවලියේ වීරයා- ඩෙවොන් කොන්වේ (ඉනිම් 3කින් ලකුණු 153යි)

තරගාවලිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම – gettyimages.com

පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ඇරඹෙයි

2023 පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී පසුගිය සිකුරාදා (13) ආරම්භ වුණා. එම තරගාවලියේ තරග පැවැත්වෙන්නේ බුබනේෂ්වර් සහ රූර්කේලා යන නගර ආශ්‍රිත ව යි.

බෙල්ජියම සහ දකුණු කොරියාව අතර තරගයේ අවස්ථාවක් – gettyimages.com

මෙවර පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව, බෙල්ජියම, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව, දකුණු අප්‍රිකාව, ප්‍රංශය, වේල්ස්, චිලී, දකුණු කොරියාව, ජපානය, නවසීලන්තය සහ මැලේසියාව යන රටවල් 16 සහභාගි වෙනවා. මේ පසුගිය දිනවල පැවති තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

1). ආජන්ටිනාව 1-0 දකුණු අප්‍රිකාව
2). ඕස්ට්‍රේලියාව 8-0 ප්‍රංශය
3). බෙල්ජියම 5-0 දකුණු කොරියාව
4). ජර්මනිය 3-0 ජපානය
5). නවසීලන්තය 3-1 චිලී
6). නෙදර්ලන්තය 4-0 මැලේසියාව
7). එංගලන්තය 5-0 වේල්ස්
8). ඉන්දියාව 2-0 ස්පාඤ්ඤය
9). ස්පාඤ්ඤය 5-1 වේල්ස්
10). එංගලන්තය 0-0 ඉන්දියාව

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියේ දී දස්කම් දැක්වූ කෝලි (espncricinfo.com)

මූලාශ්‍ර- espncricinfo.com
howstat.com
cricbuzz.com
goal.com
fih.hockey

Related Articles